සමාජ ක්‍රියාකාරිකයකුගේ මරණය – රායිඩ් ෆරේස්

ප්‍රභාස්වර

2011 මාර්තුවේදී අරාබිකරයේ පැවති ඒකාධිපති රෙජිමයන්ට එරෙහිව, දැවැන්ත පොදු ජන උද්ඝෝෂණ රැල්ලක් ඇරඹුනු අතර ලෝවාසීන් එය හැදින්වූයේ අරාබි වසන්තය යන නාමයෙනි. සිරියාවේ ජනපති බෂාර් අසාද් හට අස්වෙන්නැයි බල කරමින් හඬක් නැඟූ සමාජ ක්‍රියාකාරීත්වය අත්අඩංගුවට ගෙන විවිධ වධබන්දනවලට ඔවුන් බඳුන් කිරීමට හෙතෙම පියවර ගත්තේය. ඒ අය වහාම නිදහස් කරන ලෙස ඉල්ලා මහජනතාව පාරට පැමිණි මොහොතේ අසාද්ගේ හමුදා භටයෝ ඔවුන්ට දිගට හරහට වෙඩි ප්‍රහාර එල්ල කළහ. මෙම මර්දනයේ අවසාන ප්‍රතිඵලය වූයේ පොදු ජනයා විවිධ කල්ලිවලට බෙදී අසාද්ට එරෙහිව සන්නද්ධ සිවිල් යුද්ධයකට මුල පිරීමයි. සංග්‍රාමය දිගින් දිගටම ඇවිල යද්දි අරාබිකරය අරක් ගෙන සිටි අල් කයිඩා සහ අයි එස් වැනි ත්‍රස්තවාදි කණ්ඩායම් ඊට එක්වීම නොවැළැක්විය හැකි විය. 2014 වන විට සිරියාවේ මෙන්ම ඉරාකයේ ද විසල් භූමි ප්‍රමාණයක් අයි එස් ත්‍රස්තයින් විසින් තම ග්‍රහණයට නතු කරගන්නා ලදී.

විදෙස් රටවල මැදිහත් වීම
අයි එස් ත්‍රස්තවාදින් ලොවින් තුරන් කර දැමිය යුතුයැයි පවසමින් 2014දී ඇමරිකාව, සිරියාවේ ඔවුන් පාලනය කළ ප්‍රදේශ ඉලක්ක කොටගෙන ගුවනින් බෝම්බ හෙලීම ඇරඹීය. ඇමරිකාවේ මිලිටරි මැදිහත්වීම් සඳහා ගොඩබිමින් සහය සැළසීමට සිරියාවේ විසූ කුර්දිවරු නොපැකිළිව ඉදිරිපත් වූහ. සන්නද්ධ ජන අරගලය හේතුවෙන් පසුබසිමින් සිටි බෂාර් අසාද්ගේ හමුදාවට සහය පළ කිරීම පිණිස 2015දී රුසියාව පෙරට පැමිණියේය. ලෙබනනය පදනම් කොටගෙන තම මෙහෙයුම් දියත් කළ හිස්බුල්ලා නම් මිලිටරි බලඇණිය, ඉරාණයේ උදව් පදව් ඇතිව අසාද්ට සහය පළ කළේය. මේ අතර සෞදි අරාබිය ඇතුළු මැද පෙරදිග කලාපයේ තවත් රටවල්, බෂාර් අසාද්ට එරෙහිව සටන් වැදී සිටි මිලිටරි කණ්ඩායම් වලට වෙනම ආධාර උපකාර පිරිනමන ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. අයි එස් ත්‍රස්තවාදීන්හට ප්‍රහාර එල්ල කිරීමේදී ඇමරිකානු හමුදාව අතින් සිරියානු නිළ හමුදාවේ භටයින් ඝාතනයට ලක් වූයේ අත්වැරදීමකිනි. රුසියාවද අත්වැරදීමකින් ඇමරිකාවේ සහය ඇතිව සටන්වැද සිටි කුර්දි හමුදා වෙත පහර දෙනු ලැබීය. සිරියානු සිවිල් යුද්ධය, ලිහා ගත නොහැකි නූල් බෝලයක් සේ පැටලී ගියේ මේ ආකාරයටය. රුසියානු සහයෝගය හරහා සිරියානු ජනපති බෂාර් අසාද්, අයි එස් ත්‍රස්ත ග්‍රහණයේ තිබූ රකා හා ඇලෙප්පෝ යන නගර සිය පාලනය යටතට නැවත ලබා ගත්තේය. මේ වන විට සිවිල් යුද්ධයෙන් මිය ගිය සිරියානුවන් සංඛ්‍යාව ලක්ෂ 05ක් ඉක්මවා ඇති අතර තවත් ලක්ෂ 50ක් ලෙබනනය හා ජෝර්දානය වෙත සරණාගතයින් සේ පලා ගොස් තිබේ. යුරෝපය වෙත පැනගිය සිරියානුන් ගණන ලක්ෂ 10කි. කරලිකරුවන්ට පහර දීම සඳහා අසාද්ගේ හමුදා භටයෝ අවස්ථා ගණනාවකදී රසායනික අවි ද භාවිතා කළහ.

ඉඞ්ලිබ් නගරය
සිරියාවේ වයඹ පළාතට අයත් නගරයක් වන ඉඞ්ලිබ්හි ජනගහනය 165.000ක් පමණ වේ. බෂාර් අසාද්ගේ ඒකාධිපති පාලනයට එරෙහිව 2011 මුලින්ම පාරට බැස්සේ ඉඞ්ලිබ් නගරවාසීහුය. එහෙයින් මෙය කැරලිකරුවන්ගේ ප්‍රධාන කේන්ද්‍රයක් සේ සැළකේ. සාමකාමි ජන උද්ඝෝෂණ සන්නද්ධ කැරැල්ලක් බවට පරිවර්තනය වීම සමගම, ආණ්ඩුවේ බලධාරීන් නගරයෙන් පලවාහැර ඉඞ්ලිබ්හි පාලනය සියතට ගැනීමට කැරලිකරුවෝ සමත් වූහ. එහෙත් 2012 අප්‍රේල් මසයේදී සිරියානු හමුදා භටයෝ, හදිසි මෙහෙයුමක් ඔස්සේ කැරලිකරුවන් පරාජය කිරීමට සමත් වූහ. 2015 මාර්තුවේදී ‘අල් නුස්රා පෙරමුණ’ යනුවෙන් හැඳින්වෙන සන්නද්ධ කණ්ඩායමක් විසින් නැවතත් ඉඞ්ලිබ් අල්ලාගන්නා ලදි. වර්තමානයේදීත් ඉඞ්ලිබ් පාලනය කරනු ලබන්නේ ‘අල් නුස්රා පෙරමුණ’ විසිනි. සිවිල් සංග්‍රාමයට පෙර, ඉඞ්ලිබ් ප්‍රාන්තයේ පිහිටි කෆ්ර් නබ්ල් නම් ග්‍රාමය අත්තික්කා සහ ඔලිව් අපනයනයෙන් ප්‍රමුඛයා විය. අවි ගැටුම් මැද එම සක්‍රීයත්වය වළ පල්ලට ගියේය.

රායිඞ් ෆරේස් මාධ්‍ය භූමිකාව
1972 දී කෆ්ර් නබ්ල් ගමේ ඉහළ මධ්‍යම පාන්තික පවුලක ඉපදුණු රායිඞ් ෆරේස්, උසස් පෙළ ඉහළින්ම සමත් වී ඉඞ්ලිබ්හි වෛද්යවිදයාලයට ඇතුල් වූයේ 1993දීය. එහෙත් එහි තෙවැනි වසරේ ශිෂ්‍යයකුව සිටියද රායිඞ්ගේ මව්පියන් රෝගී වූ හෙයින් පවුලේ ඉඩකඩම් හා ඔලිව් වගාව කළමනාකරණය කිරිමේ වගකීම ඔහු වෙත පැවරිණි. වෛදයවරයකු වීමේ අභිලාෂය අතහැරදමා ව්‍යාපාරික වැවිලිකරුවකු බවට පත්වුණු හෙතෙම සිය බිරිඳ හා දරුවන් සමඟ සුඛෝපභෝගී දිවියක් ගත කළේය. භාෂණයේ හා සිතීමේ නිදහස අහිමි කර තිබූ අසාද් රෙජිමය පිළිබඳ රායිඞ් තුළ කුඩාකල පටන් අපුලක් හටගෙන තිබුණි. 2011දී කෆ්ර් නබ්ල් ගම්වැසියන් ආණ්ඩුවට එරෙහිව සංවිධානය කළ සාමකාමි උද්ඝෝෂණ, තම ‘නොකියා’ ස්මාර්ට් දුරකතනය ඔස්සේ විඩියෝ කළ රායිඞ්, ඒවා අන්තර්ජාලයට මුදා හැරියේ අනෙක් ලෝවාසීන්ගේ දැනගැනීම පිණිසය. අසාද්ගේ හමුදා භටයින් විරෝධතාකරුවන්ට වෙඩි ප්‍රහාර එල්ල කරන දර්ශනද ඔහුගේ කැමරා කාචයට හසුවිය. අසාද් රෙජිමයේ හමුදාවන්හි කොටස් ගණනාවක් ඔවුන්ගේ ආයුධද සමඟ විරෝධතාකරුවන් සමඟ එක් වූයේ නිරායුධ මිනිසුන් හට ආරක්ෂාව සැපයීමේ අරමුණෙනි. මර්දනය තීවුර වෙත්ම සිවිල් වැසියන් හට ආයුධ පුහුණුව ලබා දුන්නේ නිල හමුදා වලින් පැන ආ මෙකී සොල්දාදුවන් විසිනි. අල්කයිඩා සහ අයි එස් වැනි අන්තවාදී ත්‍රස්ත කණ්ඩායම් සිවිල් කැරලිකරුවන් අතරට පැමිණ බෂාර් අසාද්ගේ හමුදාවන්ට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමත් සමඟ යුද උණුසුම දිනෙන් දින ඉහළ ගියේය. සිරියානු රජයට එරෙහි සටන ප්‍රජාතන්ත්‍රවාදී සාමකාමී හා අවිහිංසාවාදී මුහුණුවරකින් පෙරට ගෙන යා යුතු යැයි රායිඞ් දැඩිව ඇදහීය. විප්ලවකාරී බියුරෝවන්ගේ එකමුතුව (URB) නමින් කාර්යාලයක් කෆ්ර් නබ්ල්හි කුඩා ගොඩනැගිල්ලක් තුළ ස්ථාපිත කළ රායිඞ්, ගම්වැසියන්ගේ හඬට කන්දෙන කුඩා සිවිල් සමාජ ව්‍යාපාරයක් එහි ආරම්භ කළේය. වෛදය උපාධිය දිනාගත් සිය අතීත මිත්‍රයන්ගේ උදව් උපකාර ඇතිව සිවිල් යුද්ධයෙන් තුවාල වූවන්ට ප්‍රතිකාර කිරීම, වෛදය සායන පැවැත්වීම වැනි සමාජ සත්කාරක ක්‍රියාවන් URB හරහා හෙතෙම දියත් කළේය. බෝම්බ වැදී විනාශ වූ ගොඩනැගිලි ඉදිරිපිට හිඳිමින්, ඉංග්‍රීසි උපසිරැසි සහිතව රායිඞ් නිර්මාණය කළ යූ ටියුබ් විඩීයෝ, ගෝලීය සමාජ මාධ්‍ය තුළ අතිශයින් ජනප්‍රිය විය. විදෙස් මාධ්‍යන්හි අවධානය සිරියානු සිවිල් යුද්ධය කෙරෙහි සැබැවින්ම යොමු වූයේ රායිඞ් ෆරේස්ගේ නිර්භය මැදිහත්වීම ඔස්සේය. මුහුණු පොත හරහා විශාල බැනර් ප්‍රදර්ශනය කරමින්, යුද්ධය නැවැත්වීම පිණිස සහය දෙන්නැයි හෙතෙම ගෝලීය ප්‍රජාවෙන් ඉල්ලීය.

