දෙවැනි නිදහස් අරගලය (IV) නව ව්‍යවස්ථාවක් හදා ගැනීම

වික්ටර් අයිවන්

ලංකාව දැන් තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක තිබිය යුතු මනා පිළිවෙළ හා ඒකාග්‍රතාව අහිමිවීම තුළ එහි ක්‍රියාකාරී ශක්තිය මුළුමනින් අහිමි වී තිබෙන තත්ත්වයක් තුළ නව ව්‍යවස්ථාවක් ඇති කරගැනීම අත්‍යවශ්‍ය කොන්දේසියක්ව තිබෙන ඓතිහාසික තත්ත්වයකය. දේශපාලන අර්ථයෙන් ශීලාචාර රටවල් ව්‍යවස්ථාව සමග සෙල්ලම් කරන්නට යන්නේ නැත. ව්‍යවස්ථාව සලකන්නේ උත්තරීතර හා නොකෙළෙසිය යුතු ඉතාමත් ගරු කටයුතු දෙයක් ලෙසය. ඉතාමත් කලාතුරකින් සංශෝධනයකට පවා අතගසන්නේ ව්‍යවස්ථාවට තිබෙන ශක්තිය වර්ධනය කිරීමට හේතුවන ආකාරයටය. ව්‍යවස්ථාව කෙළෙසීමත් සැලකෙන්නේ මහා පාපකර්මයක් ලෙසය.

එහෙත් එම විෂයෙහි ලංකාවට තිබෙන්නේ සතුටු විය හැකි හොඳ ඉතිහාසයක් නොව අවලස්සන හා අපකීර්තිමත් ඉතිහාසයකි. ලංකාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනයේදී ඊට ලැබිය යුතු නිසි ගෞරවයකින් යුතුව හා විධිමත් ලෙස ව්‍යවස්ථාව හදාගන්න දන්නේ නැති හා අවිධිමත් ලෙස හදාගන්නා ව්‍යවස්ථාවලදී පවා ඒවා නිසි ලෙස පාවිච්චි කිරීමට හා නඩත්තු කිරීමට නොදන්නා රටක් ලෙස සැලකිය හැකිය. ඒ ගැන රටක් වශයෙන් අපි කනගාටු විය යුතුය. අපට දීර්ඝකාලීන පැවැත්මක් ඇති සියලු ජනතාවගේ ගෞරවයට හා ආදරයට හේතුවන හොඳ ව්‍යවස්ථාවක් හදාගැනීමට හැකිවනු ඇත්තේ අපේ එම අවලස්සන ඉතිහාසය ගැන යථා අවබෝධයක් හා අවංක කනගාටුවක් ඇති නම් පමණය.

විසඳා ගත යුතු ප්‍රධාන ප්‍රශ්නය

තාමත් ලංකාවේ සමහර අය හිතන්නේ ආණ්ඩුක්‍රම විෂයේදී ලංකාවට සුදුසු පාර්ලිමේන්තු ක්‍රමයක්ද නැත්නම් ජනාධිපති ක්‍රමයක්ද යන ප්‍රශ්නය ලංකාව විසඳා ගත යුතුව තිබෙන ලොකුම ප්‍රශ්නය ලෙසය. එය එම විෂයේදී විසඳාගත යුතුව තිබෙන එක ප්‍රශ්නයක් ලෙස සැලකිය හැකි වුවත් එය එම විෂයේදී ලංකාව විසින් විසඳා ගත යුතුව තිබෙන ලොකුම ප්‍රශ්නය ලෙස සැලකිය නොහැකිය. ජනාධිපති ක්‍රමය හා පාර්ලිමේන්තු ක්‍රමය ආණ්ඩු ක්‍රමයක් තෝරා ගැනීමේදී තෝරා ගැනීමට තිබෙන ප්‍රධාන මාදිලි දෙකක් පමණය. ජනාධිපති ක්‍රමය හොඳින් ක්‍රියාත්මක වන රටවල් තිබෙනවා සේ ම පාර්ලිමේන්තු ක්‍රමය හොඳින් ක්‍රියාත්මක වන රටවල්ද තිබෙන්නේය. වරද තිබෙන්නේ ක්‍රමයේ නොව ඒ කවර ක්‍රමයක් හෝ නිසි අවබෝධයක් හා සංයමයකින් යුතුව භාවිත කරන්නට අපට තිබෙන නොදන්නාකමය.
ආණ්ඩුක්‍රම විෂයේදී ලංකාව මුහුණ දී තිබෙන ලොකුම ප්‍රශ්න ලෙස සැලකිය හැක්කේ ජාතිය ඒකාග්‍ර කරගැනීමට අසමත්වීම නිසා ඇතිවන ප්‍රචණ්ඩ අරගලවලින් ඇතිවූ තුවාල නිසාද, දරුණු පිළිකාවක් ලෙස මුළු රාජ්‍ය දේහය පුරා පැතිරී තිබෙන දූෂණය නිසාද ගරා හැලී බිඳ වැටෙමින් යල්පැනගිය තත්ත්වයකට පත්ව තිබෙන රාජ්‍ය ප්‍රතිනිර්මාණය කරගන්නේ කෙසේද යන ප්‍රශ්නයයි. නැතහොත් යල්පැනගිය පරණ රාජ්‍ය වෙනුවට භේදභින්න වී තිබෙන සමාජය ඒකාග්‍ර කිරීමට හේතුවන දූෂණයෙන් හා අකාර්යක්ෂමතාවෙන් තොර, නීතියේ ආධිපත්‍යය රජයන, රටේ යහපත් හා වේගවත් වර්ධනයකට හේතුවන සියලුදෙනාගේ ආඩම්බරයට හා ගෞරවයට හේතුවන නව රාජ්‍යයක් ප්‍රතිනිර්මාණය කරගන්නේ කෙසේද යන ප්‍රශ්නයයි.

ව්‍යවස්ථා සම්පාදන විෂයේදීද මෙම ඓතිහාසික මොහොතේදී ලංකාවට අවශ්‍ය වී තිබෙනුයේ පරණ යල්පැනගිය ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රවේශය වෙනුවට නව ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශයකි. එනම් ඉහත කී අරමුණු කරා ළඟාවීමට පුළුවන්කමක් ලැබෙන හිරි වැටී සිටින මහජනයා අවදි කිරීමට හා ප්‍රබෝධමත් කිරීමටද හේතුවන මහජනයාට ඔවුන්ගේ සමූහ ශක්තිය මුදාහැරීමට ඉඩ ලැබෙන නව ප්‍රවේශයකි.
පරණ ප්‍රවේශය තුළ මහජනයාට කිසිදු වැදගත් කාර්යභාරයක් තිබුණේ නැත. පරණ ව්‍යවස්ථා සම්පාදනයන්ට මහජනයා වැදගත් නොවූ අතර ප්‍රභූ සුළු පිරිසක් විසින් හෝ ව්‍යවස්ථාදායකයේ නියෝජිතයන්ට සීමා කෙරුණු ප්‍රවේශයක් එහිදී ක්‍රියාත්මක විය. ඒ ආකාරයෙන් ගොඩ නගන ලද ව්‍යවස්ථා පවා නීතිගත කෙරුණේ මහජනයාගෙන් අනුමැතිය ලබාගැනීමකින් පවා තොරවය. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පවා සැලසුම් කර තිබුණේ එම ව්‍යවස්ථා සංශෝධනය සඳහා ජනමත විචාරණයක අනුමැතිය අවශ්‍ය නොවේය කියන මහජන විරෝධී දඩබ්බර ප්‍රවේශයක පිහිටාය.

