අවස්ථාවාදය සහ ආත්මාර්ථය පරදා දේශපාලනය කෙළින් කිරීම

ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ

දිනෙන් දින පෙනෙමින් තිබෙන්නේ අපේක්ෂා කළ පරිදිම රටේ අර්බුදය මෝරායමින් තිබෙන අයුරුය. මෙය රටේ සෑම දෙනාටම පෙනෙන, තේරුම් ගතහැකි කරුණක් යැයි සිතිය නොහැක. ඡන්දදායකයන් වන සියලු ජනතාව පමණක් නොව, ඍජුව දේශපාලනයට සම්බන්ධ වී සිටින නායකයන්ට හෝ මෙම බරපතළ තත්ත්වය මැනවින් අවබෝධ වන්නේ යැයි විශ්වාස කළ නොහැකිය. පහළ මට්ටමේ සිට ඉහළ දක්වාම සෑම දේශපාලන නායකයකුටම පාහේ වුවමනා වී ඇතැයි සිතිය හැක්කේ අවස්ථාව මගහැර යෑමේ අවස්ථාවාදී විසඳුම් හෝ තමන්ගේ ගොඩ වැඩිකර ගන්නා ආත්මාර්ථකාමී විසඳුම් බව අපැහැදිලි නැත. ඒවා කිසිවිටෙකත් ඉතිහාසය පිළිබඳ අධ්‍යයනයකින් හෝ අනාගතය පිළිබඳ බුද්ධියකින් තෝරා ගනු ලබන විසඳුම් යැයි විශ්වාස කළ නොහැකිය.

දේශපාලකයන් සහ බුද්ධිමතුන්

මෙවැනි තත්ත්වයකට පත්ව ඇත්තේ දේශපාලන නායකයන් පමණක්ම නොවේ. ඔවුන් සමග සිටින උගතුන්, බුද්ධිමතුන් යැයි විශ්වාස කළ හැකි පිරිසටද මෙම අවස්ථාවාදී සහ ආත්මාර්ථකාමී තත්ත්වයට එරෙහිව යන විසඳුම් ඉදිරිපත් කිරීමේ හැකියාවක් ඉතිරිව ඇත්දැයි සැකසහිතය. දේශපාලන පක්ෂවල නායකයන්ගේ සාමාන්‍ය ආධාරකරුවන් – හිතවතුන් සිතන්නට පටන් ගෙන ඇත්තේද මෙම නායකයන් මෙන්ම ඔවුන් වටා සිටින උගතුන්, බුද්ධිමතුන් යැයි විශ්වාස කරන පිරිස සිතමින් සිටින ආකාරයටම බව අපැහැදිලි නැත.
කාටත් තේරුම් ගත හැකි සරල උදාහරණයක් දෙස බලන්න.

මේ, වනවිට රට දැවැන්ත ආර්ථික අර්බුදයක පෙර නිමිති පහළ කර තිබියදීත්, එහිදී රාජ්‍ය වියදම් අවම කරගැනීම අත්‍යවශ්‍යව තිබියදීත් ආණ්ඩුව කරමින් සිටින්නේ කුමක්ද?
කැබිනට් නොවන අමාත්‍ය ධුර යනුවෙන් තවත් ඇමති ධුර වර්ගයක් අලුතින් ඇති කිරීමෙන් නවතින්නේ නැතිව, කැබිනට් ඇමති ධුර සංඛ්‍යාව 30ට එහා ගෙන යෑමටත්, රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය ධුර තවත් ඉහළ නංවා ගැනීමටත් උත්සාහ දරමින් සිටීමය.

ආණ්ඩුවේ ඇතැම් මන්ත්‍රීවරුන් ‘තර්ජනය’ කරමින්, ඇමති ධුර, නියෝජ්‍ය ඇමති ධුර ඉල්ලා සිටීම, විසුළුසහගත කරුණක් සේ පෙනුණත් එය නොසලකා හැරිය හැක්කේ නොවේ.
මෙසේ, ජනතාවගේ මුදලින් විශාල ධනස්කන්ධයක් ඇමතිවරුන් නඩත්තු කිරීම පිණිස යෙදවීම උදෙසා වන සූදානමෙන්, පෙනෙන්නට තිබෙන්නේ, මෙම දේශපාලකයන් ගනිමින් සිටින්නේ රාජ්‍ය වියදම් අඩු කිරීමේ මාවත නොවන බවය. රට බරපතළ ආර්ථික අර්බුදයක ගිලී තිබියදීත් රට දෙස සමස්තයක් ලෙස බලනවා වෙනුවට තමන් දෙස, තම නෑදෑයන් – පාක්ෂිකයන් – හිතවතුන් දෙස පමණක් බැලීමේ මාවත ඔවුන් තෝරාගෙන ඇති බවය. මෙම අවස්ථාවාදී සහ ආත්මාර්ථකාමී තෝරා ගැනීම්වලින් රට තවත් අගාධයකට තල්ලුවීම හැර ස්ථාවරත්වයක් අපේක්ෂා කළ හැකිද?

