කොහොමද ඒක

සතියක් ඇතුළත ජනපති සිරිසේන කරනවායැයි කී විප්ලවය කර අවසන්ය. දින පනහක් පමණ තිස්සේ නැටූ පදයක් නැතත්, අවසානයේ එය කෙළවර වූයේ බෙරේ පළුවකුත් නැතිවය. එහෙත් මේ ගෙවුණු දින, සති, මාස මෙරට දේශපාලන ඉතිහාසයේ අන් කවර සිද්ධියකටත් වඩා විකෘතියක් බව සටහන් වනවා නියතය. තවදුරටත් එජාපය පොදු අපේක්ෂකයෝ මත යැපෙනවා නම් ඉදිරියේදී ඔහුගෙන් ලේවලින් ලියා දිවුරුමක් ගත යුතු වේ. එයද අසාර්ථක විය හැක.

මේ ආණ්ඩුව ආ විගස ආණ්ඩුවම තමන්ව හඳුන්වා දුන්නේ යහපාලන ආණ්ඩුව විදිහටය. කට ඇරියොත් කතා කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ගැනය. වංචා – දූෂණ නතර කරන විදිහ ගැනය. එහෙත් ඇත්තටම සිද්ධ වුණේ වෙනකකි. හොරකම් කරන, පසුගාමී වැඩ කරන ජනතාවගේ විරෝධයට පාත්‍රවූ පාලනයක් නිර්මාණය වීමය. එයට පළමුව ප්‍රතිචාර දැක්වූයේ ජනතාවය. එනම් පළාත් පාලන ඡන්දයේදී ජනතාවම පැරද වූ මහින්දගේ පොහොට්ටුව දිනවමිනි. එය ආණ්ඩුවේ එතෙක් ගිය වීර චාරිකාව අනතුරු ජයගෙන යන්නක් නොව අනතුරු මගහරිමින් යන ගමනක් බව ඒත්තු ගැන්වීය. ඒ නිසාම උදේ හවා ප්‍රජාතන්ත්‍රවාදය කතා කළ යහපාලකයෝ ඡන්ද කල් දැමීම මෝස්තරයක් කර ගත්හ. වසර තුනහමාරක්ම ගෙවුණු අතර අල්ලපු පරණ හොරු නොවුණු අතර අලුත් හොරු නම් ඇති පදම් බිහිවිය.

මෙන්න මේ කතාව ගලා යන මොහොතක කාගේ හෝ පිටපතකට අනුව එතෙක් කතාව උඩුයටිකුරු කළ කතාවක් ජනපති සිරිසේන ලීවේ එතෙක් දැහැමි සුදුසරම්කාරයා එය දණ හිසෙන් උඩට ගෙන චණ්ඩි චරිතයට පණ පොවන ගාමිණී ෆොන්සේකාට පණපොවමිනි. විය නොහැකි කිසිවක් නැති බව ජනපති සිරිසේන ඔප්පු කළේ තමා තරග වැදි විරුද්ධවාදියාම අගමැති කරමිනි. එතැන් සිට ලංකාවේ දේශපාලනය ලංකාවට පමණක් නොව ලෝකයටම අරුම පුදුම විය. ජනපති සිරිසේන කළ කී දේ දැන් නැවත කතා කර පළක් නැත. එහෙත් නැවත රනිල්ට අගමැතිකම දී කියූ කතාව නැවත දෙවැනි ගමනේ ඇති අස්ථාවරභාවයන් ගැන ඉඟි කළේය. මෙතැන් සිට ජනපති සිරිසේන ප්‍රධාන දුෂ්ටයා බව ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රතිමුර්තිය ලෙස හඳුන්වන රනිල් වටහා ගත යුතුය.

ජනපති සිරිසේනගේ හැසිරීම තනිකරම ග්‍රාමසේවක පන්නයේමය. එහි වෙනසක් ඇත්තේම නැත. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන් 225ම අත්සන් කළත් රනිල්ට අගමැතිකම නොදෙන බව කීවේ ඒ නිසාය. ග්‍රාමසේවකලා ගමේ තරහාකාරයාට සමෘද්ධිය දෙන්නෙ නැහැ කීවොත් එය නොදෙන්නේමය. එවන් අත්දැකීම් ඇති සිරිසේන රනිල්ට කියනුයේද ඒ ස්ථාවරයෙන්මය. ඒ පුරුද්දෙන්මය. එහෙත් ගමේ තරහකාරයාත් කොළඹ ගැට කපන්නාත් එකකු නොව දෙදනකු බව ජනපති සිරිසේන දැන් හෝ වටහා ගෙන ඇතිය. ගැහැනු – පිරිමියා නොසලකා හැරි කල කියන අවනඩුවම ජනපති සිරිසේන රනිල්ට ඔහු අතින් දෙවැනි වරටත් අගමැතිකම දී කියන්නට ගත්තේය. මුලදී මෙන්ම සියල්ල කර ඇත්තේ රනිල්ය. සියල්ල කෙසේ වෙතත් එකී බොහෝ ඒවායේ වැඩි හරියක් කර ඇත්තේ රනිල්ය. රනිල්ගේ දීගය අත්හැර මහින්ද සමග දීග ගිය සිරිසේන හැරෙන තැපෑලෙන් පරණ මිනිහා හොයාගෙන එන්නේ පවුල කඩාකප්පල් වූයේ තමන් නිසා නොවන බව ආයේ ආයේ කියමිනි. ඒ අනුව රනිල් තියාගෙන සිරිසේන ඇට්ටි හැලෙන කතාවක් කීව් බව රාජපක්ෂවාදීන්ගේ අර්ථකථනයය. රනිල් – සිරිසේනගේ කතාවලට දැක්වූ ප්‍රතිචාර මාරයි කියන රනිල්වාදීහු එයම මහා ඉහළින් සමරති.

මහ බැංකු හොරකම
දෙවැනි වරට අකමැත්තෙන් වුව නැවත අගමැති ලෙස රනිල්ම තෝරා ගත් ජනපති සිරිසේන බැඳුම්කර වංචාව ගැන කතා කළේය. එයට රනිල් දක්වන ප්‍රතිචාරය නම් ඔළුව වැනීමය. ඇත්ත නම් බැඳුම්කර වංචාව එජාපය කළමුත් එය භුක්ති විඳීම යහපාලනයම කළ බවය. අද සිරිසේන මොන කතා කීවද? එදා යහපාලනය මහ මැතිවරණය දින්නේ බැඳුම්කර සල්ලිවලිනි. ජනපති සිරිසේනගේ දේශපාලන ප්‍රතිරූපය හදන්නට එජාපය පාක්ෂික මනාපයට අමතරව විශාල මුදල් කන්දරාවක්ද වියදම් කළේය. ඒ මුදල් නැවත කොහෙන් හෝ ලබාගත යුතුය. ඉතිරි දේශපාලන ගමන වූ මහ මැතිවරණ දිනීමටත් යහමින් මුදල් වුවමනාය. ඊට කළේ මහ බැංකුව කොල්ලකෑමය. ඒ හොරකමට රනිල් මෙන්ම සිරිසේනත් වගකිව යුතුය. බැඳුම්කර මුදල් ලබා දුන් අය අතර සුජීව සේනසිංහ, දයාසිරි ජයසේකර, සරත් ෆොන්සේකා විය. (දැනට එළියට ආ නම්) ඒ අය කීවේ කුමක්ද? ඡන්දය කරන්නට තමන්ට මුදල් දුන් බවත් ඡන්ද කරන විට මුදල් කළුද සුදුද සොයා නොබලන බවත්ය.

ජනපති සිරිසේන නොදන්නවා වුවද මහ බැංකු මුදල් යොදාගෙන ඇත්තේම යහපාලනයේ පැවැත්මටය. ඒ අතර රවි වෙනම ඩීල් දැමීම වෙනම කරුණකි. බැඳුම්කර කොමිෂන් වාර්තාව අනුව මුදල් ගත් ඉතිරි සියල්ල හෙළි කළත් ඒ අය එජාපයේ මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේද විය හැකිය. ඒ ඡන්දය කිරීමට ඒ හැම දොළ පිදේනි ගෙන ඇති බැවිනි. ඒ එකකි. අනෙක් කරුණ ජනපති සිරිසේන අවංකද?

