ක්‍රිකට් ක්‍රීඩාවේ පාතාලය

ක්‍රිකට් නිලවරණය ගැන නැවත කතාබහ අලුත් වී ඇත. ක්‍රිකට් ක්‍රීඩාවේ ගෝඞ් ෆාදර් තිලංග සුමතිපාල මෙවර තරග නොකරන බව ප්‍රසිද්ධියේම කියා අවසන්ය. තරග නොකරන්නට හේතුද ඒ අතර විය. ප්‍රධානතම හේතුව ඔහුට ක්‍රිකට්වලට වඩා කළයුතු අත්‍යවශ්‍ය දේශපාලන වැඩ ඇති බවය. අප දන්නා තරමින් තිලංග දේශපාලනය කරන්නේද ක්‍රිකට් සභාපතිකම නිසාය. ඒ ඇරුණු කොට කිසිදු හරයාත්මක දේශපාලන දැක්මක් ඔහුට නොතිබුණි. ඊට අමතරව යටි කූට්ටු සිල්ලර දේශපාලන භාවිතයක් නම් ඔහුට ඇත. ඒ පක්ෂ විනාශ කිරීමය. මෙරට ඩීල් දේශපාලනයේ පුරෝගාමියෙක් වන තිලංග ඒ හැම කළේ ක්‍රිකට් පුටුවට ඇති කෑදරකම නිසාමය. පක්ෂ මාරු කළේද ක්‍රිකට් පුටුව නිසාමය. තිලංගට ක්‍රිකට් ඇරුණු කොට වෙන වැඩක් නොවීය. ඔහු හැම මගඩියක්ම කළේ ක්‍රිකට් නිසාය. එහෙව් තිලංග අද කියනුයේ ක්‍රිකට්වලට වඩා ඔහුට කළයුතු දේශපාලන වැඩ ඇති බවය. අප සිනාසිය යුත්තේ කොතැනින්ද? පසුගියදා මහින්ද රාජපක්ෂ කුපිත කළ දේශපාලන නාඩගමේ ප්‍රධාන පිටපත් තිලංග සහ එස්බී සතු යැයි මේ අයම නාඩගම පටන් ගත් අලුත අත උස්සා පිළිගත්තෝය. එහෙත් අද එය විගඩමකින් කෙළවර වී ජනපති සිරිසේන විහිළුකාරයකු වී මහින්ද රාජපක්ෂ නන්නත්තාරද වී අවසන්වීමත් සමග තිලංගට ආයේ ක්‍රිකට් පුටුවකට එන්නට මේ ආණ්ඩුව යටතේ හැකිද? එය මනාව දන්නා තිලංග ඒ වෙනුවට තම එහෙයියකු වන මොහාන් ද සිල්වා තරගයට දමා ඇත. මොහාන් සභාපති වුවද එහි බලධාරියා තිලංගමය. එහි වෙනසක් නැත.

මෙරට ප්‍රධාන පක්ෂ දේශපාලනය මෙන්ම ක්‍රිකට්වලටද හැමදා තරග කරනුයේ එකම මුහුණුය. ඒ අතර තවත් විනාශකාරයකු වන්නේ ජයන්ත ධර්මදාසය. ක්‍රිකට් තරග කාටුන් බලන පොඩි එකකු සේ සතුටින් නැරඹීම එකම සුදුසුකම කරගෙන ඇති ජයන්ත ධර්මදාස තම මුදල් බලයෙන් ක්‍රිකට්වල වැජඹෙන්නට දක්වන බල ලෝභයට සමාන වන්නේ මහින්ද රාජපක්ෂ බලයට දක්වන කෑදරකමමය. මෙලෝ වැඩක් කළ නොහැකි අංක එකේ නිකමකු වන ජයන්ත ධර්මදාස මෙවර තරග කරනුයේ නිශාන්ත රණතුංග සමග එකතුවය. නිශාන්ත රණතුංගද ක්‍රිකට් විනාශ කරන කුරුමිණියෙකි. රණතුංග පරම්පරාව විශ්වාස කරනුයේ මෙරට ක්‍රිකට් අයිති ඔවුන්ට බවය. අර්ජුන ඉපදී ඇත්තේද ඒ වෙනුවෙන්මය. අර්ජුන ක්‍රිකට් ක්‍රීඩාවේ අන්ත දූෂණ ගැන කතා කරන්නෙක් වුවත්, නිශාන්ත රණතුංග කළ විනාශය කවදාවත් නොදුටුවෙකි. රණතුංගලා කුමක් කළද ඔහු ඒ වැරදි නොදකිති. ඒ රණතුංගලාගේ හැටිය. රණතුංගලාත් ක්‍රිකට්වලදී ගැළපෙනුයේ රාජපක්ෂලාටමය. ඒ තණ්හාව එක සමානය. අද ජයන්ත පාර්ශ්වයෙන් අර්ජුනද උප සභාපති කෙනකු ලෙස තරග වදී. සහෝදරයා ලේකම්ය. මේ පවුලේ ක්‍රීඩාවය. ජයන්ත දින්නද මෙහි බලය අල්ලනුයේ අර්ජුනය. ඊට ටික කලකට පසු ජයන්ත තරහා වී ගියා වැනි කතාද අපට අසන්නට හැකිය. ජයන්තට ඕනෑ සභාපති ලෙස දොන් ජුවාන් කෙනකු වන්නටය. කලක් ඔහු තිලංග සමග තරගය. ඒත් තවත් වරෙක තිලංග සමග එක්ව තරග කරන්නේය. ගියවර වූයේ එයය. එවිට ජයන්තලා, තිලංගලා එකය. ජයන්ත ගෙනා අනෙක් බහිරවයා කේ. මතිවානන්ය. ඔහුද ජයන්ත පන්නයේම රූකඩයකි. හැරෙන හැරෙන පැත්තටය. ඔහු පසුගිය කාලයේ තිලංගගේ හොඳම ගජයාය. දැන් නැවත තිලංග අතහැර ජයන්තට එකතු වී මෙවර තරග කරන්නට නියමිතය. මතිවානන්ලාත් හරියට වසන්ත සේනානායක පන්නයේ බඩුය.

මෙවර නිලවරණයටත් තරග කරනුයේ එකම පිරිසය. ඒ ජයන්ත ධර්මදාස, කේ. මතිවානන්, නිශාන්ත රණතුංග, අර්ජුන රණතුංග එක පිලකින්ය. අනෙක් අන්තයෙන් මොහාන් ද සිල්වා, ෂම්මි සිල්වා, රංජන් වික්‍රමරත්න වැනි තිලංගවාදීන්ය. මේ පිළුණු චරිත හැමදාම ක්‍රිකට් පුටුවලට එමින් ක්‍රිකට් විනාශ කරමින් සිටිති. ක්‍රිකට් විනාශයි කියමින් හැමදාම තරග කරන්නේද මේ විනාශකාරයන්මය. මේ සැමට ක්‍රිකට් පුටුව යනු ඉල්ලමකි. සැවොම එන්නේ තම ධනය, බලය රැකගන්නටය. මේ අයගෙන් තොරව ක්‍රිකට් පාලනයක් එන්නේ නම් එය යහපතක් වුවත් මේ අය ඉන්න තාක් එය කළ නොහැකිය. වැඩ අතින් බලන කල ක්‍රිකට් අරබයා නම් තිලංගත්, අර්ජුනත්, ජයන්තත් යන තුනම එකය. මේ අය කාලෙන් කාලෙට දෙපාර්ශ්වයකට බෙදුණද අවසානයේ එකම පන්නයේය. මේ හොර තක්කඩි ටික ඉන්නා තාක් මෙරට ක්‍රිකට් පරිපාලනය මෙයින් එහා වර්ධනයක් නම් නැතිය. තිලංග ක්‍රිකට් පරිපාලනයේ ගෝඞ් ෆාදර් වනවා සේ ම අනෙක් සියල්ලෝද පාතාලයෝම බව කිව යුතුය. මේ ක්‍රිකට් ක්‍රීඩාවේ මෙරට පාතාලයය.