දෙවැනි නිදහස් අරගලය (III)

රාජ්‍ය භුක්ති විඳින පරමාධිපත්‍ය බලය රාජ්‍යයට ලැබී තිබෙන්නේ මහජනයාගෙන්ය කියන සම්භාව්‍ය ලිබරල් දේශපාලන සංකල්පය මැනවින් සූත්‍රගත කොට පළමුවෙන්ම ලෝකයට ඉදිරිපත් කළ දාර්ශනිකයා වන්නේ ජොන් ලොක් (1632-1704) ය. බර්ට්‍රම් රසල් ඔහු හඳුන්වා තිබෙන්නේ සියලුම දාර්ශනිකයන් අතුරෙන් භාග්‍යවන්තම දාර්ශනිකයා ලෙසය. ඔහු එක්සත් රාජධානියේ ඇතිවූ දේශපාලන විපර්යාස කෙරෙහිත් ඇමරිකන් හා ප්‍රංශ විප්ලවය කෙරෙහිත් වැඩියෙන්ම බලපෑ දාර්ශනිකයා ලෙස සැලකිය හැකිය.

ලොක් මෙම සංකල්පයට පෙර වැඩවසම් රාජාණ්ඩු ක්‍රමයක් පැවති කාලයේදී රජුට ලැබී තිබුණු පරම බලය සලකන ලද්දේ දෙවියන්ගෙන් කරලියට ගෙන එන්නට ලැබුණු දෙයක් ලෙසය. ලොක්ගේ අදහස් පළකිරීම් සිදුවූයේ වැඩවසම් ක්‍රමයට හා රාජාණ්ඩු ක්‍රමයට එරෙහිව යුරෝපීය රටවල ජනයා කැරලි ගසන හා නූතන රාජ්‍යයන් පහළවෙමින් තිබූ කාල වකවානුවේදීය.

රාජ්‍ය භුක්ති විඳින පරමාධිපත්‍ය බලයේ නියම හිමිකරුවා මහජනයා වන නිසාම රාජ්‍ය බලය හැමවිටම මහජන කැමැත්තට යටත් බව ලොක්ගේ මතය විය. ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථකථනය කර තිබෙන්නේද පාලකයන් හා සමාජය අතර ඇතිකර ගන්නා ගිවිසුමක් වශයෙනි. රාජ්‍යයේ සුජාතභාවය (Legitimacy) වශයෙන් සැලකෙන පාලකයන්ට මහජනයා පාලනය කිරීමේ අයිතිය හා මහජනයා රාජ්‍ය බලයට අවනතවීම යන අන්තර් සම්බන්ධය පවත්වාගෙන යාමට රාජ්‍යයට පුළුවන්කම ලැබෙන්නේ මේ දෙපක්ෂය අතර ඇති කරගෙන තිබෙන ගිවිසුම හෙවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව පාලක පක්ෂය ක්‍රියා කරයි නම් පමණය.

රාජ්‍ය පිළිබඳව ලොක්ගේ මෙම ලිබරල් න්‍යායවාදය පසුකලෙක චාල්ස් ලුවිස් මොන්ටෙස්කි්‍යු (1689-1755) හා ජෝන් ස්ටුවට් මිල් (1806-1873) විසින්ද සංවර්ධවය කරන ලද අතර ඔවුන්ගේ මහජන පරමාධිපත්‍ය බලය හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමාජ ගිවිසුමක්ය කියන මූලධර්ම දෙක ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන විද්‍යාවේ වන වැදගත් මූලධර්ම දෙකක් ලෙස සැලකිය හැකිය.

ව්‍යවස්ථා සම්පාදනය (18 වැනි සියවස)
ලිඛිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පදනම් කොටගත් නූතන රාජ්‍යයන් බිහිවීම ආරම්භවන්නේ වැඩවසම් ක්‍රමය බිඳ වැටී ධනේශ්වර ක්‍රමයක් ඇතිවීමත් සමගය. එහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනය ආරම්භ වන කාලයේදී පවා ව්‍යවස්ථා සම්පාදනයන් සිදුවූයේ ව්‍යවස්ථාව පාලකයන් හා මහජනයා අතර ඇති කරගන්නා ගිවිසුමක් ලෙසත්, රාජ්‍යයේ පරමාධිපත්‍යය බලය ඇත්තේ මහජනයාටය යන ප්‍රවේශය තුළය.

පළමු ලිඛිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලෙස සැලකිය හැකි ඇමරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කරන ලද්දේ බි්‍රතාන්‍ය ආධිපත්‍යයෙන් නිදහස් වූ ජනපද 13ක් 1777 නොවැම්බර් 15 වැනි දින ඇමරිකන් සංයුක්ත රාජ්‍යය ඇතිකර ගැනීමෙන් පසු ඊට අයත් ජනපද රාජ්‍යයන් අතර ඇතිවූ භේද නිරාකරණය කරගැනීම සඳහා 1787දී පිඩඩෙල්ෆියාවට කැඳවන ලද ජනපද නියෝජිතයන්ගේ සමුළුවකදීය. ඊට ජනපද 12කින් පත් කළ නියෝජිතයන් 73 දෙනකු සහභාගි වූ අතර ඒ සියලුදෙනා වරප්‍රසාදලාභී ප්‍රභූන් ලෙස සැලකිය හැකිය. ඔවුන් අතර විශේෂ දක්ෂතා ඇති මහා පුරුෂයන් ගණයෙහිලා සැලකිය හැකි ජෝර්ජ් වොෂින්ටන්, ජේම්ස් මැඩිසන්, ඇලෙක්සැන්ඩර් හැමිල්ටන්, බෙන්ජමින් ෆ්රෑන්ක්ලින්, ජේම්ස් විල්සන් යන අයද වූහ.

ව්‍යවස්ථාව සැකසීමට ගතවූ කාලය සති 16කි. එය වචන 7000කින්ද, වගන්ති 7කින්ද යුතු ලෝකයේ තිබෙන කෙටිම ව්‍යවස්ථාව ලෙස සැලකිය හැකිය.

ප්‍රංශ විප්ලවය ආරම්භයේදීද බිඳ දමමින් තිබූ වැඩවසම් රාජ්‍ය වෙනුවට දේපළ අයිතිය හා පුද්ගල නිදහස ආරක්ෂා කරන ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් ඇති කර ගැනීම සඳහා වන ව්‍යවස්ථා සම්පාදන වැඩසටහනක් ක්‍රියාත්මක විය. ප්‍රංශයේ පැවති රාජාණ්ඩුක්‍රමය තුළ වරප්‍රසාදලාභී නොවන සාමාන්‍ය ජනයා සඳහා පවත්වාගෙන ගිය තුන්වැනි මණ්ඩලය ලෙස සැලකුණු සභාවේ නියෝජිතයන් වර්සේල්ස්වල තිබුණු ටෙනිස් පිටියකට අයත් ගොඩනැගිල්ලකට රැස්වූයේ නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහාය. ලුවී රජුගේ අණින් එහි එකතු වී සිටි ජනයාට පිටතට ආ නොහැකි ලෙස ශාලාවේ දොර අගුල් දමා වසා ආරක්ෂක භටයන් යෙදවීම නිසා එම ශාලාව ඇතුළත රැස්ව සිටි අය තුළ භීතියක්ද, කම්පනයක්ද ඇති කිරීමට හේතුවිය. ඒ සමග ඔවුන් අතර ඇතිවූ සංවාදයේදී කුමන තර්ජන ගර්ජන බාධා එල්ල වුවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කර අවසන් වන තෙක් එම ශාලාවෙන් පිටවී නොයන බව සහතික කරන දිවුරුමක් එයට සහභාගි වූ සියලුදෙනා විසින් ලබාදෙන ලදි. 1789 ජුනි 20 වැනිදා සිදුකරන ලද එම ඓතිහාසික දිවුරුම් දීම ඉතිහාසයට එකතු වී තිබෙන්නේ ‘ටෙනිස් පිටියේ දිවුරුම’(Tennis Court Oath) වශයෙනි. පසුව රජු විසින් එතෙක් පවත්වාගෙන ගිය දැඩි ප්‍රතිපත්ති ලිහිල් කොට පූජකයන්ට හා වංශාධිපතින්ටද ඊට එකතු වන්නට ඉඩ දුන්නේය. ඒ සමග එය ප්‍රංශයේ සියලු කණ්ඩායම් එකට එකතු කළ ජාතික මට්ටමේ ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයක් බවට පත්විය. දිවුරුම් දෙන අවස්ථාව වනවිට එහි රැස්ව සිටි අයගේ සංඛ්‍යාව 789ක් වූ අතර, පූජකයන් හා වංශාධිපතීන්ද එකතු වූ පසු එම සංඛ්‍යාව 1177ක් දක්වා ඉහළ ගියේය. සුප්‍රකට මිනිස් අයිතිවාසිකම් ප්‍රකාශනය සකස් කෙරුණේ එහිදීය. නිදහස්කාමී හා රැඩිකල්වාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්ද සම්පාදනය කරන ලද අතර ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාදාමය සඳහා ගත කරන ලද කාලය වසර දෙකක් විය. පිරිමින්ට ඡන්ද බලය ලබාදෙමින්, ඍජු ඡන්ද විමසීමේ ක්‍රමයක්ද, නීති සලකා බැලීම සඳහා පුරවැසි සභා ක්‍රමයක්ද ඇති කොට සහෘද සාමාජිකයන් 25 දෙනකුගෙන් සමන්විත විධායකයක්ද ඇති කරන ලදි.

එහෙත් ප්‍රංශ විප්ලවය රට තුළ භීෂණ සමයක් ඇති කිරීමට හේතුවීම නිසා එය මැඬ පැවැත්වීමට නැපෝලියන්ට ආරාධනා කරන්නට සිදුවූ අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් නැපෝලියන් ප්‍රංශයේ බලය අල්ලාගෙන ප්‍රංශයේ අධිරාජ්‍යයා වශයෙන් කිරුළු පළන්දාගෙන ප්‍රංශය නැවත රාජාණ්ඩුක්‍රමයකට පරිවර්තනය කිරීම නිසා 1 වැනි සමූහාණ්ඩුව සඳහා සකස් කරන ලද ව්‍යවස්ථාවද මරණයට පත්විය.

ව්‍යවස්ථා සම්පාදනය (21 වන සියවස)
18 වැනි සියවසේ ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රංශයේ හා වෙනත් යුරෝපා රටවල සිදුවූ ව්‍යවස්ථා සම්පාදන මාදිලිය වර්තමානයට ගැළපෙන මාදිලියක් ලෙස නූතන ව්‍යවස්ථා විශාරදයෝ නොසලකති. ඒ කාලයේදී සිදුවූ ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය පිරිමි හා උගත් ප්‍රභූන් මුල් කරගත් දෙයක් විය. නිදර්ශනයක් වශයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ ව්‍යවස්ථා සම්පාදනයට කල්ලන් හෝ වහලුන් සම්බන්ධ කරගැනීමක් සිදු නොවීය. ස්ත්‍රීන් සම්බන්ධ කරගැනීමක්ද සිදු නොවීය. පුරුෂ පක්ෂයට ස්ත්‍රී පක්ෂය නියෝජනය කිරීමේ අයිතියක් තිබේය යන්න ඒ කාලයේ පැවති පිළිගැනීම විය.

21 වන සියවසේ රාජ්‍යයන්ට හා ඒවාහි සමාජයන්ට විසඳා ගැනීමට තිබුණු ප්‍රශ්න සමාන කොට සැලකිය නොහැකිය. 18 වැනි සියවසේදී ඒකාධිපති රාජාණ්ඩුක්‍රමය පරාජය කොට බිහිවන යුරෝපීය ජාතීන්ට හා රාජ්‍යයන්ට ව්‍යවස්ථා සම්පාදනයේදී විසඳා ගැනීමට තිබුණු ලොකුම ප්‍රශ්නය වූයේ පුද්ගල දේපළ ක්‍රමය හා මිනිසුන් නිදහස ආරක්ෂා කරගැනීමට හේතුවන ආණ්ඩුක්‍රමයක් ඇතිකර ගැනීම සඳහා ව්‍යවස්ථා සම්පාදනයක් කරන්නේ කෙසේද යන ප්‍රශ්නයයි. යටත්විජිත තත්ත්වයෙන් නිදහස්වීම නිදහස දිනාගැනීමෙන් පසු ජාතිය ගොඩනගා ගැනීම, නිදහස් තත්ත්වයකට ගැළපෙන රාජ්‍ය ගොඩනගා ගැනීම හා ඊට සුදුසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ඇතිකර ගැනීම 19 වැනි හා 20 වැනි සියවසේ යටත්විජිත තත්ත්වයක තිබූ රාජ්‍යයන් හා සමාජයන්ට විසඳා ගැනීමට තිබුණු ලොකුම ප්‍රශ්න ලෙස සැලකිය හැකිය. 21 වැනි සියවසේදී අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සකස් කරගැනීම අවශ්‍ය වූයේ නිදහස උදාකර ගැනීමෙන් පසුත්, නූතන ජාතිය හා නූතන රාජ්‍යය විධිමත් ලෙස ගොඩනගා ගැනීමට අසමත්වීම නිසා වර්ග, කුල, ආගම් හෝ භාෂා භේද නිසා සමාජය අභ්‍යන්තරයේ ගැටුම් ඇතිවී බෙලහීන බවට පත්ව තිබන සමාජය හා රාජ්‍යය නැවත ප්‍රතිනිර්මාණය කරගැනීමට අවශ්‍ය කරන ව්‍යුහමය ප්‍රතිසංස්කරණ ඇතිකර ගැනීම සඳහාය.

එම සංදර්භය තුළ භේදභින්න වී කැබලි වී තිබෙන සමාජයත්, ඒ නිසා ඉරිතැලී ගරා වැටෙන තත්ත්වයකට පත්ව තිබෙන රාජ්‍යයත් ප්‍රතිනිර්මාණය කරගැනීම සඳහා ගැටුම්වලට සම්බන්ධ සියලු සමාජ කණ්ඩායම් සේ ම පොදුවේ මහජනයාද ව්‍යවස්ථා සම්පාදනයන්ට සහභාගි කරවා ගනිමින් ඒ සියලුදෙනා සමග සංවාදයකට යමින් ඒ සියලුදෙනාගේ පොදු එකඟතාව අනුව ව්‍යවස්ථාව ගොඩනගා ගන්නා මාදිලියක් කරා යාමට 21 වැනි සියවසේදී එවැනි අර්බුදයන්ට මුහුණ දුන් රටවලට හා රාජ්‍යයන්ට සිදුවිය. ඒ නිසා ව්‍යවස්ථාව රාමුගත කරන්නන්ට ඒ සඳහා සුදුසු නව රාමු තනා ගන්නා හා ඊට ගැළපෙන මූලධර්ම හදා ගන්නා තැනකට යන්නට සිදුවිය.

ඒ සඳහා කෙරුණු නව අත්හදා බැලීම් නිසා ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යනු ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයක් ස්ථාපිත කිරීම පිණිස පරණ පුරුදු ක්‍රමයට තෝරාගත් ප්‍රභූ සුළු පිරිසකට හෝ ව්‍යවස්ථාදායකයේ මහජන නියෝජිතයන්ට සීමාවූ කාරියක් ලෙස නොසලකන තත්ත්වයක් ඇතිවිය. එය ක්‍රියාකාරී මහජන සහභාගිත්වයක් හා මහජන හිමිකාරත්වයක් ඇතිව සිදුවන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියක් බවට පත්විය.

ව්‍යවස්ථා සම්පාදන විෂය පිළිබඳව ලංකාවට තිබෙන දැනුම අල්පය. සාමාන්‍ය මහජනතාවට පමණක් නොව රටේ දේශපාලන නායකයන්ට හා පක්ෂවලටද තිබෙන දැනුම අල්පය. එම විෂයට ලංකාවේ සිටින බොහෝ විශේෂඥයන්ටද තිබෙන්නේ නව දැනුම නොව පරණ දැනුමය. ඔවුන්ට ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියකට දායක වන්නට ඉඩ ලැබුණු විට එම ක්‍රියාවලිය රාමුගත කරන්නට උත්සාහ කරනුයේ නව ක්‍රමයට නොව පරණ ක්‍රමයටය. ලංකාවේ ආණ්ඩුක්‍රමය අවසාන වශයෙන් අවුල් ජාලාවක් බවට පත්කිරීමට හේතුවූ 19 වැනි සංශෝධනය, බලය අහිමි කිරීමට පෙර අගමැති රනිල් වික්‍රමසිංහ මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ලබාගැනීම සඳහා ඔවුන්ට වරදාන ලබාදෙන ප්‍රවේශයක් තුළ හදමින් සිටි අවසන් නොකළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවද, ජනතා විමුක්ති පෙරමුණේ 20 වැනි සංශෝධනයද සැලකිය හැක්කේ යල් පැනගිය පරණ ක්‍රමයට සකස් කළ හෝ සකස් කරමින් තිබෙන ව්‍යවස්ථා හෝ ව්‍යවස්ථා සංශෝධන ලෙසය. ලංකාවේ සමාජය හා රාජ්‍යය මුහුණ දී තිබෙන ඇත්ත ප්‍රශ්න ඒවා සැලකිල්ලට ගෙන නැත. ප්‍රධාන ප්‍රශ්න ලෙස සලකා ඇත්තේ අප්‍රධාන ප්‍රශ්නය. 19 වැනි සංශෝධනය මෙන් ඒවාට කළ හැක්කේ තිබෙන අවුල් තව තව වර්ධනය කිරීම පමණය.

ව්‍යවස්ථා සම්පාදනය හා නීතිය
සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තියේ 25 වැනි ව්‍යවස්ථාවෙන් “පොදු කටයුතු විෂයෙහිලා මහජනයාට කෙළින්ම හෝ නිදහස්ව තෝරා පත් කරගනු ලබන නියෝජිතයන් මගින් සහභාගිවීමට තිබෙන අයිතිය” මහජනයාට තිබෙන හිමිකමක් ලෙස නීතිගත කර තිබේ. මුලදී එම අයිතිය මහජනයාට ක්‍රියාකාරී ලෙස සම්බන්ධවීමට තිබෙන අයිතියක් ලෙස සැලකුණේ නැත. එහෙත් කාලයාගේ ඇවෑමෙන් එය ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියට ක්‍රියාකාරී ලෙස සම්බන්ධවීමට මහජනයාට තිබෙන අයිතියක් ලෙස ජාත්‍යන්තර වැදගත්කමක් ඇති නඩු තීන්දු ගණනාවක් මගින් විස්ථාපනය කර තිබේ.

කැනඩාවේ මික් මැක් (Mik Maq) ගෝත්‍රික නායකයන් විසින් කැනඩාවේ පළමු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනයට තමන් සහභාගි කරගන්නේ නැතැයි යන පදනම මත ඒ මගින් කැනඩා රජය තම ගෝත්‍රිකයන්ගේ මූලික අයිතිවාසිකම් බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් කර ඇතැයි යන චෝදනාව යටතේ කැනඩා ආණ්ඩුවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවට ඉදිරිපත් කරන ලද පැමිණිල්ල විභාග කොට කමිටුව ඒ පිළිබඳව 1991දී දෙන ලද තීන්දුව ඇතුළත් නඩුකරය (Marshal V Canada : Human Rights Committee Decision 1991) ඒ සඳහා දැක්විය හැකි එක් වැදගත් තීන්දුවක් ලෙස සැලකිය හැකිය.

කැනඩාව එම ව්‍යවස්ථා සම්පාදනයේදී ආදිවාසීන් 600කට ඔවුන්ගේ සංගම් හතරක් මගින් ක්‍රියාකාරී ලෙස සම්බන්ධවීමට ඉඩ ලබාදී තිබීම නිසා මානව හිමිකම් කමිටුව කැනඩා රජය වරදකරුවකු බවට පත් කළේ නැතත්, ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියකට ක්‍රියාකාරී ලෙස සම්බන්ධවීමට මහජනයාට තිබෙන අයිතිය එම නඩු තීන්දුවෙන් පිළිගත්තේය.

දෙවන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටු පාඨමය බලඅධිකාරිය (Unhcr Textual Authority) විසින් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප්‍රඥප්තියේ 25 වැනි ව්‍යවස්ථාවේ එන මහජන සහභාගිත්ව හිමිකම සඳහා ලබාදී තිබෙන අර්ථ නිරූපණය එම විෂය පිළිබඳව ලබාදී තිබෙන ජාත්‍යන්තර නීතිය සමග බැඳීමක් ඇති වැදගත් අර්ථකථනයක් ලෙස සැලකිය හැකිය. ජාත්‍යන්තර ප්‍රඥප්තියේ 25 වැනි ව්‍යවස්ථාවේ සඳහන් පොදු කටයුතුවලට ක්‍රියාකාරී ලෙස සහභාගිවීමට තිබෙන හිමිකම අවධාරණය කරමින් එය කියන්නේ “පුරවැසියෝ සිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කළ යුතුයැයි අදහස් කරන අවස්ථාවන්හිද මහජනයාට ක්‍රියකාරී ලෙස සහභාගිවීමේ හිමිකමක් තිබෙන බවය. ඒ අනුව මහජන සහභාගිත්ව හිමිකම ආණ්ඩුක්‍රම සම්පාදන පරිචයට (Scope) ඇතුළත් වී තිබෙන හා තවදුරටත් නිම් වළලු පුළුල්වෙමින් තිබෙන ව්‍යවස්ථා මූලධර්මයක් ලෙස සැලකිය හැකිය.

මහජන සහභාගිත්වය නීත්‍යනුකූල ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියක වැදගත් නිර්ණායකයක් ලෙස සලකන තත්ත්වයක් ඇති කිරීමට හේතුවූ තවත් වැදගත් නඩු තීන්දුවක් වනුයේ කැනඩාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කියුබෙක් ප්‍රාන්තය වෙන්ම යෑමට උත්සාහ දැරීමේ ප්‍රශ්නයට අදාළව 1996 ආරම්භ කොට ඒ පිළිබඳව 1998දී ලබාදෙන ලද තීන්දුවයි. එම තීන්දුව ව්‍යවස්ථා සම්පාදනයකදී ඊට සහභාගිවීමට මහජනයාට තිබෙන හිමිකම වඩා පුළුල් ලෙස අර්ථවිවරණයට ලක් කරන ලද ඉතා වැදගත් තවත් නඩු තීන්දුවක් ලෙස සැලකිය හැකිය. මහජන සහභාගිත්වය නීත්‍යනුකූල ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියක් තුළ තිබිය යුතු වැදගත් නිර්ණායකයක් බව එහි සඳහන් වේ. කිසිවකට සත්‍ය පිළිබඳ ඒකාධිකාරයක් පවත්වාගෙන යෑමේ අයිතියක් නැති බවත්, ජාතියක ඒකත්වය අනතුරේ පවතින අවස්ථාවක පවා ව්‍යවස්ථාමය සංවාදයක නිරතවීමේ වගකීමක් රජයකට ඇති බව එහි සඳහන් වේ.

නිකරගුවාව, උගන්ඩාව, බ්‍රසීලය, රුවන්ඩාව හා දකුණු අප්‍රිකාව යන රටවල් ක්‍රියාකාරී මහජන සහභාගිත්වයක් ඇතිව ව්‍යවස්ථා සම්පාදනයකට ගිය රටවල් ලෙස සැලකිය හැකිය. ඒ රටවල් අතරින්ද හොඳම ආදර්ශ මාදිලිය ලෙස සැලකෙන්නේ දකුණු අප්‍රිකාවය. එහි ව්‍යවස්ථා සම්පාදනයට මහජනයාගෙන් ලැබුණු අදහස්වල ප්‍රමාණය පමණක් ලක්ෂ 20කි. මෙම රටවල් පහෙන් ලංකාවට උගත හැකිව තිබෙන පාඩම් ගැන මෙහි කරුණු දැක්වීමක් නොකරන්නේ ලිපිය අනවශ්‍ය ලෙස දීර්ඝවීම වළක්වා ගැනීම සඳහාය.

ලංකාව තෝරාගත යුතු මග
ලංකාවේ රාජ්‍යය හා සමාජය තිබෙන්නේ හොඳටම කුණුවූ තත්ත්වයකය. දැන් රටට අවශ්‍ය වී තිබෙන්නේ මතුපිටට සීමාවූ බොරු වෙනසක් නොව, ලංකාවේ සමස්ත චිත්‍රයේ යහපත් හා ගැඹුරු වෙනසක් ඇති කිරීමට හේතුවන සැබෑ වෙනසකි. රටේ සියලුම දේශපාලන නායකයන් සේ ම ව්‍යවස්ථාදායකයේ නියෝජිතයන්ද සිටින්නේ එවැනි විපර්යාසයක් සඳහා වන හොඳ ව්‍යවස්ථාවක් හැදීමට අවශ්‍ය කරන අවංකකම, ප්‍රඥාව හා ශික්ෂණය මුළුමනින් අහිමි කරගත් තත්ත්වයකය. අනෙක් අතට එවැනි ව්‍යවස්ථාවක් ඒ සියලුදෙනා අයථා ලෙස හිමිකරගෙන සිටින සියලු වරප්‍රසාද ඔවුන්ට මුළුමනින් අහිමි කිරීමට හේතුවන තත්ත්වයක් ඇති කරන නිසාම එවැනි වැඩසටහනකට නායකත්වය දීමේ ඇත්ත වුවමනාවක් හෝ සදාචාරමය හැකියාවක් ඔවුන්ට තිබිය නොහැකිය.

ඔවුන් ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියට සම්බන්ධ කරගැනීමේ වරදක් නැතත්, එම ක්‍රියාවලිය මෙහෙයවීමේ අධිකාරි බලය තිබියයුත්තේ මහජනයා අතේය. පරමාධිපත්‍යය බලය මහජනයා සතුය. රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ගත්තත්, මහජනයාට හිමි පරමාධිපත්‍යය බලය අහිමි කළ නොහැකිය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යන්නෙන් අදහස් කරන්නේ පාලකයන් හා පුරවැසියන් අතර ඇතිකර ගන්නා ගිවිසුමක් වේ නම් එම ගිවිසුම හැදීමේ ක්‍රියාවලියේ ප්‍රබල කොටස්කාරයකු වීමේ අයිතිය මහජනයා සතුය. මීට පෙර සිදුවූයේ පාලන බලය දරන ව්‍යවස්ථාදායකය ඒකපාර්ශ්විකව ගිවිසුම සකස් කොට මහජනයාගෙන් අනුමැතියක් පවා ලබා නොගෙන නීතිගත කිරීමය. ඒ සෙල්ලමට තවදුරටත් ඉඩදිය යුතු නැත.

ව්‍යවස්ථාදායකය ගිවිසුම හදන එක පාර්ශ්වයක් වනවිට පරමාධිපත්‍යය බලය හිමි මහජනයා අනෙක් පාර්ශ්වය විය යුතුය. පුනරුද ව්‍යාපාරය දරන මතය වනුයේ ලංකාව ගලවා ගැනීමට අවශ්‍ය නම් ව්‍යවස්ථා සම්පාදනයේදී දකුණු අප්‍රිකාව ගිය දුර ඉක්මවා යන දුරක් ලංකාව යායුතු බවය. ව්‍යවස්ථා සම්පාදනය හා ව්‍යවස්ථාවට ඇතුළත් විය යුතු අංග ගැන ඊළඟ ලිපියෙන් කතා කිරීමට බලාපොරොත්තු වේ.