මෛත්‍රි- මහින්ද දෙපැත්තට අදිති

කෝසල කුරුවිට බණ්ඩාර/ වින්ද්‍යා ගමගේ/ ලෝරන්ස් ෆර්ඩිනැන්ඩු

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සමඟ ශ්‍රීලනිපයේ ඉතිරි වී සිටින මන්ත්‍රීවරුන් 20කට ආසන්න පිරිසගේ දේශපාලන අනාගතය පිළිබඳ ප්‍රශ්නයේදී ශ්‍රීලනිපය සහ පොදුජන පෙරමුණ (පොහොට්ටුව) අතර ප්‍රබල මත ගැටුමක් හටගෙන ඇතැයි දැනගන්නට ඇත.

පොදුජන පෙරමුණ, එක්සත් ජනතා නිදහස් සන්ධානය තුළට ගැනීමට ශ්‍රීලනිප පිළ උත්සාහ දැරීමත්, ශ්‍රීලනිප කණ්ඩායම පොහොට්ටුව යටතේ කටයුතු කිරීමට අකමැත්ත පළ කිරීමත් මෙම තත්ත්වයට මූලික හෙතුව බවද වාර්තා වේ.

බ්‍රහස්පතින්දා (27) එක්සත් ජනතා නිදහස් සන්ධාන කමිටුවද රැස් වූ අතර මහින්ද අමරවීර මෙන්ම දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන්ද ඊට එක්ව සිටියහ.
ශ්‍රීලනිපයේ සිට මෑතකදී එජාපෙ ආණ්ඩුවට එක් වූ තුන්දෙනාගෙන් එක් අයකු වූ පියසේන ගමගේ මන්ත්‍රීවරයා පැවසුවේ ශ්‍රීලනිපයේ දැනට සිටින කිසිවකුත් පොහොට්ටුවට එක්වීමට කිසිදු කැමැත්තක් නොදක්වන නිසා එජාපය ගොඩනගන පුළුල් සන්ධානයට ඔවුන්ගේ බහුතරයක් එක් වනු ඇති බවය.

ශ්‍රීලනිපය මූලික වී නව සන්ධානයක් ගොඩ නගනු ලැබුවද එහි සිටිමින්ම තම තමන් නියෝජනය කරන පක්ෂවල ලකුණු වලින් මහ මැතිවරණයට තරග කිරීම වඩාත් උචිත බව, පොදු ජන පෙරමුණ නියෝජනය කරන පා. ම. ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කළේය.

කොමියුනිස්ට් පක්ෂයේ මහ ලේකම් ඩිව් ගුණසේකර සඳහන් කළේ ශ්‍රීලනිපයේත්, පොහොට්ටුවේත් සමාජ පදනම සමාන වන නිසා, ඔවුන් එක් වී කටයුතු කළහොත් ශ්‍රීලනිපය පක්ෂයක් ලෙස අභාවයට නොයන බවයි.

පසුගිය පළාත් පාලන ඡන්දයේ ප්‍රතිඵල අනුව, පොහොට්ටුව පැහැදිලි බහුතර ඡන්ද පදනමක් හිමි කර ගැනීම නිසා ඔවුන්ට ප්‍රමුඛත්වය දිය යුතු බව පොදුජන පෙරමුණේ අදහස වී ඇතත් ශ්‍රීලනිපයේ ස්ථාවරය වී ඇත්තේ තම පක්ෂය ලබාගත් 14%ක ඡන්ද පදනම නොමැතිව ඉතිරි ඡන්දයකදී 51%ක් ලබා ගත නොහැකි බවය. එජනිස නායකයකු රාවය සමඟ පැවසුවේ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් 20 දෙනාගේ දේශපාලන අනාගතය පිළිබඳ ලැබෙන සහතිකය මත, ඔවුන් කුමන පිලට එක්වේද යන්න තීරණය වීමට නියමිත බවය. ■