දේශපාලන කුමන්ත්‍රණයෙන් පසු ප්‍රායෝගික භාවිතයක් ගොඩ නගමු

චින්තක රණසිංහ

මහා දේශපාලන කුමන්ත්‍රණය නිමවිය. ඇත්තටම එය නිම වූවා නොව ආයාසයෙන් නිම කළේය. එය නිම කළේ පක්ෂවල නියෝජිතයන් හා සාමාජිකයන් පමණක් නොව හැමදාමත් අරගල කරන ජනප්‍රිය නොවන දේශපාලන ක්‍රියාධරයන්ය. බොහෝවිට වමෙන් තම දේශපාලන ගමන ඇරඹූ ඔවුහු වම අතාර්කිකවීමෙන් පසු ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා සටන් කරමින් සිටිති.
පක්ෂයක් ලෙස යූඇන්පිය ස්ථාවරව, අචලව සිටීම අධිකරණයට හා කතානායකට ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පදනම සැපයීය. බහුතරය පිළිබඳ කුමන්ත්‍රණය ජයගැනීමේදී ද්‍රවිඩ දේශපාලනය තීරණාත්මක සාධකයක් වූ අතර ජවිපෙද ඉතා වැදගත් හා සාධනීය භූමිකාවක් රඟපෑවේය.
දැන් එළැඹ ඇත්තේ රනිල්ට හා ආණ්ඩුවට ප්‍රායෝගිකව මෙරට ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක විය යුතු අවස්ථාවයි. පක්ෂය තුළ හා ආණ්ඩු යාන්ත්‍රණය තුළ ක්ෂණික හා ප්‍රායෝගික ලෙස වෙනස්කම් ඇති කළ යුතු අවස්ථාවයි.

ධනේශ්වර විප්ලවයේ
ක්ෂණික අවශ්‍යතාව

ලංකාව තුළ පවතින ප්‍රධානතම ප්‍රශ්න ගණනාවක දේශපාලන මහා පොදු සාධකය වන්නේ ධනේශ්වර විප්ලවය ගැඹුරු අර්ථයෙන් සිදු නොවීමයි. ඉතා සරලව කියන්නේ නම් වැඩවසම් මිනිස් සබඳතා හා වෙනත් ව්‍යුහ ධනේශ්වර මිනිස් සබඳතා බවට නියමාකාරයෙන් පරිවර්තනය නොවීමයි. මෙය වැඩවසම්වාදයක් ලෙස ඒකාධිපති ප්‍රජාතන්ත්‍රවාදයට සහයෝගය දෙන අතරම රටේ ඉදිරි ගමනට සෑම අතින්ම බාධාවක් ලෙස පවතී.

ලංකාවේ ධනේශ්වර පන්තියක් පුළුල් ලෙස නොවැඩීමත් වැඩී තිබූ ප්‍රභූ පන්තියේ ඉදිරිගාමී කොටස් සමග වඩාත් ප්‍රායෝගික දේශපාලන ගමනක් යෑමට සෑම දේශපාලන පක්ෂයක්ම අසමත්වීමත් නිසා දිගුකාලීනව දේශපාලන අර්බුදයක් ඇතිවී තිබේ. එනම් අතිශය අප්‍රායෝගික උගතුන් ටිකක් හා අතිශය ප්‍රායෝගික පාදඩයන් ටිකක් ලෙස සමාජය දෙකට බෙදී තිබීමයි. මෙම ප්‍රායෝගික පාදඩයන් දැන් විශාල වශයෙන් දේශපාලනයට රිංගා ඇති අතර සෑම දේශපාලන පක්ෂයකම ඉදිරි පෙළ සැලකිය යුතු බලයක් අල්ලා ගැනීමට ඔවුහු සමත් වෙති.