ජනපතිගේ කතාව
ජනපති රනිල්ව තියාගෙන කී කතාව ඇතැම් අයට ඉහළ කතාවක් වී ඇත. අද වැඩිපුරම දූෂණය, වංචාව ගැන කතා කරන ජනපති සිරිසේන ඔහු කියන තරමට නොව සැබෑවටම අවංකද? තමන්ගේ කාට හෝ දෙයක් වූ කල කෑමොර දී ජාමේ බේරා ගැනීම සිරිසේන තියරියය. යහපාලනය ආ විගස දහම් සිරිසේන රාත්‍රී සමාජශාලාවක පිස්සු කෙළියේය. එහිදී නීතියක් ක්‍රියාත්මක වීද? වැලි රාජුව ප්‍රතික්ෂේප කළ ජනපති සිරිසේන හාල් ඩඞ්ලිව වැලඳ ගත්තේ ඇයි? සහෝදරකමටද? තව සහෝදරයකු ටෙලිකොම් සභාපති කොට මිලියන ගණන් වැටුප් දෙනුයේ අවංකකමටද? තම දියණියක වන චතුරිකා සිරිසේන රජයේ දැන්වීම් බොහොමයක් තමන්ට ගෙන කෝටි ගණන් උපයනුයේ රටට ආදරයටද? අද දේශපාලකයන්ගේ දූෂිතකම් ගැන කතා කරන ජනපති සිරිසේන ඇහැක් ඇර නොබලනුයේ තමන්ගේ පවුලේ අයත් යහමින් ජාමේ ගොඩ දාගාන්නා ආකාරයය. මහරගම සුවිසල් නිවෙස ඩඞ්ලි ලවා පුතාගේ නමට ගනුයේ ග්‍රාමසේවක කාලේ ඉපැයූ ධනයෙන්ද? වඩා අවංක වෙන්නට දඟලන ජනපති සිරිසේන සතුව නැත්තේද අවංකකම බව දැන් රටවැසියෝ දනිති. ඔහු සියල්ල කරනුයේ ඔහුගේ පෞද්ගලික කැමැත්ත මතය. රටත් පාලනය කරනුයේ තම කැමැත්ත මතය. එය හරිම යැයි ඔහු අදහමින් සිටී. ඒ නිසා තමන්ගේ අය හොරා කෑමත් හොරා කෑමක් ලෙස නොදකී. සිරිසේන කුමක් කීවද දැන් ඔහුගේ කාලය ඉවරය. දේශපාලනය අනාථය. මේ ගෙවෙන ඉදිරි වසර අමාරුවෙන් නොව පහසුවෙන් රනිල් සමග ගෝරි දමාගෙන කල් ගෙවිය හැකිය. නැවත ඔහුට ගමනක් නැත. එය ඔහුම නැත්තටම නැති කර ගත්තේය.

