2018න් ඉදිරියට ගෙනයන ශේෂ

එස්. නන්දලාල්

වසරක් ඉකුත් වී සම්මතයට අනුව නව වසරක් උදාවීම පෘථිවි වාසී මනුෂ්‍යයන්ට උත්සවාකාරයෙන් සමරන්නට තරම් හේතුවක් වුවත් දවස් උදා කරන්නාට හෙවත් දිනකරට ඒ ගැන වගේ වගක් නැත. ඔහු සැමදා ඒකාකාරී ලෙස පෙරඹරින් නැගී අවුත් අවරගිරට මුවා වී අඳුරට ද සමාන කාලයක් ඉඩ හරියි. ආලෝකය ඇරැඹී අන්ධකාරයේ සිට නැවත ආලෝකයට එළැඹෙන මොහොත දක්වා අතර කාලය දවසක් ලෙස ගන්නා මිනිස්සු එය සමාන කොටස් විසිහතරකට බෙදති. ඒ විසිහතරේ ඒවා ඇත්තේ 365ක් පමණි. නැත. වැරදීමකි. සෑම 365 ඒවා තුනකටම පසු එළැඹෙන්නේ 366 ඒවා එකකි. ඉතින් මිනිසුන් වන අපි එකී 365 හෝ 366 ඉක්ම ගිය පසු නැවත 1න් පටන් ගෙන ගමන් අරඹමු. එලෙස නැවත 1න් පටන් ගන්නා දිනය නව වසරක උදාව ලෙස සලකා සුබ පැතුම් හුවමාරු කැර ගනිමු. ඒ වනාහි ලෝක සම්මතයයි. ඉතින් ඒ සම්මතයට අනුව අපිදු ඔබට ‘සුබ අලුත් අවුරුද්දක් වේවා!’ පතමු. එහෙත් අලුත් අවුරුද්ද සුබ හෝ අසුබ හෝ වනු ඇත්තේ තමන්ගේ කල්කිරියාව අනුව මිස අනුන්ගේ සුබ පැතුම් අනුව නොවන බව තරයේ සිහියේ තබා ගත යුතු ය.

අවුරුද්ද අලුත් වුණාට පරණ අවුරුද්දේ සිට ඉදිරියට එන දේ කන්දරාවක් තිබේ. ලොවට ම බලපාන එවැනි මාතෘකා අතරින් ප්‍රමුඛ ඒවා දහයක් ගැන කතාබහක යෙදීම අද ලිපියේ අරමුණයි.
පසුගිය වසරේ ලොව විශේෂයෙන් ම බටහිර ඒ ඒ රටවලට ආවේණික ආරක්‍ෂණවාදී සහ ජාතිකවාදී ස්ථාවරවල සිටීම විශේෂයෙන් කැපී පෙනෙන්නකි. අමෙරිකා එක්සත් ජනපදයේ ‘අමෙරිකාව අංක 1’ පිළිවෙත අනුව මෙතෙක් කල් ගමන්ගත් පොදු ගෝලීය ආර්ථික සංවර්ධන මාර්ගයෙන් වෙනස් මගකට හැරී ගමන් කරන්නට එරට අනුගමනය කළ පියවර ඒ අතර ප්‍රමුඛය. සාමුහිකව ගෝලීයව නොව අමෙරිකානු ඇසින් ප්‍රශ්න දෙස බැලීම දැන් එරට ප්‍රතිපත්තියයි. මේවායින් ඇතැමෙක් ලොවටම අහිතකර ලෙස බලපාන බව ප්‍රකට ය.

පලස්තීනය, ඇෆ්ගනිස්තානය, පාකිස්තානය වැනි රටවලට දෙන අමෙරිකානු ආධාරවල කප්පාදුවක් පසුගිය වසරේ සිදුවිය. මේ අතරින් පලස්තීනයට දෙමින් සිටි මානුෂික ආධාර අත්හිටුවීම පීඩාවට පත් ජනයා කබලෙන් ළිපට දැමීමක් ම විය.

අමෙරිකා එක්සත් ජනපදය කාලගුණය පිළිබඳ පැරිස් සම්මුතියෙන් ඉවත්වීමට තීරණය කිරීම මු`ඵ ලොවට ම අහිතකර ලෙස බලපායි. පසුගිය වසරේ පැවැති එක්සත් ජාතීන්ගේ කාලගුණ සමු`ඵවේ දී එරට සියලු වාර්තා හා යෝජනා පුනපුනා ප්‍රතික්‍ෂේප කළා පමණක් නොව ඉන් ඉවත් වන්නට අනෙක් රටවල් ද පෙළැඹවී ය. බ්‍රසීලය ද එරට අමෙරිකාව අනුගමනය කරනු දැකිය හැකි ය. ඊට අමතරව එරට එ.ජා. මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වූ අතර 31දා ඊශ්‍රායෙලයත් සමග ම යුනෙස්කෝවෙන් ද ඉවත් විය.
මේවා 2019 වසරේ මෙන් ම සමහරවිට ඊටත් එහා අනාගතයේ පවා සාකච්ඡාවට බඳුන්විය හැකි කරුණු ය.
ඉදිරියට ගෙනයන වැඩි බරක් තැබිය හැකි රාජ්‍යයන් එකකට වැඩි ගණනකට බලපාන එමෙන් ම එක්සත් ජාතීන්ගේ අවධානයට යොමු වී ඇති ශේෂ දහයක් මතු දැක්වේ.

1. සිරියානු අර්බුදය
2. යේමනයේ යුද්ධය
3. ගල්ෆ් අර්බුදය
4. ඉරාන අමෙරිකා ද්වන්ද්ව සටන
5. ඊශ්‍රායෙල් පලස්තීන අර්බුදය
6. රොහිංයා සරණාගත ප්‍රශ්නය
7. බ්‍රෙක්සිට්
8. දකුණු චීන මුහුදේ බල අරගලය
9. අමෙරිකා – චීන වෙළෙඳ යුද්ධය
10. යුරෝපයේ සහ අමෙරිකා එක්සත් ජනපදයේ සරණාගත ප්‍රශ්න

සිරියානු අර්බුදය ඇරඹුණේ අරාබි නැගී සිටීම් (The Arab Spring) යනුවෙන් හැඳින්වෙන මහජන විරෝධතාවල ප්‍රතිඵලයක් ලෙසිනි. ඊට විෂයය වු අනෙක් සියලු රටවල කවරාකාරයෙන් හෝ එම විරෝධතා මේ වනවිට හමාර වී ඇති නමුත් සිරියාවේ සහ යේමනයේ ඒවා ජන සංහාරක යුද්ධ බවට පත් ව තිබේ. සිරියාවේ සුන්නි අන්තවාදී ඉසිස් ත්‍රස්ත කණ්ඩායම බසිර් අල්-අසාද් ගේ රජයට එරෙහිව නැගී සිටි අතර මේ වනවිට තත්ත්වය බොහෝ දුරට පාලනය වී ඇතැ’යි සඳහන් ය. එහෙත් 2019 වසරේදී සමහරවිට යුද්ධය නිමාවක් දුටුවත් ජන ජීවිත යථා තත්ත්වයට පත් වන්නට තවත් සෑහෙන කලක් ගතවනු ඇතැ’යි අනාවැකි පළ වේ.

මේ වනවිට බරපතළ ජන සංහාරක යුද්ධයක් බවට පරිවර්තනය වී පවතින යේමන අර්බුදයද ඇරැඹියේ ඉහත සඳහන් ජනතා නැගීසිටීම්වලින් පසුව ය. එහෙත් මෙහි ප්‍රශ්නය සිරියාවේ ප්‍රශ්නයට වෙනස් ය. මන්දයත් එය මේ වනවිට සෞදි අරාබිය සහ ඉරානය අතර ප්‍රතියුක්ත යුද්ධයක් (proxy war) බවට පත්ව ඇති හෙයිනි. මෙහි යේමන රජයට එරෙහිව අවි අතට ගෙන සිටින හෞතික සටන්කාමීන් අයත් වන්නේ ඉස්ලාමයේ ෂියා පාර්ශ්වයට ය. ඉරානය ඔවුන්ට සහාය පළ කරන අතර සෞදි අරාබිය ඔවුන් වැනසීම සඳහා බෝම්බ හෙළමින් සිටියි. මෙහි සිදුවන සිවිල් ජන මරණවලින් 95% පමණ වගකිවයුත්තේ සෞදි අරාබිය බවට චෝදනා එල්ල වුවත් එරට ඒවා නෑසූ කන්ව සිටින බව ප්‍රකට ය.

මේ අවස්ථා දෙකේ අමෙරිකා එක්සත් ජනපදයේ ක්‍රියාකාරකම් ප්‍රශ්නගතය. තිරය පිටුපස සිටිමින් එරට උදව් කරන්නේ පවතින රජය අස්ථාවර කොට රට බෙදන්නට කැස කවන ත්‍රස්තයන්ට වක්‍රාකාරයෙන් උඩගෙඩි දීමය. සිරියාවේ දි ඒ සුන්නි ත්‍රස්තයන් වන අතර යේමනයේ දී ෂියා ත්‍රස්තයන් ය.

ගල්ෆ් අර්බුදය යනු කටාර් රාජ්‍යයට එරෙහිව සෞදි අරාබිය ප්‍රමුඛ ව එක්සත් අරාබි එමයිරේට්, බහරේන්, ඊජිප්තුව, ජෝර්දානය, මාලදිවයින ඇතුළු මුස්ලිම් රාජ්‍ය 12ක් පනවා ඇති තහංචි සහ සීමා කිරීම් නිසා උද්ගත ව පවතින අර්බුදයයි. ත්‍රස්තවාදයට අනුබල දෙන්නේ ය යන්න ඉදිරිපත් කෙරෙන ප්‍රධාන චෝදනාවයි. ගල්ෆ් සහයෝගිතා සමු`ඵවේ එකඟතා උල්ලංඝනය කළේ ය යන්න තවත් චෝදනාවකි. එරෙහි රටවල් කටාර් රජයට ඉදිරිපත් කරන යෝජනා 12ක් වන අතර ඒවායින් ප්‍රමුඛ වන්නේ ඉරානය සමග තානාපති සබඳතා නවත්වා දමනු, තුර්කිය සමග මිලිටරිමය සබඳතා අත්හරිනු සහ අල්-ජසීරා වසා දමනු යන ඒවා ය. මේ අර්බුදයේ නිමාවක් පෙනෙන තෙක් මානයකවත් නැති බව පමණක් කිව හැකි ය.

අමෙරිකා එක්සත් ජනපදය ඉරානයට බොහෝ චෝදනා එල්ල කරමින් එරටට එරෙහිව සම්බාධක පනවා ඇති අතර බැංකු ගිණුම් ද ගල් කරනු ලැබ තිබේ. මේවා ද ඇතු`ඵ තවත් නොයෙකුත් එදිරිවාදුකම් නිසා ඉරානය ආර්ථික වශයෙක් මහා පසුබෑමකට ලක්ව සිටියි. ඉරානයෙන් තෙල් ද ඇතු`ඵ ව කිසිදු නිෂ්පාදනයක් මිලදී නොගන්නා ලෙස අමෙරිකාව ලොව සියලු රටවලට දන්වා ඇත. ඉරානය සමග ගනුදෙනු කරන රටවලට අමෙරිකාවෙන් සම්බාධක පනවන බවට අමෙරිකාව තර්ජනය කරයි. චෝදනාව ඉරානය න්‍යෂ්ටික අවි නිෂ්පාදනය කරන්නේය යන්නයි. එහෙත් අන්තර්ජාතික පරමාණුබලශක්ති ආයතනය පෙන්වා දෙන්නේ ඉරානය එසේ නොකරන බවයි.

ඊශ්‍රායෙලයේ බලහත්කාරකම් නිසා පලස්තීන ජාතිකයන් සිය භූමිය තුළ ම සරණාගතයන් බවට පත් ව සිටිති. මේ සරණාගතයන් එක්සත් ජාතීන්ගේ සහන සහ කාර්ය ඒජන්සිය මගින් සහනාධාර සැපයිණි. සරණාගතයා යන පදයේ අර්ථය අභියෝගයට ලක් කරමින් අමෙරිකාව පසුගිය වසරේ එම අරමුදලට එතෙක් ප්‍රදානය කළ ආධාර නවත්වා දැමී ය. මෙය ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇනීම වැන්නකි. මේ අතර ඊශ්‍රායෙලය ගාසා තීරයට වරින්වර ප්‍රහාර එල්ල කරමින් නව ජනාවාස ඉදි කරමින් සිටියි.

ඊශ්‍රායෙලය මේ වනවිට සෞදි අරාබිය ඇතු`ඵ අරාබි රටවල් කිහිපයක් සමග අත්වැල් බැඳ ගනිමින් සිටියි. ඒ ඉරානයට එරෙහිවය. මේ සියල්ල සිදුවනුයේ අමෙරිකාවේ පිටුබලය සහිතවය. අතීතයේත් අමෙරිකාව ඊශ්‍රායෙලයට විශේෂ කොට සැලකූ නමුත් මෙතරම් අන්තවාදී ලෙස ඒවා ක්‍රියාත්මක කළේ නැත. ජනාධිපති ට්‍රම්ප්ගේ බෑණා මෙන් ම ජ්‍යෙෂ්ඨ ජනාධිපති උපදේශක ජාරෙඞ් කුශ්නර් යුදෙව්වකු වීම මේ අලුත් ආලයට හේතුව බව නොරහසකි.

පසුගිය වසරේ ජූලි මස අමෙරිකා එක්සත් ජනපදය විසින් යෙරුසෙලම ඊශ්‍රායෙලයේ අගනුවර ලෙස පිළිගන්නා ලදි. මෙය එක්සත් ජාතීන්ගේ සම්මුතිවලට එකඟ නැත. 2019 වසර තුළ අමෙරිකාව අනුගමනය කරමින් ලොව බොහෝ රටවල් එලෙස පිළිගෙන සිය තානාපති කාර්යාල යෙරුසෙලම වෙත ගෙන යනු ඇත.
පසුගිය වසරේ දක්නට ලැබුණු අමානුෂික සිද්ධි අතර රොහිංයා සරණාගතයන්ට මුහුණපාන්නට සිදුවූ හිංසා පීඩා මුල්තැන ගනියි. මෙය බුරුමයේ තත්ත්වාකාර පාලිකා අඋන් සාං සූකීගේ නම ද කඩතොලු කළේ ය. ප්‍රශ්නය තවමත් එයාකාරයෙන් ම පවතියි. මේ වසරේ පවා ඊට විසඳුමක් ලැබෙනු ඇතැ’යි සිතිය නොහැකි ය.

බ්‍රෙක්සිට් හෙවත් බි්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම පිළිබඳ ක්‍රියාවලිය මේ දිනවල බොහෝ සේ සාකච්ඡාවට බඳුන්වෙමින් පැවතියත් බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුව තාම ඊට එකඟත්වය පළ නොකරයි. එළැඹෙන මාර්තු 19දා බි්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්විය යුතු වුවත් මේ වනවිට අවසන් විය යුතු නීති අනුමත කිරීම් සිදුව නොමැත. ඇතැම් විචාරකයකුට අනුව බි්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම අවසාන මොහොත් අවලංගු කෙරෙනු ඇත. කෙසේවෙතත් කවරාකාරයෙන් හෝ එය මේ වසර තුළ අවසන් විය යුතු ය.

ජපානය සහ චීනය අතර පවතින දකුණු චීන මුහුදේ බල අරගලය මේ වසරේ අවසන් වන්නක් නොවනු ඇති බව විචාරක මතයයි.
අමෙරිකා – චීන වෙළෙඳ යුද්ධය අවසන් නොවනු ඇති අතර ජනාධිපති ට්‍රම්ප් ආපසු හැරෙනු නැතැ’යි විශ්වාස කෙරේ. එය දිගටම පවතිනු ඇත.
යුරෝපයට සහ අමෙරිකා එක්සත් ජනපදයට සරණාගතයන් පැමිණීම ගමනාන්ත රටවලට බරපතළ ප්‍රශ්නයක් බව පෙනෙයි. ඔවුන්ට සිය රටේ ජීවත්වන්නට නොහැකි තරමේ දේශපාලන වාතාවරණයක් නොමැති බවත් ඔවුන් ධනවත් රටවලට අනවසරයෙන් සංක්‍රමණය වන්නේ ආර්ථික සමෘද්ධිය උදෙසා බවත් සාමාන්‍ය මතයයි.