ගින්නෙන් උපන් සීතල කඩුව ගිල්ල චර්යාවට ප්‍රතිපක්ෂද?

විමලනාත් වීරරත්න

71 සහ 89 ගැන ලංකාවේ නිශ්චිත දේශපාලන අවස්ථාද්වය උත්කර්ෂයට නැංවීමෙහි ප්‍රතිඵලයක් නැත. ඒවා බොහෝ විට ජනතා විමුක්ති පෙරමුණ තල්ලු කරනු ලැබූ තත්ත්වයන් මිස 71 සිට 89 දක්වාත්, ඉන්පසුවත් ඔවුන් මහත් ඕනෑකමින් අභ්‍යාස කිරීමට යත්න දැරූ තත්ත්වයන් නොවේ. එහෙත් එම කැරලි අවස්ථා දෙක ජවිපෙ දේශපාලනයෙන් කපා ඉවත් කර තැබිය හැකි සංසිද්ධීන්ද නොවේ. එම විනාශකාරී අවස්ථා දෙකම ජවිපෙ දේශපාලනයට ඓන්ද්‍රීය බද්ධය. වැදගත් වන්නේ දෙවැනි කැරැල්ලෙනුත් වසර තිහකට පමණ පසු වර්තමාන සමාජය එම සන්නද්ධ ක්‍රියාමාර්ගය දකින විධිය හා ඉන් ඔබ්බට ඇස විවර කරගන්නා ආකාරයයි.

අනුරුද්ධ ජයසිංහගේ ‘ගින්නෙන් උපන් සීතල’ (The Frozen fire) චිත්‍රපටයට ප්‍රස්තුත වන්නේ රෝහණ විජේවීර සහ ඔහු නායකත්වය දුන් 71, 89 දේශපාලන ක්‍රියාකාරීත්වයයි. ‘කාලයේ ගින්නෙන් පන්නරය ලැබූ ඒ යකඩ මිනිසුන්ගේ ඉරණම’ යන පර්යාය පාඨයකින් අධ්‍යක්ෂවරයා මෙම සංසිද්ධිය තවදුරටත් අර්ථ විවරණය කර තිබුණි. එම ඉරණම හෝ සිදුවූ ඛේදවාචකය ගැන නූතන ලාංකීය ජාතිය හිතන්නේ කෙසේද යන්න හැර යකඩ මිනිසුන්ගේ ඉරණම උත්කර්ෂයට ලක් කරන චිත්‍රපටයකින් ලංකාවේ සමාජයට වැඩක් නැත. අවශ්‍යවන්නේ එම සංසිද්ධිය විච්ඡේදනය කර බලා ලාංකික ජාතියක් ගොඩ නැගීම දෙසට සමකාලීන මනස මෙහෙයවා ගතහැකි ඥාන මීමංසාවකි. වර්තමාන තරුණ පරපුර එම දෙවැනි කැරැල්ලේ වටපිටාව ගැනවත් නොදන්නා අතර ඒ අනුව 71 ඔවුන්ට එක්තරා අපබ්‍රංසයකි. මෙම චිත්‍රපටයේ නිෂ්පාදිකාව වන චමත්කා පීරිස් ඕස්ටේ්‍රලියාවේ අධ්‍යාපනය හදාරණ වයස අවුරුදු විසි ගණන්වල පසුවන තරුණියකි. ඇය විජේවීර ගැනවත් එම කැරලි ගැනවත් දන්නේ නැත. ඔවුන්ගේ සමාජ පසුබිම ගැන දන්නේ නැත. චිත්‍රපටිය නිෂ්පාදනය කිරීමට ඒවා දැන සිටිය යුතු නැත. එහෙත් මේ නිදසුන නූතන තරුණ පරපුරේ අතිබහුතරයකට අදාළය. ඔවුන් ගතකරන දේශපාලන ලෝකයත් අනුරුද්ධ හඳුන්වන යකඩ මිනිසුනුත් බොහෝ දුරස්තය. තරුණ පරපුර හැමවිටම රටෙහි අනාගතය තීරණය කරන හෝ භාරගන්නා පිරිස යැයි උපකල්පනය කළහොත් ආසන්න දේශපාලන අතීතය පවා ජීවිතවලට අදාළ නොවූ පරපුරක්, විජේවීර හා 71, 89 සංසිද්ධීන් අනාගත සමාජය ගොඩනැගීමෙහි ලා මානිත සමාජ හරස්කඩක් ලෙස භාවිතයට ගනී යැයි සිතිය නොහැකිය. ඔවුන් රට ගැන ජාතිය ගැන නිර්ධනීන් ගැන සිතනු ඇත්තේ විජේවීර සහ සගයන් සිතූ ආකාරයට වන්නට විදියක් නැත. එසේ විය යුතුය. ඔවුන් සිතිය යුත්තේ ඔවුන්ගේ ක්‍රමයකටය.

සැබැවින්ම මෙම ඛේදනීය අතීතය සමාජ ප්‍රගමනයට දායක කරගන්නේ කෙසේද යන්න ගැන අප සිතා තිබෙනවාද? පරමාණු බෝම්බ වැටීමේ සිට සුනාමි දක්වාම රටවල් ඒවාට ප්‍රතිපක්ෂව ගත් ස්ථාවරයක් තිබුණි. එහෙත් ලංකාවට මේ ගැන චිත්‍රපටියක් කරන්නටත් වසර 30-50 අතර කාලයක් ගතවී තිබුණි. චමත්කාගේ පරපුරේ නිදසුනට සමාන්තරව තවත් නිදසුනක් ඉදිරිපත් කළ හැකිය. ඉකුත් දෙසැ. 28 සන්ධ්‍යාවේ ‘ගින්නෙන් උපන් සීතල’ චිත්‍රපටය ප්‍රදර්ශනය කළ තරංගනී ශාලාවේ අතිබහුතරයක් රැස්ව සිටියෝ විජේවීරටත් එම දේශපාලනයටත් යම් යම් ආකාරවලින් සම්බන්ධව සිටි දැන් මැදිවියේ සිටින පිරිසකි. ඒ බොහෝ දෙනෙක් වර්තමාන ජවිපෙ දේශපාලනයට සම්බන්ධ නැත. ඔවුහු දැනට කවර හෝ ජීවනෝපායක එල්ලී විජේවීර දෙස මැදහත්ව බලන අය වෙති. ඒ සියලුදෙනාට මෙම චිත්‍රපටය නැරඹීම තම හද ගැස්ම වැඩි කළ අවස්ථාවක් විය හැකිය. ඒ තම තමා සම්බන්ධව, සමහරවිට අනූනමයෙන් ජීවිත බේරාගත් සිදුවීම දෑස් ඉදිරිපිට දිගහැරුණු නිසාය. එම තැතිගැන්ම නරක නැත. එහෙත් ඉන් එහාට රික්තයක් පවතින්නේ ඇයි? ජනතා විමුක්ති පෙරමුණු දේශපාලනයට සම්බන්ධ වූ අවසාන තරුණයාගේ වයසත් අවුරුදු 50ක් නම් කැරලි හා එම දේශපාලනය සමාජයට ශේෂ කළේ කුමක්ද යන්න පිළිබඳව ලංකාව ඉවසීමෙන් පසක් කර බැලිය යුතු නැද්ද? චිත්‍රපටය නරඹා තමා බොහෝ සේ ආදරය කළ නායකයා හා එම සටන් සගයන් මුහුණ පෑ ඉරණම පිළිබඳව කඳුළක් හෙළුවේ අවුරුදු පනහක තරුණයෝය. එනම් සමාජය දිගු කාලයක් එක්තරා අවගමනයක යෙදුණු බව මෙයින් ගම්‍යමාන නොවේද? එබඳු දීර්ඝ හිස් කුටීරයක් නිර්මාණය වූයේ ඇයි? සමහරවිට මේ කියන සංකේත තරුණයාගේ වයස ඊටත් වඩා වැඩි මිස අඩු නොවේ. වියපත් දුක්වන්නන් වෙනුවට සමාජ අරගලය අලුත් ස්වරූපයකින් සංවිධානය කළ හැකි චමත්කාගේ පරපුරේ තරුණ ජනයා වත්මන් ජවිපෙට අත්‍යවශ්‍යය. එහෙත් නැත්තේ ඔවුන්මය.
අනුරුද්ධ උක්ත ප්‍රස්තුතය අළලා චිත්‍රපටයක් කිරීම වැදගත්ය. අප කලා කෘතියකින් බලාපොරොත්තුවන්නේ එය අනාගතයට විවර වුණු ඇසක් බවට පත්වීමය. විජේවීර යනු මහත් වූ කැපකිරීමක් කළ නායකයෙකි. ඔහුගේ සගයෝ ඊටත් වඩා කැපකිරීම් කළහ. ඇතැමුන් අත්අඩංගුවට පත්ව දෑත් දෙපා අමු අමුවේ කපද්දී, ඇස් උගුල්ලද්දී, හිසට පරාල ඇණ බස්සද්දී තම දේශපාලන සගයන් පාවා නොදුන්නේ එනිසාය. ඇතැමුන්ට වේදනාව දරාගත නොහැකිව සගයන් සිටින ඉසව්ව කියන්නට සිදුවීම පාවාදීමක්ම යැයි කිව හැකිද? ඔවුන් දේශපාලන අරගලයකට බටුයේ තමා වෙනුවෙන් නොව පීඩිත අනෙකා වෙනුවෙන් බව පැහැදිලිය. විජේවීර අවසාන දවසේ වෙනත් ස්ථානයකට පලා යාමට කළ සැලසුම ක්‍රියාත්මක කළා නම් සමහරවිට ඔහු අත්අඩංගුවට පත් නොවන්නට තිබුණි. ඔහුගේ පලා යන සිත වෙනස් වූයේ කුඩා දරුවන් නිසාද? ඒ අතින් ඔහු ආදරණීය තාත්තා කෙනෙකි. බිරිඳ ගැන සංවේදී ස්වාමියෙකි. අන්‍යයන් කෙරෙහි ඔහු තුළ දයාවක් තිබුණි. එහෙත් ඔහු තුළ තීක්ෂණ දේශපාලන නායකයකු සිටියේ නැත. එවිට සිදුවන්නේ ඉහත සියලු කැපකිරීම් නිරර්ථකවීමය.

ඔවුහු පැදුරක රවුමට වාඩිවී දේශපාලන සාකච්ඡා පැවැත්වූහ. ජවිපෙ නායකයෝ අනූ ගණන්වල අග භාගයේදීත්, පැදුරේ දේශපාලන සාකච්ඡා පැවැත්වූහ. මේ වනවිට පැදුරෙන් මේසයට හා පුටුවට මාරුවී තිබෙන්නට පුළුවන. එසේ විය යුතුය. අනෙක් අත්‍යවශ්‍ය දේවල්වලදීත් ඒ වෙනස අත් කරගත යුතුය. ජවිපෙ ප්‍රධානයකු චිත්‍රපටය නැරඹීමට ආවේත්, ලංකාවේ අඩුම මිලට ගතහැකි මෝටර් රථයක් තෙමේම පදවාගෙනය. ඔහුට අවශ්‍ය නම් ලක්ෂ පන්සීයක මෝටර් රථයක් ගෙන්වා ගත හැකිය. එහෙත් ජවිපෙ කිසිවෙක් එසේ කර නැත. විජේවීර මෙන්ම මාක්ස් ලෙනින්වාදී දේශපාලන චර්යාව විසින් ආදර්ශය සැපයූ කැපකිරීම් දේශපාලනය සැලකිය යුතු මට්ටමකට අද දක්වාම අතීතයෙන් වර්තමානයට කාන්දු වී තිබේ. එහි දුටු සතුටු ප්‍රතිඵලවලින් නොසෑහී අප සමාජයක් හැටියට මේ කැපකිරීම් දේශපාලනය අභ්‍යාසයක්, පුරුද්දක්, ලාක්ෂණික වර්ණයක් බවට පත්කර ගන්නේ කෙසේද? යන්න ගැන සිතිය යුතුය. එහෙත් වර්තමාන ජවිපෙ ඒ ගැන බරපතළව සිතන බවක් නොපෙනේ. 89 ජවිපෙත් විශිෂ්ට කැපකිරීමක් දුර්වල සන්නද්ධ ක්‍රියාමාර්ග මගින් වැනසෙන්නට දුන්නේය. 2001දී මන්ත්‍රී ධුර 16ක් දිනාගැනීමෙන් පසු සන්ධාන දේශපාලනය හරහා වත්මන් ජවිපෙ ඊට සමාන්තර වැනසීමකට මග හදා ගත්තේය. ඒ විජේවීරගේ වදන්වලින්ම කිවහොත් ‘ධනපති පන්තිය සමග අතරමැදි සමාදානවලට නොයනු’ යන ශික්ෂාව පිටුදකිමිනි. කෙටිකාලීන ක්‍රියාමාර්ග තෝරන එක විfජේවීරත් කළේය. සෝමවංශත් කළේය. අනුර දිසානායකවත් කෙටිකාලීන ක්‍රියාමාර්ග සමග දිගුකාලීන වැඩසටහන් සම්පාදනය කරනවාදැයි නොදනිමු.

චිත්‍රපට ප්‍රදර්ශනයෙන් පසුව පැවති කෙටි සංවාදයේදී විජේවීරගේ දේශපාලනයේ සුදු පැත්ත පමණක් චිත්‍රපටයෙන් පෙන්වන්නට තැත් කර තිබේද යන්න ජනමාධ්‍යවේදියෙක් විමසුවේය. අනුරුද්ධ ඊට දුන් උත්තරය අවංක එකකි. ඔහු කීවේ මම විජේවීර විශ්වාස කරන පුද්ගලයකු ලෙස එම කෝණයෙන් විජේවීර චරිතය දුටු බවය. එහෙත් මෙය අනාගතයට ඇරුණු කලා කෘතියක් වීමට නම් විජේවීර චරිතය ළැදියාවන් පෙරදැරිව දකින විදිය පමණක් ප්‍රමාණවත් වන්නේ නැත. ඒ සඳහා විජේවීර සහ දේශපාලනය තුළනාත්මකව දැකිය යුතුය. ඒ පිළිබඳ විශ්ලේෂණයක් තිබිය යුතුය. මෙහි තිර රචකයා වන ආරියවංශ ධම්මගේ සැලකිය යුතු මට්ටමකට විජේවීර චරිතය මැද තැනක රැඳවීමට උත්සාහ ගෙන තිබිණි. සටන උත්සන්න වෙද්දී ඇතැම් ක්‍රියාමාර්ග විජේවීරගේ පාලනයෙන් ගිලිහී තිබෙනු දැකිය හැකිය. එයම විජේවීරගේ කළු පැහැයත් නිරුත්සාහකව ප්‍රතීයමාන කැරුණු අවස්ථාවකි. ලයනල් බෝපගේ (ලයියා) සහ විජේවීර ආරම්භයේදී ජාතීන්ගේ ස්වයං නිර්ණ අයිතියට එකඟව සිටියහ. ක්‍රමයෙන් විජේවීර මොනරවිල කැප්පෙටිපොළවාදී වී තිබුණි. දෙමළ විමුක්තිය පිළිගන්නා නමුත් එල්ටීටීඊය එකම දෙමළ විමුක්ති ව්‍යාපාරය නොවන බව විජේවීර කියන කතාව ඇත්තක් වුවත් දෙමළ ජනයාට විමුක්ති ව්‍යාපාරය තෝරා දීමේ අයිතියක් හෝ හැකියාවක් අපට තිබේද යන්න විමසා නොබලයි. එම විරෝධය යාපනය රැස්වීමකදී පළවිය. එමෙන්ම ජාතීන්ගේ ස්වයං නිර්ණ අයිතිය පිළිගෙන විජේවීර ලියූ අවස්ථාවාදයද නිර්ධන පන්ති ජාත්‍යන්තරවාදයද නමැති කුඩා පොත් පිංච පසුකාලීනව ජවිපෙ දේශපාලනයෙන්ද බැහැර කැරිණි. බෙදුම්වාදයත්, ජාතිවාදයත් පරාජය කිරීමට ස්වයං නිර්ණ අයිතිය පාවිච්චි කිරීමට පසුකාලීන ජවිපෙට තිබුණි. මන්ද විජේවීරගේ උක්ත කෘතියෙන් ඔහු සහාය පළකරන්නේ නැගෙනහිර පාකිස්තානයේ සමාජවාදී වෙන්වීමකටය. විජේවීර දකින ආකාරයට එම අර්ථයෙන් ස්වයං නිර්ණය ඔහු පිළිගනියි. උක්ත ප්‍රශ්නය මත ලයියාගේ වෙන්වීම සරල කාරණයක් ලෙස ගත් බවක් චිත්‍රපටයෙන් දැක්වෙයි. මෙබඳු තවත් න්‍යායික දුරස්තවීම් විජේවීරගේ හා කීර්ති විජේබාහුගේ ජවි පෙරමුණේ නරෝද්නික්වාදී ලක්ෂණවලට පිටු බලය සැපයූ බව පිළිගත යුතුවෙයි.
අනෙක් අතට ජවිපෙන් සිදුවුණු වැරදි බොහෝ සෙයින්ම තිර රචනය තුළ ලඝුවෙයි. ඔවුන් කළ මිනිස් ඝාතන වෙළෙඳ සැලක් ඇරගෙන සිටි අයකු මරා දැමීමට පටු කැරෙන අතර නන්දන මාරසිංහ වැනි ජවිපෙ දේශපාලනයේ දිදුලන නාමයක් දැරූවකු පක්ෂයෙන් ඉවත් කිරීම මතු නොව අනුරාධපුර පොළේදී මාරසිංහ තිරස්චීන ලෙස ඝාතනය කිරීම රචකයාට මගහැරෙයි. එක්කෝ වත්මන් ජවිපෙ විසින් එබඳු කළු පැල්ලම් වුවමනාවෙන්ම මගහරවයි. ඇතැම් තොරතුරු හා සම්බන්ධතා වෙනුවෙන් එම පක්ෂය මත යැපෙන්නට සිදුවුවහොත් නිර්මාණකරුවෝ මෙවැනි වළවල්වල වැටෙති. මාරේ යනු කළු බළලෙක් හෝ කහ බළලෙක් වූවකු නොව ජවිපෙන් ඉවත් වුවත්, මතවාදී බෙදීම පමණක් පෙරදැරිව ක්‍රියා කළ පුද්ගලයෙකි. මත බෙදීම් නිසා එසේ ජවිපෙන් ඉවත් වූ එහෙත් සතුරන් නොවුණු සැලකිය යුතු පිරිසක් ජවිපෙ අන්තවාදයෙන් දඬුවම් වින්දෝය. ලංකාවේ ගොඩ නැගුණේ විජේවීරට වඩා කීර්ති විජේබාහුට බිය සමාජයකි. විජේවීර මුල සිටම දැරූ මතයක් ලෙස දේශපාලන අංශය වෙනම හා සන්නද්ධ අංශය වෙනම ක්‍රියාත්මක විය යුතුය යන්න ප්‍රචලිතය. එහෙත් දේශපාලන තීන්දු හැටියට සන්නද්ධ ක්‍රියාමාර්ග තේරුවාද, නැතහොත් සන්නද්ධ ක්‍රියාමාර්ග විසින් දේශපාලනය තීන්දු කළාද යන සැකය අදටත් 89 පිළිබඳව තිබේ. විජේවීරගේ මතය තව ඉදිරියට පැමිණ දේශපාලන ක්‍රියාමාර්ග හා සන්නද්ධ ක්‍රියාමාර්ග සමාන්තර කරගත යුතුව තිබුණි. හමුදාවේ, සාමාජිකයන්ට ඉවත් වන ලෙස තර්ජනය කිරීම, ඡන්දය වර්ජනය නොකරන ජනයා මරා දැමීම ද්‍රෝහීන් යැයි හංවඩු ගසනු ලැබූවන්ගේ මළ සිරුරු වැළලීමට නීති පැනවීම, හැඳුනුම්පත් කොල්ලය, රට අඳුරේ තැබීම, කඩ වැසීම ආදිය ඔස්සේ සිදුවූයේ ජවිපෙ සාමාන්‍ය ජනයාගෙන් ඈත්වීමය. අනෙක් අතට ශිෂ්‍යයන් හා තරුණ පීඩිතයන් ජවිපෙ ගාමක බලය බවට පත්වීම තුළ පොදු ජන ආකෘතිය හා පොදුජන තෙතමනය අරගලයෙන් දුරස් කැරිණි. ලෝකයේ කිසිවකුටවත් එසේ දැනුවත් කම්කරු හා ගොවි පන්තිය විරහිතව විප්ලව කළ නොහැකි බව විජේවීර නොදැන සිටියාද?

කෙසේ වෙතත් මේ සමස්ත ක්‍රියාවලිය නිරර්ථක යැයි කීමට වත්මන් ජවිපෙට නොහැකිය. එය නිරර්ථක යැයි කිවහොත් ඉල්මහ විරුවන් ඔවුනට අහිමි වෙයි. අනතුරුව අප්‍රේල් විරුවන්ද අහිමි වෙයි. ඒ දෙපිරිසම අහිමි කරගෙන හෝ හැත්තෑ එකේත්, අසූනවයේත් හරස් කැපුමක් ගෙන එතුළින් අලුත් ඇසක්, අලුත් ඥානයක්, අලුත් පරාවර්තනයක් හා අලුත් පරපුරක් බිහිකරගත හැකි නම් 71ට හා 89ට ඉන් අර්ථයක් සැපයෙයි. එසේ නොකොට අරමුණ විසින් ක්‍රියාමාර්ග සාධාරණීකරණය කරන බව කියන කඩුව ගිල්ල චර්යාවට වසර තිහකට පසුව වුව ලැබෙන්නේ ලකුණු බිංදුවකි. එහෙත් විවෘතභාවයට අනාගතයේදී රැස් කළ හැකි ලකුණු සංඛ්‍යාව විශාලය.