ජීවිත කළමනාකරණය නොකළ ඛේදවාචකය

දිනී ජයසේකර

“සුනාමි එන්න කලින් ඉදන් අපි මුහුද ගැන දන්න මිනිස්සු. ඒ කාලේ මුහුද කියන්නේ අපිට සුන්දර යුවතියක්. එහෙත් දැන් මුහුද කියන්නේ අපේ තාත්තා..” ක්‍රිෂාන් පූජිත කියන්නේ මුහුද ආශ්‍රිතව ජීවත් වන තවත් එක් පුද්ගලයෙකි. ඔහු මුහුදට ඇති ආදරය සහ බිය ගැන දැක්වූ අදහස හරි අපූරුයි.

සුනාමි පැමිණීමට ප්‍රථම මුහුද යුවතියක් වීමත් පසුව මුහුද තම පියා බවට පත් වීමත් යන සිදුවීම් උප්‍රාසාත්මකය. කලින් මුහුද යුවතියකට සමාන කරන්නට ඇත්තේ ආදරය සහ කුතුහලය පිරි සුන්දර දර්ශනයක් නිසා විය හැකිය. එහෙත් පියෙක් කෙරේ ඇත්තේ බිය, ආදරය සහ රැකවරණය කියන කාරනාය. ඒ අතින් මුහුද ඔවුනට දැන් පියෙකි. ඔවුන් මේ පියාගේ දරුවන්ය. මේ ඒ දරුවන්ගේ කතාවයි.

අපිට ලැබුනෙ අවිධිමත් අධාර
ක්‍රිෂාන් පූජිත
ක්‍රිෂාන් පූජිත හෝටල් ව්‍යාපාරිකයෙකි. ඔහු සඳහන් කළ ආකාරයට සුනාමි පැමිණීමට ප්‍රථම ඔහු තම නිවසේ සිට බැංකුව කරා යන්නට කාල සටහන යොදා තිබුණි. ඔහුගේ මතකයට අනුව සුනාමි දුටු ආකාරය විස්තරාත්මකව පහත පරිදි වේ.

“මම හෝටල් ව්‍යාපාරිකයෙක්. එදා පෝය දවසක්. අපිට එදා රුහුණු සංවර්ධන බැංකුවේ වැඩසටහනක් තිබුණා. උදේ 9.30ට තමා වෙලාව දීල තිබුණේ එන්න කියලා. මම 9.00ට විතර යන්න ලෑස්ති වුණා. හෝටලේ එදා නුවර මැණික්හින්නේ කට්ටියක් තමයි නැවතිලා හිටියේ. උදේම ඒ කීප දෙනෙක් මුහුදේ නාන්න ගිහින් තිබුණා. හෝටලේ ඇතුලේ හිටපු කීප දෙනා කෑම ඉල්ලලා තිබ්බේ. අපේ අම්මා එයාලට කෑම පිළියෙල කර කර තමයි හිටියේ. මම ගමන යන්න ඕන නිසා වාහනේට නැග්ගා. සාමාන්‍යයෙන් මම උදේට කොහෙහරි යන්න ලෑස්ති වෙලා වාහනේට නැග්ගම අපේ අම්මා මගේ ඉස්සරහට එනවා. හැබැයි එදා අම්මා මගේ ඉස්සරහට ආවේ නැහැ. මට ඒ එක්කම මහ සද්දයක් ඇහුණා. මම අම්මා කෝ කියලා හොයද්දි අම්මා මුහුද පැත්තට අත දික්කරලා මට අර එන රළ පෙන්නුවා. පළවෙනි රළ එච්චර වේගෙන් ආවේ නැහැ. කොහොම හරි පාර වැහෙන්න රළ ආවා. වාරකන් කාලෙට රළ එහෙම එන නිසා මම එච්චර ගනන් ගත්තේ නැහැ. එහෙත් ඒ ක්ෂණයෙන් ලොකු රළක් ආවා වගේ මතකයි. ඊටපස්සේ මම වාහනේ ඇතුලේ එහෙමම පාවෙලා ගිහින් ගහක රැඳිලා බේරුණා. එහෙත් අම්මා ගැන හරි හැටි ආරංචියක් තිබුනේ නැහැ. මල්ලිත් හිටියේ නැහැ. එහෙම ඉද්දි අම්මා ඉන්නවා කියලා ආරංචියක් ආවා. මම හිතුවේ අම්මා පණ පිටින් කියලා. ඒත් ගිහින් බලද්දි මම දැක්කේ මළකඳ. මගේ තිබ්බ හෝටලේ කාමර දෙකක් ඇරෙන්න අනික් හැම ගොඩනැගිල්ලක්ම සමතලා වුණා. උපකාරනම් ලැබුණා. හැබැයි ඒව අවිදිමත් උපකාර. රජයෙන් කියලා විදිමත් උපකාරයක් අපිට ලැබුණේ නැහැ. අපිට පෝලිම් වල ඉන්න වෙලාවක් තිබුනේ නැහැ. පෝලිම් වල ඉදලා අදටත් ගෙවල් දෙක තුන ගත්ත මිනිස්සු ඉන්නවා. හැබැයි අපිට සතපහක දෙයක් ලැබිලා නැහැ.”

වතුර පෑගුන් නැති අයටත් ගෙවල් ලැබුණා
ආර්.ඒ.මැන්ඩිස්
“අපි දැනුවත්ව ගොඩක් සුනාමියට මුහුණ නොදුන්න අය ගෙවල් ගත්තා. අපි හිතමුකෝ දෙණියායේ කට්ටියක් මෙහෙ නඩුවකට ආවා කියලා. ඊටපස්සේ එයාලා ආධාර පෝලිම් වල ඉඳලා ගෙවල් ගත්තා. හැබැයි අදටත් සුනාමියට මුහුණ දුන්න අයට ගෙවල් නැහැ. එයාලා තනියම මේ අවරුදු 14ම ගොඩ නැඟුණා.”

සුනාමි කුළුණු දිරලා ගිහින්
පී.හෙට්ටිආරච්චි
සුනාමි පැමිණ ඉකුත් 26දාට වසර 14කි. එහෙත් නැවත වරක් සුනාමි අවදානමක් දැරීමට ඔවුන් සූදානමක් නැති බව පවසා සිටියේ පී.හෙට්ටිආරච්චි මහතාය.

“සුනාමි කුළුණු කියලා උඩහා ගහලා තියෙනවා. හැබැයි දැන් ඒව මලකඩ කාල දීරාපත් වෙන්න තරම් ඇවිත්. ලුණු හුළඟට යකඩ තියන්න බැහැ ඉක්මනින් මලකඩ කනවා. මාසෙකට සැරයක්වත් ඒව අලුත්වැඩියා කරන්න එපෑ. ඒත් එහෙම වෙන්නේ නැහැ. ආපදා එකෙන් අවුරුද්දකට සැරයක් ඇවිත් රිහසල් කරල යනවා. එච්චරයි. කොහොම රිහසල් කරත් කුළුණු වැඩ කරන්න එපෑ අපිට දුවන්නවත්. ඉස්සරනම් කෙටි පාරවල් තිබ්බා. හැබැයි දැන් ඒ පාරවලුත් කැලෑ වැදිලා. කාටවත් ඒව සුද්ද කරන්න අදහසක් නැහැ. දැන් අපිට හදිස්සියකට දුවන්න වෙන්නෙත් මුහුද හරහාම තමයි.”

පව් කරපු අය ගියා
චන්ද්‍රාවතී
“සුනාමියෙන් මරණයට පත් වුණේ ගොඩක්ම පව් කරපු මිනිස්සු. ස්භාවධර්මයට සිද්ද කරන විපත් පෙරළා අපෙන් ගන්නවා. සමහරු වතුරට කවදාවත් නොබැහපු මිනිස්සු ජීවිත බේරගත්තා. තවත් සමහරු ජීවිත බේරන්න ගිහින් නැති වුණා. මොනා වුනත් එදා කට්ටියම එකමුතුවකින් ජීවිත බේරගන්න උත්සහ කළා. මමත් බේරුණේ යුරෝපීය ජාතිකයෙක් නිසා. මාව පාවෙලා යද්දි කකුල දික් කළා. මම එවලෙම කකුලේ එල්ලුණා. මොකද ගිලෙන්න යන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙනවනේ. එදා ඕනම කෙනෙක් තණකොළ ගහේ හරි එල්ලිලා බේරෙන්න බැලුවේ.”

අපි බේරුණේ මිනිස්සු දුවනවා දැකලා
එන්. සමරවික්‍රම
හිස් ලූ ලූ අත දුව යමින් සිටින මිනිසුන් දැක එය අනුගමනය කළ මිනිසුන්ද සුනාමියෙන් දිවි ගලවාගත් බව කියන්නේ සමරවික්‍රම මහත්මියයි.

“ අපේ ගෙවල් තිබුණේ මුහුද කිට්ටුවටම වෙන්න. මමයි, දුවයි, අම්මයි, අපේ නංගියි, නංගිගේ යාළුවෙකුයි තමා ගෙදර හිටියේ. නංගි මෙහේ නෙවේ ඉන්නේ. ඒත් එදා අපිව බලන්න ඇවිත් හිටියා. රළ එනකොට අපි ගෙදර. වටේ පිටේ මිනිස්සු දුවනවා දැකලා තමයි අපි දිව්වේ. නමුත් මගදි රළට අහු වුණා. මමයි, නංගියි එකට හිටියට දුවවයි අම්මවයි මට මගඇරුණා. නංගි මට කිව්වා අක්කා මට මැරෙන්න අක්කා ළඟටම එන්න වුණා කියලා. කොහොම හරි මායි නංගියි ගහක රැදුණා. ඒත් මගේ දුව නැතිව මම කෑ ගහලා ආයේ පනින්න හදද්දි කවුදෝ කෙනෙක් කිවා දුව ඉන්නවා කියලා. ඒ නිසා මම ඉවසන් හිටියා. ඇඟේ ඇඳුමක් තිබුනද කියලවත් නිච්චි නැහැ. 9.20 කියන්නේ අපි උදේ නැගිටපු පිම්මනේ. ඒ නිසා රෑ නිදි ඇඳුමෙන් තමයි හිටියේ. ඒ එක්කම මගේ දුවව මගේ ළඟට ගෙනත් දුන්නා. ඊටපස්සෙයි අම්මාව මට මතක් වුණේ. අම්මාව හොයද්දි ගොඩක් අය කීවේ අම්මා නැති වෙලා කියලා. මොකද සුදු රෙද්දකින් වහල තමයි අම්මව අරගෙන තියෙන්නේ. හැබැයි පස්සේ තමයි දැනගන්නේ අම්මා මැරිලා නැහැ අම්මා ජීවත් වෙනවා කියලා.

