පොලිස්පති යළි කරළියට

නිමල් අබේසිංහ

නව ආණ්ඩුව බලයට පත් වීමත් සමඟ පොලිස්පති පුජිත් ජයසුන්දර ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් වන සාකච්ඡාව නැවත කරළියට පැමිණ තිබේ. එජාපයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසන්නේ මහින්ද රාජපක්ෂ අගමැති ධුරයට පත් කිරීමෙන් පසු පොලිස්පතිවරයාගේ ක්‍රියාකලාපය වෙනස් වීම සහ ඊට පෙර ඔහුට එල්ල වී තිබූ චෝදනා සම්බන්ධයෙන් ද එජාපයේ පිරිස් දැඩි ලෙස අප්‍රසාදයෙන් පසුවන බවය.

ඒ අතර මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාද පොලිස්පතිවරයාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කරමින් පසුගිය කාලයේදී විවිධ අදහස් පළ කර තිබිණි. කෙසේ වුවත් එළඹෙන වසරේ පාර්ලිමේන්තුව රැස් වූ පසුව ව්‍යවස්ථාදායක සභාව විසින් පොලිස්පතිවරයා ඉවත් කිරීම හෝ අනිවාර්ය විශ්‍රාම ගැන්වීම ගැන තීන්දුවක් ගනු ඇති බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග වලින් දැනගන්නට තිබේ.

පොලිස්පති පුජිත ජයසුන්දරගෙන් මේ ගැන විමසීමට උත්සාහ කළත් ඔහු දුරකතනයට ප්‍රතිචාර නොදැක්වීම නිසා එය ව්‍යර්ථ විය. ■