ෆොන්සේකාට, ශ්‍රීලනිප පිලට ඇමති තනතුරු මඟ එයි

කෝසල කුරුවිට බණ්ඩාර/ නිමල් අබේසිංහ

ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකාට සහ ශ්‍රීලනිපයෙන් ආණ්ඩුවට එක් වූ කණ්ඩායමේ ඇතැමුන්ට තවත් මාසයක පමණ කාලයක් ඇතුළත කැබිනට් අමාත්‍ය ධුර ලබා දීමට නියමිත බව රාවයට දැනගන්නට තිබේ.

බ්‍රහස්පතින්දා (20) පෙරවරුවේ දිවුරුම් දුන් අමාත්‍ය මණ්ඩලයේ මෙම පිරිස සිටියේ නැත. සරත් ෆොන්සේකාට සහ ශ්‍රීලනිපයෙන් ආණ්ඩුවට එක් වූ පිරිසට අමාත්‍ය ධුර ලබා නොදෙන බව ජනපති මීට පෙර ප්‍රකාර කර තිබූ බවට වාර්තා පළ විය.

මේ වන විට ජනාධිපතිවරයාද සමඟ කැබිනට් අමාත්‍යවරු 30 දෙනෙක් සිටිති. අමාත්‍යවරයකු රාවයට පැවසුවේ ඉදිරියේදී සරත් ෆොන්සේකා මහතාට අමාත්‍ය ධුරයක් හිමි වීමට නියමිත බවත්, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශ විෂය ජනාධිපතිවරයා ලබාදෙනු ඇති බවත්ය.

එජාපයේ ඇතැම් මන්ත්‍රීවරුන් අමාත්‍යධුර භාර ගත්තද එම ධුර හෝ ඒවාට පවරා ඇති විෂයයන් වෙනත් අයට පැවරීමේ ඉඩකඩක් පවතින බව ගයන්ත කරුණාතිලක අමාත්‍යවරයා පැවසීය. එහෙත් අමාත්‍ය ධුර සංඛ්‍යාව 30ට වඩා වැඩි කර ගැනීමට අදාළ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානම් ද යන්න තමන් නොදන්නා බවද ඔහු පැවසීය.

මහින්ද රාජපක්ෂ අගමැති ධුරය දැරූ ආණ්ඩුවේ අමාත්‍යවරුන්ට එරෙහිව අධිකරණයේ නඩුවක් පවතින නිසා ඉන් අනතුරුව ඇමති ධුර ලැබෙනු ඇති බව ශ්‍රීලනිපයෙන්, ආණ්ඩුවට එක් වූ විජිත් විජයමුණි සොයිසා මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

අමාත්‍ය ධුර බාර නොගන්නා බව පැවසූ තිලක් මාරපන, මලික් සමරවික්‍රම යන මන්ත්‍රීවරුන් බ්‍රහස්පතින්දා දිවුරුම් දුන්නද අවශ්‍ය වුවහොත් වෙනත් අය පත් කිරීම සඳහා එම ධුරවලින් ඉවත් වීමට ද ඔවුන් සූදානමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ■