ඇමතිවරු පත් කිරීම

නව කැබිනට් මණ්ඩලය පත්කිරීමේදී අමාත්‍යවරුන් රාජ්‍ය ආයතන සමග ඍජුව හෝ වක්‍රව ව්‍යාපාරික සබඳතා ඇතිකර නොගන්නා බවට දිවුරුම් ප්‍රකාශයක් ගතයුතු බවට පැෆ්රල් සංවිධානය කර තිබුණු යෝජනාව මෙතැන් සිටවත් වත්මන් ආණ්ඩුවට ජාම බේරාගෙන කටයුතු කිරීමට උපකාරී වන ක්‍රියාවක් වෙයි. එමෙන්ම කැබිනට් අමාත්‍යවරුන් පත්කිරීමට පෙර ඔවුන්ගේ දැනුම කුසලතා ආදිය සලකා බැලීමද වැදගත් වන බව පැෆ්රල් අවධාරණය කර තිබුණි.

මෙතෙක් ලංකාවේ කැබිනට් මණ්ඩල පත්කිරීමේදී මේ කියන කිසිවක් සලකා බැලුවේ නැත. හුදු ජ්‍යෙෂ්ඨත්වය, රාජ්‍ය නායකයාට දක්වන ලැදියාව සහ ඒ ඒ පුද්ගලයන් සතු බලවත්කම ඇමතිකම් ලැබීමට හේතුවිය. මලික් සමරවික්‍රම මෙවර තමාට අමාත්‍ය ධුරයක් අවශ්‍ය නැති බව ප්‍රකාශ කර ඇතැයි වාර්තා වී තිබුණි. රිෂාඞ් සහ හකීම්ද එසේ කරන බව කියා තිබේ. ශ්‍රීලනිපයේ සිට ආණ්ඩු පක්ෂයට පැමිණෙන මන්ත්‍රීවරුන්ට ඇමතිකම් නොදෙන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණි. රාජිතට සෞඛ්‍ය අමාත්‍ය ධුරය ලබා නොදෙන්නැයි වෛද්‍යවරුන්ගේ සංගමය බලපෑම් කරයි. එජාපයේ එක්තරා ප්‍රබලයකුට අමාත්‍ය ධුරයක් දියයුතු නැතැයි ජනපති කියා තිබුණු අතර ඔහු ඉලක්ක කරන පුද්ගලයා ජනතාව අතරද අප්‍රසාදයට ලක්වූවෙකි. කෙසේ වෙතත් මෙම තත්ත්වය තුළ වෙනදා සිදුවන පරිදිම ලොකු වෙනසක් නැති ඇමති මණ්ඩලයක් පත්වීමට බොහෝ දුරට ඉඩ ඇත. මෙහිදී බරපතළම ප්‍රශ්නයක් වනු ඇත්තේ විධායකය හා ව්‍යවස්ථාදායකය අතර ඉදිරියේදී තවදුරටත් උද්ගතවිය හැකි ද්වන්ද්ව තත්ත්වයයි. ඇමති ධුර පත්කිරීමේදී ඇතැම් විෂයයන්, විශේෂයෙන්ම නීතිය හා සාමය, ජනමාධ්‍ය ජනාධිපතිවරයා තමන් වෙත රඳවා ගැනීමට සැලසුම් කර තිබීම ලොකු ගැටුමක ආරම්භයක් විය හැකිය.