ප්‍රශ්නය මගහැර ඡන්දයට යෑම

රටේ සියලු දේශපාලන පක්ෂ දැන් සූදානම්වෙමින් සිටින බව පෙනෙන්නේද මීළඟට එන ඡන්දය උදෙසා මිස අවශ්‍යයෙන්ම පැමිණීමට නියමිත අර්බුදය උදෙසා නොවන්නේය. එවිට එය, එම පක්ෂ හා නායකයන් සමග සිටින උගතුන් – බුද්ධිමතුන් මෙන්ම සාමාන්‍ය හිතවතුන්ගේද මාවත වීම වැළැක්විය නොහැක. එහෙත් මෙම නායකයන්, බුද්ධිමතුන් අතරින් සියල්ලන්ටම අනාගත අඳුර නොපෙනේ යැයිද සිතිය නොහැක. එසේ නම් වැදගත් වන්නේ ඒ අඳුර විනිවිද දකින පිරිස්ද, එවැන්නක් සිදු නොවන්නා සේ තමා දෙස පමණක්ම බලා සිටීමය. එය ඉතා භයානක නිහඬ රංගනයක් වනවා පමණක් නොව, අර්බුදයට ඛේදවාචකයක් දක්වා, දැනුවත්ව රැගෙන ගිය පිරිසටද ඔවුන් අයත් වීම නොවැළැක්විය හැකිය. මේ නිසා බුද්ධිමතුන්ද තෝරාගත යුතුව තිබෙන්නේ පක්ෂපාතීත්වයේ අන්ධකාර මාවත නොවන අතර ස්වාධීන චින්තනයේ ආලෝක මාවතය. ඒ සඳහා එක් එක් බුද්ධිමතුන් පමණක් නොව විවිධ සංවිධානද එකට එකතුවීමේ මාවතක් විවර කරගත යුතු වන්නේය. එහිදී ඇතිවන අවංක-විවෘත සංවාදයකින් පසුව මෝරා වැඩෙන කළලය, දරුවකු සේ බිහිකර ගැනීමට වැඩි සම්භාවිතාවක් ඇතැයි සිතිය හැක. එසේ නොමැතිව, මොහොත මගහැර යෑම උදෙසා ලබාදෙන පිළිතුරු, පිරිහීම තවත් වර්ධනය කරන මාවතක් වනවා මිස ස්ථාරවත්වය උදෙසා වන මාවතක් යැයි සැලකිය නොහැකිය.

ගැඹුරු සිතීම් නැත

දේශපාලනයේදී පමණක් නොව, වර්තමාන ශ්‍රී ලංකා සමාජයේ සියලු විෂයයන්හිදී ගැඹුරු සංවාද හෝ විසඳුම් නැතුවාක් මෙන්ම ගැඹුරු සිතීම් පවා ඇතැයි සිතිය නොහැක. එය වෙනස් කිරීම, කළ නොහැකි කර්තව්‍යයක් නොවනවා සේ ම විප්ලවීය මාවතක්ද වන්නේය. එහෙත් ඒ සඳහා අත්‍යවශ්‍ය යැයි සිතිය හැකි, පවත්නා දේශපාලන නායක පරපුර හෝ ඔවුන්ව බිහිකරන පවත්නා රටාව, තවදුරටත් වලංගුවන්නේ යැයි විශ්වාස කළ නොහැක. නව මාවතක් විවර කරගත යුතුවාක් මෙන්ම එය ගැඹුරු සිතීමක ප්‍රතිඵලයක් වන දේශපාලන ස්ථාවරභාවය රැකෙන ආණ්ඩු ක්‍රමයක්ද විය යුතුව තිබේ.
ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් යැයි කීවාට, එය තවදුරටත් ජනතාවගේ කැමැත්ත අනුව පාලනය වන රටක් යැයි සිතිය නොහැක. පරමාධිපත්‍යය ජනතාව සතු බව ව්‍යවස්ථාවේ ලියා තැබුවද ජනතාව පත් කරන නියෝජිතයෝ ඊට ගරු නොකරනවා පමණක් නොව, පරමාධිපත්‍යය ජනතාව තමන්ට පවරා දී ඇතැයිද සිතති. පක්ෂ මාරු කිරීම, ප්‍රතිපත්ති මාරු කිරීම; දත් මැදීම මුහුණ සේදීම තරම් සැහැල්ලු වී තිබීමෙන්ම දේශපාලන පිරිහීමේ තරම, කෙතරම්දැයි සිතාගත හැකිය. එහි හරය වන්නේ සියලු අවස්ථාවන්හිදී රටේ ඉරණම තීරණය කළ හැක්කේ තමන්ට බව සිතා කටයුතු කිරීමට දේශපාලකයන්ට, නොමැති අවසරයක් ලබාදී තිබීමය. නැතහොත් එවන් අවසරයක් ඇතැයි සිතා ඔවුන් කටයුතු කිරීමය. එහෙත් එය සත්‍යයද, නීිතියද නොවන්නා සේ ම යථාර්ථයද නොවන්නේය.

අත්‍යවශ්‍ය අලුත් දර්ශනය

ස්වාධීන ඡන්දදායකයකු සේ සිතන ජනතාවක් සමග ස්වාධීනව සිතන බුද්ධිමතුන් එකතු කිරීමේ මාවතක් විවර කරගැනීම, විශ්වසනීය විකල්පයක් ලෙස සැලකිය හැකිය. එය දේශපාලන පක්ෂයක නායකත්වයකින් අරඹන සන්ධානයකට වඩා නිදහස්ව සිතන ජනතාවගෙන්ම ගොඩනැගෙන පෙරමුණක් වන්නේ නම් පැහැදිලි විකල්පයක් වීමේ ඉඩකඩ වැඩිය.

එමගින් පළමුකොටම කෙළින් කරගත යුතුවන්නේ මෙරට ක්‍රියාත්මක වන අප්‍රසන්න සහ පිරිහීම සම්පූර්ණ කරමින් සිටින දේශපාලනයයි. සිටින දේශපාලන නායකයන්ට ඉටුකළහැකි කාර්ය භාරයක් එහි තවදුරටත් ඉතිරිව නැතුවාක් මෙන්ම ඒ උදෙසා අත්‍යවශ්‍ය නව දර්ශනය ඔවුන්ගේ දේශපාලනය සතුව තිබෙන බවක්ද නොපෙනේ. ස්වාධීන ඡන්දදායකයන් වන්නා වූ ජනතාවගෙන් සහ ස්වාධීනව සිතන බුද්ධිමතුන්ගෙන් එම දර්ශනය බිහිවීමේ නායකත්වය කාර්යභාරය ඉටුකර ගැනීමේ දෙවන මාවතක් විවර කරගත යුතුවීම වඩාත් විශ්වාසදායක මෙන්ම ප්‍රායෝගික විය හැක්කේ ඒ හේතුවෙනි. එය නිවැරදිවම සිදුකළ හැකි නම් ‘කවුරුන් කරන්නේද?’ යන්න අසා ‘ප්‍රජාතන්ත්‍රවාදය’ බිහිකර ගැනීමට වෙහෙස වනවා වෙනුවට ‘කුමක් කරන්නේද?’ යන්න අසා ‘ප්‍රජාතන්ත්‍රවාදය’ බිහිකර ගැනීමේ මාවත පාදා ගැනීමට ඇත්තේ ඉහළ සම්භාවිතාවක් යැයි විශ්වාස කළ හැකිය.

ජවහල්ලාල් නේරු

මෙවැනි තත්ත්වයක් පිළිබඳ, ඉන්දියාවේ ජවහල්ලාල් නේරුද විටෙක ප්‍රකාශ කළේය. වැදගත් වන්නේ ඔහු එය අවධාරණය කර ඇත්තේ 1931 තරම් ඈත ඉන්දීය නිදහස් සටන අතරතුර ශ්‍රී ලංකාවට පැමිණි ගමනකදී වීමය. කොළඹ-තුරග තරග පිටියේ සහ ගාලුමුවදොර පිටියේ පැවති උත්සවයන්හිදී නේරු කී අදහස් එකල ‘සිංහල බෞද්ධයා’ පුවත්පතේ පළ විය.
“… මා පුදුම වන්නේ බොහෝ දෙනා කරුණු සම්පූර්ණයෙන් අවබෝධ කර නොගෙන, සුළු කරුණු ගැන යුහුසුළුවීමත්, ඉතා අල්ප මාර්ගයන්ගෙන් බරපතළ ප්‍රශ්න විසඳීමට ගොස් ඇතැම්විට ප්‍රශ්න තවත් දුෂ්කර අවස්ථාවන්ට යොමු කරවා ගැනීමක් ගැනය.

පැමිණි මොහොතේ, පහළ වන ප්‍රශ්න ගැන පමණක් බලන පටු මතධාරී දේශපාලනඥයන් මෙන් නොවී අනාගතය බලා ලෝකයේ බරපතළ ප්‍රශ්න හා ශ්‍රී ලංකාවේ සුළු ප්‍රශ්නවල සම්බන්ධය අවබෝධ කරගැනීම ලංකා ජනතාවට ප්‍රයෝජනවත් වන්නේය. රටට නියම යහපත සැලසීමට නම් ඈත අනාගතය දෙස බැලිය යුතුය.”
“කිසියම් ප්‍රශ්නයක් දෙස විනිශ්චයකට බැසීමේදී එයින් රටේ ඉතාම දරිද්‍ර පක්ෂයට සිදුවිය හැකි හොඳ නොහොඳ නිගමනය කිරීම, විනිශ්චය පිළිබඳ ඉතා මනෝඥ ක්‍රමය වන්නේය.”