ආචිගේ හදවත

හත් හැවිරිදි ආචි ස්ච්ලර් දැන් කෝලිටත් වඩා ජනප්‍රියය. කතාබහය. ක්‍රිකට් තරුවය. ඕස්ටේ්‍රලියාවත්, ඉන්දියාවත් අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලි උද්වේගකරභාවය පසෙකලා සංවේදීභාවය මතුවූ අයුරු පුදුමසහගතය. ඒ ආචි නිසාය.

මේ ඕස්ටේ්‍රලියානු කොලු ගැටයා හදවත් රෝගියෙකි. ඔහු මේ වනවිටත් සැත්කම් කිහිපයකට ලක්වී ඇත. ඉදිරියේදී තවත් සැත්කම් ගණනාවකට මුහුණදීමට නියමිතය. කොටින්ම ඔහුගේ ජීවිතය ඒ සැත්කම තුළ දෝලනය වන්නේ නැවත ජීවිතය ලද නොලද මොහොතකය. එය තෙවැනි විනිසුරුවකු ලවා තීන්දු කළ හැකි මට්ටමක පවතී. එහෙව් ආචිව සතුටු කිරීමට ඕස්ටේ්‍රලියාව තෝරා ගත් ක්‍රමය අපූරුය. ඒ ඔහුට ඕස්ටේ්‍රලියානු ජාතික පිලේ සම නායකත්වය පිරිනමමිනි. එක් තරගයකට හෝ ක්‍රීඩා කිරීම ආචි ලබන අපූරු සතුටක් වනු ඇත. එය ඔහුට සිය රෝගය අමතක කොට ජීවිතය ගැන සිතන්නට ලැබෙන සැත්කමකට වඩා ඖෂධයක් වනු නියතය.

පුංචි කොලු ගැටයකුගේ මානසික සුවයට ක්‍රිකට් යොදා ගත් පළමු අවස්ථාව මෙය බව ලෝක ඉතිහාසය ලියා තබනු ඇත. සැබැවින්ම ආචි සමග දකින තරගය තරගයක් නම් නොවනවා නියතය. එහෙත් එය ආචිට ජීවන අරගලයකි. පුංචි එකකුට මේ තරම් සතුටක් තව නැති බව ඔහුගේ හැසිරීම් සමුදාය පෙන්වයි. කෝලී දවා ගැනීමට ඔහුගේ අරමුණ බව ඔහු මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ අභීත පන්දු යවන්නකු ලෙසය. කෝලි ඊට උදව් කිරීමට කැමති බවද පවසා තිබුණි. මේ හැම එකකින්ම මේ ටෙස්ට් තරගය වේදිකා නාට්‍යයක් බඳු වනවා සහතිකය. එහි සැබෑ නළුවා ආචිය. කෝලිගේ සීයකට වඩා ආචිගේ එක ලකුණක් වටිනු ඇතිය. ඒ අන් කිසිවක් නිසා නොව මේ තුළ ඇත්තේ ජීවිතය අල්ලා ගැනීමට දරන තැතක් බැවිනි. ආචිට බොක්සිං දිනයේ ඕස්ටේ්‍රලියාව දුන් තෑග්ග මනාය. එය ආචිලා ගොඩකට දුන් තෑග්ගකි. බොහෝ අයට බොහෝ දේ හිතන්නට ආචිගේ ගමන හේතු වනවා ඇත. එය ක්‍රිකට්වලට එහා හිතන්නට පුරුදු කරන ක්‍රිකට් තරගයකි.