බැට් කරන තුරු බලා සිටිමු

රජිඳු කාශ්‍යප

තරග පාවාදුන් චෝදනාවන් නගමින් වරින් වර අපව කොනිත්තන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙවර අකිල ධනංජය පන්දුව දමා ගසන්නේ ය යන චෝදනාව කරමින් අපිට පන්දුවෙන් දමා ගසයි. ඇත්තට ම මේ චෝදනාව බරපතළ ය. චෝදනාවේ බරපතළකම දැනෙන්නේ කඩා වැටෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට මුක්කුවක් හෝ ගසන්නට සිටින මෙවැනි ක්‍රීඩකයන් ද කණ්ඩායමෙන් ඉවත් කිරීමට සිදුවීම නිසාය.

දැන් දැන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඕනෑවටත් වඩා අපේ ක්‍රිකට්වලට ඇඟිලි ගසන බවකි අපට නම් හැඟෙන්නේ. ඔවුන් විසින් සිදු කළා යැයි පැවැසෙන අපේ රට ක්‍රීඩකයන් තරග පාවාදුන්නේ යැයි කියන විමර්ශන අවසන් ය. වාර්තාවන් ද බාරදී ඇති බවකි පැවැසෙන්නේ. ඒවා එකවර ප්‍රකාශ කෙරෙන්නේ ද නැත. ඔවුන් සිදුකරනුයේ වරින් වර එකින් එක එළියට දමමින් මේ මාතෘකාවන් නිතර කතා බව කෙරෙන තත්ත්වයට පත් කිරීම ය. ඒ මගින් අපේ ක්‍රිකට් ටික ටික විනාශ කිරීම ය.

අඩු ම තරමින් මෙතැන දී හෝ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලකයන්ට තමන් නිර්දෝෂී විය යුතු බවක් හැඟෙන්නේ නැත. ඔවුන් ද ජාත්‍යන්තරයන් ම බෝල දමා බැට් කරන තුරු බලා සිටිති. අපේ අය සිදු කරන්නේ පන්දුව පසු පස දිවීම පමණි. නැත්නම් වෙනකක් වෙනතුරු බලා සිටීම ම පමණකි. එපමණක් ම ප්‍රමාණවත් ද?

විමර්ශනයන් අවසන් කළා යැයි පැවැසෙන මේ තරග පාවාදීමේ චෝදනාලාභීන්ගේ හරි විස්තරයක් ක්‍රිකට් පාලකයන්ට ලබාගත නොහැකි ද? අඩු ම තරමින් එංගලන්තය, කීවා සේ අපේ ක්‍රීඩකයන් වැරදි නැත. හැකිනම් ඔප්පු කර පෙන්වන්න යැයි අභියෝග කරන්නේ ද නැත. කන්කෙඳිරි ගසා හෝ ඉල්ලන්නේ ද නැත. ඔවුන් ම ලකුණු ලබා ගන්නා තුරු අපේ අය කල්මරති. ඒ අපේ අය අපේ ම අය කෙරෙහි ඇති විශ්වාසය හෝ අවිශ්වාසය විය නොහැකි ද?

එහෙත් මෙහි අවසානයක් පැවතිය යුතු ය. හැමදාමත් මේ මාතෘකාවන්වලින් අපේ අය පෙළන පීඩනයන්ගෙන් මුදවා ගැනීමේ හෝ උත්සාහයක් තිබිය යුතු නොවේ ද? සනත් ජයසූරිය, නුවන් සොයිසා සහ දිල්හාර ලොකුහෙට්ටිගේ දැන් චූදිතයන් වී අවසන් ය. ඔවුන් ද තම නිදොස් බැව් දක්වමින් ප්‍රති උත්තර යවා ඇති බැව් පමණක් ආරංචි ය. එහෙත් ඊට පසු ව සිදු වූ දේ දන්නේ කවුද? අපේ අය ද ඒ චෝදනාවන් ම ගැන කතා කරමින් ඔවුන් ව වැරදිකරුවන් ම යැයි පුනරුච්ඡාරණය කරති. එහෙත් එහි අවසානයක් නැති බැව් කිසිවෙක් සිතන්නේ නැත.

අකිල ධනංජයගේ සිද්ධියද එවැන්නකම දිගුවකි. චෝදනා නැගෙන්නේ නිමා වූ එංගලන්ත ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේ දී ය. වහා ක්‍රියාත්මක වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් පාලකයෝ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් නියම කෙරුණු පරීක්ෂණය කරවති. උත්තරය වී ඇත්තේ අකිල පන්දුව දමා ගසන්නේ ය යන චෝදනාව නිවැරදි බවයි. ඔහුට පන්දු යැවීමට බැරි වෙන්නේ ජාත්‍යන්තරයේ ය. දේශීය තරගවල දී ඔහුට පන්දු යැවිය හැකි ය. එබැවින් ඔවුන් ඒත්තු ගන්වන්නට හදන්නේ දේශීය තරග පිටියේ දී පන්දුව දමා ගැසුවාට කමක් නැත. හැබැයි අපේ අයට නම් බැරිය යන කියමන ද?