මහින්ද කෝලම
රනිල් නැවත අගමැති වන විට මෙරට ජනතාව නැවත දකිනුයේ මහින්ද රාජපක්ෂ 2015දී මෙන්ම නැවත කාල්ටන් නිවසට දිව යෑමය. එයත් දැන් මේ සියල්ල මෙන්ම මෝස්තරයක් බව පැහැදිලිය. මෙරට දේශපාලනයේ කෑදරම චරිතය මහින්ද බව නොරහසකි. ඔහුගේ බල ලෝභය කෙළවරක් නැත. ජනපති වී මන්ත්‍රීවරයෙක් වූ පසුව හොර අගමැතියෙක් වී අනතුරුව විපක්ෂ නායක බවට පත්වූ පුළුල් පරාසයකි. ගෝඨාභය ඔළුව ඔසවනවාට බයේ ඡන්දය දක්වා නොඉවසා අගමැතිකම හොරට සිරිසේන ලවා ලියා ගත් මහින්ද එය අත නොඇර සිරිසඟ බෝ කෙනකු වූයේ හොර මුදල් ඇමතිද වෙමිනි. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවත් සමග තමා හොරකු බව පසක්වීමත් සමග අහිංසකයකු සේ නැවත කාල්ටන් නිවසට යනුයේ අගමැතිකම රනිල්ට දුන්නා පන්නයේ හැසිරීමක් මවාපාමිනි. එයට අර්ථ විවරණ කරන්නට ඩලස් අලහප්පෙරුම පන්නයේ කවටයකු මෑතකදී හදාගෙන ඇත. ඔහු කියනුයේ ලොව අගමැතිකම දන් දුන් එකම අගමැති මහින්ද බවය. ඩලස් එන්න එන්නම කොටවීම අරුමයක් නොවේ. සිරිසේන ගේම් ගසා පිනට දුන් දේ රාජපක්ෂ දන්දීම මාරය. හොර බඩු විකිණීමත්, මිලදී ගැනීමත් දෙකම වැරදිය. එසේ නම් පිනට දුන්නා කියා වෙනසක් වේද? මේ මොහොතේ සිරිසේන හිටගෙන නෑවේ නම් මහින්ද දුව දුව නෑවේය. අභාග්‍යය සිරිසේන මහින්ද ගස් බැඳ නැටෙව්වේය. මහින්ද රාජපක්ෂද දේශපාලන තුරුම්පු ආසියකු ලෙස සිට එකවරම ජෝකරයකු බවට පත් කිරීමට සිරිසේන සමත් වූයේ රනිල්ට දෙවැනි වරටත් තමන් අතින් අගමැතිකම දෙන ලෙසටම මහින්දටද දෙවැනි වරටත් තමන් අතින්ම පජාත කරමිනි. මේ නිසාම ජනපති සිරිසේන තවදුරටත් රාජපක්ෂලාට නොවුවමනාය. ලබන වර ඡන්දවලදී සිරිසේන යනු රාජපක්ෂලාට කිහිලිකරුවක් තරම්වත් නොවේ. එබැවින් මහින්ද – සිරිසේන මිතුරුකම යටින් සතුරුකමක් වී ඇති බව කාල්ටන් නිවසේ සිට මහින්ද අසරණ භූමිකාව රඟ දක්වන අයුරින්ම පෙනේ.

රනිල්ගේ අලුත් ගමන
අගමැති රනිල් වික්‍රමසිංහ ජනපති සිරිසේන අතින්ම නැවත දෙවැනි වරට අගමැතිකම ගනිමින් ගෝල්ෆේස් පිටියට ඇවිත් කියනුයේ තමන් අලුත් ගමනක් යන බවය. කා සමගද? ඒ ඉතිරි පැනයය. මලික් ඇමති ධුර නොගන්නා කතා ඇසේ. ඇමති ධුර නොගත්තද මලික් යනු රනිල්ගේ ප්‍රබල විශ්වාසවන්තයෙකි. එබැවින් ඇමතිකම් නොගත්තද ඔහුගේ බලයේ අඩුවක් නොවනු ඇතිය. මෙතෙක් ආ ගමන නන්නත්තාර බව අවබෝධයෙන් අලුත් ගමනක් යනවා යැයි රනිල් කියන්නේ නම් එය හොඳය. එහෙත් රනිල් යනු විශ්වාස කළ හැකි දේශපාලකයකු නොවේ. (අනෙක් අය වගේමය.) ඔහු නැවත පරණ සෙල්ලමම දමනු ඇත. ඇතැම්විට එසේ නොවී ඊළඟ ගමනට සූදානම්ව හොඳවීමටද ඉඩ ඇත. එහෙත් ඒ අවංකව නොවන බව කිව යුතුය.

