දුකම වළඳා ජයගැනීම

ප්‍රභාෂ්වර

අද 48 වැනි වියේ පසුවන ජෝති රෙඞ්ඩි, දරුවන් පස්දෙනකුගෙන් යුතු පවුලක, දෙවැනියා ලෙස උපත ලැබුවේ ඉන්දියාවේ නරසිම්හුලා ගුඩෙම් නමැති ගම්මානයේදීය. ගොවිතැන ජීවනෝපාය කරගත් ඇගේ පියාට දරු පවුල නඩත්තු කිරීම පිණිස ප්‍රමාණවත් ආදායමක් කිසිවිටෙකත් නොලැබුණු හෙයින්, ජෝති සහ තම බාලම දියණිය හැනම්කොන්ඩා නගරයේ පිහිටි අනාථ ළමා නිවාසයක් වෙත භාරදීමට හෙතෙම ක්‍රියා කළේය. එවිට ජෝතිගේ වයස අවුරුදු 09ක් පමණ වූ අතර, නැගණිය හත් හැවිරිදි වූවාය. වෙන්කඞ් රෙඞ්ඩි ගොවි මහතා, ළමා නිවාසයේ පාලිකාව සමග පැවසුවේ සිය බිරිඳ මීට මාසයකට පෙර මියගිය නිසා දියණියන් දෙදෙනා බලා කියා ගැනීම තමාට කිසිසේත් කළ නොහැකි බවයි. පියා කියන්නේ අමූලික බොරුවක් වග දැරියන් දෙදෙනා දැන සිටියත්, ඔවුන් මුනිවත රැක්කේ එය ඇත්තක් ලෙස අඟවන්නැයි හෙතෙම දිගින් දිගටම තර්ජනය කළ බැවිනි. බොරුවට වුවත්, ජීවත්ව සිටින අම්මා මළා යැයි කීම දැරියන්ට මහත් සිත් වේදනාවක් ගෙන දුන්නාය.

ළමා නිවසේ ජීවිතය

ගෙදරදී දෛනිකව වැළඳුවේ එකම එක ආහාර වේලක් වුවද, අම්මා එය පිරිසිදුව උයා පිහා දුන් අයුරු ජෝති රෙඞ්ඩිට නිතර මතක් වූයේ, ළමා නිවාසයේ බත්පත බොහෝවිට මියගිය මකුණන් හා ගුල්ලන්ගෙන් ගහණ වූ නිසාය. දවසකට ආහාර වේල් තුනක්ම ලැබුණත්, ජෝතිගේ නංගී ඒවා අප්පිරියාවෙන් වළඳා සතියක් තුළ දැඩි ලෙස රෝගාතුර වූවාය. එහෙයින් පියා පැමිණ ඇයව රැගෙන ගියේය. වතුර බාල්දියක් ගැනීම පිණිස පැය ගණනක් පෝලිමේ හිඳින්නට ජෝතිට සිදුවූයේ නිවාසයේ සිටි ළමුන්ට ප්‍රමාණවත් තරම් ජල පහසුකම් සැපයීමට එහි තිබූ එකම ළිඳට හැකියාවක් නොතිබූ හෙයිනි. එහි මකුණන් හා උකුණන් බහුල වූයේ හිතේ හැටියට ස්නානය කොට පිරිසිදුවීමේ අවස්ථාවක් කිසිවකුට නොලැබුණු බැවිනි. ළමා නිවාසයේ සිට කිලෝමීටර් 2 1/2ක දුරින් පිහිටි ආණ්ඩුවේ උසස් කාන්තා පාසල වෙත පාවහන් නොමැතිව ඇවිද යාම මඳක් දුෂ්කර වුවත්, ජෝති තම අධ්‍යයන කටයුතුවල නියැලුණේ මහත් උනන්දුවෙනි. සුපිරි ධනවතුන්ගේ ළමයින් අධ්‍යාපනය ලබන ශාන්ත ජෝසප් පෞද්ගලික පාඨශාලාව පිහිටා තිබුණේ ජෝතිපාලගේ පාසල ආසන්නයේය. හොඳින් හැඳ පැළඳ නවීන මෝටර් රථවලින් බසින ඒ අය හා සැසඳීමේදී තැනින් තැන අණ්ඩ දැමූ තමාගේ පාසල් ගවුම සිහිවී ඇයට මහත් ලැජ්ජාවක් දැනිණ. පන්තියේ අවසාන පේළියට අයත් බංකුවේ වාඩිවීමට ජෝති තීරණය කළේ සිය ගවුමේ දිරාගිය ස්වභාවය ගැන ඇය හොඳින් දැන සිටි නිසාය. ජෝති, පාසලෙන් පසු හවස් කාලයේ එහි පැවැත්වුණු ඇඳුම් මැසීම, ඇඳුම් බැඳීම හා සේදීම වැනි වෘත්තීය පුහුණු පාඨමාලා මැනවින් හදාරන්නට කටයුතු කළාය. ළමා නිවාසය පිරිසිදු කිරීම, එහි මුළුතැන්ගෙයි ඉවුම් පිහුම් සඳහා උදව් කිරීම වැනි කටයුතු ස්වේච්ඡාවෙන්ම සිදුකළ නිසා පාලිකාව ඇතුළු සියල්ලන්ගේ ප්‍රශංසාවට ජෝති නිරතුරුව බඳුන් වීම නොවැළැක්විය හැකි විය. 10 වසර සමත් වූ පසු ගුරුවරියක ලෙස පුහුණු විය හැකි පාඨමාලාවක් සඳහා ඇයව යොමු කළේ ළමා නිවාසයේ කළමනාකාරීත්වය විසිනි. උසස් පෙළ හැදෑරීම පිණිස අන්ද්‍රා බාලිකා විදුහලට ඇතුළුවීමේ අයදුම්පත පුරවමින් සිටියදී එහි පැමිණි තාත්තා, ජෝතිගේ සියලු ලියකියවිලි කීතු කීතු කොට ඉරා දැමීය.

විවාහය

“උඹ ඉගෙන ගත්තා ඇති. ගෑනු ඕනෑවට වඩා ඉහළ යන්න ඕන නෑ. තව සතියක් ඇතුළත අපේ ඥාති පුතෙක් වන සැමී රෙඞ්ඩිට මං උඹව බන්දලා දෙනවා. ඌ හොඳ ගොවියෙක්. ඒකගේ කුඹුරු වැඩවලට උදව් කරගෙන, හොඳින් ජීවත් වෙන්න උඹට පුළුවන්.” උසස් පෙළ හැදෑරීමට මහත් ආසාවක් ජෝති තුළ තිබුණද, පියාගේ පුරුෂාධිපත්‍යය අබියස 16 හැවිරිදි ඇයට කළ හැකි දෙයක් නොවීය. තමාට වඩා වසර 10ක් පමණ වැඩිමහල් සැමී සමග ඇය විවාහ වූයේ දැඩි අකමැත්තෙනි. සැමී සතු අක්කර භාගයක ඉඩමේ, අව් වැසි නොතකා බර වැඩ කිරීමට ජෝති හෙමි හෙමින් පුරුදු වූවාය. ජෝතිට යන්තම් වයස 20 පිරෙන මොහොතේ, ඇය බීනා හා බින්දු යන දියණියන් දෙදෙනා ජනිත කොට, මව් පදවිය ලැබ සිටියාය. වගා කටයුතු හා ගෙදර දොර වැඩ සියල්ල අහවර කොට, නිවස අසල පිහිටි ‘යුව කේන්ද්‍ර’ රාත්‍රී පාසලේ ඉංග්‍රීසි භාෂා ගුරුවරියක ලෙස සේවය කිරීමට ජෝති එහි ගියේ, සැමී රෙඞ්ඩිගේ විරෝධතා මධ්‍යයේය. ළමා නිවසේ විසූ කාලයේදී ඇය එහි පාලිකාවගෙන් ඉංග්‍රීසි බස වෙහෙස මහන්සි වී උගෙන සිටියාය. රාත්‍රී පාසලෙන් ලද රුපියල් 120ක මාසික වැටුප යොදවා උසස් පෙළ විභාගයට අවශ්‍ය පොත්පත් මිලට ගත් ජෝති, වයස 22 වන විට ඉන් ඉහළින්ම සමත්ව සරසවි වරම් ලැබුවාය. ඇගේ රාත්‍රී නින්ද පැය 3කට පමණ සීමා වූයේ, අධ්‍යයන කටයුතුවල නියැලීම සහ කුලියට ඇඳුම් මැසීම යනාදියට දහවල් කාලයේදී කිසිදු ඉස්පාසුවක් නොතිබූ හෙයිනි. පවුල් බර සමග නිත්‍ය සරසවි ශිෂ්‍යාවක් ලෙස උසස් අධ්‍යාපනය හැදෑරිය නොහැකි නිසා ජෝති, ආචාර්ය බී.ආර්. අම්බෙඞ්කාර් විවෘත විශ්වවිද්‍යාලයෙහි ලියාපදිංචි වූවාය.

උපාධිය ලැබීම

ගොවිතැනින් ලැබෙන සොච්චම් මුදලට වඩා, රාත්‍රී පාසලේ ගුරු වෘත්තියෙන් සහ කුලියට ඇඳුම් මැසීමෙන් ජෝති හොඳ ආදායමක් ඉපැයූ හෙයින් සැමී රෙඞ්ඩි ඇගේ වැඩ කටයුතුවලට බාධා කළේ නැත. ස්වයං අධ්‍යයනය ඔස්සේ, වයස අවුරුදු 24 වන විට ජෝති රෙඞ්ඩි සිය කලා උපාධිය දිනා ගත්තාය. උපාධිධාරිනියක වූ පසු, ඇයට රුපියල් 400ක මාසික වැටුපක් සහිත (ආණ්ඩුවේ පාසලක) ගුරු පත්වීමක් ලැබුණි. දියණියන් දෙදෙනා බලාගැනීම සහ ගෙදර දොර වැඩ කටයුතු ඉටුකිරීම සඳහා කාර්යක්ෂම මෙහෙකාරියක් යොදා ගැනීමට ජෝති රෙඞ්ඩි ක්‍රියා කළේ, තම පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතුවල නියැලීම පිණිස ඇයට වැඩි කාල වේලාවක් අවශ්‍ය වූ නිසාය. 1997දී (27 හැවිරිදි) ජෝති, ඉන්දියාවේ කැකටියා සරසවියෙන් සිය පශ්චාත් උපාධිය ලබා ගත්තාය. ඒ සමගම ඇයට ජ්‍යෙෂ්ඨ ගුරුවරියක ලෙස උසස්වීමක්ද හිමිවුණි. ඇගේ මාසික වැටුප රුපියල් 6000 දක්වා ඉහළ නැංවිණි. ජෝතිට නිරතුරුව හිමිවෙන සමාජ පිළිගැනීම දරාගත නොහැකි තැන, අන්ත නූගතකු වූ ඇගේ ස්වාමි පුරුෂයා ඇයට නොකියාම නිවසින් යන්නට ගියේ මේ වකවානුවේදීය. විවාහ වූ අලුත, ගෙවිළියක ලෙස සැමියාගේ ඉඩමේ වැඩ කොට ජීවත්වීමට තරම් ආදායමක් නොලැබුණු හෙයින් ජෝති, කුලී කම්කරුවකු ලෙස ගමේ අනෙක් අය සමග කරට කර සිටිමින් ඇගේ ශ්‍රමය අලෙවි කළාය. වයස 27දී ප්‍රාන්තයේම පිළිගැනීමක් ඇති දක්ෂ ගුරුවරියක් බවට ජෝති පත්වූයේ කෙසේද යන්න ගැන මුළු ගමම විස්මයට පත්ව තිබුණි. ජෝතිගේ සාර්ථකත්වය ආරංචි වී, ඇගේ මව් පාර්ශ්වයට අයත් ඥාති සොයුරියක් ඇමරිකාවේ සිට ඇය සොයා පැමිණියේ ඇයට උදව් කිරීමේ අභිලාෂය ඇතිවය.

ඇමරිකා ගමන

පිරිමියකු සේ නිදහසේ සිතන පතන තම ඥාති සොයුරියගේ ඇවතුම් පැවතුම් සහ ශක්තිමත් ආර්ථික තත්ත්වය දුටු ජෝති, සිය දියණියන් දෙදෙනා, හොඳ කළමනාකාරිත්වයකින් සමන්විත ළමා නිවාසයක රඳවා, 2000 වසරේ මැයි 02 දින B1 වීසාවක් මගින් ඇමරිකාව බලා ගියේ එවැනි ස්වාධීනත්වයක් තමාද අත්පත් කරගත යුතුයැයි අධිෂ්ඨාන කරගනිමිනි. කැලිෆෝර්නියාවේ වීඩියෝ සාප්පුවක වෙළෙඳ සේවිකාවක් ලෙස සිය වෘත්තීය ජීවිතය ඇරඹූ ජෝති, ඊට අමතරව ක්ෂණික ආහාර වෙළෙඳ සැලකද, නිවසක ආයා කෙනකු ලෙසද දිවා රෑ නොබලා වැඩ කළාය. පරිගණක විද්‍යාව හා අදාළ ප්‍රායෝගික පාඨමාලාවක් වර්ජිනියා සරසවියේදී හැදෑරීමට මේ අතරතුර ඇය කටයුතු කළාය. ඇමරිකානු සමාගමක මෘදුකාංග ඉංජිනේරු සහායක තනතුරක් ඇය වෙත පිරිනැමුණේ මෙකී පාඨමාලාව සාර්ථකව නිමා කිරීමට ඈ සමත් වූ හෙයිනි. එම රැකියාව විසින් 2010 අවසාන වන විට ඇමරිකානු ඩොලර් 40,000ක් පමණ ඉතිරි කරගැනීමට ජෝතිට හැකියාව ලැබිණි.

කී සොෆ්ට්වෙයාර් සොලූෂන්ස්

ඉහත නාමය සහිත තමාගේම මෘදුකාංග සමාගමක් 2011 වසරේදී ඇමරිකාවේ ෆීනික්ස් නගරයේදී ස්ථාපිත කිරීමට ජෝති රෙඞ්ඩි සමත් වූවාය. සමාගමේ පළමු වසර අවසන් වන විට ඇමරිකානු ඩොලර් 168,000ක ශුද්ධ ලාභයක් ඉපැයීමට ඊට හැකිවිය. 2014 වන විට සමාගමේ ලාභය ඩොලර් මිලියනය ඉක්මවීය. දියණියන් දෙදෙනා බැලීම පිණිස ඇමරිකාවේ සිට වරින් වර, ඉන්දියාවේ පිහිටි ළමා නිවාසය වෙත පැමිණි හැම විටෙකම ජෝති ඔවුන්ට මෙසේ කීවාය. “මං හැදුණේ මීට වඩා පහසුකම්වලින් ගොඩාක් අඩු ළමා නිවාසයකයි. ඒ හින්දා, ඔය දෙන්නා හොඳට ඉගෙන ගන්න ඕන. මං හොඳ ඉගෙන නොගත්ත නම් අදටත් කම්කරු කාන්තාවක් විදියට පාරවල් ගාණේ වේලෙන්න ඉඩ තිබුණා. ගැහැනු දරුවන්ට ජීවිතය දිනන්න පුළුවන් අධ්‍යාපනය ලැබීමෙන් පමණයි.” සාමාන්‍ය පෙළ සමත් වූ පසුව, ජෝති රෙඞ්ඩි තම දියණියන් දෙදෙනාම ඇමරිකාවට ගෙන්වා ගත්තාය. එහිදී හොඳ අධ්‍යාපනයක් ලද බීනා හා බින්දු, වත්මනෙහි මෘදුකාංග ඉංජිනේරුවරියන් ලෙස මවගේ ආයතනය තුළම සේවය කරති. අද ජෝතිගේ සමාගමෙහි සේවක/සේවිකාවන් 100ක් පමණ වැඩ කරන අතර එහි වාර්ෂික ආදායම ඇමරිකන් ඩොලර් මිලියන 15කි. පරිගණක ක්ෂේත්‍රයේ ඉහළ වෘත්තිකයන් දෙදෙනකුට දියණියන් විවාහ කොට දුන් ජෝති, කැලිෆෝර්නියාවෙන් නිවාස දෙකක්ද, ඔවුන් වෙනුවෙන් මිලට ගත්තාය. අද ඇයට ඇමරිකාව තුළ සුපිරි නිවෙස් 04ක්ද, ඉන්දියාවේ හයිද්‍රාබාද්හි සුවිසල් මන්දිරයක්ද හිමිය. හැනම්කොණ්ඩා නගරයේ පිහිටි, ජෝති සිය ළමා කාලය ගෙවූ අනාථ නිවාසය, අද පූර්ණ වශයෙන් නඩත්තු කිරීම පිණිස බරපැන දරන්නේ රෙඞ්ඩි පවුලය. ඊට අමතරව අනාථ නිවාසවල සිටින දරු දැරියන්ට රැකියාභිමුඛ වෘත්තීය පුහුණු පිරිනැමීම පිණිස ජෝති අත දිගහැර වියදම් කරනවා පමණක් නොව, වරින් වර ඉන්දියාව වෙත පැමිණ මධ්‍යම ආණ්ඩුවේ බලධාරීන් හා එක්ව එම පාඨමාලා සම්බන්ධීකරණය කරනු ලබයි. ඉන්දියාවේ එම්.වී. පදනම සමග අත්වැල් බැඳගෙන සිටින ජෝති, ස්වයංරැකියා ඇරඹීම පිණිස වයස 18-25 අතර සිටින දිළිඳු ගැහැනු ළමුන්ට මූල්‍යාධාර පිරිනමන්නීය. ජෝතිගේ මගපෙන්වීම යටතේ සාර්ථකව වෘත්තීය හදාරා අද ඇමරිකාවේ රැකියා කරන ගැහැනු ළමයින්ගේ සංඛ්‍යාව 200 ඉක්මවයි. වීරත්වයේ පූජාසනය වෙත ජෝතිව රැගෙන ගියේ ඇගේ නිහතමානිකමයි!