ජූලියන් පිහිනුම් කයි

 

වත්මන් ක්‍රීඩා ඇමති පුංචි කාලයේ පිහිනුම් ක්‍රීඩකයෙක් බව මාධ්‍ය වාර්තා කොට තිබුණි. ඒ නිසාම ඔහුට පිහිනුම් ක්‍රීඩාව ගැන පුංචි පහේ හෝ හැඟීමක් ඇතැයි අපගේ අදහසය. හොඳ දියුණුවක් ඇති කළ හැකි ක්‍රීඩාවක් ලෙස පිහිනුම් හැඳින්විය හැකි වුවත් එය පතුළටම ඇද දැමුවේ පසුගිය කාලය තුළ එහි පරිපාලනයේ නියුතුවූවන්ය. ඊට හිටපු ක්‍රීඩා ඇමතිවරු උඩ ගෙඩි දුන් බව කිව යුතුය. අවසානයේ මේ ක්‍රීඩාව වැඩකට නැතිම ක්‍රීඩාවක් බවට අද පත්ව ඇත.

එදා ගම් මට්ටමින් පිහිනුම් ක්‍රීඩකයන් බොහොමයක් බිහිවුවද අද එවැන්නක් අසන්නටද නැත. අම්බලන්ගොඩ පිහිනුම්වලට කීර්තියක් අත්කරගෙන සිටියද අප ඒ නම නොඇසෙන ගාණය. ජනාධිපති සිරිසේන පිහිනුම් සංගමයේ සභාපතිවද සිටියේය. පොළොන්නරුවේ පිහිනුම් තටාකයක් ඇතත්, නැත්තේ පිහිනුම් ක්‍රීඩකයන්ය. රට පුරාම පිහිනුම් තටාක ඇති ගාණට හෝ අද පිහිනුම් ක්‍රීඩකයන් නැත. විදෙස් පුහුණුව ලබන කීපදෙනෙක්ගේ පහනින් එළිය බලන තැනට පිහිනුම් ක්‍රීඩාව පත්ව ඇත. ඒවාද කෙටිකාලීනය.

පසුගිය කාලයේ පිහිනුම් ක්‍රීඩාව පාලනය කළේ පුහුණුකරුවන්ය. පුහුණුකරුවන්ට පරිපාලනය කළ නොහැකි වුවත් එය සිද්ධ විය. ඒ හරිහමන් ක්‍රීඩා ඇමැත්තකු නොසිටි නිසාය. ක්‍රීඩා ඇමැත්තෝ නිකමුන් වූ කල ක්‍රීඩාවද නිකම්ම විනාශයට යන්නේය. පසුගිය කාලය පුරාම අප අත්වින්දේ ඒ ඛේදවාචකයයි.

මේ මොහොතේ ඇත්තේ පිහිනුම් අතුරු කමිටුවකි. එය ක්‍රීඩාවට හතුරු වී ඇත්තේ එය පුද්ගලයන් පසෙකලා නැවතත් පුහුණුකරුවෙක් කඩාපාත් වී ඇති නිසාය. ඒ ජුලියන් බෝලින්ය. ක්‍රීඩා අමාත්‍යාංශය අතුරු කමිටුවට පත් කළේ සත්කුමාර, පියල් හේවගේ සහ තව නන්නාඳුනන චරිතය. ඒ කාගේ වුවමනාවටද යන්න ප්‍රශ්නාර්ථයකි. හෘදය රෝගියකු වූ පියල් හේවගේ අතුරු කමිටුවට පත් කළ කාලයේම හෘදය සැත්කමකට භාජනය වන නිසා ඔහුගේ තනතුර පුරප්පාඩු වී ඇත. එයට පුද්ගලයකු පත්කළ යුත්තේ ක්‍රීඩා අමාත්‍යාංශය වුවත් ඒ බලය ගෙන ක්‍රියා කරන්නේ ජූලියන්ය. ඔහු පියල්ගෙන් හිස්වන තැනට පත් කරනුයේ හිටපු සභාපතිවරයකු වන ජයන්ත ගමගේය. ජයන්ත ගමගේ යනු පසුගිය කාලයේ පිහිනුම් සංගමයේ මුදල් කෝටි ගාණක් අවභාවිත කළ අයෙකි. ඒ ගැන ප්‍රශ්න කරන කල පැදුරටත් හොරා මාරු වූ අයෙකි.

ඔහුගෙන් පුරප්පාඩු වූ තනතුරට පහළින් පත්වූ අතර ඔවුහු තනතුරුවලට ඇති කෑදරකම නිසා ගමගේ කළ වංචාව ගැන නොසොයා ඒ අයගේ පාඩුවේ ක්‍රියා කළේය. මේ නිසා ගමගේට අදත් සුදනකු මෙන් පිහිනුම් සංගමයට රිංගන්නට හැකිවී ඇත. පිහිනුම් සංගමයේ මුදල් අවභාවිත කළ ගමගේ සංගමයේ තනතුරු දැරීමේ රඟ දනී. මේ නිසා නැවත ජූලියන් අල්ලාගෙන ඔහු තනතුරු දැරීමට උත්සාහ කරයි. ජූලියන්ද පුහුණුකරුවකු නිසා තනතුරු දැරිය නොහැකි බැවින් ඔහු කරනුයේද ගමගේ වැනි රූකඩයක් තනතුරෙහි පිහිටුවා ජූලියන්ට අවැසි දේ කරගැනීමය. දැනට සිදුවන්නේද ඒ දේමය.
ජූලියන් යනු පිහිනුම් මුදලාලි කෙනෙකි. සාග් ක්‍රීඩා උළෙලේ පදක්කම් දිනාගත්තද ඉන් එහාට ඔහු කළ කෙළියක් නැතත් අදටත් සමාජය සිතනුයේ ඔහු තරම් පිහිනුම් කෙරුමකු නැති බවය. ඉන්පසු ඉතා දක්ෂ ක්‍රීඩකයන් ආව ගියාද ජූලියන් තරම් මාධ්‍ය අවකාශයක් ඔවුහු නොලද්දෝය. මේ නිසා ජූලියන් තවමත් කෙරුමකු වී ඇත. අද අග නගරයේ වැඩිම ෆූල් සංඛ්‍යාවක් භාරව ඉන්නේ ජූලියන්ය. කාලයක පටන් පුහුණුකරුවකු ලෙස ක්‍රියා කළද ඔහුගේ එකදු ක්‍රීඩකයකු හෝ ජාත්‍යන්තරය දිනා ගන්නට සමත් වී නැත. එහෙත් පිහිනුම් මුදලාලි කෙනකු ලෙස නම් ඔහුට ලොකු ඉල්ලුමක් පවතී. බොහෝ අය පිහිනුම් ක්‍රීඩාවකට වඩා පුහුණුවනුයේ පිහිනන්නට ඉගෙන ගැනීමටය. මේ නිසා ජූලියන් ඉතා හොඳය. අද ඔහු ජයන්තව තනතුරෙහි පිහිටුවා කරනුයේ තමන්ගේ පිහිනුම් ව්‍යාපාරය ජයටම කරගෙන යෑමය.
මේ පිළිබඳ සොයා බැලීම ක්‍රීඩා අමාත්‍යාංශයේ වගකීමක් වුවත් ක්‍රීඩා අමාත්‍යාංශය කලක පටන් වගකීම් ඉටුකරන්නේ නැත. පිහිනුම් සංගමයේ ගිණුම් වාර්තා නියමාකාරයෙන් වනවාද නැද්ද යන්න කාටත් අදාළ නැති කරුණක් වී ඇත. ගිය වසරේ මාර්තු මස 31 වැනිදාට පෙර පිහිනුම් සංගමයේ නිලවරණය පැවැත්විය යුතුව තිබුණද එය නොපැවැත්වූයේ ගිණුම් වාර්තා නොමැතිකමිනි. කෙසේ හෝ ගිණුම් වාර්තාවක් අමුණා ගෙන ගියෙ වසරේ අගෝස්තු මාසයේ නිලවරණය තියන්නට උත්සාහ කළද එයට තරග වැදුණේ පුහුණුකරුවන් වීම හේතුවෙන් නිලවරණය කල් ගියේය. අවසානයේ ගිය වසරේ දෙසැම්බර් මස 20 වැනි දින පිහිනුම් නිලවරණය පවත්වන බවට රාවයක් පැවතියද? ඊට පෙර අතුරු කමිටුවක් පත් කළේය. දැන් අතුරු කමිටුව ජූලියන්ගේ භාරයට පත්වී ඇත. එය ජූලියන්ම අතට ගෙන ඇතැයි කීම නිවැරදිය. ඔහු කරනුයේ ඔහුගේ පිහිනුම් ව්‍යාපාරයට සංගමයේ වාසි ගැනීමය.

මෙලෙස තනි පුද්ගලයකුට පිහිනුම් ක්‍රීඩාවම කාබාසිනියා කරන්නට ඉඩදී බලා ඉන්නවාද යන්න ක්‍රීඩා ඇමතිවරයා කල්පනා කළ යුතුව ඇත. පිහිනුම් ගැන කතා කළ හැකි අතීතයක් අපට තිබුණද මෙවැනි තකතීරු පුද්ගලයන් රිංගා ගැනීම නිසා එය ක්‍රමයෙන් නැතිවී ගියේය.

කාලයක පටන් පිහිනුම් ක්‍රීඩාවට අත්ව ඇති මේ ඉරණම ගැන කොතෙක් කතා කළද හිටපු ක්‍රීඩා ඇමතිවරු ඒ ගැන සොයා නොබැලුවේය. ඒ ආරටම වත්මන් ක්‍රීඩා ඇමතිවරයාද ක්‍රියාකළහොත් පිහිනුම් ක්‍රීඩාව ගැන මේ ටිකවත් කතා කරන්නට ඉතිරි නොවනු ඇත. එය ජූලියන්ගේ ආදායම් මාර්ගයක්ම වනු ඇත.

ජූලියන් මේ දිනවල ක්‍රීඩා සමාජවලට කතා කරමින් ඉදිරි නිලවරණයේදී නැවත ජයන්ත ගමගේ පත් කරන්නට ඉල්ලීම් කරන බවද පැවසේ. ඒ දිගටම මේ සෙල්ලම කරගෙන යන්නට බව පැහැදිලිය. ජූලියන්ට පිහිනුම් ක්‍රීඩාව කාබාසිනියා කරන්නට ඉඩදී බලා සිටිනවාද යන්න ක්‍රීඩා අමාත්‍යවරයා කඩිනමින් කල්පනා කළ යුතුය. එසේ නොවුණහොත් මේ වටිනා ක්‍රීඩාව නොවටිනා තැනටම ඇද වැටෙනු නියතය.