ව්‍යවස්ථා සම්පාදනය

ඉතාමත් සරල ලෙස කිවහොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යනු මහජනයා පාලනය කිරීම සඳහා පාලක පක්ෂය සමග මහජනයා ඇතිකර ගන්නා ගිවිසුමකි. පරමාධිපත්‍යය බලය තිබෙන්නේ මහජනයාට වන නිසාද එය ආණ්ඩුවට හා පාලක පක්ෂයට ලැබෙන්නේ මහජනයාගෙන් වන නිසාද, පරමාධිපත්‍යය බලය මහජනයාට අහිමි කළ නොහැකි බලයක් වන නිසාද ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයක් තුළ පාලක පක්ෂය සැලකිය යුත්තේ මහජන මුදලින් නඩත්තු වන මහජන සේවක පිරිසක් වන නිසාද මෙම ගිවිසුමට ඇතුළත් පාර්ශ්ව දෙක අතර ප්‍රමුඛ කොට සැලකිය යුත්තේ මහජනයාය. එය මහජනයා සමග මහජනයාගේ හා පොදු දේපළ ගණයට වැටෙන දේපළ පාලනය සඳහා සමාගමක් සමග හෝ එවැනි ආයතනයක් සමග මහජනයා ඇතිකර ගන්නා ගිවිසුමකට සමානය.

දැන් අපි ඉන්නේ විප්ලවයකින් පසු කිසිදු පාලනයක් නැති තත්ත්වයක නොව අරාජකත්වයක අඳුරු සෙවණැලි තිබියදී වුවද පාලක පක්ෂයක් හා පාලනය සඳහා ආයතන ක්‍රමයක් තිබෙන තත්ත්වයකය. ව්‍යවස්ථාදායකය පාලනය සඳහා තිබෙන ප්‍රධාන ආයතන ක්‍රමය වන අතර මහජන ඡන්දයෙන් තේරී පත්ව සිටින ජනාධිපති ඇතුළු ව්‍යවස්ථාදායකයේ සාමාජිකයන්ගෙන් සමන්විත එකතුව රටේ සිටින පාලක පක්ෂය ලෙස සැලකිය හැකිය. අලුත් ගිවිසුමක් ඇතිකරගත යුත්තේ එම පාලක පක්ෂය හා මහජනයා අතරය.

මෙතෙක් හදාගෙන තිබෙන ව්‍යවස්ථා තුනම හදාගෙන තිබෙන්නේ පාලක පක්ෂය නියෝජනය කරන ආයතනය ලෙස සැලකිය හැකි ව්‍යවස්ථාදායකය විසින් ගිවිසුමේ අනෙක් ප්‍රධාන පාර්ශ්වය වන මහජනයා සම්බන්ධ කරගැනීමෙන් තොරව ඒකපාක්ෂිකවය. ඒවා නීතිගත කරගන්නා ලද්දේද ජනමත විචාරණයකට ඉදිරිපත් කොට මහජන අනුමැතිය ලබාගැනීමකින් පවා තොරවය. 4 වැනි ව්‍යවස්ථා සම්පාදනයේදී එම වරද සිදුවන්නට මහජනයා ඉඩ නොතැබිය යුතුය.

එම සන්දර්භය තුළ හතරවැනි ව්‍යවස්ථා සම්පාදනය සිදුවිය යුත්තේ පාලක පක්ෂය නියෝජනය කරන ඉහත කී පාර්ශ්වය හා මහජනයාගේ පාර්ශ්වය නියෝජනය කිරීම සඳහා විධිමත් ආකෘතියකට මහජනයා අතරින් තෝරාගත් කණ්ඩායමකින්ද සමන්විත ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයක් මගිනි. මහජනයා නියෝජනය කරන කණ්ඩායමේ එකතුව සියලුම වර්ගයේ පීඩිත හා වෙනත් සමාජ ප්‍රවණතාවලින් සමන්විත සමස්ත මහජනයා නියෝජනය කරන වර්ණවත් සේ ම බුද්ධිමත් එකතුවක් විය යුතුය.

