මහින්දගේ අඥාදායකත්වයට මම හරි කැමතියි

ඔබ, තිලංග, ඩිලාන්, එකතු වී ගහපු ගේම වැරදුනා නේද?
දැන් ඔය ගේමේ ප්‍රධාන ඉලක්කෙට අපි ගියා. අපි ඒක ජයගත්තා. හැබැයි ගේමේ අතුරු ඵලයක් හැටියට අපි ආණ්ඩු බලය ගන්න ගිය වැඬේ අපිට වැරදුණා. අපේ ප්‍රධාන ඉලක්කය වුණේ අපේ පිළේ හිටපු අය එකතු කරලා ව්‍යාපාරයක් අරඹන්න. අපිට උවමනාව තිබුණේ ඇමතිකම් අතහැරලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සංධානේ අය ආණ්ඩුවෙන් එළියට ගන්න. ඒ යෝජනාවක් අපි මධ්‍යම කාරක සභාවේ තියලා අවේ. ඊට පස්සේ එළියට ඇවිල්ලා ඒක තමයි අපේ සටන. ඉතිං රාජපක්ෂ එක්ක හිටිය අයත් එක්ක ප්‍රශ්න ගැටලු මෛත්‍රීපාල සිරසේන ජනාධිපතිතුමාටත් තිබුණා. හැබැයි මේ සියලු දෙනා රට දිහා බලන්නේ විශේෂයෙන් ආර්ථික ප්‍රශ්න දිහා බලන්නේ එක විදියකට. ඒ ප්‍රගතිශිලී දේශප්‍රේමී නෑකම එකට එකතු කරගන්න තමයි අපිට ඕන කරලා තිබ්බේ. ඒක අපි හරියටම කරා. ඒකේ අතුරු ඵලයක් විදියට අපිට ඕන කළා අපි ආණ්ඩුවෙන් එළියට එනවා කියන්නේ රජය අකර්මන්‍ය වීම. එතකොට අග්‍රාමාත්‍යවරයා අකර්මණ්‍ය වීම. ඒ අනුව ජනාධිපතිවරයාට අග්‍රාමාත්‍යවරයෙක් පත් කරන්න වුණා. ඒක එතුමා කළා. දැන් ඒ අගමැතිවරයා තමන්ගේ බහුතරය පෙන්වන්න ඕනේ. ඒක බැරි වුණා. ඒකට ප්‍රධාන කාරණය වුණේ මේ අය හදිසි වුණා විසුරුවා හරින්න. මම හිතන්නේ ඒ තීන්දුව ගැනීමට හදිසි වුණා වැඩියි කියලයි. ඒ නිසා අපිට එන්න හිටපු අය නැවතුණා. ඡන්දයක් ළඟ තියෙද්දි පක්ෂයක් මාරු කරනවා නම් එයාට අං තියෙන්න ඕනේ. කුර තියෙන්න ඕනේ. ඒ වගේම අපි හිතන්නේ අධිකරණ තීන්දුව වැරදියි කියලා. අධිකරණයට අපේ තියන ගෞරවය සැළකිල්ල තියෙන්න ඕනේ. ඒක එහෙමයි. එනමුත් මේ ව්‍යවස්ථානුකූල පාර්ලිමේන්තුවට තිබෙන බලයේ තිබෙන්නේ පාර්ලිමේන්තු බහුතරයකින් විසුරුවා හැරිය හැකියි කියලයි. අවුරුද්දකට පස්සේ ජනාධිපතිතුමාට ඕනේ වේලාවක විසුරුවා හරින්න පුළුවන්. සමාන්‍ය බහුතරය තුනෙන් දෙකක්. එහෙම නැත්නම් අවුරුදු හතරකට පස්සේ. එතකොට හදිසි අර්බුද අවස්ථාවක ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුව විසුරවීමට 33-2 වගන්තියේ තිබ්බ පාර්ලිමේන්තව කැඳවීමට හා කල් තැබීමේ බලයට එකතු කළේ විසුරුවීම කියන එක. ඉතිං ඒ වචනය ඒකට දැම්මේ ඇයි? කොන්දේ අමාරුවටද? ඇතුල් කළේ ඔය වගේ ක්‍රයිසිස් එකකදී විසුරුවා හරින්න. ඒක හැබැයි අධිකරණයෙන් පිළිගත්තේ නෑ.

