වේලාසනින් නින්දට යන යාපනේ නිදිනැති ඇස

යාපනය කියූ සැණින් මතකට නැගෙන්නේ කඩා වැටුණු තල් කරටි හා යුද්ධයයි. යාපනය සමග යුද්ධයට ඇති සම්බන්ධය තවමත් දකුණේ මිනිසුන් බොහෝ දෙනකු අමතක කිරීමට සූදානම් නැත. දකුණේ බොහෝ දෙනකු තවම යාපනයට එන්නේ ඒ අතීත තුවාල කැළැල් නැරඹීමටය. කෙසේ නමුත් කඩා වැටුණු තල් කරටි දැන් ලියලා ඇත. ඒ සමගම ඒ අඳුරු මතක දැන් අමතක කිරීමට දකුණට යුතුකමක් ඇත. දකුණේ සිට යාපනට අප පැමිණියේ ඒ යුතුකම කරපින්නාගෙනය.

අඳුර පහවගොස් නැති හිමිදිරියේ තවම විවෘත කර ඇත්තේ පලතුරු වෙළෙඳ සැල් පමණි. විවෘත කළාට ඒවායේ තවමත් ලහි ලහියේ වැඩය. අරියරත්නම් අප සමග කතාබහට වැටුණේ ඒ කඩිමුඩියේය. “කොහොමද බිස්නස් හොඳයිද?” අපෙන් ඔහුට ප්‍රශ්නයකි. “බිස්නස්නන් ටිකක් අඩුයි.” ඔහු පිළිතුරු දුන්නේ එසේය. “නත්තල් කාලෙ විශේෂයක් නැද්ද?” “එහෙම කියල විශේෂයක් නෑ. මිනිස්සු අතේ සල්ලි නෑ. පිටින් එන අය තමයි ගොඩක් බඩු ගන්ඩ එන්නෙ. වැඩියෙන්ම කට්ටිය හොයන්නෙ යාපනේ මිදි. ඉස්සරනන් දෙසිය පනහට තුන්සීයට වික්කෙ හැබැයි දැන් සීසන් කාලෙ නෙවේ හින්ද ගණන්. දැන් යාපනේ මිදි රුපියල් තුන්සිය පනහක් හාරසීයක් වගේ වෙනව.” අපි කතාබහ කරන අතරතුර පැමිණෙන සිය පාරිභෝගිකයන්ට අවශ්‍ය දෑ ලබාදීමටද ඔහු අමතක කළේ නැත. “දැන් ගොඩක් අය යාපනේට එනවා. ඒක හොඳයි. දැන් ඕනෙ කෙනෙකුට ඕනෙ තැනක යන්ඩ පුළුවන්. ඒක බිස්නස් එකටත් හොඳයි.” අරියරත්නම් කීවේ එසේය. අරියරත්නම්ගෙන් වෙන් වූ අපි ඉදිරියට ඇවිද ගියෙමු.

හිරු මුදුන්වන්නට වත්ම ජනතාවගෙන් පිරෙන යාපනය නගරයේ වැඩිමනත් දෙනා ගැවසෙන්නේ යාපනය මධ්‍යම වෙළෙඳපොළෙහිය. යාපනය නගරයේ ඇතිවූ ගින්නකින් විනාශ වූ කඩ සාප්පු හිමියන්ට මේ වෙළෙඳපොළ ඉදිකර දී ඇති අතර ඊට ඔවුන් දිනකට රුපියල් එකසිය පනහක් ගාස්තු ලෙස නගර සභාවට ගෙවිය යුතුය.

මේ වෙළෙඳපොළේ කොණක පාවහන් විකුණන සක්කුනරාසා අපට හමුවූයේ එහි සැරිසරණ අතරතුරය. සක්කුනරාසා අසූතුනේ කලබල කාලයට පෙර සිට ඇත්තේ බණ්ඩාරවෙලය. අසූ තුනේ කලබලවලින් පසු ඔහු යාපනයට පැමිණ ඇත. “මට ගොඩක් සිංහල යාළුවො ඉන්නව. ඒ කට්ටිය මට කතා කරනව. මෙහෙට එනව. මම ඒ අයව බලන්ඩ යනව. යුද්ධ කාලෙ කොහොමද සිංහල අයව අඳුරන්නෙ කියල මාව මාස තුනක් කාමරේක දාල තියා ගත්ත.” ඔහු කියාගෙන යයි. ඒ අතර ඔහු වෙළෙඳාමෙහිද නිරත වේ.

“මම කීව සිංහල අම්ම තමයි මාව බලා ගත්තෙ. ඒ අම්ම නැත්තන් මට ජීවිතයකුත් නෑ කියල. ඒ අම්මගෙ දුවෙක් හිටිය. ඒ නංගි තමයි මට සිංහලෙන් ලියන්ඩත් කියල දුන්නෙ. පස්සෙ එයාව කොල්ලුපිටිය පොලීසියෙ එස්.අයි. විජේසිංහ කියල කෙනෙක් බැන්දා.”

“බණ්ඩාරවෙලට ගියෙ කොහොමද?” අපෙන් ඔහුට ප්‍රශ්නයක්. “මම කඬේක වැඩ කරන්ඩ ගියෙ. අපේ ගමේ කට්ටිය තමයි පන්නක්කුරාජා කියල ලංකාව හැමතැනම බිස්නස් කරන්නෙ. ඒ කාලෙ යාපනේ ඉඳලා බණ්ඩාරවෙලට ගියෙ කෝච්චියෙ.” “දැන් බණ්ඩාරවෙල යන්නෙ නැද්ද?” අපෙන් ඔහුට නැවතත් බාධාවක්. “මොකද යන්නෙ නැත්තෙ. අම්මව බලන්ඩ යනව.

“අයිය ඉන්නව ජර්මන්. එයා කතා කරන්නෙ නෑ. තව අයියෙක් ඉන්නව ලන්ඩන්. එයා කතා කරන්නෙත් නෑ. මාත් ඉතින් කතා කරන්ඩ යන්නෙ නෑ. මොකටද?”
“සිංහල මිනිස්සු ගැන මොකද හිතන්නෙ?” අප අවසානයේ ඔහුගෙන් විමසුවෙමු. “ඕගොල්ලන්ගෙ කට්ටියගෙ වියදම් වැඩියි. යාපනේ කට්ටිය පන්සීයක් හම්බකරොත් හාරසීයක් ඉතුරු කරනව හැබැයි ඕගොල්ලන්ගෙ කට්ටිය පන්සීයම එක දවසෙන් ඉවර කරනවා. ඊයෙ කොළඹ ඉඳල කට්ටියක් බස් එකක ආව. ඒ කට්ටිය රෑ නතර වුණේ මගෙ ගෙට එහා පැත්තෙ. ඒ අය නිදාගන්ඩ විතරක් රුපියල් හතළිස් අටදාහක් වියදම් කළා. පර්ස් එකෙන් අරගෙන සල්ලි ගණන් කරලම දුන්න හතළිස් අටදාහක්. උදේට කෑවෙත් නෑ, පාන්දර තුනට විතර ගියා. බොරු වියදමක් නෙ. ඕනෙ නම් මෙතන පාක් කරල නිදාගන්ඩ පුළුවන්. වතුර තියනවා, ටොයිලට් තියනවා, නැත්තන් පන්සලක නිදාගන්ඩ පුළුවන්. පන්සලේ හාමුදුරුවො ඉන්න හින්ද නිදාගන්ඩ බෑලු, ගෑනු අය ඉන්න හින්ද මෙතන නිදාගන්ඩ බෑලු. පිස්සුනෙ. අපේ අයනම් ඔය වගේ වියදම් කරන්නෙ නෑ. අපේ මිනිස්සු සපත්තු දෙකක් දාන්නෙ නෑ. එකසිය පනහෙ බාට විතරයි. සල්ලි ඉතුරු කරන්ඩ ඕනෙ. සල්ලි නැති වුණොත් කවුරුත් නෑ. හැබැයි යාපනේ මිනිස්සුන්ට සල්ලි තියනවා. යාපනේ ඕනෙ පවුලක එක්කෙනෙක් හරි රට ඉන්නවා. ඒ අය සල්ලි එවනවා. ඒ හින්ද යාපනේ මිනිස්සු අතේ සල්ලි තියනවා.” දකුණේ සිංහලයන් ගැන ඔහුගේ කියැවීම එබඳුය.

තිරුනෙල්වේලි පොදු වෙළෙඳපොළ යාපනයේ තවත් එක් කාර්යය බහුල වෙළෙඳපොළකි. එහි පහල මහලේ තොග වෙළෙඳාම සිදු වන අතර ඉහළ මහලේ එළවළු වෙළෙඳාම සිදුවෙයි. දෙසැම්බරයේ යාපනයේ ලූනු සහ අල මිලදී ගැනීමට නැත. නැවත යාපනයේ අල, ලූනු අස්වැන්න ලැබෙන්නේ ජනවාරියෙන් පසුය. යාපනයේ මිනිසුන් කියනා ආකාරයට ලූනු වගා කිරීමට පොළොවට පින්න වැටෙන තෙක් සිටිය යුතුය. එසේ පින්න වැටෙන්නේ ජනවාරියේය. ලීක්ස් සහ කැරට් නුවරින් ගෙන ආවද මෙහි විකිණීමට ඇති අනෙක් එළවළු යාපනයේ වැවෙන එළවළුය.
ඉයන් අපට මුණ ගැසෙන්නේ මේ තිරුනල්වේලි එළවළු වෙළෙඳපොළේ ගැවසෙන අතරතුරය. ඔහු වෙළෙඳ පොලේ එළවළු වෙළෙන්දකු ලෙස සිය රැකියාවේ නිරත වේ. අපි ඔහු සමග කතාබහකට මුල පිරුවෙමු. ලබන අවුරුද්ද වෙද්දි පොඞ්ඩක් බිස්නස් එක කරන්ඩ අමාරුයි. මොකද දුම්කොළ හදන්ඩ ගොයියන්ට පහසුවක් නෑ. දැන් ඒකට දඩයක් දාල තියනවා. දැන් දුන්කොළ වගා කරේම නෑ. ඒ වගා නොකරපු හින්ද ගොයියො දැන් එළවළු හදන්ඩ කම්මැලියි. මොකද එළවළු හදල, හදන්ඩ යන ගාණවත් හොයා ගන්ඩ බෑ. ඒ හින්ද ගොයියො එළවළු හදන්ඩ කම්මැලි වෙලා තියනව.” දේශපාලකයන් ගන්නා තීරණ හේතුවෙන් මිනිසුන්ට පීඩාවට පත්වීමට උතුර දකුණ කියා වෙනසක් නොමැති බව ඉන් පසක් වෙයි.

“මම උපන්නෙ අනුරාධපුරේ. අසූතුනේ කලබල නිසයි එහෙ ඉඳල මෙහාට ආවෙ. මෙහෙ ඇවිල්ල කසාද බැඳල මේ වෙනකන් යාපනේ ඉන්නව. මට අනුරාධපුරේ ඉඩකඩම්තිබුණා, ඒවා දාල ආව.”

අපි ආශ්‍රය කරපු මිනිස්සු තමයි අපිට ගැහුවෙ. අපේ ගෙවල් ගිනි තිබ්බෙ. ඒ හින්ද මට ආයෙ අනුරාධපුරේ යන්ඩ හිතෙන්නෙ නෑ. මම දන්නව ඔක්කොම එහෙම නෑ කියල. හැබැයි සමහර අය තවමත් ඉන්නව.” ඔහු කියන්නේ බිඳුණු හඬකිනි.

දකුණේ මෙන් යාපනයේ එළවළු මිලදී ගන්නේ රුපියල් දෙකේ පොලිතින් කවරවලට නොව රුපියල් දහයේ විශාල පොලිතින් කවර වලටය. යාපයේ ජීවත් වන බොහෝ දෙනා හින්දූන්ය. ඒ නිසා ඔවුන් බොහෝ දෙනෙකු අනුභව කරන්නේ එළවළුය. එබැවින් ඔවුන් පුරවා ගන්නා එළවළු මලු විශාලය. තිරුනවේලී වෙළෙඳපොළේ බිම් මාලයේ සිල්ලර කඩ කිහිපයක් වෙයි.

පද්මනාදන් අපට හමුවූයේ එහිදීය. පද්මනාදන් කියන විදිහට දැන් බිස්නස් සරුය. දෙසැම්බරය උත්සව සමය නිසා මිනිසුන් මෙහි වැඩි වශයෙන් පැමිණේ. “මම අසූ හතර වෙනකන් කොළඹ හිටියා. එහෙන් මෙහෙට එනකොට මට අවුරුදු විස්සයි.” පද්මනාදන්ගේ අල්ලපු කඩය ,,,, ගේය. ඇය ද අප සමග කතාබහකට එකතු වුණා. “දැන් හැම තැනක කඩ තියන හින්ද බිස්නස් ටිකක් අඩුයි. මම මෙතන අවුරුදු තිහක් බිස්නස් කරනවා. යුද්ධ කලෙ අනූ හයේදි මම චාවකච්චේරි ගියා.” ඇගේ වෙළෙඳ සැල සිල්ලර බඩු වෙළෙඳ සැලකි. “යුද්ධ කාලෙ බිස්නස් කොහොමද?” අපි ඇගෙන් විමසුවෙමු. “ඉස්සර වගේ නෙවේ දැන් හැමතැනම හොරු ඉන්නව. ඉස්සර අපි රෑත් බිස්නස් කරල තනියම ගෙදරට යන්නෙ. ඒ කාලෙ හත අට වෙනකන් කඬේ ඇරගෙන ඉන්නව. හැබැයි දැන් හතර පහ වෙනකොට කඬේ වහල යනව. ඒ කාලෙ අපට මේ වගේ බඩු තිබ්බෙ නෑ, හැබැයි අපට හොඳ බිස්නස් තිබ්බ.” ඈ කියන කතාව විවිධ ස්වරූපවලින් විටින් විට බොහෝ දෙනෙකු කියන කතාවකි. ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක අතිශය වැදගත් වන ආරක්ෂාව පිළිබඳව විශ්වාසය වර්තමානයේ උතුරේ දෙමළ ජනතාවට නොමැති වීම ඔවුන් ඇතුළු රටේ සියලුම පුරවැසියන්ට සුභදායී වන්නේ නැත.

රටකට සාමය උදාවීම තුළ ඍජුවම සිදුවිය යුත්තේ එම රටේ පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරුවීමය. එසේ නම් එල්ටීටී සංවිධානය සමග දකුණේ රජය සිදු කළ යුද්ධය ජයග්‍රහණය කළා යැයි කිසිවකු පවසන්නේ නම්, ඒ තුළ වඩා ප්‍රබල ලෙස උතුරේ ජනතාවට මෙන්ම දකුණේ ජනතාවට දා ආරක්ෂාව පිළිබඳව වඩා විශ්වාසදායී සහතිකයක් ලැබිය යුතුය. එහිදී තමන් සිටියාට වඩා අනාරක්ෂිත පරිසරයක් දැන් තමන්ට උදාවී ඇතැයි සිතීමම අර්බුදයක් බවට පත්වන්නේය.

මේ අර්බුදයේ තවත් එක් පැතිකඩක් අප දුටුවේ යාපනය නගරයට රාත්‍රිය උදා වූ පසුවය. රාත්‍රියේ යාපනය නගරයේ විවෘත වෙළෙඳ සැලක් සොයනවා යන්න කළුණික සොයනවාටත් වඩා අපහසුය. රාත්‍රී හය හත වන විට බොහෝ වෙළෙඳසැල් වසා අවසන්ය. බාගවිට තැබෑරුමක් අසල වඬේ කරත්තයක් දැකිය හැකිය. නගරයේ රාත්‍රී සමාජ ශාලා නැත. තරුණ තරුණියන්ට විනෝදවීමට අවස්ථා ඇත්තේ නැත. දහවල් නගරයේ ඇති තදබදය මධ්‍යහ්නය පසුවී හෝරා කිහිපයක් ගිය තැන මුළුමුලින්ම පහව යයි. යාපනය නගරය සෑම දිනකම වේලාසණින් නින්දට යන නගරයකි. එය ව්‍යාපාරික, සාමාජිය වශයෙන් යාපනයට සුභදායක නැත.

නල්ලූර් කෝවිලේ සුවඳ ධූමයන් ද ඝන්ටා නාදය සමග මුසුවන බෙර නළා හඬ අපූරුය. ඒ හඬ සමග සවස්වරුවේ යාපනයෙන් බැස යන හිරු කියන්නේ යාපනයේ මිනිසුන්ගේ සුන්දර/අසුන්දර කතාවයි. එසේ හිරු බැස යන තැන යාපනය දෑස් දල්වාගෙන සිටින්නේ නැවුම් අලුත් ඉරක් හෙට දිනයේ යාපනයට පායනු ඇතැයි කියාය.