‘ටීවි එක ගෘහ භාණ්ඩයක්…. චිත්‍රපටයක් ටීවි එකෙන් පෙන්වලා එය ලඝු කරන්න මම කැමති නැහැ… – ‘කම්ම’ චිත්‍රපටයේ අධ්‍යක්ෂ දිනුක චතුරංග

වින්ද්‍යා ගමගේ

දිනුක චතුරංගගේ ප්‍රථම සිනමා අධ්‍යක්ෂණය වන ‘කම්ම’ ක්‍රියාන්විත සිනමාවේ බෞද්ධ සම්ප්‍රාප්තිය මංගල දර්ශනය පසුගියදා ජා ඇළ කේසෝන් හි වින්ටා ලයිට් සිනමා ශාලාවේදී ප්‍රදර්ශනය කෙරුණි. සිනමාවට නවක වූ තරුණ කැළකගේ දායකත්වයෙන් නිමැවුණු ‘කම්ම’ චිත්‍රපටය ඉදිරියේදී ප්‍රදර්ශනය වීමට නියමිතය. මේ ඒ පිළිබඳව දිනුක සමඟ සම්මුඛ වීමකි.

කම්ම තුළින් ඔබ සිංහල සිනමාවට නව ශානරයක් හඳුන්වා දීමට උත්සාහ කළ බව පෙනෙනවා?

දැන් තිබෙන ක්‍රියාදාම සිනමාවට ඉහළ දෙයක් කරන්න මට අවශ්‍ය වුණා. ‘කම්ම’ චිත්‍රපටයේ තේමාව ක්‍රියාන්විත සිනමාවේ බෞද්ධ සම්ප්‍රාප්තියයි. මෙය ප්‍රේක්ෂකයාට බලා සිටීමට නීරස නොවන ලෙස ඔහුව  අවිද්‍යාවෙන් මුදවා ගැනීමට කළ උත්සාහයක්.

නව අධ්‍යක්ෂකවරයෙක් ලෙස ඔබ මේ නිර්මාණයේදී මුහුණ දුන් අභියෝග මොනවාද?

මේ චිත්‍රපටය 100%ම නවකයින්ගේ එකතුවක්. ඔවුන් කිසිවකුට සිනමාව පිළිබඳ දැනුමක් තිබුණේ නැහැ. ඔවුන්ට සිනමා සාක්ෂරතාවක් නොතිබීම අපට විහාල අභියෝගයක් වුණා. ඒ නිසා අපි මුලින්ම සිනමාව ඉගෙන ගෙන අප ලත් දැනුම කණ්ඩායමේ අය සමඟ බෙදා ගත්තා. අපේ ඒ උත්සාහය බොහෝ දුරට සාර්ථක වූ බව අපට ලැබෙන ප්‍රතිචාර වලින් පෙනෙනවා.

‘කම්ම’ සඳහා ලැබුණු ප්‍රතිචාර ගැන කතා කළොත්?

අපි මංගල දර්ශනය පැවැත්වුවේ ජාඇළ කේසෝන්හි විස්ටා ලයිට් සිනමාශාලා හලේදියි. මුහුරත් උළෙලේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වුණු සමන් වික්‍රමආරච්චි මහතා කිව්වා තමන්ගේ නිර්මාණයට අවංක වුණු, ප්‍රේක්ෂකයා හොඳින් හඳුනාගත් අධ්‍යක්ෂකවරයෙන් බිහි වුණා කියලා. වෘත්තීමය නළුවන් හා අපේ නවක නළුවන් අතර තමා කිසිදු වෙනසක් නොදුටු බව ඔහු විශේෂයෙන් සඳහන් කළා. චිත්‍රපටය හරහා කීමට අව්‍යශව තිබුණු දෙය ප්‍රේක්ෂකයාට වඩා හොඳින් දැනුනු බව අපට වැටහුණා. මේක බලලා හොඳයි කියලා හෝල් එකෙන් ප්‍රේක්ෂකයාට සමු දීමේන් එහාට ගොස් මකත හිටින ආකාරයේ රසාස්වාදයකට එහා ගිය දෙයක් කරන්න අපට අවශ්‍ය වුණා. ජීවිතය වෙනස් වන ආකාරයටම චිත්‍රපටය තමන්ට තදින් දැනුණු බව බොහෝ දෙනා කිව්වා.

චිත්‍රපටයක් නිර්මාණය කිරීමේදී ඒ පිළිබඳව අධ්‍යනයක් කර තිබීම අත්‍යවශ්‍යද?

චිත්‍රපට ක්ෂේත්‍රයේ සිටින අයකුට එයින් ඉදිරියට යාමට යම් හැදෑරීමක් අත්‍යවශ්‍යයි. ඒත් හැදෑරීම පමණක් ප්‍රමාණවත් නැහැ. ‘කම්ම’ හදද්දීත් මම චිත්‍රපට සංස්ථාවේ පාථමාලාවක් කරමින් හිටියේ. දුරස්ථිකරණය (Alienation) වගේ සිනමා රීති මගේ චිත්‍රපටයට සුදුසු ලෙස යොදා ගත්තා. මෑතකදී එවැනි දේ බොහෝ සිංහල සිනමාපටවල අපි දුටුවේ නැහැ. චිත්‍රපට පාඨමාලාවෙන් ලබාගත් දේ මගේ ඉදිරි නිර්මාණවලටත් යොදාගන්න මා බලාපොරොත්තු වෙනවා. පාඨමාලාව අතරතුර ප්‍රවීණ අධ්‍යක්ෂවරුන් සිනමා දේශකයින් තම අත්දැකීම්, න්‍යායාත්මක දැනුම අපත් සමඟ බෙදා ගනිද්දී ඒවා වඩා හොඳින් අවබෝධ කර ගන්න මා ‘කම්ම’ තුළින් ලබාගත් අත්දැකීම් ප්‍රයෝජනවත් වුණා. ඒ නිසා චිත්‍රපට අධ්‍යක්ෂණය කරන්න කළින් ෂෝට් ෆිල්ම් එකක්වත් කරලා පටන් ගන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා.

චිත්‍රපට නිර්මාණය සම්බන්ධව තරුණ පරපුර තුළ වෙනදා නොතිබුණු උනන්දුවක් දැන් තිබෙනවා නේද?

ඇත්තටම කියනවා නම් මේක ලංකාවේ සිනමාව ඉතාම පසුබෑමකට ලක් වී ඇති කාලයක්. අපි මේ ගැන සොයා බැලීමක් කළා. දැන් හෝල්වල සිංහල චිත්‍රපට දුවන්නේ නැති තත්ත්වයක් තමයි තියෙන්නේ. එවැනි මොහොතක ලංකාවේ තරුණයෝ බලාපොරොත්තු වෙන්නේ කම්මැලිකමක් නැතිව බලාගෙන ඉන්න පුළුවන් සිනමාවක්. හෝල් එකට දෙතුන්වරක් ගිහින් එකම චිත්‍රපටය නැවත නැවත බලන්න හැකි සිනමාවක් තරුණයෝ ඉල්ලා සිටිනවා. ඒ නිසා වෙනදාට වඩා තරුණයින් මේ ගැන උනන්දු බව පෙනෙනවා.

‘කම්ම’ ප්‍රේක්ෂකයා වෙත බෙදාහරින්නේ කවදාද?

දැනට අප ඒ වෙනුවෙන් කටයුතු කරනවා. හැකි ඉක්මනින් ඒ සඳහා අවස්ථාව ලැබේ යැයි අප බලාපොරොත්තු වෙනවා.

යු ටියුබ්, සැටලයිට් වැනි නව මාධ්‍ය හරහා ‘කම්ම’ මුදාහරින්න බලාපොරොත්තුවක් නැද්ද?

ටී වී එක කියන්නේ ගෘහ භාණ්ඩයක් විදිහටයි අපි ඉගෙනගන්නේ. සිනමාව එැවැනි මාධ්‍ය වලට ලඝු කරන්න මම පෞද්ගලිකව කැමති නැහැ. මෙහෙම කිව්වත් සමහර විට මූල්‍ය ගැටලු එක්ක අපටත් එහෙම කරන්න සිදුවේවි. එය නොකර බැරි කමට කරන දෙයක් මිසක ප්‍රශ්නයට විසඳුමක් නොවේ. සිනමාවකින් වියු යුත්තේ හෝල් එකට මිනිස්සු ගෙන්වීමයි.

පදිකවේදිකාවෙන් රු. 100-රු. 150ට විදේශීය රටක ඇක්ෂන් ෆිල්ම් එකක් ගේන්න පුළුවන්. එවැනි තත්ත්වයක රු.400-රු.500 වැය කර ඔබේ චිත්‍රපටය කෙනෙක් බැලිය යුත්තේ ඇයි?

මම මේ ළඟදී රිලීස් වුණු දෙමළ ඇක්ෂන් ෆිල්ම් එකක් බැලුවා. ඒකේ ඇක්ෂන් බලෙන් ඔබ්බලා තිබුණා. ඇක්ෂන් ෆිල්ම් කියන නම විතරක් තිබිලා වැඩක් නැහැ. ඒ චිත්‍රපටය නිසා අපි මෙතෙක් කල් ආදරය කළ නළුවට තිබුණු කැමැත්තත් අඩු වුණා.ඒ නිසා මුදල් පමණක් අරමුණු කරගත් සිනමාවක් කරලා වැඩක් නැහැ. කාලය අරගෙන, ගුණාත්මක නිර්මාණයක් කළ යුතුයි. අපට රිසිලෙස සංස්කරණය කරමින්, අවශ්‍යතාවක් වුණොත් ‘රීෂුට්’ කරලා හරි ගුණාත්මක නිර්මාණයක් බිහි කළ යුතු බවයි මගේ අදහස.

මිනිස්සු ෆිල්ම් හෝල් වලට නොයන්නේ කම්මැලි හිතෙන චිත්‍රපට බලන්න තියන අකමැත්තටයි. කම්මැලි නැතුව ෆිල්ම් බලන්න ‘ඇක්ෂන්’ අවශ්‍යම නැහැ. ‘සැඞ් ෆීල්ඞ්’ (Syd Field Theory) වැනි න්‍යායන් පාවිච්චි කළොත් නිර්මාණයට ප්‍රේක්ෂකයා ඇද බැඳ තබා ගැනීම අපහසු වන්නේ නැහැ. හරියට අධ්‍යනයක් කරලා චිත්‍රපට කරන්න අවශ්‍ය වන්නේ අන්න ඒ නිසයි.

ඉදිරි චිත්‍රපට පෝළිමට ඔබත් හසුවේවි. මේකට විසඳුමක් ඇත්තෙම නැද්ද?

ලංකාවේ මේ දීර්ඝ චිත්‍රපට පෝලිමක් තිබෙනවා. ෆිල්ම් හැදෙන එකේ අඩුවකුත් නැහැ. සිද්ධ වෙන්නේ පෝලිම දිග්ගැස්සෙන එක විතරයි. කොතරම් හොඳ චිත්‍රපටයකට වුණත් ප්‍රදර්ශනය කළ හැකි කාල සීමාවක් ඇති කළ හැකි නම් බොහෝ දෙනකුට අවස්ථාව ලැබේවී. අඹ ගහට වැඩිපුර පොලු ගැහුවොත් එක අඹයක්වත් වැටේවී. ඒ නිසා හොඳ නිර්මාණ ගොඩක් පෙන්ව ගන්න හැකි වුණොත් ප්‍රේක්ෂකාගාරය සිනමාහලට ඒමට ඇති උනන්දුව වැඩි වේවි.