අපිට රට ගැන හිතන, වමෙන් හිතන ප්‍රගතිශීලී ලෙස හිතන කණ්ඩායමක් එක්ක කටයුතු කිරිමට හැකි වුණා. මං හිතන්නේ ඒක තමයි සංහිඳියාවට තිබෙන එකම විසඳුම. මොකද අර සම්බන්දන් විපක්ෂ නායකතුමා හරි නිවැරදිව කීවා, අපිට මේකට විසඳුමක් ඕනේ සිංහල ජනතාවගේ ආශීර්වාදය මැද කියලා. ඒක තමා ප්‍රායෝගික දේ. මම සිටින්නේ බලය විමධ්‍යගත කළ යුතුයි කියන තැන. 13 ක්‍රියාත්මක කළ යුතුයි කියන තැන. ඒක නිසා රටේ ඒකීයභාවය, ස්වෛරීභාවය ස්වාධීනත්වය අපි දිවිහිමියෙන් රකින්න ඕනේ කියනවා වාගේ. බලය විමධ්‍යගත කරන්න ඔනේ උතුරේ ප්‍රශ්නය ගැටළුව විසඳන්න ඕනේ කියන කාරණය වෙනුවෙන් පෙනී සිටිනවා. ඒ නිසා ඒක කරන්න පුළුවන් හොඳම ජෝඩුව හැටියට මම දකින්නේ මෛත්‍රී, මහින්දයි. මෛත්‍රීට සුළු ජාතික විශ්වාසය තිබෙනවා. මහින්දට සම්පූර්ණ සිංහල බෞද්ධ සවිය භික්ෂූන් වහනසේලාගේ විශාල ගෞරවයක් තිබෙනවා.

මෛත්‍රීපාල සිරසේන ඇතුළු කණ්ඩායම එකතුවෙලා ජනතාවගේ ඡන්දයෙන් එලවපු මනුස්සයාව නැවත ගෙන ඒම කුමන්ත්‍රණයක් නෙවෙයිද?
කුමන්ත්‍රණයක් නෙවෙයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආඥාදායකත්ව ස්වභාවයට මගේ තිබෙන්නේ ලොකු කැමැත්තක්. ඒත් ඔය අය විරුද්ධ වෙයි. මොකද අපි වගේ රටක් සංවර්ධනය කරන්න ආඥාදායකයෙක් සිටිය යුතුයි. ලී ක්වාන් යූ, මහතීර් මොහොමඞ් සිය රටවල් දියුණු කළේ ඩෙන්සියා චිං චීනය ලොව බලවත්ම රට බවට පත් කළේ ආඥාදායකයින් නිසයි. දකුණු කොරියාව දියුණු වුණේ ආඥාදායකයින් නිසයි. ඒක නිසා ආඥාදායකත්වයට මගේ කැමැත්තක් තමයි තියෙන්නේ. සමහර වෙච්ච නාස්ති හා ක්‍රියා පිළිබඳ මටත් ගැටලු තියනවා. හැබැයි මහින්ද රාජපක්ෂ යුගයයි මේ අවුරුදු තුනහමාරයි තරාදියකට දාපුවහම මහින්දගේ පැත්තේ තට්ටුව උඩ. අනික් පැත්ත පොළවත් හිල් කරගෙන බහිනවා.

ඒ දූෂණ කතා වලට තක්කඩිකම්වලට නායකත්වය දුන්නේ රනිල් වික්‍රමසිංහ. උන් හොරා මුං හොරා අපේ හොරා අපිට හොඳා වාගේ ඒක තීන්දු කරන්න ඕනේ අපේ පිළෙන් . ඒකට තිබෙන හොඳම දේ තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමා නායකත්වයට ගෙන ඒම.

