ප්‍රජාතන්ත්‍රවාදය තියනවා නම් මට ඇමතිකම ලැබෙන්න ඕනේ

එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා

ඡායාරූප -ටී. නඩරාසා

ආණ්ඩුව එජාපයට ගන්න ඔබත් දරදිය ඇද්ද අයෙක්. ඒ අනුව අමාත්‍ය මණ්ඩලයේත් සිටිය යුත්තෙක්. ඔබට ඇමතිකමක් නොදුන්නේ ඇයි?
අගමැතිතුමා, රාජිත සේනාරත්න ඇමතිතුමා, මලික් සමරවික්‍රම වගේ කණ්ඩායමක් ගිහිල්ලා ඇහැව්වා ජනාධිපතිගෙන්. ඊට කලිනුත් කිය කිය හිටියනේ දෙන්නෙම නෑ කියලා. හැමවෙලේම මට බොරු චෝදනා එල්ල කළා ජනාධිපති ඝාතන සැලසුමකට මා සම්බන්ධයි කියලා. ඒක මම පාර්ලිමේන්තුවේම වරප්‍රසාද ප්‍රශ්නයක් නඟලා පොලිස්පතිගෙන් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිගෙන් වාර්තා ගෙන්නගෙන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා, එහෙම එකක් නෑ කියලා. මේගොල්ලෝ ගිහයම ජනාධිපති කියලා තියෙන්නේ මම ෆීල්ඞ් මාෂල් කෙනෙක්. එයාමයි මාව උසස් කළේ. ඒක හින්දා මම එයාව විවේචනය කරන එක වැරදියි. ඒක නිසා එයාගෙන් සමාව ගන්න ඕනේ කියලා. ඉතිං මම කීවා මීට කලිනුත් හිටපු ජනාධිපති කෙනෙක් මාව හිරෙත් දැම්මා, සමාව ගන්න කියලා නොගෙන ඉඳලා. එයාත් හිරෙන් එළියට ඇවිල්ලා ඇමතිකම් ගන්න කීවා. ජාතික ලැයිස්තුවෙන් ගන්නම් කීවා. ඒත් මම සමාව ඉල්ලන්න ගියේ නැහැ, මම නොකරපු වැරදිවලට. මෙතනදීත් ඒකම තමයි කියන්න තියෙන්නේ.

ෆීල්ඞ් මාෂල් කෙනෙක් එයාව පිළිගන්නේ නැහැ කියන එකට උත්තරේ තමයි පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් නැගුවා වාසුදේව නානායක්කාර මාර්තු මාසේ. ෆීල්ඞ් මාෂල් හමුදාවේ ඉන්නවාද? මොනවද තියන බලතල. දේශපාලනය කරන්න පුළුවන්ද? මන්ත්‍රී කෙනෙක් වෙන්න පුළුවන්ද? ඇමති කෙනෙක් වෙන්න පුළුවන්ද? ආදී වශයෙන්. ඒ ඔක්කෝටම ආරක්ෂක ලේකම් උත්තරයක් එව්වා පාර්ලිමේන්තුවට. එයා කියලා තියනවා පැහැදිලිවම මම විශ්‍රාමිකයි. ඒක හන්දා හමුදාවේ වගකීම් නැහැ. මන්ත්‍රී ධූරයක් දැරීමට හැකියි. ඇමැති ධුරයක් දැරීමටත් හැකියි කියලා. කොහොමත් විශ්‍රාමික හමුදා නිලධාරියකුට කිසිම බැඳීමක් නැහැ හමුදාව එක්ක හරි ජනාධිපති එක්ක හරි. එතකොට ෆීල්ඞ් මාෂල් කෙනෙක් කියලා මට චෝදනා කරන්නත්, සමාව ගන්න කියන්නත් බැහැ. ඒක අමූලික බොරුවක්. ඒක මගේ වරප්‍රසාද කඩ කිරිල්ලක්. මට අයිතියක් තියනවා දේශපාලනය කරන්න. ජනාධිපති කියන්නෙත් දේශපාලනඥයෙක්නේ. ඉතින් ඔයවගේ උත්තර තමයි දුන්නේ. එතුමා වැරදි කරපු වෙලාවට මම දිගටම විවේචනය කළා. ආණ්ඩුව පෙරළන්න ඉස්සරලා ඉඳන්ම. එතුමා අර යුද්ධය මෙහෙයෙව්වා, අනිත් අය පැනලා ගියා කීව වේලාවේත් මම තමයි මහින්ද රාජපක්ෂලටත් හැම වෙලේම ඒවට උත්තර දුන්නේ. එය එතුමාට තදින් වැදිලා තියනවා. එජාපයේ මැයි දින වේදිකාවේ මම කීවා පොදු අපේක්ෂකයෝ ගෙන්නලා අපි කරගත්තේ වරදක්, එජාපයේ නායකයට ඉල්ලන්න තිබුණා කියලා. මම දැනුත් විශ්වාස කරනවා වර්තමාන එජාප නායකයාට මැතිවරණයක් ආවොත් ඉල්ලන්න ඕනේ. ඒ තමයි මගේ දේශපාලන මතය. මම එක්සත් ජාතික පක්ෂයේ හිටියත් නීත්‍යනුකූලව එයාට විරුද්ධව නැගිටිනවා. ප්‍රජාතන්ත්‍රවාදීව නැගිටිනවා ඇරෙන්න මම නිලතල තාන්න මාන්න බලාගෙන ආත්මය පාවාදෙන ජාතියේ මිනිහෙක් නෙවෙයි.

