එජාප යෝජනාවකින් මහ මැතිවරණයක්

ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ

ආණ්ඩුව තුළ මෙන්ම එජාපය තුළ මතුව ඇති බරපතළ අර්බුදයත්, ජනාධිපතිවරයා සමග එළිපිටම පවතින නොනවතින ගැටුමත් නිසා ශක්තිමත් ආණ්ඩුවක් පවත්වාගෙන යානොහැකිවීම හේතුවෙන් මහ මැතිවරණයක් පැවැත්වීම කෙරෙහි එජාපයේ විශේෂ අවධානය යොමුව ඇතැයි රාවයට වාර්තා වේ.

එජාපයේ මූලිකත්වයෙන් ගොඩනගන ‘ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය’ නමැති පුළුල් පෙරමුණ, දේශපාලන පක්ෂයක් ලෙස කඩිනමින් ලියාපදිංචි කිරීමට එජාපය තීරණය කර ඇත්තේද මේ හේතුවෙන් බව අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරයි.

එජාප නායකත්වය පිළිබඳව සහ එජාපෙ ආණ්ඩුවට එක් කර ගන්නා කණ්ඩායම් පිළිබඳවද එම පක්ෂය තුළ බරපතළ සංවාදයක් පවතින අතර, ජනාධිපතිවරයා විසින් සිය බලතල යොදා ගනිමින් ආණ්ඩුවේ බොහෝ තීරණ වෙනස් කරමින් සිටී. එවන් තත්ත්වයක් තුළ තවත් කාලයක් මේ ආණ්ඩුව පවත්වාගෙන ගියහොත්, ඊළඟ මහ මැතිවරණයේදී මීට වඩා බරපතළ අවාසියක් සිදුවිය හැකි බවද එජාපයේ ඇතැම් ජ්‍යෙෂ්ඨයන්ගේ අදහස වී තිබේ. එජාප ජ්‍යෙෂ්ඨයකු ප්‍රකාශ කළේ මෛත්‍රීපාල ජනාධිපතිවරයා හෝ රාජපක්ෂ විපක්ෂ නායකවරයාද දේශපාලන වශයෙන් ශක්තිමත් නොමැති තත්ත්වයද මේ සඳහා සලකා බලමින් සිටින බවය. විශේෂයෙන් ජනපති සමග සිටින ශ්‍රීලනිප පිරිස වෙනම කණ්ඩායමක් ලෙස එජාප ප්‍රමුඛ පුළුල් සන්ධානයට එක්වීමටද නියමිත බව දැනගන්නට තිබේ.

මහ මැතිවරණයක් සඳහා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ ඡන්දයක් අවශ්‍ය වන අතර එජාපෙ ඊට එකඟවන්නේ නම් විපක්ෂයද ඡන්දයක් ඉල්ලා සිටින නිසා, අවශ්‍ය ඡන්ද ප්‍රමාණය ලබා ගැනීමට හැකියාවක් ඇතැයි ආණ්ඩුවට එක්වූ ශ්‍රීලනිප මන්ත්‍රීවරයකු පැවසීය. ■