ප්‍රජාතන්ත්‍රවාදයේද ක්‍රීඩා නීති තිබේ. ඒවා උල්ලංඝනය කළ පසු ගෙදර යා යුතුය

ජයදේව උයන්ගොඩ

ඔක්තෝබර් 26දා හදිසියේ මතුවූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්බුදය පිළිබඳ පළල් සාකච්ඡාව තුළ, ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේදී චර්යාධාර්මික මූලධර්මවල ඇති වැදගත්කම ගැන වැදගත් අදහස් හුවමාරුවක් ඇතිවිය. ඒ සාකච්ඡාවට සහභාගිවෙමින් මා ඉදිරිපත් කළ තර්කයක් වූයේ, ආණ්ඩු කරන්නන් මෙන්ම දේශපාලන බලය හිමි ආයතන සහ පුද්ගලයන්ද නීතිරීතිවලට ගරු කරමින් බලය පාවිච්චි කිරීමට ශපථ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රමුඛ චර්යාධාර්මික මූලධර්මයක් බවයි. ක්‍රිකට්, වොලිබෝල්, නෙට්බෝල්, ෆුට්බෝල්, දාම් ඇදීම සහ කල්ලි ගැසීම යනාදී ක්‍රීඩා සියල්ලේද ඇති මූලික චර්යා ධාර්මික මූලධර්මය නම්, ක්‍රීඩාවට සහභාගි වන සියලුදෙනාම ක්‍රීඩාවේ නීතිරීතිවලට ගරු කරමින්, ඒවා පිළිපදිනු ඇත යන්නයි. එය සෑමදෙනාම ශපථ කරන අලිඛිත නීතියකි. එය කඩන්නෝ එළියට දමනු ලැබෙති.

දේශපාලනයද එක්තරා ආකාරයක ක්‍රීඩාවකි. එය බලය සඳහා තරග කරන ක්‍රීඩාවකි. දේශපාලන ක්‍රීඩාවේ වඩාත් විස්තෘත චර්යා නීති තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේය. අනෙකුත් දේශපාලන ක්‍රමවලද නීති ඇතත්, ඒවා උල්ලංඝනය කිරීම වැළැක්වීමේ විස්තෘත සම්මති සහ විධි විධාන ඒවායේ නැත. තිබුණත් ඒවා විවෘත සහ පාරදෘෂ්‍ය ඒවා නොවේ. එහෙත් ආණ්ඩුක්‍රමයක් හැටියටත්, දේශපාලන ජීවන ශෛලියක් හැටියටත්, ප්‍රජාතන්ත්‍රවාදයට පමණක් සුවිශේෂී ගති ලක්ෂණයක් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රීඩාවට සහභාගි සෑම කෙනකුම බලය පාවිච්චි කිරීම සම්බන්ධව ක්‍රීඩාවේ විවෘත නීති භක්තිමත්ව අනුගමනය කරනවා පමණක් නොව, එම ක්‍රීඩා නීති උල්ලංඝනය කිරීමේ ඵලවිපාකවලටත් මුහුණ දිය යුතුය යන්නයි. දියුණු ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන සංස්කෘතියක් පවතින රටවල ජනාධිපති, අගමැති, ඇමති මන්ත්‍රීවරුන් මෙන්ම රජයේ නිලධාරීන්ද, එම නීති කඩා ඒ ගැන එළිදරව් වූ විට, ඉල්ලා අස්වීම මගින් පුද්ගලිකව වන්දි ගෙවන්නේ ඒ නිසාය. දූෂණය, අල්ලස්, ඥාති සහ හිතමිත්‍ර සංග්‍රහය වැනි බලය අවභාවිත කිරීම්වලට, දේශපාලනඥයන් සහ නිලධාරීන් ඉදිරිපත් නොවන්නට එක් හේතුවක් දියුණු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවල ඇති ක්‍රීඩා නීතියට ගරු කිරීමේ චර්යා ධාර්මික මූලධර්මය නිසාය.

ප්‍රජාතන්ත්‍රවාදීව සිදුකරන දේශපාලන ක්‍රීඩාවේ ක්‍රීඩා නීති දෙවර්ගයක් තිබේ. පළමුවැන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේත්, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලත් තිබෙන ලිඛිත නීතියි. දෙවැන්න, ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට පමණක් සුවිශේෂ සම්ප්‍රදාය සහ සම්මතීන්ය. පාර්ලිමේන්තුව, කැබිනට් මණ්ඩලය, ජනාධිපති ධුරය, අධිකරණය, රාජ්‍ය සේවය මෙම දෙයාකාරයේම ක්‍රීඩා නීතිවලින් ආවරණය වේ.