අනාගත ජනාධිපති අපේක්ෂකයා විදියට මෛත්‍රීව ගේන්න පොහොට්ටුවට ලෙහෙසි වෙන එකක් නැහැ නේද?
මෙහෙමයි, අපි ඔය ප්‍රශ්නේ ගැන කතා කළේ නැහැ. ඔය ගැන පොහොට්ටුවත් එක්ක, ජනාධිපතිතුමා එක්ක බැසිල් එක්ක කාගෙවත් එක්ක එහෙම විවෘතව කතා කළේ නැහැ. අපිට අවශ්‍යතාවයක් තිබ්බෙත් නැහැ. හැබැයි අද ඔබ ඔය කියන ගමන යනවා නම් අද වෙනකොට මේක පක්ෂ දෙකක්නේ. අදත් ගමේ පොහොට්ටුව හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැපෙනවා. මේවා ක්‍රමානූකූලව විසඳිය යුතුයි. අනුර, මෛත්‍රීපාල, සෙනානායකලා කඩාගෙන යනකොට ශ්‍රීලනිපය කඩා වැටුණා. ශ්‍රී ලංකා මහජන පක්ෂය හදාගෙන ගියාට පස්සෙත් අපි පාරේ ගහගත්තා. අපිට 1987 පළාත් සභා ඡන්දෙට අපේක්ෂකයකු හොයා ගන්න බැරි වුණා. තරග කරේ නෑ. අවසානයේ ඒවා හරි ගිහිල්ලා ආවා. ඇවිල්ලා චන්ද්‍රිකා රටේ ජනාධිපතිත් වුණා. ඒ නිසා මේ ගැටුම් තියනවා තමයි. හැබැයි මම විශ්වාස කරනවා අර දෙපැත්තට බෙදිලා සටන් කරලා ජනාධිපති සටනින් පරාජය කරපු මහින්දයි, දිනපු මෛත්‍රීයි අතර අද ඉතා හොඳ අවබෝධයක් තිබෙනවා. එතුමා පසුගිය කාලේ සාමාන්‍ය ජනතාවගේ හදවතට සමීප වුණා.

පක්ෂ මාරු කරන අයට ඇමතිකම් දෙන්නේ නෑ කියලා ජනාධිපතිවරයා කියනවා. පක්ෂ මාරු කළ අයෙක් විදියට ඔබ මේ ගැන කියන්නේ මොකක්ද?
මේ තියන ක්‍රමය අනුව පක්ෂයක් පරාද කරලා දාන්න තිබෙන එකම ක්‍රමය පක්ෂ මාරු කරන එක තමයි. ඒ පක්ෂ මාරු කරන කොට සල්ලි කුට්ටි සංස්කෘතියට අපි නැහැ. අපි එළියට බැස්සහම මට වාහනයක් නැහැ. ෆිනෑන්ස් කරලා තමයි වාහනයක් ගත්තේ. හැබැයි ඉතිං අමාත්‍යාංශ දෙන්න එහෙම කතා කරනවා. එහෙම නැතුව ආණ්ඩු පෙරළන්න බෑ. ඒක හොඳ එකක් නෙවෙයි ඇත්තටම. මම හැමවෙලේම ඡන්දය කොට්ටාස ක්‍රමයට තියන්න ඕනේ කියලා. පළාත් පාලන ඡන්දයේදී හෝදාගෙන පොහොට්ටුවට ගියා කියලා දැක්කට ඒ වෙලාfවේ ඡන්දය දුන්නේ මහින්ද රාජපක්ෂට. මේ ක්‍රමයේදී මිනිසුන්ට අස් වෙන්නත් පුළුවන්. එහෙම කළා. අස්වෙලා බයි ඉලෙක්ෂන් එහෙකින් දිනලා අනික් පැත්තට යනවා.

ප්‍රතික්ෂේප වෙමින් තිබූ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ කණ්ඩායමට නැවත අළු ගසා දමා ඉදිරියට ඒමට මාර්ගයක් ඔබලා හදලා දුන්නා නේද? අනික් පැත්තෙන් මහින්ද රාජපක්ෂ ගැන අප්‍රසාදයක් ඇති වෙමින් තිබෙනවා නේද?
ඔය දෙකේම බැලූ බැල්මට යම් කිසි සත්‍යක් තිබෙනවා. හැබැයි ඒකට කලබල වෙන්න ඕනේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය කොච්චර පහළට ඇද වැටුණත් එක්සත් ජාතික පක්ෂයට 25%ක විතර පිරිසක් ඉන්නවා. ඊළඟට මේ ජනාධිපතිතුමාගේ තීන්දුවේදි සිවිල් සංවිධාන වගේ ඒවා නම් විතරයි. ඇත්තටම ලොකු නමක් තිබෙනවා. එබැයි එයා විතරයි ඉන්නේ. මේ අය දේශපාලන වශයෙන් හැමදාම පරාද වෙච්ච අය. මේ සිද්ධියේදී ඔය ලාල් විජේනායකලා, වික්‍රමබාහුලා වගේ වමේ පිරිස් මෛත්‍රී එක්ක හිටගත්තේ නෑ. මම හිතන්නේ ඒ අයට අපි ආමන්ත්‍රණය කරන්න ඕනේ. ඒ වගේම ලිබරල්වාදය ප්‍රතික්ෂේප කරන පිරිසක් යූඇන්පීය ඇතුළෙත් ඉන්නවා. ඔබ කිව් අර කාරණය බැලූ බැල්මට එක්සත් ජාතික පක්ෂය අළු ගහලා ආවා. එක්සත් ජාතික පක්ෂයට එහෙම පිරිසක් ඉන්නවා. මොකද අවුරුදු 9කට පස්සේ තමයි එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් හැදුනේ. ඒ වගේම නිහඬ ප්‍රජාතන්ත්‍රවාදී පිරිස් වලට මහින්ද රාජපක්ෂ මහත්තයා ගැන ප්‍රශ්නාර්ථයක් ආවා. හැබැයි ඒ දෙකම හරියයි. අපි කළේ එකට හිතන්න පුළුවන් එකට එකතු කිරීම. ඒකේ හොරු මිනීමරුවෝ පාතාලයෝ ඇති. සියලුදෙනා මාතෘ භූමිය ගැන එකට හිතන අය.

ඔබත් කාලෙක නායකයකු ලෙස ඉහළම ලකුණු පහළ කරපු කෙනෙක්. දැන් මේ වගේ වැඩ නිසා ඔබ හෑල්ලුවට පත්වෙලා නේද?
ඔබට එහෙම හිතන්න පුළුවන්. හැබැයි මම හිතන්නේ මේ ක්‍රියාදාමය හරහා දේශප්‍රේමි වමේ ප්‍රගතිශීලි පිරිස් අතර ආදරයට පාත්‍ර වුණා කියලයි. අපේ හාමුදුරුගොල්ලන් මාව දැක්කහම හිනාවෙන්නේ නැති තත්ත්වයක තමා පසුගිය කාලේ හිටියේ. අපේ මහනායකවරු පවා. හැබැයි අද ඒ අයට මම ආදරණීය නායකයෙක් බවට පත්වෙලා. ඒ අය හිතන්නේ මම ඒ දෙන්නා එකතු කළා කියලා. ඒක ලේසි වැඩක් නෙවෙයි. ඒ වගේම ගමේ සාමාන්‍ය ශ්‍රී ලංකාකාරයා පසුගිය කාලෙදී අපට නොවෙයි පොහොට්ටුවටයි ඡන්දය දුන්නේ. ඒ අය දැන් මාව හොයාගෙන එනවා. මම ආපහු කීවොත් දේශප්‍රේමී ජාතිකවාදී වමේ ප්‍රගතිශීලී කණ්ඩායම් වලට මම ආදරණීයයෙක් වුණා.

උතුරට බලය බෙදන්න ඕනේ. විමධ්‍යගත පාලනයක් දෙන්න ඕනේ. 13 දෙන්න ඕනේ කීවා. හැබැයි ඔබ කියන ඔය දේශප්‍රේමීත්, මහනායක හිමිවරුත්, භික්ෂුන්වහන්සේලා, ජාතිවාදීන් මේකට ඉඩ දෙයිද? ඇත්තටම ඔය කතාවක් විතරයි නේද?
ඒකම තමයි මට අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය ආණ්ඩුවෙන් එළියට බහිනකොටත් කීවේ. කිසි දවසක ඔය මහින්දලා එක්ක අපට එකතු වෙන්න බෑ කියලා. එක වෙලාවක මහින්ද මහත්තයත් මෛත්‍රීපාල ජනාධිපතිතුමත් හිතුවා මේක කරන්න බැරි වැඩක් කියලා. එහෙම තමයි. ඒක හරි දුෂ්කරයි තමයි. හැබැයි මම හිතන්නේ ඒ අභියෝගය භාරඅරගෙන කරන්න ඕනේ. මම හිතන්නේ නෑ උතුරේ පළාත් සභාවලට ඒ ඉඩම් ඒගොල්ලන්ට ඕනේ විදියට පාලනය කරන්න දෙන්න ඕනේ කියලා. 13 සංශෝධනය තුළ මේවා තිබෙනවා. පොලිස් බලයත් එහෙමයි. පළාත් සභාවට ඕනේ විදියට පාලනය කරලා මධ්‍යම රජය දනගස්සන්න පුළුවන් කියලා 13 සංශෝධනයේ නැහැ. එකේ කිසියම් අඩුපාඩු තියනවා නම් සංශෝධයක් කරන්න පුළුවන්. ප්‍රභාකරන් ඉල්ලපු දේ ගැන නෙවෙයි මම කතා කරන්නේ. උතුරේ මහ ඇමති ඉල්ලන දේවල් ගැන නොවෙයි මම කියන්නේ. උතුරේ ජනතාවට යම්කිසි සැනසෙන්න පුළුවන් විසඳුමක් දෙන එක ගැන තමයි මම කියන්නේ.