කෆ්ර් නබ්ල් මාධ්‍ය මධ්‍යස්ථානය
යුද අනාථයින්ට පිහිට වීම සඳහා සහන අරමුදලක් ගොඩනැගීමට රායිඞ්ට හැකියාව ලැබුණේ කෆ්ර් නබ්ල් මාධ්‍ය මධ්‍යස්ථානය ඇරඹීමත් සමඟය. ලොව පුරා විසිරුණ සිවිල් සමාජ ක්‍රියාකාරීන් හා ප්‍රගතිශීලී මාධ්‍යවේදීන්, රායිඞ් ෆරේස්ගේ ක්‍රියාකාරකම් වලට මූල්‍ය වශයෙන් මෙන්ම තාක්ෂණය අතින්ද සහය දීම සඳහා නොමසුරුව ඉදිරිපත් විය. 2013දී රේඩියෝ ෆ්‍රෙෂ් එෆ්. එම් නමැති ගුවන් විදුලි නාලිකාව ඔහු ආරම්භ කළේ එම ආධාර උපකාරවල පිහිටෙනි. නව තාක්ෂණය, අධ්‍යාපනය හරහා ස්ත්‍රීන් බලාත්මක කළ යුතුය, ප්‍රජාතන්ත්‍රවාදය සිරියානු භූමිය තුළ ගොඩනැගිය යුතුය යන කරුණු ඔහු සිය නාලිකාව මගින් සංවාදයට බඳුන් කළේය. සිවිල් යුද්ධයට සම්බන්ධ වී සිටි අන්තවාදී අල් කයිඩාවට හා අයි එස් ත්‍රස්තයින් හට රායිඞ්ගේ නිදහස් අදහස් ‘නයාට අඳුකොළ’මෙන් දිස්වන්නට වූයේ මෙම වකවානුවේදීය. ආණ්ඩුවෙන් මෙන්ම ත්‍රස්ත කල්ලි වලින්ද ඔහු වෙත මරණ තර්ජන නිකුත් වීම සාමාන්‍ය සිද්ධියක් බවට පක් විය. අන්තවාදී ත්‍රස්තයින් අතින් සිවිල් වැසියන්ට සිදුවන තාඩන පීඩන, වීඩියෝගත කර ප්‍රසිද්ධ කිරීම නිසා රායිඞ් ඔවුන්ගේ දැඩි උදහසට බඳුන් විය. 2014 ජනවාරි 28 දින නාඳුනන තුවක්කුකරුවන් පිරිසක් රායිඞ්ගේ පපුවට වෙඩි ප්‍රහාර 3ක් එල්ල කළද, දීර්ඝ සැත්කමකින් පසුව ඉන් පූර්ණ සුවය ලැබීමට තරම් ඔහු වාසනාවන්ත විය. ඉන් මාස 02කට පමණ පසුව, තවත් ත්‍රස්ත පිරිසක් විසින් ඔහුව පැහැරගෙන ගොස් දස වද දුන්නේ මාධ්‍ය මෙහෙයුම වහාම නතර නොකළොත් මරා දමන වග ශපථ කරමිනි. කෆ්ර් නබිල් ගම්වාසීන් රායිඞ්ව සොයා සිවිල් මෙහෙයුම් හා විරෝධතා දැක්වීමත් සමඟ ත්‍රස්තයෝ ඔහු මුදා හැරීමට කටයුතු කළහ.

අවසන් ගමන
රේඩියෝ ෆ්‍රෙෂ් මගින් යෞවන යෞවනියන් 2500ක් පුරවැසි මාධ්‍යවේදීන් ලෙස සිරියාවේ පුවත් ආවරණය කිරීම පිණිස මැනවින් පුහුණු කරන ලදී. බටහිර සංගීතය හා සිරියානු කාන්තා හඬ, රායිඞ්ගේ නාලිකාවෙන් උත්කර්ෂයට නැංවීම අයි එස් ත්‍රස්තයින් හට ඉවසුම් නොදෙන්නක් විය. 2017 වසරේදී නෝර්වේ රටේ පැවැත්වුණු ඔස්ලෝ නිදහස් සංසදයට ආරාධිත කථිකයකු ලෙස සහභාගී වුණු රායිඞ් ෆරේස්, එහිදි සිරියානු ආණ්ඩුවේ භීෂණය මෙන්ම ත්‍රස්තවාදී කණ්ඩායම්වල සාහසික බව නිර්දය ලෙස විවේචනය කළේය. බටහිර රටවල සිවිල් ක්‍රියාධරයින් රායිඞ් හට හැම විටම කීවේ සිරියාවෙන් පිටවී යුරෝපයට පැමිණ සිය ජීවිතය ආරක්ෂා කරගන්නා ලෙසයි. එහෙත් සටන් කේන්ද්‍රයේ සිට තම මෙහෙයුම් දියත් කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බැව් හෙතෙම අවධාරණය කර සිටියේය. පිස්තෝලයක් වුව භාවිත කිරීම ඔහු ප්‍රතික්ෂේප කළේ එය අවිහිංසාවාදයට පිටුපෑමක් වග පවසමිනි. 2018 නොවැම්බර් 23 දින, සාමාජ ක්‍රියාකාරිකයකු වූ හමෝද් ජනීඞ් සමඟ සිය මෝටර් රථයේ කාර්යාලය බලා යමින් සිටියදී නාඳුනන තුවක්කුකරුවන් කණ්ඩායමක් විසින් ඔවුන්ගේ වාහනය වෙත වෙඩි වරුසාවක් මුදා හැරියේය. එතනදී හමෝද් හා රායිඞ් මරණයට පත් විය. තුවක්කු කටවල් වලින් සිදු කෙරුණු සිරියානු අරගලය, අවිහිංසාවාදී සංවාදයක් බවට පරිවර්තනය කිරීමට රායිඞ් ෆරේස් ගත් උත්සාහය, මේ වන විට ඔහු ශ්‍රේෂ්ඨයකු බවට පත් කර තිබේ. සියලු මිනිස් වටිනාකම් කෲරත්වයේ අඳුර විසින් ගිලගනිමින් තිබියදී, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් රායිඞ් දැල් වූ පහන් සිල, ලොව තුළ සදා නොනිවී පවතිනු ඇත.