මෙහිදී අප්‍රායෝගික උගතුන් තම කුටිවලට වී වැජඹෙන බව පෙනේ. එහෙත් මෑතක සිට මේ ප්‍රධාන කණ්ඩායම් දෙකට අමතරව යම් ප්‍රායෝගික භාවයක් සහිත උගතුන් පිරිසක් දේශපාලන කටයුතුවලට අවතීරණයවෙමින් සිටින බව පෙනේ. දැන් මේ පසුවන්නේ ඒ ඓතිහාසික මොහොත වන අතර ප්‍රධාන පක්ෂය වශයෙන් යූඇන්පිය මෙම ඓතිහාසික මොහොත වටාහගත යුතුව පවතී. ප්‍රායෝගික වන්නේ රටේ වැඩ කළ යුතු ප්‍රධාන ව්‍යුහ දේශපාලන බලය සහිත එහෙත් අවංකත්වය හා අවශ්‍ය ක්ෂේත්‍රයේ දැනුම නැති පිරිසගෙන් ගලවා ගනිමින් වඩාත් බුද්ධිමත් ප්‍රායෝගික පිරිසක් වෙතට භාරදීමයි.

ප්‍රායෝගික ප්‍රතිසංස්කරණයක හදිසි අවශ්‍යතාව

මහින්දට මුහුණදීමට නම් ජවිපෙ මෙන්ම යූඇන්පී යන දෙකම ක්ෂණික ප්‍රායෝගික ප්‍රතිසංස්කරණවලට යා යුතුය. ප්‍රායෝගික ප්‍රතිසංස්කරණ යනු මේ මොහොතේ රටේ මූලිකම ප්‍රශ්නය වන ධනේශ්වර විප්ලවය සිදුකිරීම සඳහා ගත යුතු දේශපාලන නිර්භයභාවයයි. යූඇන්පිය මෙහිදී ගත යුතු මූලික ප්‍රායෝගික පියවර වන්නේ ගම්වල ව්‍යාජ සුභ සාධනය තම න්‍යාය පත්‍රයේ ප්‍රධාන ස්ථානයෙන් ඉවතට ගෙන මිනිසුන්ගේ දෛනික කටයුතු ඉටු කරන අතරම ප්‍රජාතන්ත්‍රවාදය හා ලෝක දැනුම පොදු ජනයා අතරට ගෙන යන සංවිධිත සාර්ථක වැඩපිළිවෙළක් සකස් කිරීමයි. ඒ ඔස්සේ ධනේශ්වර විප්ලවයට මෙන්ම සාර්ථක කාර්මිකකරණයකටද පදනම නිර්මාණය කරගත හැකිය.

ඉරාන්ලා, හර්ෂලා, චම්පිකලා, පරණවිතානලා, අජිත් පෙරේරලා මේ සඳහා එක්විය යුතුය. වහාම ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමත්, පාර්ලිමේන්තුවට බලය පවරා ගැනීමත් යන සටන් පාඨය මුලට ගෙන තමන්ගේම අභ්‍යන්තර සංවිධානයක් හදා ගැනීමට ඔවුන්ට හැකිවිය යුතුය. එහෙත් ඔවුන් සියලුදෙනාම මේ මොහොතේ කරමින් සිටින්නේ කුමක්ද, තම තම අමාත්‍යාංශවල කටයුතුවලට සිරවී ඇමති ගමන යාමය. දේශපාලනය අතහැරීමය. මෙය භයානක තත්ත්වයකි. ඒ අතර දිනේෂ්ලා, වාසුලා, වීරවංශලා ජාතිවාදය හා අන්තවාදය විශාල වශයෙන් ව්‍යාප්ත කරගෙන යති. ඔවුන්ට මාධ්‍යවල සෑහෙන බලයක් තිබෙන අතර ජාතිවාදයට එරෙහිව සංවිධිත වැඩපිළිවෙළක් යූඇන්පියට නැත.

යූඇන්පියේ පරණ වැඩපිළිවෙළ වූයේ ඡන්දයක් එනවිට යමක් සූදානම් කරගැනීමයි. පැරණි අර්ධ – වැඩවසම්, ධනේශ්වර ලෝකයට එය ගැළපුණත් අද පවතින තත්ත්වයට එය කිසිසේත් ඔරොත්තු දෙන්නේ නැත.

ඒ නිසා දැන් අවශ්‍යවන්නේ හුදෙක් සුබ සාධනය වටා කැරකීමෙන් නොනැවතී දේශපාලනයට අවතීර්ණවීමයි. එය රටේ මහජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කරන පළල්, වැදගත් ආයෝජනයක් බව යූඇන්පිය තදින් සිතා බැලිය යුතුය.

දේශපාලනයේ මේ මොහොත සුබ සාධනයේ මොහොත බවට ලඝු කර ජනතාව මනසින් හිඟන්නන් බවට පත්කිරීම දැන් සිදුවෙමින් පවතින භයානකම අදේශපාලනික දේශපාලනයයි. මෙය යූඇන්පිය තුළ කෙරෙන් සජිත්ගේ නායකත්වයෙන් වන අතර එයට ගම් මට්ටමේ නොදියුණු බලවේගවල විශාල සාධනීය ප්‍රතිචාරයක් ලැබීම සාධාරණ තත්ත්වයකි. මක්නිසාදයත් ඓතිහාසිකව පොදු මහජනයාගේ චින්තනනය හුරු පුරුදු කර ඇත්තේ එවැනි දරිද්‍ර චින්තනයක් වෙතට වන හෙයිනි.

එහෙත් අර්බුදය වන්නේ මෙය නොව මේ තත්ත්වය ඉදිරියේ යූඇන්පියේ සබුද්ධික නායකත්වය කසාය බිව් ගොළුවන් සේ මුනිවත රැකීමයි. යම් ආකාරයක වැඩපිළිවෙළක් සකස් නොකිරීමයි. සජිත් එක්තරා අන්දමක යූඑන්පී මහින්ද කෙනකු ලෙස සැලකිය හැකිය. බැරෑරුම් දේශපාලන ප්‍රශ්න පිළිබඳ විවෘත සාකච්ඡාවකට නොගොසින් සුබ සාධනය සංස්කෘතිය හා ආගම පිළිබඳ පොදු ජනප්‍රිය කතා කිරීම ජනාධිපතිවීමට පෙර මහින්දගේද ප්‍රධාන ලක්ෂණයක් විය. මේ වර්ගයේ දේශපාලනයේ ප්‍රධාන චිත්ත අණුව වන්නේ මහජනයාගේ මෝඩ බව පිළිබඳ අදහසයි. දියුණු ජනතාව යටපත් කිරීමේ සියුම් දේශපාලන සැලසුම් මේ ඔස්සේ තැනෙන අතර ආණ්ඩුවෙන් කන, ආණ්ඩුවේ ගෙවල්වල ලගින, පරපුටු නිෂ්ක්‍රීය පුරවැසියකු නිර්මාණය කිරීම මෙහි පරම අර්ථයයි. දැන් යූඇන්පියේ දියුණු කොටස් සිටී නම් මෙයට එරෙහි ප්‍රායෝගික දේශපාලන වැඩපිළිවෙළක් උපක්‍රමශීලීව පෙරට ගත යුතුය. ඒ සඳහා ජන පදනම නිර්මාණය කළ යුතුය.

ජවිපෙ

සමාජවාදය පිළිබඳ පැරණි විහිළුකාරී සිහිනය වෙනුවට වඩා සංවිධිත ධනේශ්වර විප්ලවයට අදාළ දේශපාලනයකට අවතීර්ණවීමට ජවිපෙට කාලය එළැඹ ඇත. ඇත්තෙන්ම හොඳටම කාලය එළැඹ ඇත. චේගුවේරා ලණුව තවදුරටත් අල්ලාගෙන සිටීමෙන් පළක් නොවන අතර දේශපාලන, අනාගතයක්ද නැත. ප්‍රථමයෙන් ජවිපෙ මේ පිළිබඳ විවෘත සාකච්ඡාවක් පෙරට ගත යුතුය. ජවිපෙ දේශපාලන වශයෙන් ආරක්ෂා කරන දියුණු බුද්ධිමතුන්ට මීට වඩා පක්ෂය තුළ බලයක් ලබාදීමට ජවිපෙ සමත් විය යුතුය.

එසේ නැතහොත් මෙම ඓතිහාසික අවස්ථාව නැවත ව්‍යාජ සුබ සාධනවාදයකට රැගෙන යෑමට ඇති ඉඩකඩ වැඩිය. එම සුබ සාධනවාදය කෙළවර ඇත්තේ ඒකාධිපතිවාදයයි. මහින්දවාදයෙන් බැට කෑ රට තවත් එවැනිම ඒකාධිපතිවාදයකින් බැට කෑ යුතු නැත. සියල්ලටම වඩා වැදගත් දෙය ප්‍රජාතන්ත්‍රවාදය බව නැවත නැවත කිවයුතු නැත.

මහජනතාව

කුරිරු ඒකාධිපතිවාදී ෆැසිස්ට් නැඹුරුවක් සහිත පාලනයකින් මිදීමේ වාසිය ලබාගත් ජනතාව ඒ ගැන සවිඤ්ඤාණික නැත. එසේ වූයේ මහින්දගේ පාලනය යටතේ පොදු ජනයාට යම් යම් ආර්ථික වාසි ලැබුණු නිසාය. ගමන් බිමන් යාමට පාරවල් ලැබුණු නිසාය. විශාල ණය යෝජනා ගම් නියම් ගම්වලට ගලා ගිය නිසාය.

මේ ණය නිසා බොහෝ පවුල් බංකොළොත් වූ බව වෙන වෙනම කතාවකි. තමන් අපේක්ෂා කරන ජාතික සුරක්ෂිතභාවය ලැබුණු නිසාය. එහෙත් රනිල් නැවත පැමිණීමෙන් ඒ සියල්ල නැතිවූයේ යැයි හැඟීමක් මේ සමාජ තීරුවට ලැබී ඇත. එය යම් සත්‍යයක් සහිත හැඟීමකි. යූඇන්පිය මේ සත්‍යය අද හෙටම වටහා ගතයුතුව තිබේ.

පොහොර සහනාධාරය වෙනත් ණය හා මූල්‍ය නොදෙන්නේ නම් එයට සාර්ථක විකල්ප ඒත්තු ගැන්විය හැකි විකල්ප ඉදිරිපත් කළ යුතුය. මහින්දගේ මාස එකහමාර තුළ ගමේ සංවිධිත වූ මහින්දවාදය නැගී ආවේ මේ මූලික අවශ්‍යතා සැපයීමේ ආශ්චර්යයෙනි. මේ නිසා පක්ෂය සංවිධානය කළයුත්තේ මේ සමාජ ස්ථරයද ආරක්ෂා කරගනිමිනි. මහජනයාගේ පැත්තෙන් සිදුවූ පෙරළිය දැකිය හැක්කේත්, දැකිය යුත්තේත් සාධනීය එකක් ලෙසය. සියලු පක්ෂවල ආඩම්බරකාරී හා ඒකාකාරී බලය බිඳී ගිය අතර එය මහජන බලය මතුවූ අවස්ථාවකි. ඒ නිසා මහජනයා යම් යම් සංවිධාන ව්‍යුහ ගොඩ නගා ගත යුතුව පවතී. සබුද්ධිකභාවයෙන් යුතුව දේශපාලනික මැදිහත්වීම්වල නිරත විය යුතුව පවතී.

එසේ මැදිහත්වීමෙන් පමණක් ඔවුන්ට යමක් දිනාගත හැකිවනු ඇත.