රාජ්‍ය නායකයන්ට අපේක්ෂා කළහැකි චර්යාවක් නැති විට

ජයදේව උයන්ගොඩ

2018 වසරේදී ලෝකයේ රාජ්‍ය නායකයන් දෙදෙනෙක්, තම රටේ පුරවැසියන්ද, ලෝකයාද මවිත කිරීමට තමන් සතු අසමසම දක්ෂතාව දැක්වූහ. එසේ කිරීම මගින් දෙදෙනාම ලෝකයාට ප්‍රකාශ කළේ තමන් දෙදෙනා ප්‍රජාතන්ත්‍රවාදී නායකයන් වීමට ඇති එක් මූලික ගුණාංගයක් නැති අය බවයි. එම ගුණාංගය නම්, රාජ්‍ය නායකයන්ගේ නිල හැසිරීම, පුරවැසියන් විමතියට පත් කරන අනපේක්ෂිත, තිගස්සන එකක් නොවිය යුතුය යන්නයි. පුරවැසියන් අනපේක්ෂිතව Shock treatment  වලට පාත්‍ර කිරීම දෙදෙනාගේම පොදු ලක්ෂණය වී තිබේ.
ලෝකයේ එකිනෙකාට ඈත තිබෙන මහාද්වීප දෙකක ජනාධිපතිවරුන් වන මේ දෙදෙනාගෙන් පළමුවැන්නා ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ය. දෙවැන්නා අපේ ජනාධිපති සිරිසේන මැතිතුමාය.

තිගැස්සීම

‘කල්තියා අපේක්ෂා කළ හැකි දේශපාලන චර්යාව’ රාජ්‍ය නායකයන්ට තිබිය යුත්තේ මන්ද? යන කාරණය වචනවලින් ප්‍රකාශ නොවූවද, එය වනාහී ඔක්තෝබර් 26දාත්, නොවැම්බර් 02දාත් ඊට පසුවත්, පසුගිය සති දෙකේත් ජනාධිපතිතුමා ගෙන ඇති ‘තීන්දු තීරණ’ යැයි සාමාන්‍යයෙන් හඳුන්වන ක්‍රියාමාර්ග ගැන ඇති මහජන ප්‍රතිචාරවල ගැබ්වී තිබෙන එක අදහසකි. රටේ මහජනතාවට කිසිදු ඉඟියක් නොදී, ඒ වනවිට ධුරයේ සිටින අගමැතිවරයා බලහත්කාරයෙන් ඉවත් කර, අලුත් අගමැතිවරයකු පත් කිරීම, ඒ හිටපු අගමැතිවරයාත්, අලුත් අගමැතිගේ කිට්ටුම අනුගාමිකයන්වත්, නොදැන සිටි අතිශයින්ම අනපේක්ෂිත සහ බොහෝ බරපතළ වූ දේශපාලන ක්‍රියාවන් දෙකකි. ඊට සතියකට පසු පාර්ලිමේන්තුව විසිරවීමද, පළමුවැනි ක්‍රියාමාර්ග දෙක තරම්ම බරපතළ අනපේක්ෂිත එකකි. මේ තීරණ තුනත්, ඒවායේ හානිකර ප්‍රතිඵලවලටත් සූදානම්වීමට රටට, ආර්ථිකයට, රාජ්‍ය නිලධාරීන්ට, ව්‍යාපාරිකයන්ට, සංචාරක හෝටල් හිමියන්ට, එන්න එන්නම දුර්වල වන රුපියලට සහ පුරවැසියන්ට විනාඩියක්වත් අවකාශයක් නොලැබිණ. මේවා වූ කලී, තමාගේ හදිසි තීරණයකින් තවත් මනුෂ්‍ය පිරිස් විපතට පත්වෙනු බලා පරපීඩක චිත්ත ප්‍රීතියක් සහ වින්දනයක් ලබන ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ චර්යාවට පමණක් සමාන කළ හැකි ඒවාය.
ප්‍රජාතන්ත්‍රවාදී පාලකයන් පරපීඩක චිත්ත ප්‍රීතිය විඳින්නෝ නොවෙති. එය පිළිකුල්ව ප්‍රතික්ෂේප කරන අයයි. එහෙත් මෙය ප්‍රජාතන්ත්‍රවාදී නායකයන් සිහිනෙන්වත් නොසිතන දේශපාලන අවගුණයක් බව ට්‍රම්ප්ට තේරෙන්නේ නැත. අපේ සිරිසේන ජනාධිපතිතුමාට එය තේරී තිබෙන බවට ලකුණක්, එතුමාගේ අලුත් අවුරුදු පණිවුඩයේවත් නැත. ඇත්තටම ජනවාරි 1දා එතුමා කළ යුතුව තිබුණේ දේශපාලන අවශ්‍යතාවක් නිසා තමන් ගත්තේ නිවැරදි තීරණ යැයි එතුමා තවමත් විශ්වාස කරන ‘තීන්දු තීරණ’ වලින් අපහසුතාවට, කරදරයට සහ විපතට පත්වූ, පාඩු ලැබූ, කනස්සල්ලට පත් පුරවැසියන්ගෙන් සමාව ඉල්ලීමයි. එහෙත් එවැන්නක්, සිතීමටවත් තරම් එතුමා මෙහෙයවන දේශපාලන පරිණතභාවයක්, පැසුණු බවක් හෝ නිස්කලංක මනසක් හෝ ප්‍රජාතන්ත්‍රවාදී පන්නරයක් හෝ සිරිසේන මහතාට තිබේද?

කුණාටු නිර්මාපකයා

නායකයන්ගේ චර්යාව ප්‍රෙඩික්ටබල්, එනම් කල්තියා අපේක්ෂා කළ හැකි එකක්වීම, වැදගත්වන්නේ රාජ්‍ය නායකයන්, අගමැතිවරුන්, ඇමතිවරුන් සම්බන්ධව පමණක් නොවේ. බලය පාවිච්චි කරන ඕනෑම පුද්ගලයකු මෙන්ම ආයතන සම්බන්ධයෙන්ද එය තීරණාත්මක අවශ්‍යතාවකි. මැක්ස් වේබර් නම් ජර්මන් සමාජ විද්‍යාඥයා ඉතාම අගේට විග්‍රහ කර ඇති මෙම ලක්ෂණය, මනුෂ්‍ය ශිෂ්ටාචාරයේ ‘නූතනත්වය’ වෙතින් ගොඩ නැගුණු මූලික මූලධර්මයකි. ‘නිලබල ක්‍රමය’ ගැන වේබර්ගේ න්‍යාය, SLIDA ආයතනයේ පුහුණුව ලබන සෑම රාජ්‍ය නිලධාරියකුටම උගන්වන්නේත්, මට ඉඩ ලැබුණු සෑම අවස්ථාවකම මා අවධාරණය කර ඇත්තේත්, සමාජයකට හා දේශපාලන ක්‍රමයකට නිසි ලෙස පැවතීමට බලය දරන්නන් වෙත එම ගුණය තිබීම, නූතනත්වයේ ලක්ෂණයක් මෙන්ම ප්‍රතිඵලයක්ද වන බවයි. එහෙත් SLIDA ආයතනයේ අවුරුද්දක පුහුණුව ලැබීමට අවකාශයක් නොලැබූ රාජ්‍ය සේවා ස්ථරයක සිට රාජ්‍ය නායකයා බවට පත්වී සිටින අපේ ජනාධිපතිතුමාගේ එම දුර්වලතාව ගැන එක් අතකින් අප දැක්විය යුත්තේ සානුකම්පිත ප්‍රතිචාරයකි. එහෙත් ප්‍රශ්නය වන්නේ, එතුමා අනපේක්ෂිත තීරණ ගන්නා රාජ්‍ය නායකයකු වශයෙන් එම තීරණ සියලුම පුරවැසියන්ටත්, මුළු රටටමත් හානිකර බලපෑම් ඇති කිරීමට ක්ෂණික ලෙස සමත් වී තිබීමය. එවැනි තීරණ ගන්නා ජනාධිපතිවරයකු රටකට නොගැළපේ. මන්ද, ජනාධිපති යනු වියවුල්වල සහ දේශපාලන කුණාටුවල නිර්මාපකයකු නොවිය යුතු නිසාය.
මෙම ගැටලුව රාජ්‍ය නායකයකු සම්බන්ධව නොව ඕනෑම ආයතනයක ප්‍රධානියකුගේ චර්යාවටද අදාළය. නිදසුන් ලෙස පාසලක විදුහල්පතිවරයකුගේ චර්යාව, ගුරුවරුන්, සිසු සිසුවියන් සහ මව්පියන් තිගැස්සෙන, අනපේක්ෂිත ඒවා නොවිය යුතුය. ඒවා එසේ නොවන බවට නීතිරීති, චක්‍රලේඛ සහ සම්ප්‍රදාය විසින් සහතික කරනු ලැබ තිබේ. එහෙත් ඒවා නොතකා තම හිතුමනාපයට අනුව, අනපේක්ෂිත සහ මුළු පාසල් ප්‍රජාවම තිගැස්සෙන විදුහල්පතිවරයකුට එම පාසලට නායකත්වය දීමට ඉඩ නොදීම සාමාන්‍ය සම්ප්‍රදායයි. ඔහුට හෝ ඇයට විරුද්ධව විනය පරීක්ෂණ පැවැත්වීම, මාරු කිරීම, විදුහල්පති ධුරයෙන් ඉවත් කිරීම යනාදී පරිපාලනමය විකල්ප තිබෙන්නේත් පාසල යන ආයතනයේත්, පාසල් ප්‍රජාවගේත් යහපත වෙනුවෙනි. අපේ ජනාධිපතිතුමාගේ තිගැස්සෙන, අනපේක්ෂිත සහ හිතුවක්කාර තීරණ වනාහී රටක මූලික නීතිය උල්ලංඝනය කරමින්, මුළු රටම, රටේ ආර්ථිකය, රටේ ප්‍රජාතන්ත්‍රවාදය තිගැස්සීමට භාජනය කරමින්, රටේ දේශපාලන අනාගතයද අනතුරට ලක් කළ ඒවාය. ඒවායේ බැරෑරුම්කම අතිශයෝක්තියට ලක් කළ නොහැකියි. එහෙත් මෙවැනි තීරණ අනාගතයේද ගනිමින් රටත් පුරවැසියනුත් තිගැස්සීමට ලක් නොකරන බවට කිසිදු සහතිකයක්ද, අප රටේ පුරවැසියන් ඉදිරියේ නැත.

ස්වයං හානිය

තමා ගත් තිගැස්සීම් තීරණ නිසා ජනාධිපති සිරිසේන මහතා තමන්ගේම දේශපාලන ජීවිතයටද බරපතළ හානියක් කරගෙන තිබේ. මේ කරුණ අප රටේ දැනට සිදුවන දේශපාලන සාකච්ඡාවේ මතුවී නැති නිසා, එය ප්‍රමාද වී හෝ මතුකළ යුත්තකි. ජනාධිපති සිරිසේන මහතා 2014 ඔක්තෝබර් මාසයේ සිට 2018 ඔක්තෝබර් මාසය දක්වා අවුරුදු හතර තුළ, තම රටේ සියලු දේශපාලන පක්ෂවලට සහ බලවේගවලට තමා ගැනම පුදුමාකාර, අසමසම සහ හානිකර ස්වයං-ඇස්තමේන්තුවක් ලබාදී තිබේ. එය නම් ‘මෛත්‍රීපාල සිරිසේන යනු කිසිසේත්ම විශ්වාසය තැබිය නොහැකි, ඕනෑම අනපේක්ෂිත මොහොතක තමාට ඉතාම කිට්ටුව සිටි සගයන්ට පිටිපස්සෙන් සිට පිහියෙන් අනින, පරෙස්සම් විය යුතු දේශපාලන හවුල්කාරයෙකුය’ යන්නයි. 2014 ඔක්තෝබරයේ මහින්ද රාජපක්ෂ සහ ශ්‍රීලනිපයද, 2018 ඔක්තෝබර මාසයේදී රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජාතික පෙරමුණද මේ පාඩම, මහා දේශපාලන පිරිවැයක් සහිතව ඉගෙන ගත්හ. ඒ අතර මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ පවුලේ අය, සිරිසේන මහතා වෙතින් අතිශයින්ම ප්‍රතිෂේධාත්මක දේශපාලන අත්දැකීම් දෙකක් ලැබූහ. 2015 මහින්ද රාජපක්ෂ මහතාට ජනාධිපති ධුරය නැතිවීමටද, 2016 ඔක්තෝබර් මාසයේදී ඒ මහතාට සතිපහක අගමැති ධුරයක් ලබාදී ඒ මහතා නින්දාවට පත් කිරීමද සම්බන්ධයෙන් සිරිසේන මහතා ගැන රාජපක්ෂ පවුල කරන ඇස්තමේන්තුව කුමක් විය හැකිද? මෙම අගමැති ධුරය ලබාදීමෙන් සිරිසේන මහතා මහින්ද රාජක්ෂ මහතාගේ දේශපාලන ප්‍රතිරූපයට කර ඇති හානිය සුළුපටු එකක් නොවේ. මෙතෙක් කල් අනභිභවනීය දේශපාලන පෞරුෂයක් ඇති මහා දේශපාලන නායකයකු ලෙස නායක වන්දනයට තම ගෝලයන් සහ හිතවත් ජනමාධ්‍ය විසින් ගොඩ නගනු ලැබ තිබුණ මහින්ද රාජපක්ෂ යන මිථ්‍යාව අනපේක්ෂිතව බිඳ දැම්මේ ජනාධිපති සිරිසේන මහතාය. එහි සරදම නම් එය වනාහී එජාපයට පසුගිය කාලයේ ඉටුකරගත නොහැකිව තිබූ දේශපාලන ඉලක්කයක්ද වී තිබීමයි.

රාජ්‍ය නායකයන්ගේ අනපේක්ෂිත සහ තිගැස්සෙනසුලු හිතුවක්කාර චර්යාව නීති මගින්ම පාලනය කළ නොහැකිය. අප රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දෙස මෙන්ම, ඇමෙරිකානු ව්‍යවස්ථාව සහ අවුරුදු තුන්සීයක සම්ප්‍රදාය දෙසද බලන විට අපට පෙනෙන්නේ, සිරිසේන සහ ට්‍රම්ප් යන දෙදෙනාගේ හිතුවක්කාර චර්යාව පාලනය කිරීමට ප්‍රමාණවත් ව්‍යවස්ථාමය විධිවිධාන සහ සම්ප්‍රදාය තිබෙන්නේය යන්නයි, එහෙත් ප්‍රශ්නය තිබෙන්නේ ඒවාට අනුව තීරණ ගැනීමට තරම් දේශපාලන පරිණත බවක්, විචක්ෂණ ඥානයක් සහ නිවුණු සිතක් මේ දෙදෙනාටම නැතිවීමයි. අපේ ජනාධිපතිතුමා ඩොනල්ඞ් ට්‍රම්ප් සමග ලබා ඇති මෙම සමානත්වය පිළිබඳ සංසන්දනය, අප රටේ පුරවැසියන් තුළ කනගාටුව ඇති කරන්නක් බවද කනගාටුවෙන් සටහන් කිරීමට අපට සිදුවේ. එම සංසන්දනය කිරීම මට සිදුවෙතැයි මාද කිසිසේත්ම සිතා සිටියේ නැත.
දේශපාලන ලෝකය රළු රළ සහිත මුහුදක් යයිද, රාජ්‍යය නමැති නෞකාව පදවන කප්පිත්තා පැසුණු සහ නිවුණු සිතින්, තීරණ ගෙන එම නෞකාව කුණාටු මැද්දෙන් පරෙස්සමෙන් පදවා ආරක්ෂිත වෙරළක් කරා සේන්දු කරවීමට සමත් කෙනකු විය යුතු යයිද පැරණි ඍෂිවරුන් කියා ඇත්තේ නිකමට නොවේ.