මහ ඡන්ද සැලසුම දේශපාලන උපායක්

ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) තවදුරටත් අර්බුදයට යැවීම සඳහා මහ මැතිවරණයක් පැවැත්වීමට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන ඒමේ සැලසුමක්ද එක්සත් ජාතික පෙරමුණ තුළ සාකච්ඡාවට ලක්වන බව වාර්තා වේ.

මුස්ලිම් කොංග්‍රසයේ ලේකම් නිශාම් කාරියප්පර්ද මීට පෙර පවසා තිබුණේ කඩිනමින් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම දේශපාලන ස්ථාවරත්වයට අත්‍යවශ්‍ය කරුණක් බවය.

එජාප ජාතික සංවිධායක, අමාත්‍ය නවීන් දිසානායක, පසුගියදා ප්‍රකාශ කළේ එළැඹෙන වසර මැද භාගය වනවිට මහ මැතිවරණයක් සඳහා පක්ෂය සූදානම් කළ යුතුයැයි තමන් නායකත්ව මණ්ඩලයට දැනුම් දුන් බවය.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ඇතුළු පොහොට්ටුවේ සාමාජිකයන්ද මහ මැතිවරණයක් ඉල්ලා සිටින නිසා පාර්ලිමේන්තුවට එවැනි යෝජනාවක් ඉදිරිපත් කළහොත් එය පරාජය නොවනු ඇතැයි එජාපෙ විශ්වාසය වී තිබේ. එහෙත් එසේ මහ මැතිවරණයක් පැවැත්වීමට පෙර ජනපති මෛත්‍රීපාල සමග සිටින ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් 20 දෙනා මැතිවරණය ජයගැනීමේ ක්‍රමවේදය කුමක්ද යන ප්‍රශ්නය බරපතළ ලෙස මතුවනු ඇතැයි එජාපෙ පක්ෂ නායකයකු රාවයට පැවසීය. පොහොට්ටුව හරහා එම 20 දෙනාට සහයෝගයක් නොලැබුණහොත් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ ඡන්දයෙන්, විසුරුවා හැරීම අනුමත කළද ජනාධිපතිවරයා විසුරුවා හැරීමේ තීරණය නොගෙන සිටීම තුළ මෛත්‍රී – මහින්ද අර්බුදය රටට හෙළිදරව් වනු ඇති බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය. ■