හරීන්ට හරියයිද?

ඒ. වික්‍රමසූරිය

තවත් වසරක අවසානය අත ළඟය. දින, මාස, වසර ගෙවෙන වේගයට බොහෝ දෑ වර්ධනය නොවේය. ක්‍රීඩාවේ සංවර්ධනයද එවැන්නකි. සති, මාස, වසර ගාණේ ක්‍රීඩාව ගැන කප්පරක් ලියුවද ඒ පිළිබඳ සොයා බලන්නට ක්‍රීඩාව කරවන අයට තත්පරයක කාලය තිබුණාද සැකය. ගෙවෙන කාලයක් පාසා පෙන්නුම් කළේ ක්‍රීඩාවේ නැග්ම වෙනුවට බැස්මය. බැස්මේ බැස යෑමම විනා ක්‍රීඩා ඇමැත්තෝ නැග්මේ උත්සාහයක හෝ නියැලෙනු නොපෙනුණි. ඔවුහු සැම වෙත වෙන දෑ ඇති පදම් කළහ. එයින් ක්‍රීඩාවට ඇතිවූ සෙතක් නැතිය. එබැවින් අපගේ ලියවිලි ඒ සැබෑව සැබෑවට හෙළි කළා මිස වෙන එකක් නොවීය. එය දිගට දිගටම කරනවා හැර විකල්පයක් නැත.

දැන් අපට අලුත් අවුරුද්දේ අලුත් ඇමැත්තෙක් හමුවී ඇත. ඇමති අලුත් වුවද ඇහෙන කතා පරණය. පරණ තාලවලටද අලුත් නාද එකතු කළ හැකිය. එබැවින් නව ක්‍රීඩා ඇමති හරීන් ප්‍රනාන්දු බැස්මට හසු නොවී නැග්මට වෙර දරනු ඇතැයි සිතමු.

මෙරට ඇමැත්තකු ක්‍රීඩාවටම වෙන් කරනුයේ 1970 සිටය. එතැන් පටන් ක්‍රීඩා ඇමැත්තෝ ආවෝ ගියෝය. අඩසිය වසකට කිට්ටු ක්‍රීඩා පරිපාලන අතීතයට ක්‍රීඩා ඇමතිවරු දාහතරදෙනෙක් මේ දක්වා පැමිණ ඇත. මේ නව ඇමති මෙරට දාහතර වන ක්‍රීඩා ඇමතිය. දාහතරවැනියා සුබ වෙයිද? එසේ වුවහොත් එය ක්‍රීඩාවට සුබය.

“දේශපාලනඥයෙක් වුණාට මම ඊටත් වඩා උනන්දු ක්‍රීඩාව ගැනයි. මම අවුරුදු 13ක ශිෂ්‍යයෙක් වෙලා ඉන්න කාලයේ ඉඳලා පත්තරවල මුලින්ම බලන්නෙ ක්‍රීඩා පිටුවයි. ඒ නිසා අදත් මම පත්තරේ කියවන්නෙ අග පිටුවේ ඉඳලා මුල් පිටුව දක්වායි.”

මේ නව ක්‍රීඩා ඇමති හා පුරා කියා මාධ්‍යයට කියූ තම පැටිකිරියේ ස්වභාවයය. ක්‍රීඩාවට ඇති ආලයේ දිග පළල ගැන කිරා මැන පෙන්වීමකි. අවැසිද තමා නියැලෙන විෂයට ඇති ආශාවය. එවිට එයට යොදන කැපවීම ලොකුය. ක්‍රීඩා පිටුවෙන් පටන් ගෙන පත්තරයේ මුලට එන හරීන් ප්‍රනාන්දු ඇමතිවරයා ක්‍රීඩාව සංවර්ධනය කිරීමේදී නම් අග සිට මුලට ඒම වෙනුවට මුල සිට ආරම්භ කළ යුතු බව දැනුම් දෙමු. පසුගිය කාලයේත් පත්වූ ඇමතිවරු ක්‍රීඩා පිටු කියෙව්වාද ඒවායෙන් මතුකරන කාරණා ඔළුවට ගත්තාදැයි සැකසහිතය. ඒ වෙනුවට ඒ අය උත්සාහ කළේ ක්‍රීඩා පිටු තමන්ගේ පින්තූර සහ කතාවලින් පුරවන්නටය. කොටින්ම ඒ පිටු තමන්ට වෙන් කළ දැන්වීමක් යන තැනට සිතන්නටය. ක්‍රීඩක, ක්‍රීඩිකාවන් වෙනුවට ක්‍රීඩා ඇමතිලා මතුවන යුගයක් ඇරඹෙන්නේ ඒ අනුවය.