ජනාධිපතිවරණය
මේ ආණ්ඩුව ප්‍රථමයෙන් ජනාධිපතිවරණයකටම යනු ඇත. අනෙක් ඡන්ද (පළාත් සභා, මහ මැතිවරණ) මේ මොහොතේ පැවැත්වීම දිවි නසා ගැනීමක් බව රනිල් ආණ්ඩුව දනියි. එබැවින් ඒ සැමගේ එකම අරමුණ ජනාධිපතිවරණයකට යෑමය. එය චරිත දෙකක් අතර සංග්‍රාමයකි. එය කෙසේ හෝ ජය ගැනීම ඔවුන්ගේ අරමුණය. මේ මොහොතේ එජාපයට වාසි වූ බව කිව යුතුය. ජනතා අනුකම්පාවද රනිල් දිනාගත් බව පැහැදිලිය. එහෙත් ඒවා තාවකාලිකය. එය රඳවා ගන්නට නම් ඔවුන් මුලදී පොරොන්දු වූ දේවල් කළ යුතුය. එහෙත් දැන් ඒවා කරනුයේ කෙසේද? රාජිත සේනාරත්න කීවේ මහින්ද තම පවුලේ නඩු ඉවත් කර ගැනීමට අගමැති වූ බවය. එසේ නම් දැන් මහින්ද ගෙදරය. රාජිතලා බලය අල්ලාගෙන ඇත. ඒ නඩු ලබන වසරට පෙර තීන්දු දෙනතැනට ගෙන ආ යුතුය. මේවා ජනතාව දැඩිව බලාපොරොත්තු වේ. තමන් සුදනෝ බව ඔප්පු කළ යුතුය. රනිල් තරම් ප්‍රජාතන්ත්‍රවාදී චරිතයක් නැති බව කිසිත් නොකියා ඉවසා සිටීමෙන් පමණක් පෙන්විය නොහැකි බව රනිල් වටහා ගත යුතුය. එසේ නම් රනිල්ට අලුත් ගමනක් යන්නටම සිදුවේ.

මේ අවසානයද?

ජනපති සිරිසේන නැවත රනිල්ව අගමැතිකමේ පිහිටුවීම සැමගේ හාස්‍යයට ලක්වී ඇත්තේ කාට දුන්නද රනිල්ට නොදෙනවා යැයි කී ජනපති සිරිසේනගේ කතාව නිසාය. මේවා අදේශපාලනික කතාය. ඒවායේ කිසිදු හරයක් බරක් නැත. එලෙස බලන්නේ නම් මේ බොහෝ අයට අද ඉන්නට වන්නේ රෙදි නැතිවය. ප්‍රජාතන්ත්‍රවාදය කරපින්නාගෙන රනිල් රැකී කතානායක එදා රනිල් අනාථ කළේ එජාපයෙන් දාහතක්ම අරගෙන මහින්දට සහය පළකිරීමට ගිය නිසාය. අද එජාපයේ අනාගත නායකකම ඉල්ලන කොළ ෂර්ට්ම අඳින නවීන් දිසානායකත් ඒ ගේම් එකේ එදා කොටස්කාරයෙකි. මාමලා බෑනලා අද එජාපයේ විරුවන්ය. කලෙක ද්‍රෝහීන්ය. හැමට කැත අතීතයක් ඇත. ඒ නිසා මේ මොහොතේ පෙනෙන ජනපති සිරිසේනගේ කැත මීට පෙර කාගෙ කාගේත් ඇඟ පුරා තිබූ බව වටහා ගත යුතුය. අගමැති ලෙස නැවත රනිල් පත් කළ ජනපති සිරිසේනගේ රනිල් විරෝධය පහව යතැයි සිතිය නොහැකිය. එය වෙනම විදිහකට වෙනම ආරකට කරළියට එනු ඇත. මහින්ද ඉදිරි මැතිවරණයකදී එනම් ජනාධිපතිවරණයේදී සිරිසේන ඔසවා නොගත්තද එතෙක් සිරිසේන ලවා විසිල් පමණක් නොව බල්ටිද ගස්සවා ගනු ඇත. අමතක නොකළ යුත්තේ දැන් ඒ දෙගොඩම එක ගොඩක් බවය. රනිල් ඔළුව උස්සන තරමටම සිරිසේන ටොකු අනින එක නතර නොකරනු ඇත.