අධිකරණ ක්‍රියාමාර්ග වලින් කුමන්ත්‍රණය දිනාගත්තත් ඉන් ඔබ්බට යන ගමනක් පැහැදිලිවම පෙනෙන්න නැහැනේ?
ඔව් දැන් අගමැති අයින් කිරීම සහ හිටපු ඇමති මණ්ඩලය විසුරුවීම ඊට පස්සේ රජය විසුරුවා හැරීම ඒවා අධිකරණය හරහා අපි නවත්වාගත්තා. අධිකරණයට අපි ඒකට ස්තූතිවන්ත වෙනවා. මම හිතන්නේ අධිකරණ කොමිසම හරහා ඒගොල්ලන්ට දැන් ආත්ම විශ්වාසයක් තියනවා. අතීතේ ඔහොම සිද්ධ වුණේ නැහැ. අතීතයේ ඔහොම සිද්ධ වුණා නම් අගවිනිසුරු පැය 48න් ගෙදර. එහෙත් මම විශ්වාස කරන්නේ නැහැ තවම ප්‍රජාතන්ත්‍රවාදය ඇවිල්ලා කියලා. අගමැතිකෙනෙක් පත් කළාට ඇමතිවරු පත් කළාට ප්‍රජාතන්ත්‍රවාදය ඇවිල්ලා නම් මගේ ඇමතිකම අහිමි කිරීම වගේ දේවල් කරන්න බෑනේ. ව්‍යවස්ථාවේ 43 වැනි ව්‍යවස්ථාවේ දෙවන උප ව්‍යවස්ථාවේ පැහැදිලිවම කියලා තියනවා, ඇමතිවරු පත් කිරීම අගමැතිගේ උපදෙස් මත සිදු විය යුතුයි. ඒක කළේ නෑ කියලා ජනාධිපතිට හිතෙන විදියට හරි ජනාධිපතිට විශ්වාස විදියට හරි ඒකෙ මුකුත් කියලා නැහැ. ඒ වරප්‍රසාදය කඩ කරලා තිබෙනවා ජනාධිපති. ඊට අමතරව මාධ්‍යයට. රූපවාහිනි නාලිකා දෙකම. දැන් ව්‍යවස්ථාවේ තිබෙනවානේ ජනාධිපති යටතේ තිබෙන්න පුළුවන් ආරක්ෂක පරිසර හා මහවැලි අමාත්‍යංශ පමණයි. වෙන අමාත්‍යංශ භාර ගන්න බැහැ කියලා. දැන් අර රූපවාහිනි නාලිකා දෙක ගත්තම ඒක යන්න ඔනේ ආරක්ෂක අමාත්‍යංශය යටතටද? අනෙක මාධ්‍ය ඇමති කෙනෙක් ඉන්නවානේ. එතකොට මාධ්‍ය ඇමතිට රූපවාහිනි නාලිකා දෙක නෑ. මේක ප්‍රජාතන්ත්‍රවාදය වගේම ව්‍යවස්ථාව කඩ කිරීමක්. ඊළඟට පොලිසිය ගත්ත එක වැරදියි. නීතිය හා සාමය කියලා අමාත්‍යංශයක් ඒ කාලේ තිබ්බනේ. මුලදීත් පොරොන්දුවක් දීලා තිබුණා එජාපයට නීතිය හා සාමය අමාත්‍යංශය දෙනවා කියලා. ඒ පොරොන්දුව කඩකරලා නීතිය හා සාමය අමාත්‍යංශය තියාගෙන ඉන්නේ ඇයි කියන දේට උත්තරේ තමයි එතුමා ඝාතනය කිරීම ගැන පරීක්ෂණය ඉවර වෙනකල් තියාගන්න ඕනේ කියන එක. එතකොට ව්‍යවස්ථාව කඩනවා පුද්ගලික අවශ්‍යතාවන් මත. එතකොට මේ රටේ වෙන ඝාතන පරීක්ෂණ කරන්නේ නැතිද? ජනාධිපති ඝාතනය කියන එක විශේෂයෙන් මම දකින්නේ නැහැ. ජනාධිපති කියන්නේ මේ රටේ එක චරිතයක් පමණයි. ඒ ජිවිතය වටිනවා නම් පාර අයිනේ ඉන්න හිඟන්නෙක්ගේ ජීවිතෙත් වටිනවා. අනික ඔය චෝදනාව කරන්නේ නාමල් කුමාරද කවුද කියලා පිස්සු මිනිහෙක්. සමාජයේ පිළිගැනීමක් තියන මිනිහෙකුත් නෙවෙයි. ඒ මිනිහා විතරයි කියන්නේ. පොලිස්පතියි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවයි ලිඛිතව පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා එහෙම ඝාතනයක් ගැන තොරතුරු නැහැ කියලා. මට ආරංචි හැටියට ඩි.අයි.ජී. නාලක සිල්වා අත්අඩංගුවට අරන් තියෙන්නේ ඒ. එස්. පී. කෙනෙක්ගේ සිද්ධියක් ගැන. ජනාධිපති ඝාතනය ගැන කොහෙවත් ලියවිලා නැහැ. ඒ කියන්නේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තවම නෑ. ඒක විශාල ප්‍රශ්නයක්. මම දේශපාලනයට ඇවිල්ලා ඒකාධිපතියෙක් එක්ක හැප්පුනා. ඉදිරියටත් ජනාධිපතිත් ඒකාධිපතියෙක් විදියට වැඩ කරනවා නම් තානාන්තර බලාගෙන නිහඬව ඉන්නේ නැහැ.