පරමාධිපත්‍යය බලය ඇත්තේ මහජනතාවට බැවින් හා ඇතිකර ගන්නා ගිවිසුම මහජනයාට අදාළ ගිවිසුමක් බැවින් ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලය සකස් විය යුත්තේ මහජන පාර්ශ්වයට වැඩි බලයක් ලැබෙන ආකාරයටය. ව්‍යවස්ථා සම්පාදන කාර්යයේ ආරම්භයේ සිට එය අවසන් කොට ජනමත විචාරණයකින් ජනතාවගේ අවසන් අනුමැතිය ලබා අලුත් ආණ්ඩුක්‍රම යටතේ පැවැත්වෙන මැතිවරණය දක්වා වන අන්තර්කාලය සඳහා අන්තර් වාර ව්‍යවස්ථාවක් හදා ගැනීම අවශ්‍ය වන අතර අන්තර්වාර ව්‍යවස්ථාවද, ව්‍යවස්ථා සම්පාදන වැඩසටහනේ න්‍යාය පත්‍රයද ඇතුළුව ව්‍යවස්ථා සම්පාදනයට අදාළ සියලු කටයුතු සිදුවිය යුත්තේ එම දෙපාර්ශ්වයෙන් සමන්විත ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලය මගිනි. සමස්ත ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය මහජනයාට පෙනෙන ලෙස සිදුවිය යුතු අතර න්‍යාය පත්‍රයට ඇතුළත් සෑම කරුණක් පිළිබඳවම කෙරෙන සාකච්ඡාවලදී ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයෙන් පිටත සිටින මහජනයාටද අදහස් පළකිරීමට ඉඩ ලබාදෙන ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ සිදුවිය යුතුය.

ජාතිය ගොඩ නැගීම

ඕනෑම රටක හා සමාජයක දියුණුව හා යහපැවැත්ම සඳහා ජාතික සමගිය නැතුවම බැරි ප්‍රධානම කොන්දේසියක් ලෙස සැලකිය හැකිය. වර්ග, කුල හා ආගම් භේදවලට තිබෙන පිළිගැනීම දුර්වල කොට රටේ සියලු මිනිසුන්ට සමාන මනුෂ්‍ය ගෞරවය හා සමාන අයිතිවාසිකම් ලබාදෙන ප්‍රවේශයක් තුළ කැබලි වී තිබෙන ජාතිය සමගි කොට ඒකාග්‍ර කිරීමට හේතුවන ලෙස ජාතිය ගොඩනගා ගැනීමට අසමත්වීම රටේ ප්‍රචණ්ඩ අරගල ඇතිවී අතිවිශාල ජීවිත හා දේපළ විනාශයක් ඇති කොට රාජ්‍ය අසමත් තත්ත්වයකට තල්ලු කිරීමට බලපෑ ප්‍රධාන හේතුව ලෙස සැලකිය හැකිය. එවැනි අවලස්සන අශීලාචාර තත්ත්වයක් ඇතිවීම වැළකීමට රාජ්‍යය අසමත්වීම පරණ ආණ්ඩුක්‍රම තුනටම ආවේණික ලොකුම දෝෂය වී යැයි කිව හැකිය.

භේදවී සිටින ජාතිය සමගි කොට හා ඒකාග්‍ර කිරීම මගින් ජාතිය ගොඩනගා ගැනීම හා එසේ ගොඩනගා ගන්නා ජාතිය පෝෂණය කොට ආරක්ෂා කරගැනීම ගොඩනගන්නා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රධානම අරමුණක් කරගත යුතුය. එම අරමුණට පටහැනිව ක්‍රියාකිරීම දඬුවම් ලැබිය යුතු බරපතළ වරදක් ලෙස නීතිගත කළ යුතුය. එම නීතිය උල්ලංඝනය කරන ඕනෑම පුද්ගලයකුට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මකවීම සහතික කළ යුතුය. එය අධිකරණ ක්‍රමයේද පරිපාලන ක්‍රමයේද, අධ්‍යාපන ක්‍රමයේද ප්‍රධාන අරමුණක් බවට පත් කළ යුතුය. එම අරමුණට පටහැනි ලෙස ලියැවී ඇති සියලු පෙළපොත් එම අරමුණට ගැළපෙන ලෙස සංස්කරණය කළ යුතුය. වර්ගය, ආගම හා ලිංගය අනුව පාසල් බෙදා වෙන් කරන ක්‍රමයද අහෝසි කළ යුතුය.