පසුගිය සති හතක කාලය තුළ තිබුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අවුල පිළිබඳව ජනාධිපති සිරිසේන මහතා ඉදිරිපත් කළ පැහැදිලි කිරීම්ද, එතුමා වෙනුවෙන් නීතිපතිතුමා, විශ්‍රාමලත් අග්‍රවිනිශ්චයකාරතුමකු, විශ්‍රාමික නීති මහාචාර්යවරයකු, රටේ ඉහළ පෙළේ නීතිඥයන්, දේශපාලනඥයන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ මාධ්‍යවේදීන් විශාල ප්‍රමාණයක් ජනාධිපතිතුමාගේ ක්‍රියාවන් නිවැරදි යයි ඉදිරිපත් කළ තර්කද බලා සිටි සහ අසා සිටි, මා වැනි ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ පැරණි පරම්පරාවට අයත් පුරවැසියන් පහත සඳහන් නිරීක්ෂණය කරන්නට ඇත. එනම් ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ අඳුරු සෙවණැල්ල යටතේ තවමත් තිබෙන 1978 ව්‍යවස්ථාව, ජනාධිපති ආණ්ඩුක්‍රමය සහ විධායක ජනාධිපතිවරුන් යටතේ දේශපාලනය උගත් මේ බොහෝ දෙනා ‘ප්‍රජාතන්ත්‍රවාදය’ යන්න ග්‍රහණය කරගෙන ඇත්තේ, බලයට ඒමත්, බලය රැකගැනීමත් අරමුණු කොටගෙනය. තම හිතුමනාපයට අනුව උප්පරවැට්ටි මාධ්‍යයක් ලෙස චර්යාධර්ම විරහිතව භාවිත කළ හැකි ‘ගේම් එකක් දීමේ’ ක්‍රියාවලියක් ලෙසය. මෙය වනාහී ‘ඩිමොක්‍රටික් ගේම්’ යන ඉංග්‍රීසි ව්‍යවහාරයේ තිබෙන ‘ගේම්’ යන වචනය ඉතා පටු ලෙසත්, වැරදි ලෙසත්, විකෘති ලෙසත් තේරුම් ගැනීමකි. ප්‍රධාන වශයෙන් එජාපයටත්, ශ්‍රීලනිපයටත් සම්බන්ධ දේශපාලනඥයන්, දේශපාලනය ඉගෙන ගෙන තිබෙන්නේ උප්පරවැට්ටි මාධ්‍යයක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදය අවභාවිත කිරීමයි. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රීඩාවේ නීති හිතුමනාපයේ අර්ථකථනය කරමින් අවභාවිත කිරීමයි.

ව්‍යවස්ථා උල්ලංඝනය
ජනාධිපති සිරිසේන මහතා ඔක්. 26දා සහ නොවැ. 02දා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රමුඛ පෙළේ විධි විධාන දෙකක් හිතුමතේ උල්ලංඝනය කිරීම පිළිබඳ කාරණාව ගැන තව ටිකක් විමසා බලමු. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක දේශපාලන ක්‍රීඩාව මෙහෙයවීම සහ නියාමනය කරන අති මූලික ක්‍රීඩා නීති පද්ධතියයි. ඒවා කොතරම් වැදගත්දයත්, ජනාධිපතිගේ සිට රජයේ සේවකයා දක්වා හැම කෙනෙක්ම, තම ධුර භාර ගත්තේ, දේශපාලන ක්‍රීඩාවේ ප්‍රජාතන්ත්‍රවාදී නීති පද්ධතියේ, එනම් ව්‍යවස්ථාව රකින බවට කරන දිවුරුම් දීමකිනි. විශේෂයෙන් ජනාධිපති, අගමැති, ඇමතිවරුන්, මන්ත්‍රීවරුන්, හමුදාව, පොලිසිය සහ රාජ්‍ය නිලධාරීන් එම නීති පද්ධතියට අනුව තම නිල වගකීම් ඉටු කළ යුතුය. එසේ නොවූ විට සිදුවන්නේ මුළු රටේම ආණ්ඩුකරණයත්, දේශපාලන ජීවිතයත්, ව්‍යාකූලවීමයි. ජනාධිපති සිරිසේන මහතා ඔක්තෝබර් 26දා ව්‍යවස්ථාව කඩ කරන්නට පටන් ගත්තාට පසුව ඇත්තටම සිදුවූයේ එයයි. අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය මැදිහත් වී, ජනාධිපති සිරිසේන මහතාට දුන් පණිවුඩයේ එක් අර්ථයක් වූයේ ‘ඔබතුමා’ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රීඩාවේ නීති උල්ලංඝනය කර ඇත. එය අවලංගු දේශපාලන චර්යාවකි’ යන්නය.

එසේ වුවත් අපේ ජනාධිපතිතුමා දිගටම කියන දේවලින් පෙනෙන්නේ තමත් ප්‍රජාතන්ත්‍රවාදයේ ක්‍රීඩා නීති කැඩූ බව ග්‍රහණය කරගැනීමට එක්කෝ එතුමාට නොහැකි බවයි; නැතහොත් ඒ බව දැනුවත්වම ප්‍රතික්ෂේප කරන බවයි. ශ්‍රීලනිපයේ, එක්සත් ජනතා සන්ධානයේ සහ පොහොට්ටු පක්ෂයේද ප්‍රකාශකයන් ගැනද කිවයුත්තේ ඒ ටිකමය. එජාපයේ ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන්ද, ඔවුන් එවැනි තත්ත්වයකට පත්වූ විට, හැසිරෙනු ඇත්තේද ඉහත කී ආකාරයටමය. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රීඩාවේ නීතිරීති සහ චර්යා ධර්ම ගැන අවුරුදු ගණනාවක් විපක්ෂයේ සිටීම නිසා හෝ අවුරුදු තුනක් යහපාලන ආණ්ඩුවක සිටීම නිසා හෝ, ඔවුන්ගේ දැනුම, කැපවීම සහ කැක්කුම දියුණු වී ඇතැයි සිතිය නොහැකිය. සිදුවී ඇත්තේ තවත් පරිහානියට පත්වීමය.

උප්පරවැට්ටි මාධ්‍යයක්
මෙය වනාහී වර්තමාන ලංකාවේ දේශපාලක පන්තිය, නීතිඥයන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, මාධ්‍යවේදීන් ඇතුළු බුද්ධි ස්ථර සහ භික්ෂූන්වහන්සේලාද සතු පොදු දුර්වලකමකි. දේශපාලක පන්තිය ගැන අප ඉහත කී නිරීක්ෂණයට සමාන නිරීක්ෂණ අනෙකුත් ස්ථර ගැනද කළ හැකිය. ලංකාවේ බොහෝ වෘත්තීය නීතිඥයන් ඉගෙන ගන්නේ නීතිය පමණය; ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය නීති පීඨයේදීත්, නීති විද්‍යාලයේදී ඔවුන් ඉගෙන ගත්තත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතියට පදනම් වන දේශපාලන දර්ශනවාදය චර්යාවාදය සහ න්‍යාය ඔවුන් ඉගෙන ගන්නේ නැත. නීතිය පිළිබඳ දැනුම නීතියට පමණක් සීමාවීමේ අඩුපාඩුව කෙනකුට ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවලද නිරීක්ෂණය කළ හැකියි. මේ අතර දේශපාලනය ගැන උනන්දුව දක්වන සහ දේශපාලන මහජන කතිකාවට සහභාගි වන බොහෝ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ද, මාධ්‍යවේදීන්ද ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව දක්වන්නේ මතුපිට අවබෝධයකි. ඔවුන් බොහෝ දෙනාද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන සිතන්නේ, දේශපාලක පන්තිය සිතන ආකාරයටමය. එනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු තමන්ගේ ළැදියාව හිමිකරගෙන සිටින දේශපාලන ස්වාමිවරුන්ගේ න්‍යාය පත්‍රයට සුදුසු ලෙස උප්පරවැට්ටි මාධ්‍යයෙන් අවභාවිත කළ යුතු ලියවිල්ලක් ලෙසය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්ථකථනය පිළිබඳ සරත් සිල්වා සහ විජයදාස රාජපක්ෂ යන මහත්වරුන් ඉදිරිපත් කළ ‘ලූප්හෝල්’ ප්‍රවේශය ඔවුන් දේව වාක්‍යයක් ලෙස විශ්වාස කළේ එබැවිනි.

මහජන විශ්වාසය
ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රීඩාවේ ඇති එක් ප්‍රධාන අලිඛිත මූලධර්මයක් ගැන කෙටියෙන් හෝ සඳහන් කළ යුතුව තිබේ. එය නම් ‘මහජන විශ්වාසය’ (Doctrine of Public Trust) පිළිබඳ මූලධර්මයයි. ජනාධිපතිගේ සිට ප්‍රාදේශීය සභා සභාපතිවරයකු මෙන්ම ග්‍රාමසේවා නිලධාරි කෙනකු දක්වා, රාජ්‍ය බලය භාවිත කිරීමට වරම් ලබන සෑම කෙනකුගෙන්ම, ප්‍රජාතන්ත්‍රවාදය අපේක්ෂා කරන, අතිමූලික චර්යාධාර්මික ප්‍රඥප්තියක් මෙයින් ප්‍රකාශ වේ. එය නම්, මහජනයා එම සෑම දෙනාටම බලය දී තිබෙන්නේ, එම බලය අයුතු ලෙස, අසාධාරණ ලෙස, නීති විරෝධීව, හිතුවක්කාර ලෙස, ප්‍රජා පීඩක ලෙස පාවිච්චි කරන්නේ නැත යන විශ්වාසය පදනම් කරගෙනය. රුපියල් සියයක් පගා ගන්නා සමෘද්ධි නිලධාරියකු පවා සිරදඬුවමකට හෝ දඩයකට හෝ රැකියාවෙන් නෙරපීමේ හෝ දණ්ඩනයකට යටත් කිරීමේ චර්යා ධාර්මික පදනම තිබෙන්නේ ‘මහජන විශ්වාසය’ යන ධර්මයේය. මහ බැංකුවේ බැඳුම්කර වංචාවට අනුබලදීම සහ හවුල්වීම ගැන ජනාධිපති සිරිසේන මහතා වෙතින් නිරතුරුව චෝදනා ලබන අගමැති රනිල් වික්‍රමසිංහ හා එජාප ඇමතිවරුන්ටත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කළේය යන ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයට ලක්වී සිටින ජනාධිපති සිරිසේනත් එතුමාට උපදෙස් දෙන නීතිඥවරුන්වත් මෙම ‘මහජන විශ්වාසය’ පිළිබඳ මූලධර්මය කිසිසේත්ම ගණන් ගන්නා බවක් නොපෙනේ. ගණන් ගන්නේ නම් ඔවුන් මේ වනවිට කළ යුතුව තිබුණේ ඉල්ලා අස්වී ගෙදර යෑමයි.

මේ පසුබිම තුළ, ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන පුරවැසියන්ද, අධිකරණයද, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට සටන් කරන පුරවැසි කණ්ඩායම්ද මුහුණ දෙන බලවත් ප්‍රහේළිකාවක් තිබේ. ලංකාවේ ‘ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රහේළිකාව’ ලෙස නම් කළ හැකි එය මෙසේය: පසුබෑම්වලට ලක්වුවත් යළි පුනරුජ් ජීවනය ලැබීමේ විභවතාව පෙන්වා ඇති ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට පවතින්නට සිදුවී තිබෙන්නේ, ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රීඩාවේ නීති සහ චර්යාධර්මවලට ගරු නොකිරීමේ දේශපාලන සංස්කෘතියක් මුල්බැසගෙන තිබෙන සමාජයකය. මේ නිරීක්ෂණයෙන් පසු කෙනකුට බැසිය හැකි, එතරම් සතුටු නොඋපදවන නිගමනයක්ද තිබේ. ලංකාවේ පුනරුජ් ජීවනය ලැබ ඇත්තේ බිඳෙනසුලු ප්‍රජාතන්ත්‍රවාදයකි. (a Fragile Democracy) යන්නයි.

මේ නිගමනයේ දේශපාලන ඇඟවීම් ගැන විස්තෘත සාකච්ඡාවක්, අප රටේ ක්‍රියාකාරී ප්‍රජාතන්ත්‍රවාදී පුරවැසි කණ්ඩායම් අතර ඉක්මනින්ම ආරම්භවන්නේ නම්, එය අප රටේ බිඳෙනසුලු ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමේ පියවර හඳුනා ගැනීමට බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇත.