ලෝකෙටම ඇඟ පෙන්නූ ලූෂන්

ඒ. වික්‍රමසූරිය

ලූෂන් ඇන්ටන් පුෂ්පරාජ්ගේ අයෝමය සිරුර ලංකාව ඉදිරියේ තවත් රන් පදක්කමක් සනිටුහන් කළේය. දහවන වරටත් තායිලන්තයේ බැංකොක් නුවර පැවති ලෝක කායවර්ධන ශූරතාවලියේ කිලෝ ග්‍රෑම් 100ට වැඩි බර පන්තිය නියෝජනය කරමින් ලූෂන් පුෂ්පරාජ් මේ දස්කම පෑවේය.

ලාංකේය ශරීරයකට ලෝකයේ යෝධ ශරීර හමුවේ ජයග්‍රහණය සෙවිය හැකි බව ලූෂන් ඔප්පු කළේ ශ්‍රී ලංකාවේ තවදුරටත් කෙසඟ සිරුරු නොව යෝධ පංචස්කන්ධයන්ද ඇති බව ලොවටම කියාපාමිනි. මේ යෝධ මිනිසා රන් පදක්කමක් රැගෙන ලංකාවට එනවිට පාවාඩ නොවීය. ඔහුව පිළිගන්නට වගකිවයුත්තකු නැත. ක්‍රීඩා ඇමැත්තෙක් ඇත්තේම නැත. හිටියද ඒවි යැයි විශ්වාසයක්ද නොපවතී. තවත් මෝටර් රථ ක්‍රීඩකයකු වන ඩිලන්ත මාලගමුව ලූෂන් පිළිගැනීම චාමෙට කර තිබුණි.

මෙරට කායවර්ධන සම්මේලනයක් ඇත. ලූෂන් එයට අදාළ නොවේ. කායවර්ධන සම්මේලනයේ අණට යටත් නැති ලූෂන්ව පිළිගැනීම සංගමය කිසිසේත්ම ඉටු නොකරයි. ජාතික සංගමය සහ ක්‍රීඩකයන් අතර බැඳීම ශක්තිමත්ව තිබිය යුතුය. එහෙත් ලූෂන් යන ගමනට සංගමය ඇතුවාද නැතිවාද කම් නැත. සංගමය සිටියා යැයි ලූෂන්ට අමුතු සැලකිල්ලක්ද නැත. ඒ නිසා ඔහු ඔහුගේ ගමන පාඩුවේ යනවා පෙනේ. කායවර්ධන සංගමයේ සභාපතිට සහ ලේකම්ට එකට වැඩ කළ නොහැකි පසුබිමක ලූෂන්ලා ගැන කවර කතාද? සභාපති පවා කම්බ හොරකු වන විට ලූෂන්ලාට කෙලෙස චෝදනා කරන්නද? ඔවුන් කරනුයේ ක්‍රීඩාව මුදලාලිලාට විකුණාගෙන ඒ අයගේ ශරීරය පෝෂණය කරගැනීමය. එවන් පසුබිමක කායවර්ධන සංගමය මත ලූෂන් යැපුණේ නම් අද ඔහු මේ සිටින මට්ටමේ නැත.

ශ්‍රී ලංකාවේ කායවර්ධන සංගමය පිළිගත්තද නැතිද ලූෂන් යනු ලොව දිනූ ක්‍රීඩකයෙකි. අද කායවර්ධන ක්‍රීඩාවෙන් ලංකාවේ සලකුණක් වේ නම් ඒ ලූෂන්ය. එය සංගමයට නොදැනුවත්වම ආභරණයකි. කුමන ප්‍රශ්න ඇතත් ඒවා තර්ක විතර්කවලින් බැහැර කර කිවයුත්තේ ලූෂන් යනු රටට ආඩම්බරයක් බවය. ලෝකයේ ඇතැම් ජාතීන් ජානමය වශයෙන්ම විශාලය. සද්ධන්ත ශරීරය. එවන් කලෙක ලූෂන් පාන දස්කම අතිවිශිෂ්ටය. මීට පෙර ලංකාවේ ශරීර ලෝක මට්ටමේ කායවර්ධන තරගාවලියකට ඉදිරිපත් වූ කල ඇට සැකිළි යැයි විහිළු නැඟුණු බව ප්‍රසිද්ධය. එහෙත් අද ලංකාවේ සිරුරක් ලෝකයටම අභියෝග කරයි. එයම වැඩක් නොවේද?

ගම්පහ දිස්ත්‍රික්කයේ ජාඇල කලඑළිය ගමේ උපන් ලූෂන් අද ගමටම කලඑළියකි. මීගමුව කළපුවෙන් සහ පොල් රුප්පාවලින් වටවූ කලඑළිය ගම ප්‍රසිද්ධ දරිද්‍රතාවෙන් පෙළෙන ගමක් ලෙසය. එවන් ගමක මෙවන් යෝධයකු හමුවීම ලූෂන්ගේ උත්සාහය, කැපවීම නිසා මිස වෙන කිසිවක් නොවේ. කුඩා කාලයේ සිටම දුක්බර ජීවිතයක් වැලඳූ ලූෂන් ලොකු ශරීරයක් ගොඩ නගන්න තරම් අහරින් පෝෂණය වූවෙක් නොවේ. එහෙත් ආර්ථික අපහසුතා නිසාම ඕමානයේ රැකියාවකට යෑමට ලූෂන්ට අවස්ථාව පෑදේ. අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නා ලූෂන් කායවර්ධන ක්‍රීඩාවට යොමුවන්නේ ඕමානයේදීය.

එහි උපරිම ඵල නොළා ගන්නා ලූෂන් සිය කැපවීම මත කායවර්ධන ක්‍රීඩකයකු වන්නේ ලෝකයටම අභියෝග කළ හැකි මට්ටමටය. 2012 සිට 2017 දක්වා විවිධ මට්ටමේ තරගවලට ඉදිරිපත්වෙමින් සිය ශරීරයේ වර්ධනීය තලය පෙන්වාලන ලූෂන් එහිදී රන්, රිදී, ලෝකඩ පදක්කම් දිනුවේය. ඔහුගේ ක්‍රීඩා දිවියේ හැරවුම ලකුණු වන්නේ 2017 දිනදීය. ඒ දකුණු කොරියාවේ පැවති ආසියානු තරගාවලිය ජයගැනීමත් සමගය.

කායවර්ධන ක්‍රීඩකයකුගේ ලොකුම හීනය වන ඇමරිකාවේ පැවැත්වෙන ‘Mr Atlas’ කායවර්ධන තරගාවලිය නියෝජනය කිරීම ලංකාව වැනි රටකට එතෙක් පැවතියේ හීනයක් ලෙසටමය. ඒ හීනය පවා සැබෑවක් කරගැනීමට ලූෂන්ට හැකිවිය. ඒ රටවල් 34ක් අතුරින් හතරවැනි තැනට පත්වෙමිනි. ලාංකේය ක්‍රීඩකයකු එම තරගාවලියට සහභාගි වූ ප්‍රථම අවස්ථාව පවා එයය. ලූෂන් යනු සැබැවින්ම ලෝක ප්‍රකට ක්‍රීඩකයෙකි. ලෝකයේ වටිනාම කායවර්ධන ශරීර දහය අතර ලූෂන්ද මුල්පෙළ සිටින්නෙකි. එහෙත් ලූෂන්ව රටට වටිනේද යන්න ගැටලුවකි. ඔහු නියෝජනය කරනුයේ ලංකාවය. ඔහුගේ පදක්කම් ලොවට කියනුයේ ලාංකේය අභිමානය ගැනය. එහෙත් ඔහුට පෙරළා මෙරටින් වටිනාකමක් දෙන්නේද යන පැනය ඉතිරිය. කුහක ක්‍රීඩා ප්‍රතිපත්තිවලින් මිදී ලූෂන් වැනි ක්‍රීඩකයන් ඇගැයිය යුතුය. ඔහු මෙවර දිනූ ලෝක කායවර්ධන ශූරතාවක් දිනීම ලේසි නැත. එවන් වික්‍රමයක් පෑ ලූෂන් වැනි ක්‍රීඩකයකුට මීට වඩා වටිනාකම් ලැබිය යුතුය.

ක්‍රීඩාව සමස්තයක් ලෙස කඩා වැටී ඇති පසුබිමක ලුෂන් වැනි ක්‍රීඩකයකු සංගමයේ හෝ රටේ අනුග්‍රහයෙන් තොරව මේ යන ගමන අගය කළ යුතුය. නිසි වටිනාකම් ලැබිය යුතුය. ලාංකේය ක්‍රීඩා ඉතිහාසයේ කායවර්ධන ක්‍රීඩාව වෙනුවෙන් අලුත් පරිච්ඡේදයක් ලූෂන් ලියා හමාරය. කවුරු අකමැති වුවත් එය ඇත්තය. සංගම් නිලධාරීන්ට වඩා වටිනුයේ ක්‍රීඩකයන්ය. සංගමය පිස්සු නටන කලෙක ලූෂන්ගේ ජයග්‍රහණවල රහසම සංගමයෙන් ඈත්වීමය. ලොව දිනන ක්‍රීඩකයකු එම සංගමයට අහිමි නම් එහි අඩුව ක්‍රීඩකයාගේ නොව සංගමයේය.

ලූෂන් කළ වික්‍රමය අපූරුය. ලෝකයටම පෙන්විය හැකි සිරුරක් අපට ඇත. එයට ජයග්‍රහණය හිමිව ඇත. එයම සතුටක්, ආඩම්බරයක් නොවේද?