මම රජයේ රැකියාවක් කරන්නේ. රජයේ රැකියා කරපු අයට රජයෙන් වෙනම වෙල් දුන්නා. අපි දැන් මේ ඉන්නේ ඒ ගෙවල් වල තමයි.”

සුනාමියෙන් පස්සේ මෙහේ පස වෙනස් වුණා
ජී.ගීගනගේ
මහා ව්‍යසනයකින් පසු පරිසරය ඉතා සුන්දර වූ බව ඇය පවසා සිටියේ මිදුලේ වූ සාරණ පැලයක් දෙස එක එල්ලේ බලාගෙනය.

“මේ අවට කිසිම දිහාවක සාරන තිබුණේ නැහැ. සුනාමි ඇවිත් ගියාට පස්සේ තමයි සාරන, සීනියස් වගේ දේවල් හැදුනේ. මේ මිදුලේ තියෙන්නේ අන්තිම සාරන පැලේ. ළඟක් වෙනකන්ම අපි සාරන උයලා කෑවා. එදායින් පස්සේ මෙහෙ පස සාරවත් වුණා. එහෙත් ආයෙමත් සුනාමියට පෙර පැවති පසට පරිවර්තනය වෙලා තියෙන්නේ. මොකද ඒ දවස්වල ආපු ආගන්තුක ශාක දැන් එකක්වත් නැහැ.

අපේ වත්තේ මරණ තුන හතරක් තිබුණා. ගෙදර බඩු සේරටම වගේ හානි වෙලා තිබුණා. සුනාමියෙන් ගොඩක් ජීවිත නැති වුනේ වතුරේ වේගයට. එහෙ බලලා මෙහෙ බලද්දි තිබුණ තැන තිබුණ දේවල් නැහැ. හැම තැනම සුන්බුන් විතරයි ඉතිරි වුණේ.”

දුව නැති වුණාම මට සිහි නැති වුණා
ජානකී
“එදා අපි රළට අහු වුණා. දුවන්න වෙලාවක් තිබුණේ නැහැ. සුනාමි නම ඇහෙද්දිත් මට මතක් වෙන්නේ මගේ දුවව. එයා නැති වෙලා 2018.12.26 වෙනිදට වසර 14ක්. රළ ආපු පිම්ම ආයෙමත් ආපස්සට ගියාට පස්සේ මට මතක් වුනේ මගේ දුවව. දුවව හොයන් මම හැමතැනකම වගේ ගියා. හැබැයි හම්බ වුණේ නැහැ. දකින දකින තැන මරණ ගොඩගහල තිබුණේ. එහෙත් මාව දුව ඉන්නවා කියලා එක්කන් ගියා. එතකොට එතන තිබුණේ දුවගේ මරණේ. මට සිහියක් තිබුණේ නැහැ. මහත්තයා තමයි කීවේ එදා මම හැමතැනම දුවලා තියෙන්නේ ශරීරයේ එක නූල් පටක්වත් නැතිව කියලා. ඇත්තටම ඒ ක්ෂණයට සිහියක් තියෙයිද. මොකක්ද මේ එකපාරටම වුණේ කියලා හිතාගන්න බැරි වෙනවා ඕනම කෙනෙක්ට.”

ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙන ලෙස යමෙක් අපට පැවසූවොත් කිසිඳු දිනෙක ඔබටත් මටත් එය ප්‍රායෝගිකව සිදු කළ නොහැකිය. එදා ඔවුන්ට ඔවුන්ගේ සියලු දායාදයන් අහිමි විය. තවත් සමහරකුට තම තමන්ගේ හිත මිත්‍රාදීන් අහිමි විය. තවත් අයට තමන්ගේ බිරිද, දරුවන් සහ සැමියන් අහිමි වී යන්නට ඇතිය.

මේ ඛේදවාචකය නිසා ලංකාවට මහත් සේ ආධාර ලැබුණි. ඒවා නිසි පරිදි කළමනාකරණය කර ගැනීමට ලංකාවට නොහැකි විය. ඉන් සුනාමියෙන් බැට කෑවෝ තවත් අසරණ වූහ. අදටත් ඔවුන්ගේ ජීවිත තුළින් පිළිඹිබු වන්නේ රටේ වගකීම් විරහිත බවේ ප්‍රතිඵල නොවේද?