ආරංචිය නම් අකිලට දෙන ලද තීන්දුවට එරෙහි ව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අපේක්ෂාව වී ඇත්තේ ඊට ප්‍රති උත්තර බැඳීමට යන සූදානමක් ගැන ය. එහෙත් එය පමණක් ප්‍රමාණවත් ද? එතැනින් එහාට සිදුවෙන්නේ හෝ සිදු විය හැක්කේ කුමක් ද?

ක්‍රිකට් පාලකයන් එදා ද කළේ ද එය ම ය. අදත් කරනුයේ ද එය ම ය. ඊට එහා විකල්පයක් සොයන අයුරක් පෙනෙන තෙක් මානයක නැත. අඩු ම තරමින් අකිල ගේ එවන් ‘අප්සට්’ තත්ත්වයක් තිබුණා යැයි පැවැසුණ තැනක් හෝ නැත.

මෑතකාලීනව අකිල යනු අනාගත ශ්‍රී ලංකා කණ්ඩායමේ වැදගත් පුරුකකි. ඔහු යමක් කළ හැකි ක්‍රීඩකයෙක් ලෙසින් තමන් සහභාගි වූ ඒ ඉතා ම අල්ප තරගවල දී ඒත්තු ගැන්වූ ක්‍රීඩකයෙකි. රංගන හේරත් සමුගන්නා විට ඩිල්රුවන් පෙරේරා ඊට ආසන්නයෙන් සිටින විට අප දුටුවේ අකිල වැනි ක්‍රීඩකයෝ ය. එහෙත් දැන් මේ යදම් දමා සිර කර දමන්නට හදන්නේ අපට වැදගත් එවැනි චරිතයකි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පන්දුව දමා ගසන්නට එරෙහි ඇත්තෝ මේ මාන බලන්නේ එළැඹෙන ලෝක කුසලාන තරගාවලියේ දී ක්‍රීඩකයන් අණ්ඩු මට්ටු කර තැබීම ය. ඊට අපේ රටින් බිලි ගැනීමට තෝරා ගෙන සිටින්නේ අකිල ය. අද අකිලට සිදුවෙන දේ හෙට දවසේ දී දැනට යොවුන් ක්‍රීඩකයෙක් ලෙසින් දක්ෂතා දක්වන කමිඳු මෙන්ඩිස්ට ද මුහුණදීමට සිදුවෙනු ඇත. ජාත්‍යන්තරයේ කටයුතු සිදුවෙන ආකාරය අනුව අපිට එවැන්නක් සිතේ.

එසේ නම් අප කළයුත්තේ මේ නිතිපතා මතුවෙන මෙවැනි චෝදනාවලට සන්නද්ධව මුහුණදීමට හැකි වාතාවරණයක් සකසා ගැනීම නොවේ ද? එහෙත් අපිට එවැනි පෙර සූදානමක් නැත. අප හැමදාම කළේ ක්‍රීඩකයන් පිට ම වරද තැබීම පමණි. ඊට පසු නිහඬවීමය.

අපි මදකට, මේ වරදවල් සිදුවේම යැයි සිතමු. අඩු ම තරමින් ඒවා අවම කර ගැනීමට හෝ අප කවදා හෝ කටයුතු කර තිබේ ද? එවන් පුහුණුවක් අපේ පුහුණුකරුවන්ට දී තිබේ ද? දැන් වහාම කළ යුතුව ඇත්තේ ඒ සම්බන්ධයෙන් අපේ පුහුණුකරුවෝ පුනරුත්ථාපනය කිරීම ය.

අකිල පන්දුව දමා ගසන්නේ නම් එහි වරද දඟ පන්දු පුහුණු කරවන්නා දැන සිටිය යුතු ය. කුසල් මෙන්ඩිස්ගේ වරදක් වේ නම් එය මාධ්‍ය ඉදිරියේ පවසනවාට වඩා පුහුණුකරුවාගේ කාර්යභාරය විය යුත්තේ ඔහු ව එම වරදෙන් මුදවා ගැනීම ය. පංගුපේරුවකින් තොරව විය යුත්තේ එය නොවේ ද?

අකිල පන්දුව දමා ගසන්නේ ම යැයි සිතමු. අඩු ම තරමින් ඔහු විසින් යවනු ලබන අහවල් පන්දුව හෝ ඔබ දමා ගසන්නේ ය. එය නොදා සිටීම ඔබේ යුතුකම යැයි පැවැසීමට හෝ පුහුණුකරුවා දැන සිටිය යුතු නොවේ ද? තරගයක් අතර වාරයේ හෝ පුහුණු සැසිවල දී පමණක් ඔවුන් පන්දු යවනතෙක් බලා සිටින පුහුණුකරුවෝ රටකට වැඩක් නැත. ඇත්තට ම දැන් කළයුත්තේ මේ පුහුණුකරුවෝ ඉතා ම ඉක්මනින් පුනරුත්ථාපනය කිරීම ය. එය තවත් ප්‍රමාද වන්නේ නම් ඉතා ම ඉක්මනින් විනාශ වෙන්නේ අප බැන බැන හෝ නරඹන ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ය.