කුල ක්‍රමය වර්තමානයට කිසිසේත්ම නොගැළපෙන, මිනිසුන් නින්දාවට හා පීඩාවට ලක් කරන නපුරු හා දුෂ්ට ක්‍රමයක් ලෙස සලකා එහි පැවැත්ම මුළුමනින් නැති කිරීමට අවශ්‍ය සියලු දේ කළ යුතුය. වැඩවසම් ඉඩම්වල නිල පංගුකාරයන් ලෙස සැලකෙන ජනයාට ඔවුන්ගේ භුක්තියට ප්‍රමාණවත් තරම් ඉඩම් ලබාදී වැඩවසම් ඉඩම් ක්‍රමය සමග වැඩවසම් සේවා ක්‍රමය අහෝසි කළ යුතුය. කුලය ඉස්මතු කිරීමට හෝ ඇඟවීමට හේතුවන සියලු දේවල්ද අහෝසි කළ යුතුය.

වර්ග, කුල, ආගම් හා භාෂා භේද නිසා හෝ ඒවා ආශ්‍රයෙන් ඇතිවූ ගැටුම් නිසා හානි සිදුවී ඇති අය ගැන සොයා බලන තමන්ට සිදුවූ හානි හෝ අසාධාරණකම් කියාපෑමට අවශ්‍ය අයට ඊට අවස්ථාව ලබාදෙන ක්‍රමවේදයක් ඇති කොට සහන ලබාදිය යුතු අයට සහන ලබාදෙන ක්‍රමයක් ඇති කළ යුතුය.

මහජනයාට බලය දෙන ක්‍රමයක්

පරණ ආණ්ඩු ක්‍රමයට ආවේණික දුර්වලම ලක්ෂණයක් ලෙස සැලකිය හැක්කේ මහජනයාට ඔවුන්ට තිබෙන පරමාධිපත්‍යය බලය අභ්‍යාස කිරීමට තිබෙන අයිතිය මැතිවරණවලදී ඡන්දය පාවිච්චි කරන තැනකට සීමා කර තිබීමය. ආණ්ඩුකරණයට මහජනයාට ක්‍රියාකාරී ලෙස සම්බන්ධවීමට, මැදිහත්වීමට හෝ බලපෑමට ඉඩ ලබාදෙන ක්‍රමවේදයක් ආණ්ඩුක්‍රමයට ඇතුළත් වූයේ නැත. ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කර තිබෙන 20 වැනි සංශෝධනයට හා අගමැති රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව හදමින් තිබුණු ව්‍යවස්ථාවටද ඒ සඳහා වන ක්‍රමවේදයක් ඇතුළත්ව තිබුණේ නැත. ඒ නිසා ඒවා විසින් ඇති කරන්නට යන ආණ්ඩුක්‍රමය සැලකිය හැක්කේ ආණ්ඩුකරණයේදී මහජනයාට ක්‍රියාකාරී ලෙස සම්බන්ධවීමට හෝ මැදිහත්වීමට ප්‍රමාණවත් තරමේ බලයක් නොදෙන ව්‍යවස්ථාදායකයට පිස්සු නටන්නට ඉඩදෙන යල්පැනගිය ආණ්ඩුක්‍රම වශයෙනි.