ලංකාවේ ඇමති ධුරවලට පත්කිරීම විද්‍යාත්මකව කරන බව නායකයන් වෙතින් කියවුණත් මෙතෙක් එම තනතුරු ලබා දුන් ආකාරය දෙස බලන විට කිසිදු විද්‍යාත්මක ලක්ෂණයක් නොපෙනේ. ඒ ඒ දේශපාලනඥයන් හදාරා ඇති, විභාග සමත් වී ඇති, ස්වයං අධ්‍යයනය කර ඇති විෂය ප්‍රදේශයන් විමසා බලා ඔවුන් ඇමති ධුරවලට පත් කරන ක්‍රමයක් අපට අත්හදා බැලිය හැකිය. මන්ද තමා දන්නා ක්ෂේත්‍රයක වැඩ කිරීමට ඕනෑම දේශපාලනඥයකු කැමති වනු ඇත. සාමාන්‍යයෙන් ඕනෑම පක්ෂ නායකයකුට තම පක්ෂයේ මන්ත්‍රීවරුන් අතර සිටින එක් එක් විෂයයන්හි ප්‍රවීණයන් හෝ දැනුම් තේරුම් ඇති අය හඳුනාගත හැකිය. සෞඛ්‍ය හා අධ්‍යාපන යන ක්ෂේත්‍රවලට ගැළපෙන්නේ එම විෂයයන් කෙරෙහි ප්‍රාමාණික උගතුන්ය. අනෙක් අතට ඔවුන් වැඩ කරන ශෛලිය විමසා බලා තනතුරෙහි පිහිටුවීම සුදුසුය. හොඳම දක්ෂයකු වුවත් තම විෂය ක්ෂේත්‍රය තුළ කටයුතු කරන පිරිස් සමග හැමවිටම ආරාවුල් ඇතිකර ගන්නවා නම් විෂයයෙහි පරප්‍රාප්ත නොවනමුත් මානව සම්පත් කළමනාකරණයෙහි නිපුණයකු එම ක්ෂේත්‍රයට යොමු කිරීම වැදගත්ය. රාජිතට සමාන්තරව බැලුවහොත් ඉකුත් සමයේ නාවින්නට සංස්කෘතික ඇමති ධුරය ලබාදී තිබුණේ කවර පදනමකින්ද යන්න තේරුම් ගත නොහැකිය. අනෙක් අතට ෆොන්සේකා වන ජීවී වැනි ඇමති ධුරයකට පත්කිරීමෙන් ප්‍රතිඵලයක් ලැබුණේ යැයි සිතිය නොහැකිය. කෙබඳු උගත්කම් තිබුණත් වාසුදේව වැනි අයට ලැබෙන්නේ ජාතික ඒකාග්‍රතාව ඇති කිරීම වැනි වත්මන් දේශපාලනඥයන් කිසිදාක ඇති නොකරන වර්ගයේ වැඩකට අදාළ තනතුරකි. යහපාලන රජය තුළ ජනපති මෛත්‍රී පරාජිතයන් ලැයිස්තුවෙන් ගෙන කැබිනට් අමාත්‍ය ධුරවලට පත් කළේ ඒ කිසිවෙක් පත් කරන ලද විෂයයන්ට විශේෂඥයන් වන නිසා නොවේ. තනිකරම කල්ලිවාදී අදහසක් පෙරදැරිවය. එවිට අමාත්‍ය ධුරය හෙවත් මහජනයාට අදාළ විෂය පථය රටේ නායකයාගේම කල්ලිවාදයට යටවෙයි. යහපාලන ආණ්ඩුව තුළ එවැනි අවස්ථා කිහිපයක්ම දක්නට ලැබිණි.

අගමැති රනිල් වික්‍රමසිංහ නව කැබිනට්ටුව කොහොම පත් කළත් එහි උපරිම ආයු කාලය වසරකට මදක් වැඩිවිය හැකිය. එක්කෝ වත්මන් ආණ්ඩුවේ කාලය වසර 4 1/2 ඉක්ම වූ විට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සිදුවිය හැකිය. නැතහොත් වසරකට අඩු කාලයක් ඇවෑමෙන් ජනාධිපතිවරණයක් පවත්වන්නට නිසැකවම සිදුවන නිසා එසැණින්ම පාහේ මහ මැතිවරණයක් එන්නට පුළුවන. වසර 4 1/2කින් එන මහ මැතිවරණයට වඩා මේ තිබෙන තත්ත්වය තුළ ලබන වසර අගදී පැමිණීමට නියමිත ජනාධිපතිවරණයේදී එජාපයට සැලකිය යුතු හැකියාවක්ද පෙන්නුම් කළ හැකි බව පෙනේ. ඒ සඳහා ඔවුන්ට ඉදිරි මාස දහය තුළ ජනතාවගේ සිත් උපරිම වශයෙන් ආකර්ෂණය කරගතහැකි හා දිනාගත හැකි වැඩසටහන්වලට යා හැකිය. හොරු තරමක් දුරට දුරස් කර හර්ෂලාට, ඉරාන්ලාට, සජිත්ලාට වැඩි ඉඩක් දී අගමැති ඉදිරි කාලය තුළ කටයුතු කිරීමට බොහෝ දුරට ඉඩ තිබේ. කෙටි කාලයක් සඳහා ඇමති ධුර ලබාගෙන අනාගතයේදී ලැබිය හැකි ප්‍රතිලාභ අතහරින්නේ කුමටද යන සිතුවිල්ල මලික් සමරවික්‍රම වැනි අය තුළ තිබෙන්නට පුළුවන. එනිසා අග්‍රාමාත්‍යවරයාත් තරුණ හා නැගී එන පිරිසට වැඩ කිරීමට ඉඩ දෙන පසුබිමක් හදන්නට වැඩි ඉඩක් තිබේ. එම ආකල්පය රනිල්ගේ මෙන්ම එජාපයේ අනාගතය පැත්තෙන් නරක නැත. එය තාවකාලිකව හෝ ජනතාවගේ පැත්තෙන්ද වැදගත් වෙයි.

කෙසේ වෙතත් පැෆ්රල් සංවිධානය කියූ පරිදි ඇමතිවරුන්ට මහජන සේවය පසෙක තබා මුදල් හරිහම්බ කිරීමට ඉඩ ලැබෙන තත්ත්වයට වැට බැඳීම නම් කවර කාලයකට අදාළව වුවත් අත්‍යවශ්‍යම කාරණයක් වනු ඇත.