මෑත ක්‍රීඩා ඇමතිවරු ගැන හිතන කල කිට්ටුම තැන සිට ගන්නේ නම් ඒ තැනට ගාමිණී ලොකුගේ පටන් ගත හැකිය. ඔහු ක්‍රීඩාව ගැන දන්නා තරම රගර් බෝලය රවුම් නොකළේ ඇයිද යන පැනය ඇසීමෙන්ම පැහැදිලිය. තවත් සමහර ඇමතිවරු බීච් වොලිබෝල් ගෘහස්ත ක්‍රීඩාංගණයක පවත්වන්නට නොහැකිදැයි ප්‍රශ්න කර තිබුණි. එහෙව් යට ගියාවක ඇමති වික්‍රම දුටු අපට ඇත්තේ තවත් කිළිපොළා යන ත්‍රාසජනක අත්දැකීම්ය.

එබැවින් ඒ මතක අමතක කොට නව ඇමති හරීන් ප්‍රනාන්දු දෙස බලන්නට අපි හිත හදා ගමු. එහෙත් ඊට ඔහු කළ යුතු ගෙදර වැඩ බොහෝය.

“ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සම්බන්ධයෙන් තමන් දැඩි අවධානයක් යොමු කරන බවත්, මේ වනවිට ශ්‍රී ලංකාව ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂිතම රටක් බවට පත්ව තිබීම තුළ රටේ ක්‍රිකට් පරිපාලනයට දැඩි වගකීමක් පැවරී ඇතැයි කී හරීන් ඇමතිවරයා දැන් ක්‍රිකට් අතුරු කමිටුවක් පත් කරන්නට නියමිත බව පැවසේ. ඊට රොෂාන් මහානාම සහ සිදත් වෙත්තමුණි ප්‍රමුඛ කරගන්නට ඔහුගේ අදහස. ඒ අදහස මේ වනවිට ප්‍රසිද්ධ කර හමාරය. ක්‍රීඩා ඇමති ලෙස වැඩ භාර ගත් සැණින් ක්‍රීඩා අමාත්‍යාංශයේ හතර මායිම දැක බලා ගන්නටත් මත්තෙන් ක්‍රීඩා ඇමති අතුරු කමිටු පත් කරන බවට අතුරු කතා කියමින් සිටී.

ක්‍රීඩා ඇමතිවරු මෑතකදී කල්පනා කරනුයේ තමන් ක්‍රීඩා ඇමතිවරු නොව ක්‍රිකට් ඇමතිවරු කියාය. බොහෝ ක්‍රීඩා ඇමතිවරු වරද්දා ගත් ප්‍රමුඛ තැන එතැනය. නවීන් දිසානායක තනිකරම ක්‍රිකට් ඇමති විය. දයාසිරි ජයසේකර ක්‍රිකට් සභාපති තරම් විය. ෆයිසර් මුස්තාපාලද වැඩි බර දැමුවේ ක්‍රිකට් ගැන සොයන්නටය. ඒ තරමට ක්‍රීඩා ඇමතිවරුන්ට ඇති එකම රාජකාරිය ක්‍රිකට් විය. ක්‍රිකට් ගැන සොයා බැලිය යුතුය. එහෙත් ක්‍රිකට් යනු සමස්ත ක්‍රීඩාව නොව එක ක්‍රීඩාවක් පමණක් බවද පසක් කරගත යුතුය.

හරීන් ප්‍රනාන්දු ඇමතිවරයාද ආ සැණින් ක්‍රිකට් ගැන කියවමින් සිටී. ඔහු රගර් ක්‍රීඩකයෙක් බවත්, පිහිනුම් කර ඇති බවත් ඔහු කියන කතාය. එසේ නම් ක්‍රිකට්වලින් පසු ඔහුගේ උනන්දුව රගර් විය හැකිය. පිහිනුම් ගැනත් උනන්දුවක් ඔහු පිහිනුම් කළ නිසා ඇතිවිය හැකිය. ඒ අනුමානයන්ය. එහෙත් කිවයුත්ත නම් ක්‍රීඩා ඇමතිවරයාට නගා සිටුවන්නට ක්‍රීඩාවන් එකක් දෙකක් නොව පනහකට අධික ක්‍රීඩාවන් ප්‍රමාණයක් ඇති බවය. ක්‍රීඩා අමාත්‍යාංශයක්ම පිහිටුවා ඇත්තේත් ඒ පිළිබඳ සොයා බලා රටේ ක්‍රීඩා සංවර්ධනය ඇති කිරීමටය. ඊට අවැසි නිසි සැලසුම් සකස් කිරීමට නම් මුලින්ම ඇමතිවරයා කළයුත්තේ ක්‍රීඩාව ගැන හැදෑරීමය. ඒ අතරම ක්‍රීඩාව ගැන දන්නා නියම පිරිස් ළංකර ගැනීමය. එක් එක් ක්‍රීඩාව පිළිබඳ ප්‍රාමාණිකයන් හැම ක්‍රීඩාවකටම සිටී. හැම ක්‍රීඩාවක් ගැනම එක් අයකු හෝ දෙදෙනකුගේ උපදෙස් ගන්නට ගිය විට සිදුවන දේ අපි පසුගිය කාලයේ අත් දැක්කෙමු.

ඒ සියල්ල සකසා ගෙන එනවිට ඇමතිවරයාට ජාත්‍යන්තරය දිනිය හැකි ක්‍රීඩා දහයක් පමණ තෝරාගෙන ඒවා දියුණු කරන විශේෂ වැඩපිළිවෙළක් සැකසිය හැකිය. සරලව ගතහොත් මලල ක්‍රීඩාව, පිහිනුම්, බැඞ්මින්ටන්, වොලිබෝල්, පාපන්දු, හොකී, දැල්පන්දු, රග්බි සහ තව ක්‍රීඩා කිහිපයක් විශේෂ කොට වර්ධනය කළ හැකිය. මේවාට අලුත් දැනුම අවශ්‍යය. දැනට වසර ගණනාවක සිට මෙරට සංගම් බොහොමයක නිලතල දරනුයේ එකම පිරිසක්ය. ඒ අය අද මේ සංගම් මහලු මඩම් බවට පත්කර ඇත. ඒ අය මේවායේ පදිංචිව ඒවා තම ගෙවල් බවට පත්කරගෙන ඇත්තේ ඒවා පෞද්ගලික බූදල කරගෙනය. මේ තත්ත්වය කොතරම් හානිකරද යන්න අද ඒ අය ඉතිරි වී ක්‍රීඩකයන් සහ ක්‍රීඩාව නැතිවීම තුළින් පැහැදිලිය. අනෙක් අතට මේ අය ලොව අලුත් දැනුම සමග අලුත්වීමක්ද නැත. ඔවුන් තවමත් වැඩ කරනුයේ මීට වසර තිහ හතළිහකට පෙර අත්දැකීම් සමගය. මේ සියල්ල ජයගැනීමට හරීන් ප්‍රනාන්දු ඇමතිවරයා මුලින්ම කරගත යුතුව ඇත්තේ දක්ෂ මිනිස්සු ළංකර ගැනීමය. ක්‍රීඩාවට සැබෑවට ආදරය කරන මිනිසුන් ඕනෑතරම් ඇතත්, ඒ අය මේ කුණු ගොඩවල් කරගසන්නට අකමැත්තෙන් අයින්ව සිටිනුයේ අන් කිසිවක් නිසා නොව දැනට ඒවාට රිංගාගෙන ඒවා විනාශ කරන බහිරවයන් සමග වැඩ කළ නොහැකි නිසාය. ක්‍රීඩාවට තම ධනය පවා පරිත්‍යාග කළ වැදගත් මිනිස්සු සිටි කාලයක් මෙරට විය. එහෙත් කාලයක පටන් ඉතිරි වූයේ ක්‍රීඩා සංගම් රැකියාව කරගෙන එයින් ජීවත් වන පිරිසක් නිර්මාණය වීමය. ස්වේච්ඡා සංවිධාන වූ ක්‍රීඩා සංගම් බොහෝ අයගේ ආදායම සරි කරන වෘත්තීන් බවට පත්වී ඇත. ඒවා ට්‍රැවල් ඒජන්සි වී ඇත. රට යෑමේ ආශාව සහ සංගමය රැකියාව කරගැනීම හැර කිසිවක් මෑත කාලයේදී බොහෝ සංගම්වලින් සිදු නොවේ. මේවා සරලව පෙනුණට බූවල්ලකු සේ සංගම් වෙලාගෙන ඇත. ක්‍රීඩා ඇමතිවරු ක්‍රීඩා අමාත්‍යාංශය භාර ගත් සැණින් සිතනුයේ මේවා සුද්ධ කිරීම හරිම ලේසි බවය. එහෙත් මේවා සිතන තරම් පහසු නැත. නිතරම සිද්ධ වූයේ ඒවා සුද්ධ කිරීම කෙසේ වෙතත් වේගයෙන් ක්‍රීඩා ඇමතිවරයාත් ඒ ගොඩටම වැටීමය.

ක්‍රීඩා ඇමතිවරු බවට පත්වූ බොහෝ ඇමතිවරු පසුගිය කාලයේදී ක්‍රීඩා ඇමතිකම අතහරින්නට අකමැති වූහ. ඒ ඇයිද යන්නත් සොයා බැලිය යුතුය. ක්‍රීඩා ඇමතිකම ලද සැණින් පුංචි අමාත්‍යාංශයක් ලැබුවා සේ වැඩ භාර ගත්තද ඉන්පසු කිසිවකු එය හැර යෑමට කැමති නැත. ඒ එය බොහෝ අයට ඉල්ලමක් වූ නිසාය. පසුගිය කාලය පුරා ආ ක්‍රීඩා ඇමතිවරු හරි හරියට කළේ රට වටේ පිට්ටනි හැදීමය. එහෙත් අවසානයේ හැදූ පිට්ටනියක් නැත. පිට්ටනි පිස්සුව මහින්දානන්ද අලුත්ගමගේට තදට තිබුණි. එයින් ඔහු ගොඩ ගියා මිස පිට්ටනි හැදුණේ නැත. සුගතදාස ක්‍රීඩාංගණයේ ධාවන පථය පවා එන එන ක්‍රීඩා ඇමතිවරුන්ගේ ලොතරැයියක් විය.

ක්‍රීඩා ඇමතිවරු සහ ලේකම්වරු ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් පමණක් නොව ක්‍රීඩා අමාත්‍යාංශයේ සෙසු සැමගේ සහය ක්‍රීඩා ඇමති ලබාගත යුතුය. මහින්දානන්ද අලුත්ගමගේ ක්‍රීඩා ඇමතිව සිටින කල ලේකම් ධුරය දැරුවේ උදය සෙනෙවිරත්න මහතාය. ඔහු නිවැරදිව ක්‍රියා කළ අතර ඇමති පදයටම නොනැටුවේය.

ඒ නිසා ඇමති, ලේකම් ගැටුම දුරදිග ගොස් ලේකම් ඉවත් වන තැනට පත්විය. ඉන්පසු ආ ලේකම්ලා ඇමතිට ඕනෑ විදිහටම නැටුවේය. මේ නිසා නිවැරදිව ක්‍රියා කරන යාන්ත්‍රණයක් වුවමනාමය. මේ බොහෝ කාරණා හරිම සැහැල්ලුවට ගෙන ක්‍රියා කළ හැකි දේ නොවේ. එහෙත් කළ නොහැකි දේද නොවේ.

බොහෝ සංගම් ප්‍රමාණයක් අද ඇත්තේ හරිහමන් පරිපාලනයක් නැතිවය. විවිධ හේතු මත එතෙක් පැවති නිලවරණ රටාව වෙනස් විය. නිලවරණ පැවැත්වීම පවා අද අමාත්‍යාංශයෙන් ගිලිහී ඇති ගාණය. ඇතැම් අය ක්‍රීඩා අමාත්‍යාංශය නොතකන තැනට තල්ලු වී ඇත. මේවා එලෙස වූයේ ක්‍රීඩා ඇමතිවරු තම බලයට අනුව ක්‍රියා නොකිරීම නිසාය. ක්‍රීඩා පනත අනුව වැඩ නොකිරීම නිසාය. ක්‍රීඩා පනත වෙනස් කරමින් කාලය කනවා හැර ඇමතිවරු ක්‍රීඩා පනතට අනුව වැඩ නොකළේය. මේ සියලු නරක තත්ත්වයන් අනුව ක්‍රීඩාව විනාශ වූවා මිසක නිකම්ම මේ තත්ත්වයන් උදා නොවීය.

මේ නිසාම වත්මන් ක්‍රීඩා ඇමති හරීන් ප්‍රනාන්දු ඉක්මන් කතා නොකියා හෙමිහිට වැඩ පටන් ගත යුතුය. ඔහුට වුව ඇත්තේ වසරක වැනි කෙටි කාලයකි. ඒ කාලය තුළ ඔහු හැකි උපරිමය කළ යුතුය. එයට ලොකු පරිශ්‍රමයක් දැරිය යුතුය. ක්‍රීඩකයකු කයිවාරු ගසමින් සිටියාට ජය ගන්නේ නැත. ඒ වෙනුවෙන් ඔහු කතාව නවතා පුහුණුවීම් කළ යුතුය. ක්‍රීඩා ඇමතිද ඒ න්‍යාය අනුගමනය කළ යුතුය.

“දේශපාලන සහ පෞද්ගලික මතිමතාන්තරවලින් තොර පිරිසිදු ක්‍රීඩාවක් මේ රටේ තරුණ පරපුරට ලබාදෙන්න මා අද ඉඳලා කැපවෙනවා.” ඒ ප්‍රතිඥාවද නව ක්‍රීඩා ඇමති හරීන් ප්‍රනාන්දුගේය. ඒ කැපවීම කොතෙක් හරියාවිද යන්න ඉක්මනින් දැක බලා ගත හැකිය. මන්ද කාලය කතාවලට වේගයෙන් ඉගිළෙන බැවිනි.