ජනප්‍රිය ප්‍රාරම්භනය හා විකල්ප ජනමත විචාරණ ක්‍රමය ස්විට්සර්ලන්ත ආණ්ඩුක්‍රමය තුළ දක්නට ලැබෙන ආණ්ඩුකරණයට මහජනයාට ක්‍රියාකාරී ලෙස සම්බන්ධවීමට හා මැදිහත්වීමට ප්‍රබල අවස්ථාවක් ලබාදෙන ක්‍රමවේදයක් ලෙස සැලකිය හැකියි. ජනප්‍රිය ප්‍රාරම්භන ක්‍රමය යටතේ නියම කර තිබෙන අත්සන් සංඛ්‍යාව සහිත මහජන යෝජනාවකට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවා මුළුමනින් වෙනස් කොට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ආරම්භ කළ හැකිය. මැතිවරණ කොට්ඨාසයක් නියෝජනය කරන මන්ත්‍රීවරයකු ඒ ක්‍රමය යටතේ මහජනයාට ආපසු කැඳවිය හැකිය. විකල්ප ජනමත විචාරණ ක්‍රමය යටතේ ව්‍යවස්ථාදායකය විසින් යෝජනා කර ඇති හෝ සම්මත කරගෙන ඇති ක්‍රියාමාර්ගයක් නැවත ජනමත විචාරණයකට ලක් කොට ජන අනුමැතිය ලබාගන්නා ලෙස ජනතාවට ඉල්ලා සිටිය හැකිය. ස්විස් ක්‍රමය ඒ ආකාරයටම නොවෙතත් ලංකාවට ගැළපෙන ආකාරයට ලංකාවේ ආණ්ඩු ක්‍රමයටද ඇතුළත් කරගත හැකිය. ඒ මගින් මහජනයාට රටේ ආණ්ඩුකරණ ක්‍රියාවලියට සම්බන්ධවීමට ප්‍රබල අවකාශයක් ලබා දෙනවාට අතිරේකව, පාලකයන්ට හිතුවක්කාරී ලෙස ක්‍රියා කරන්නට තිබෙන ඉඩ ඇහිරිය හැකිය. ඒ ක්‍රමය දූෂණ මර්දනය සඳහාද සාර්ථක ලෙස යොදාගත හැකිය.

ලංකාවේ අධ්‍යාපන ක්‍රමය නිදර්ශනයකට ගෙන ස්විස් ක්‍රමය යොදා ගනිමින් මහජනයාට අවශ්‍ය නම් සමස්ත අධ්‍යාපන ක්‍රමය වෙනස් කිරීමට තිබෙන හැකියාව පැහැදිලි කළ හැකිය. අධ්‍යාපනය රටක දියුණුව හා නොදියුණුව කෙරෙහි බලපාන වැදගත්ම සාධකයක් ලෙස සැලකිය හැකිය. ලංකාවේ අධ්‍යාපන ක්‍රමය තිබෙන්නේ නොදියුණු පසුගාමී තත්ත්වයකය.

ලංකාවේ අධ්‍යාපනය නොමිලේ දෙන දෙයක් ලෙස සැලකුණද විභාගවලින් සමත්වීමට මුදල් ගෙවන උපකාරක පන්තිවලට සහභාගිවීම අනිවාර්ය දෙයක් බවට පත්වී තිබේ. ඇතිවී තිබෙන එම ක්‍රමය දුප්පතුන්ට අධ්‍යාපනය හරහා ඉහළ නැගීමට තිබෙන ඉඩ සීමා කොට නිදහස් අධ්‍යාපන ක්‍රමය පන්ති ස්වරූපයකින් ක්‍රියාත්මක වන අධ්‍යාපන ක්‍රමයක් බවට පත්කිරීමට හේතුවී තිබේ. ගුරුවරුන්ට ඔවුන්ගේ කාරියට ගැළපෙන යහපත් වැටුප් ක්‍රමයක් නැතිකම, ගුරුවරුන්ට රජයේ සේවයේ සිටියදී පෞද්ගලික සේවයේ යෙදීමට ඉඩදී තිබීම වැනි හේතු නිසා බොහෝ ගුරුවරුන් පාසලේ පන්ති කාමරයේදී ළමුන්ට උගන්වන්නේ අසම්පූර්ණ ලෙසය. අඩුපාඩු සපුරා ගැනීම සඳහා පාසල් කාලයෙන් පසුව හෝ නිවාඩු දිනවලදී පාසලේ ගුරුවරයා පවත්වාගෙන යන මුදල් ගෙවා උගන්වන ටියුෂන් පන්තිවලට යෑමට ළමුන්ට සිදුවී තිබේ. ළමුන්ට ඉගෙන ගන්නට සිදුවී තිබෙන්නේ කටපාඩමිනි. එය ළමුන්ගේ නිර්මාණශීලී කල්පනා ශක්තිය මොටකර ඔවුන් ගිරවුන් බවට පත් කරන දුෂ්ට ක්‍රමයක් බව අමුතුවෙන් කිවයුතු නැත. ද්වි භාෂා අධ්‍යාපන ක්‍රමයක් වෙනුවට ක්‍රියාත්මක වන්නේ ඒක භාෂා අධ්‍යාපන ක්‍රමයකි. පාසල් ක්‍රමය පවත්වාගෙන යන්නේද ලොකු පන්ති භේදයක් ක්‍රියාත්මක වන ආකාරයටය. ආණ්ඩුවේ පාසල් ක්‍රමය තුළ සුපිරි ගණයෙහිලා සැලකෙන පාසල් ක්‍රමයක්ද කමකට නැති හෝ කසිකබල් ගණයෙහි ලා සැලකෙන පාසල් ක්‍රමයක්ද පවතී.