ඉදිරියේදී එජාපයේ නායකත්වය වෙනස් කිරීම සඳහා කටයුතු කරනවද?
මම අපේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප්‍රසිද්ධියේම කියලා තිබෙනවා පක්ෂ නායකයා වෙනස් වීම මම අනුමත නොකරන බව. මම කීවා පක්ෂයේ ප්‍රශ්නයක් තිබෙනවා. අර්බුදයක් වුණ හැමවෙලේම කට්ටියක් ඉන්නවා පක්ෂ නායකත්වය වෙනස් විය යුතුයි කියලා සද්ද කරන. අර්බුදයක් ආවහම වෙන්න ඕනේ ඒකේ අනික් පැත්ත. ඔක්කෝම සමගියෙන් වැඩ කරන්න ඕනේ. දැන් ඔය පසුගිය අර්බුදය හා විශ්වාසභංගයෙදියි ඒ පිරිස පක්ෂ නායකයා මාරු විය යුතුයි නැත්නම් අපට ඉදිරියට යන්න බෑ, ඔය වගේ කතා කියන්න පටන් ගත්තා. මං දන්නවා එහෙම කියන කට්ටිය හවසටත් ගිහිල්ලා යම් යම් තැන්වල රැස්වෙලා කතා කරනවා. ඒ ක්‍රමයට මම කැමති නැහැ. පක්ෂ නායකයා වෙනස් වෙන්න ඕනේ නම් ඒවා විසඳ ගත යුත්තේ අර්බුදකාරී අවස්ථාවලදී බොරදියේ මාළු බාන්න ගිහිල්ලා නොවෙයි. කෘත්‍යාධිකාරී මණ්ඩලය තියනවානේ. එතනදි කතා කළ හැකියි. මම කොහොමත් පුද්ගලිකව දකින්නේ නැහැ නායකත්වය වෙනස් විය යුතුයි කියලා. එතුමාගේ අඩුපාඩු කියනවා. ඒකත් මම කීවා. ඔබතුමාගේ ආකල්ප වෙනසක් වෙන්න ඕනේ කියලා මම කීවා. එහෙත් එතුමා එලියට දාලා යම් යම් අය ගේමු කිවාට ඒ අයගෙත් විශාල අඩුපාඩු තියනවා.

ෆීල්ඞ් මාෂල් තනතුරට ඔබව ඔසවා තැබුවේ ජනාධිපතිවරයාමයි. ඔබ ජනාධිපතිවරයාට කළ වැරැද්ද මොකක්ද? ඔබ සමාව ගන්නවාද?
එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතහැරලා ඉවතට අවේ නිකන් මන්ත්‍රී කෙනෙක් හැටියටනේ. ඇමතිකමක්වත් නැහැනේ. එතකොට එහෙම කෙනෙක් උස්සාගෙන රට වටේ ගිහිල්ලා ජනාධිපති ධුරයේ වාඩි කරන්න අපි විශාල කැපකිරීමක් කළා. ඒක මේ රටේ සියලු දෙනාම දැක්කා. අපි හැම අතින්ම මුදල් හදල් වියදම් කළා. අපි රට පුරා කාර්යාල 65ක් ඇරියා. ඒ වාගේම එයාගේ හැම රැස්වීමටම මම විශ්‍රාමික සෙබළුන් 50 දෙනෙක් ගානේ රාජකාරී දැම්මා. බස් හයක සෙබළු ගමන් කළා මීටිමෙන් මීටිමට 150ක්. ඒ අයට තුන් වේලම කන්න දිදී ඉඳුම් හිටුම් දීලා විශාල වැඩපිළිවෙළක් කළා. සමහර වේලාවට එතුමාට යන්න බැරි තැන්වලට මම ගියා. පොළොන්නරුවේ මීටින් දෙකකටත් එතුමා ගියේ නෑ. මට කීවා කොහොමහරි යන්න කියලා. ප්‍රධාන කථිකයෝ හයදෙනයි හිටියේ, එයින් කෙනෙක් මම. මම ඊට ඉස්සෙල්ලා එතුමාත් එක්ක ගිවිසුමක් අත්සන් කළා ඒකේ මම මුකුත් ඉල්ලුවේ නැහැ. හැබැයි එතුමා කීවා මට යුක්තිය ඉෂ්ට වෙන්න ඕනේ කියලා. එතුමා මට තනතුර දෙන වෙලාවේ දුන්න පණිවිඩයෙත් තියෙන්නේ යහ පාලනයේ ඉදිරි පියවරක් හැටියට මෙයාව ෆීල්ඞ් මාෂල් තනතුරට පත් කරනවා කියලයි. ඒකත් කළේ එතුමා කළගුණ දැක්වීමක්. එතකොට මම ආයේ කෙලෙහිගුණ දක්වන්න ඕනේ කියලා ක්‍රමයක් තියෙන්න නෑනේ. දේශපාලනයේදී මගේ පක්ෂයේ නායකයා වුණත් වැරදි නම් මම කියනවා. එතුමා කොච්චර විවේචනය කළාද එක්සත් ජාතික පක්ෂය. එජාපයේ නායකයාට මොනවද නොකීවේ. එජාප නායකයා රටත් කෑවා කීවා, පක්ෂයත් කෑවා කීවා, මාවත් කෑවා කීවා. එතකොට එතුමත් සමාව ගන්න ඕනේ එක්සත් ජාතික පක්ෂයේ නායකයාගෙන්. ඉතින් එහෙම සමාව ගන්න කියන එක සාධාරණත් නැහැ. මම සමාව ගන්නෙත් නැහැ.

අවුරුදු තුනහමාරක් තුළ ඔබලා සාමාන්‍ය ජනතාවට දැනෙන යමක් කළේ නැහැ. ඉදිරි කුඩා කාලය තුළත් ඔවුන්ට කිසිවක් කරන්න හැකියාවක් නැහැ නේද?
පසුගිය අවුරුදු තුනහමාරේ පළාත් පාලන ඡන්දෙට ඉස්සරලා ලොකු අර්බුදකාරී තත්ත්වයක පවතිද්දියි රට භාර ගත්තේ. ණය වෙලා අරාජික වෙච්ච රටක්. ඒක වෙනම ප්‍රශ්නයක්. ඒවාට පිළිතුරු සොයන්න වුණා. ඒ අතරෙම පක්ෂයේ නොයෙක් ආර්ථික සංකල්ප තිබුණා. එහෙත් විධිමත්ව යමක් කරගන්න බැරිවුණා. විශේෂයෙන් දේශපාලන පලිගැනීම් වලට විසඳුම් දෙන්න බැරි වුණා. තීන්දු තීරණ ගැනීමේ අඩුපාඩු තිබුණා. රැකියා දීමට පක්ෂය උනන්දු වුණේ නෑ. අපි ළඟට මිනිස්සු ඇවිල්ලා තරහවෙලා යන අවස්ථා තිබුණා. උත්සාහ කළා රැකියා දෙන්න. සමහර ඇමතිවරුන්ටත් රැකියාවල් දෙන්න බැරිවුණා. දෙන්න පුළුවන්කම තිබුණු ඇමතිවරු තමන්ගේ ආසනේ අයට විතරක් දුන්නා. සම ක්‍රමවේදයකට සැලසුවේ නැති එකට අපි වගකීම ගන්න ඕනේ. ඒව සමාව දිය හැකි වැරදි කියලා මම හිතන්නේ නැහැ. ගම්පෙරළිය කියලා සමහර ආසනවල යම් යම් දේවල් වුණා. මගේ ආසනේ එහෙම කිසි දෙයක් වුණේ නැහැ. ඒවා තේරුම් අරගෙන සියලුම මන්ත්‍රීවරුන් එක්ක අනිවාර්යයෙන්ම කතා කරලා තීන්දු තීරණ ගන්න ඕනේ කියන මතයේ මම ඉන්නවා. එහෙම කළේ නැත්නම්, සුමාන දෙකකින් ඒවා කතා කරලා ඉවර කරගන්න ඕනේ. ඊට පස්සේ ක්‍රියාත්මක වෙන්න ඕනේ. තව කෙටි කාලයයි තියෙන්නේ. විශේෂයෙන් මුදල් අමාත්‍යංශය ප්‍රායෝගිකවම මේ වැඬේට අතගහන්න වෙනවා.

කවුරු මොන පම්පෝරී ගැහැව්වත් මේ රට දියුණු වුණේ නැහැනේ. ඒක අපි පිළිගන්න ඕනෙනේ. ආණ්ඩු මාරු වුණා රට දියුණු වුණේ නැහැ. මේ රටේ ජීවත් වීම අමාරු වුණා, දුප්පත්තු වැඩි වුණා. මම දේශපාලනයට ආවේ මේ දේශපාලනයෙන් යැපෙන්න නොවෙයි. මම කැළණියේ දේශපාලනය කරනවා අවරුදු දෙකහමාරක්. සත පහක් ව්‍යාපාරිකයන්ගෙන් අරන් නැහැ. ඒ නිසා මම තනිකරම විරුද්ධයි වැරදි වැඩවලට.

පැහැර ගැනීම් හා අතුරුදන් කිරීම් සම්බන්ධයෙන් යුද හමුදා සාමාජිකයන්ට එරෙහිව පවරන පරීක්ෂණ වලට හමුදාව සහය දෙන්නේ නැහැ. හමුදා නිලධාරීයෙක් විදියට ඔබ ඒ ගැන කියන්නේ මොනවාද?
අනිවාර්්‍යයෙන්ම හමුදාව ඒවාට උදව් කරන්න ඕනේ.