මෛත්‍රී – රනිල් බාල සන්ධාන බොරුව

ජනාධිපති සිය කණ්ඩායමට පසුගියදාක කියා තිබුණේ මැතිවරණ වසරකට සූදානම් වන ලෙසය. ඒ සඳහා පුළුල් සන්ධානයක් හදන බවත් ජනපතිගේ නියෝජිතයකු සාකච්ඡාව හමාර කිරීමෙන් පසුව මාධ්‍යයට කීවේය. අගමැතිත් ඉදිරි මැතිවරණ සඳහා පුළුල් සන්ධානයක් ඇතිකර ගන්නා බව නැවත දිවුරුම් දුන් දවසේදී කීවේය. දැන් රටේ ජනතාවට මොනවා නැතත් සන්ධානවලින් නම් අඩුවක් නොවනු ඇත. රටේ ප්‍රශ්න එකතැනමය. සන්ධාන එකක් නොව සියයක් හැදුවත් ඒ එකක්වත් රටේ ප්‍රශ්න විසඳීම ඉලක්ක කරගෙන හදන ඒවා නොවන බව ලඹදෙන අඬහැරයෙන්ම පෙනේ. මිනිහා නොමිනිහා මග සලකුණෙන් දැනේ යනුවෙන් කීමට සිදුවන්නේ මෙවැනි තත්ත්වයක් අරභයාය.

රනිල් වික්‍රමසිංහ අලියා ලකුණ මඳකට අතහැර සන්ධාන දේශපාලනයට එන්නේ එකලාව යන ගමන අබල දුබලවෙමින් පැවතුණු නිසාය. ශ්‍රීලනිප දේශපාලනය වේලාසනම එම දුර්දශාව අත්කරගෙන තිබුණි. එළැඹෙන වසරේ හැදෙන්නට යන සන්ධාන මීට වසර 20-25කට පෙර හැදුණු සන්ධානවලටත් වඩා භයානක විය හැකිය. මන්ද අද ඒවා හැදෙන්නේම දේශපාලනඥයන්ගේ මජර පැවැත්ම උදෙසාය. අගමැති අද පුළුල්ම පෙරමුණක් හදන බව කිව්වත් ඔහුට යළි එය කිසිදිනක කළ නොහැකිය. මන්ද රනිල් සහ මෛත්‍රී 2015දී ලංකාවේ හදන්නට පුළුවන් ලොකුම සන්ධානය ගොඩනැගූහ. එම සන්ධානයට ටීඑන්ඒ, ජවිපෙ හැර සෙස්සෝ සිටියහ. එජාපයට හා ශ්‍රීලනිපයට තිබෙන ජන බලයට රටෙහි සෙසු කුඩා සියලුම පක්ෂවල ජන බලය දෙවැනි වෙයි. දිදුලන සන්ධානයකට බෝඞ් ලෑලි සිය ගණනක් වුව වුවමනාය. එහෙත් ජන බලය නැති බෝඞ් ලෑලි රැසකින් ඡන්ද සටනක් නොකළැකිය. රනිල් මෛත්‍රී දෙදෙනා ගොඩ නැගුවේ බෝඞ් ලෑලි පක්ෂත් සිටින, ප්‍රධාන පක්ෂ දෙකේ ජන බලයෙන්ද සුසැදි සහයෝගිතාවකි. ඊට මුස්ලිම් හා දෙමළ සහාය ලැබීම සැලකිය යුතු සාධකයක් බව කිව යුතුය. එවැනි පළල් සහයෝගීතාවක් පවා දියාරුවීමෙන් නොනැවතී කුජීත වූයේ නම් රනිල් අද කියන නව පුළුල් සන්ධානවලට අරුතක් තිබිය නොහැකිය. මෛත්‍රී කියන නව පුළුල් හා වමේ රම්පේ කරපිංචා දැමූ සන්ධානයටත් අරුතක් තිබිය නොහැකිය. ඒ දෙදෙනාටම වෙන වෙනම හදන්නට වෙන්නේ බාල සන්ධානය.

සාමාන්‍යයෙන් මාක්ස්වාදී න්‍යායට අනුව නම් ධනේශ්වර පන්තියේ දේශපාලන එකමුතුවක් ඇතිවීම යනු ඔවුන්ගේ මිනී පෙට්ටියට අවසාන ඇණේ වැදීමේ ආරම්භයකි. එසේ වන්නේ ධනවාදයට විකල්පව ශක්තිමත් වාමාංශයක් තිබුණහොත්ය. එහි අරුත ධනපති පක්ෂවලට වෙන වෙනම බැරි අවස්ථාව එළැඹෙන විට එකට එකතු වී වම නමැති පොදු සතුරාට එරෙහිව තරග කිරීම හා එහි කෙළවරකදී ධනපති සන්ධානය පරදවන්නට ක්‍රමිකව ශක්තිමත් වූ වමට හැකිවීමය. එබැවින් ධනපති සන්ධානයකට වමක් කැමතිය. 2015දී ලංකාවේ වම රත්වූයේ උක්ත ඓතිහාසික අවස්ථාව එළැඹෙන විට සීසීකඩ වූ වමක් ශේෂ වී තිබුණු නිසාය. ඊළඟ ප්‍රශ්නය නම් ලංකාවේ වමේ බැරි බැරියාව මතුවන්නේ දක්ෂිණාංශික බැරිබැරියාවට පෙරාතුව වීමය. එවැනි තත්ත්වයක් තුළ මහින්ද පරදවන්නට ධනපති පක්ෂ දෙකේ එකතුවීම යනු එක්තරා දේශපාලන විකෘතියකි. එම විකෘතිය මේ වනවිට යළි පසුපසට ඇදී ප්‍රකෘතිය අත්කරගෙන තිබේ. එහෙත් එය අඳබාල ප්‍රකෘතියක් බැවින් යළිත් ඔවුන්ට සිය පදනම සෙවීමට සිදුව තිබෙන්නේ සන්ධාන දේශපාලනය තුළමය.

වැදගත් ප්‍රශ්නය එය නොවේ. මෙම සන්ධානවලින් කරන්නට යන්නේ මොනවාද යන්නය. ජනපති අගමැති දෙපළ වෙන වෙනම පුළුල් සන්ධාන හදන්නට යන්නේ රටේ වියවුල්සහගත තත්ත්වයක් ඇති කළ දුර්වර්ණ ව්‍යවස්ථාව වෙනුවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමටද? නැතහොත් උතුරේ ජනයාගේ ජීවන ප්‍රශ්න විසඳා තිස් වසරක් පැවති යුද්ධයේ හේතු ප්‍රත්‍ය විමසා ඊට දේශපාලන විසඳුමක් දීමටද? එසේත් නැත්නම් රට නිෂ්පාදන ආර්ථිකයක් කරා යොමු කර විනිමය අනුපාතය ඉහළ අගයකට පත්කර රටට සමෘද්ධිමත් ආර්ථිකයක් අත්කර දීමටද? රටේ ජාති, ආගම්වාදය පරදවා ලංකාවේ ජනයා ලෞකික වශයෙන් දියුණු පමුණු කිරීමටද? අධ්‍යාපනයෙහි විප්ලවයක් කිරීමටද? අඩුම තරමින් පහේ පන්තියේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කර ඒ වෙනුවට වඩා හොඳ සාරාර්ථ විසඳුමක් ළඟකාර දීමටද? මේ කියූ එකක්වත් රනිල්ගේ හා මෛත්‍රීගේ සන්ධාන පළල් අරුතකින් විෂය කර නොගන්නා බව පැහැදිලිය. ඔවුන් සිය කාර්ය සාධන පොරොන්දු පත්‍රයෙහි මේ කියූ දේවල්වලටත් වඩා ටොන් ගණන් මහජන හිතවාදීයැයි පෙනෙන දේවල් සඳහන් කරන්නට පුළුවන. එහෙත් ඒවා කෙරෙන විධිය හා කරන විධිය ජනතාව ඔවුන්ගෙන් කිසිදාක නොඅසන නිසා ඒවා ලියවිලිවලට පමණක් සීමාවනු ඇත. වෙනදාත් වූයේ එසේය.

හදිසි සන්ධානවල අරමුණ මේ එකක්වත් නොව ගිලිහීයමින් පවතින තම තමාගේ බලය තහවුරු කරගැනීමට අලුත් මුහුණුවරකින් පෙනී සිටීමය. පැරණි මුහුණු අවුල දනවන බැවින් රනිල්ටත් මෛත්‍රීටත් ජනතාව අතරට ඒමට අලුත් ස්වරූප වුවමනාය. නාග රාක්ෂ මුහුණ හෝ නොන්චි ආදී කෝලම් මුහුණු වෙනුවට ලාස්‍ය නැටුමකට ගැළපෙන මුහුණක් මේ කාටත් වුවමනාය. සන්ධාන ඒ සඳහා මිස රට හා ජනතාව කෙරෙහි උපන් දයාවකට නොවේ.