ලෝකයේ දියුණු හැම රටකම පාහේ පාසල් වර්ග කර ඇත්තේ ප්‍රාථමික හෝ ප්‍රාථමික නොවන හෝ ප්‍රාථමික, ද්විතීයික හා උසස් පෙළ වශයෙනි. 1 වැනි ශ්‍රේණියෙන් පාසල් අධ්‍යාපනයට එකතු වන හැම ළමයකුම තෝරාගත යුත්තේ ඒ ළමයා ජීවත් වන නිවසට ආසන්නයේ ඇති ප්‍රාථමික පාසලය. ඒ නිසා පාසලක් තෝරා ගැනීම සඳහා තරගයක් නැති අතර පාසල් ක්‍රමයේ පන්ති ස්වරූපයක්ද නැත. මෙවැනි සරල බෙදීමකින් පාසල් ක්‍රමයේ ඇති පන්ති ස්වරූපය නැති කළ හැකි අතර පාසල් කළමනාකරණයද පහසු කොට ක්‍රමවත් කළ හැකිය.

සිරිතක් වශයෙන් ලංකාවේ සියලු දේශපාලනඥයන් දැන් පවතින දූෂිත පාසල් ක්‍රමයට පක්ෂය. ඒ ක්‍රමයෙන් ඔවුන්ට අයුතු වාසි ලැබෙන්නේය. ළඟම පාසල හොඳම පාසල වැනි ලේබල් යටතේ යල් පැනගිය පරණ දූෂිත පාසල් ක්‍රමය පවත්වාගෙන යයි. ජාතික අධ්‍යාපන කොමිසම ඉදිරිපත් කරන ප්‍රතිසංස්කරණ යෝජනා පවා පාලකයන් පිළිගන්නේ නැත. අධ්‍යාපන ක්‍රමයේ ඵලදායී වෙනසක් බලයට පත්වන ආණ්ඩුවලින් බලාපොරොත්තු විය නොහැකිය. එහෙත් ස්විට්සර්ලන්තයේ ක්‍රියාත්මක වන ප්‍රාරම්භනය, විකල්ප ජනමත විචාරණ ක්‍රමය අපේ ආණ්ඩුක්‍රමයට ඇතුළත් කළ හැකි නම් සමස්ත අධ්‍යාපන ක්‍රමය මහජනයාට ඵලදායී ලෙස වෙනස් කළ හැකිය.

සමස්ත අධ්‍යාපන ක්‍රමයේ ගැඹුරු විපර්යාසයක් වෙනුවෙන් පෙනී සිටින ඒ ගැන උනන්දුවක් දක්වන අවබෝධයක් ඇති පිරිසකට මෙම අධ්‍යාපන ක්‍රමය මහජනයා අනුමත කරන්නේදැයි දැන ගැනීම පිණිස ජනමත විචාරණයකට යන ලෙස ඉල්ලා ඊට අවශ්‍ය අත්සන් සහිත යෝජනාවක් ව්‍යවස්ථාදායකයට ඉදිරිපත් කළ හැකිය. එසේ නැතිනම් යහපත් විකල්ප අධ්‍යාපන ක්‍රමයක් සඳහා ප්‍රායෝගික යෝජනා ඇතුළත් සැලැස්මක් සකස් කොට එය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ජනමතය විමසා බලනු පිණිස ජනමත විචාරණයකට ඉදිරිපත් කරන ලෙස ව්‍යවස්ථාදායකයෙන් ඉල්ලා සිටිය හැකිය. මෙය අධ්‍යාපනයට පමණක් නොව, සෞඛ්‍යය, ගමනාගමනය, බලශක්ති, කෘෂිකර්මය, ධීවර, කර්මාන්ත, ව්‍යාපාර පරිසරය වැනි ඕනෑම විෂය ක්ෂේත්‍රයක් සඳහා යොදා ගත හැකිය.

ජනප්‍රිය ප්‍රාරම්භක ක්‍රමයද ඊට සමානය. එයද නියමිත අත්සන් සංඛ්‍යාවක් ඇතිව විධිමත් ආකාරයකින් පාර්ලිමේන්තුවට භාරදෙන යෝජනාවකි. එය බලවත් පුද්ගලයකුට එරෙහිව ඉදිරිපත් කළ හැකි දෝෂාභියෝගයක් බවටද පත් කළ හැකිය. සමාජ කණ්ඩායමට හා වෘත්තීය කණ්ඩායමට ඔවුන්ට තිබෙන ලොකු දුක්ගැනවිල්ලක් වුවද එසේ ඉදිරිපත් කළ හැකිය. ඒ ක්‍රමයට තෝරාපත් කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වුවද ආපසු කැඳවිය හැකිය. එවැනි යෝජනාවක් ව්‍යවස්ථාදායකයට ඉදිරිපත් කිරීමේ හැකියාව ලැබෙන්නේ විවිධ මාදිලි සඳහා ව්‍යවස්ථාවෙන් නියම කර තිබෙන විධිවිධානවලට අනුකූලව හා නියම කර තිබෙන මහජන අත්සන් සංඛ්‍යාව විධිමත් ලෙස සම්පූර්ණ කිරීමෙන් පසුවය. එය සරල දෙයක් නොවන අතර අධිෂ්ඨානශීලී පිරිසකට ජයගැනීමට බැරි කඩුල්ලක් ලෙසද සැලකිය නොහැකිය.

මීට සමාන ක්‍රමවේදයක් රටේ ආණ්ඩුක්‍රමයට ඇතුළත් කිරීම මගින් ආණ්ඩුකරන ක්‍රියාවලියට බලවත් ලෙස මැදිහත්වීමේ බලයක් මහජනයාට ලබාදිය හැකිය. ඒ මගින් රාජ්‍ය පාලනය නිල දේශපාලකයන්ට සීමා නොවූ මහජනයාද ක්‍රියාකාරී ලෙස සම්බන්ධ වී කෙරෙන ක්‍රියාදාමයක් බවට පත් කළ හැකිය. එය ජනතාවගේ පරමාධිපත්‍යය බලය බලගන්වන ක්‍රමයක් ලෙසද සැලකිය හැකිය. එසේම එය පාලක පක්ෂවල අනිසි බලය පාලනය කරන පුරවැසි සමාජය අවධි කොට ඔවුන් ක්‍රියාකාරී තත්ත්වයක තබන සමාජයේ දේශපාලන සවිඥානකත්වය දියුණු කිරීමට හේතුවන ක්‍රමයක් ලෙසද සැලකිය හැකිය. එම ක්‍රමය අලුත් ආණ්ඩුක්‍රමයට එකතු කරගැනීමෙන් පසුව පමණක් රටේ ඇතිවිය හැකි විපර්යාසයන්ගේ තරම අතිවිශාලය. දේශපාලකයන්ට ලැබී තිබෙන අතිවිශාල වැදගත්කම නැතිවී ඔවුන්ගේ දේශපාලන ප්‍රවේණිදාසයන් බවට පත්ව සිටින සාමාන්‍ය ජනතාව එම අවලස්සන තත්ත්වයෙන් අත්මිදී තමන් මේ රටේ නියම හිමිකරුවන් වේය යන අභිමානයෙන් ක්‍රියාකරන ජනතාවක් බවට පත්කිරීමට හේතුවනු ඇත.
සමස්ත රාජ්‍යය හා එහි ආයතන ක්‍රමය වසාගෙන තිබෙන බිහිසුණු පිළිකාවක් ලෙස සැලකිය හැකි ලංකාවේ අල්ලස හා දූෂණයේ හා නියම මූලයන් මොනවාදැයි ඊළඟ ලිපියෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමි.