ජනපති සැඟවුණු න්‍යාය පත්‍රයකි රට නැවත අර්බුදයකට ගෙනයනවා – ආචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර

සාකච්ඡා කළේ-ශ්‍රීලාල් සෙනෙවිරත්න

ජනාධිපතිවරයා කළ අගමැති මාරුව සදාචාර විරෝධී වුවත්, ව්‍යවස්ථා විරෝධී වුවත් එමගින් ඔහු එහිදී රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා සහ ආණ්ඩුව සම්බන්ධයෙන් එල්ල කළ චෝදනා නිශ්ප්‍රභා වන්නේ නෑ නේද?

ඔහු චෝදනා කළා රට පිටිපස්සට ගියා කියලා. බැලුවම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය තමයි ඒ විෂයයන් භාර අමාත්‍යධුර වැඩි ප්‍රමාණයක් දරලා තියෙන්නේ. කෘෂිකර්මාන්තයට, සංස්කෘතියට, පරිසරයට අදාළ සියලුම අමාත්‍යවරුන් පත්වෙලා හිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්. එයින් පේනවා අනෙක් පක්ෂයට චෝදනා කළත් ජනාධිපතිවරයාගේ පක්ෂයටත් ප්‍රතිපත්තියක් තිබිලා නෑ කොහොමද මේ දේශීයත්වය ඉදිරියට ගෙනියන්නේ කියන එක ගැන. වරෙක පුරවැසි සංවිධාන හැටියට අපි අගමැතිවරයා හමුවෙලා ප්‍රශ්න කළා ඇයි මේ මේ දේවල් සිද්ධ නොවෙන්නේ කියලා. අදටත් ජනතාව නඟන චෝදනා ටික අපි එදා ඉදිරිපත් කළාම අගමැතිවරයා කිව්වේ අපි අදහසක් ඉදිරිපත් කළාම ඒකට අනෙක් පැත්තෙන් එන අදහසයි දෙකම සළකලා ඒ දෙගොල්ලටම එකඟ වෙන්න පුළුවන් ප්‍රමාණයට විතරයි ඉදිරියට යන්න පුළුවන්නේ කියලා. මත්තල ගැටලුව, සංවර්ධන ව්‍යාපෘති ගැටලු, ආර්ථික මර්මස්ථාන කියා ඔවුන් සළකන දේවල් විදේශිකයන්ට බදු දීමේදී තිබෙන ප්‍රතිපත්තිමය ගැටලු සම්බන්ධව. ඉතිං ඕවා ඔක්කෝම බාධාවන් හැටියට තමයි ආවේ. ඒ බාධාවන් ඇතුළේ උත්පාදනය කළ හැකි දේවල් වෙනුවට තනිකරම ආයෝජකයන්ගේ සහ ණය ආධාර මත නැවතත් කල්පනා කරන්නට සිද්ධවීම කියන අර්බදයෙන් තමයි ගොඩ එමින් සිටියේ. එය කිසියම් දුරකට හෝ සමනය කරගෙන, අවබෝධතාවය වැඩිකරගෙන යාමට තිබුණු මොහොතේ තමයි මේ පහර දීම සිද්ධ වෙන්නේ. ඒ නිසා අනිවාර්යෙන්ම මෛත්‍රීපාල සිරිසේන මහතා හැට දෙලක්ෂයේ නියෝජිත ජනාධිපතිවරයා වීමේ අවසාන දවස බවට 2018 ඔක්තෝබර් 26 පත්වුණා. එතනින් පස්සේ අපේ හදවත් තුළින්, මනසෙන්, හැඟීම්වලින්, දේශපාලන අභිලාෂයෙන් ඔහු සම්පූර්ණයෙන්ම ඉවත් වෙනවා. මේ වන විට ඔහු කල් ඉකුත් වූ ජනාධිපතිවරයෙක්. අනෙක් අයට චෝදනා කිරීමෙන් ඔහු කළ වරද නිවැරදි වෙන්නේ නෑ.

නමුත් ‘ජනවාරි 8’ වෙනසේ පැවරුම් ඉටු නොකිරීමේ සියලු වගකීම ජනාධිපතිවරයා මත පමණක් පැටවිය නොහැකියි නේද? අලුත් කැබිනට් එක දිහා බැලුවමත් පෙනෙන්නේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාත් පෙර වැරදි නිවැරදි කරගැනීමෙන් තොරව පරණ පාරේම යමින් සිටින බව නොවේද?

මම හිතන්නේ අගමැතිවරයාට නව ඇමැති මණ්ඩලයක් නම් කිරීමේදී විකල්පයක් තිබුණේ නෑ කියලයි. මොකද මේ ඉදිරි කෙටි කාලය තුළ තිබුණු අමාත්‍යාංශවලට නව ඇමැතිවරුන් පත් කරලා ප්‍රතිසංවිධානය කරන්න තරම් කාලයක් නෑ. තිබුණු අමාත්‍යාංශයන් ඒ ඒ අයටම හිමිකර දෙන්න උපරිම අවස්ථාවක් දුන්නේ ඒ නිසා කියලයි මම හිතන්නේ. රවි කරුණානායකගේ කාරණය ගත්තොත් වෙනත් ඇමැති තනතුරක් හෝ ඔහුට ලැබීම පවා ප්‍රශ්නකාරී තමයි. නමුත් මම හිතන්නේ එය විසඳීම අපි මැතිවරණයකට බාර දිය යුතුයි. නුසුදුස්සන් හෙළි කොට ඔවුන්ට පාර්ලිමේන්තුවට පැමිණීමට නොදීමෙන් තමයි ජනතාව මේ වගේ ගැටලු විසඳිය යුත්තේ. ඔහුට මුදල් අමාත්‍යාංශය නොදීමෙන් අගමැතිවරයා අපිට දුන් පොරොන්දුව රැකලා තියනවා. සිවිල් සමාජය විදිහට අපිට ඇමැතිවරු පත්කරන්න බැහැනේ. විරෝධතා ඉදිරිපත් කරන්න විතරයි පුළුවන්. අපි බලාගෙන ඉන්නේ අලුත් ආණ්ඩුව ඊළඟ බජට් එකේදි ආර්ථිකමය සහ දේශපාලනික කාරණාවන් කොහොමද සළකලා තියෙන්නේ කියලයි. ඒ අනුවයි අපිට ඊළඟ විවේචනයට යන්න තියෙන්නේ. නැත්නම් අපිට තවම සටන තියෙන්නේ ජනාධිපතිවරයාගේ මේ තියන භයානක තත්ත්වය පාලනය කරන්නේ කොහොමද කියන තැනයි.

ජනාධිපතිවරයා තවදුරටත් ඔහුගේ පාරේම ඉදිරියට යාම වැළැක්වීමට සිවිල් සමාජයට ගත හැකි පියවර මොනවාද?

ජනාධිපතිවරයා තවදුරටත් රාජ්‍ය ආයතන හතලිස් ගාණක් තමන් යටතේ තබාගනිමින් මේ කරන ව්‍යවස්ථා විරෝධී ක්‍රියාව ගැන නීතිඥ කණ්ඩායම් මේ වන විට අධ්‍යයනය කරමින් ඉන්නවා. ජනවාරි මාසය තුළම ඒ නඩු පැවරීම් කරන්නට ඒ අය සූදානම් වෙනවා. සිවිල් සංවිධාන හැටියට අපිත් දැඩිව ඒ ගැන අවධාරණය කරනවා. අපි කියන්නේ රජය පත් වුණාට පස්සේ බාධා නොකර එයට කටයුතු කරගෙන යාමට ඉඩ දෙන්න. රජය වැරදි කළොත් ඒ ගැන බලාගන්න ජනතාවක් ඉන්නවා. තවදුරටත් ඔවුන්ව තබාගන්නවාද, නැතිනම් ආපසු හරවා යවනවාද කියන එක මැතිවරණයේදී ජනතාව බලාගනීවි. ඒක ඒ අයට නිදහස්ව උරගා බලන්න අවස්ථාව දෙන්න. ඊට ජනාධිපතිවරයා මැදිහත් විය යුතු නෑ. අපි ඉදිරියේ තිබෙන ප්‍රධාන කරුණු දෙකෙන් එකක් තමයි ජනාධිපතිවරයා නිශ්ක්‍රීය කිරීම. 19 ව්‍යවස්ථාවෙන් පසුව තටු කැපූ ජනාධිපති ධුරයේ කටයුතු කරනවා වෙනුවට, ඔහු සිහිනෙන් අවදිවූවාක් මෙන් අතීත ජනාධිපති ධුරයේ කටයුතු කිරීම නතර කරවිය යුතුයි. ඒ සඳහා ගත හැකි සෑම පියවරක්ම ගත යුතුයි. එහෙම නැතිව ඔහු කරන දේවල් අවංකයි කියා ඔහු හිතනවා නම් වහාම ජනාධිපතිවරණයකට යා හැකියි. ජනතාව ඔහු පිළිබඳව තීන්දුව එතනදි ප්‍රකාශ කරයි. මේ අවස්ථාවේදී එක්කෝ ජනාධිපතිවරයා එසේ ජනතා තීන්දුව ගත යුතුයි. එහෙම නැත්නම් තමන්ගේ ඉදිරි ධුර කාලය අවසන් වන තුරු නිහඬව සිටිය යුතුයි. එසේත් නැත්නම් ඉල්ලා අස්විය යුතුයි. අපි අවධානය යොමු කළ යුතු දෙවෙනි කරුණ තමයි මේ අයගේ දේශපාලනය සඳහා නැවතත් ජාතිවාදය ඇවිස්සීමේ කාරණය. දිගු කාලීන වශයෙන් ඒවාට විරුද්ධව කටයුතු කිරීමේ වගකීමක් සිවිල් සමාජය නියෝජනය කරන විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වශයෙන් අපිට තියනවා.

ජනාධිපතිවරයා විසින් පොලිසිය ඇතුළු ආයතන පවරා ගැනීම සාධාරණීකරණය කරන්න ඔහු යම් යම් හේතු ඉදිරිපත් කරනවා. ඒවාත් නොවිමසාම ඉවත දැමිය යුතුද?

ජනාධිපතිවරයා තමන් යටතේ පවත්වාගන්නා අමාත්‍යාංශ සහ ආයතන ප්‍රමාණය වැඩිකරගෙන තිබීම ගැටලුකාරියි. ජනාධිපතිවරයාට ප්‍රධානවම තිබෙන්නේ ව්‍යවස්ථාව රැකීම, රාජ්‍ය නියෝජනය කිරීම සහ රජයේ ආරක්ෂාව පිළිබඳ කරුණු. නමුත් විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න ආව නිසා මේ ජනාධිපතිවරයාට බෝනස් එකක් වශයෙන් ලැබුණා පරිසරයට සහ මහවැලියට අදාළ යම් තීරණවලට මැදිහත්වීමේ අයිතිය. මට පෙනෙන්නේ දැන් ඒකත් පටලවාගෙන තියෙන්නේ අමාත්‍ය ධුරයක් දක්වා. නමුත් ව්‍යවස්ථාවේ තිබෙන්නේ ඒ විෂයට ඔහුට මැදිහත්වීමට ඇති ඉඩකඩ අහුරා නොදැමීමක් පමණයි. ඒ බෝනස් අවස්ථාවත් ව්‍යවස්ථාව අනුව 2020 ජනවාරි 08වෙනිදායින් පසුව අහෝසි වෙනවා. එහෙම තියෙද්දිත් රජයක් ස්ථිරව නැති මොහොතක අර්බුද කාලයක් ලෙස සලකා ජනමාධ්‍ය ආදිය පවරා ගැනීම ගැන ඔහුට යම් කිසි සමාවක් ගන්න ඉඩ තිබුණා. නමුත් ආණ්ඩුවක් නැවත පත්කළාට පස්සේ ඒ වන විට ඔහුගේ අතේ තිබෙන ඒ ආයතන නැවත ගැසට් කිරීම පවා ඔහු ප්‍රමාද කළා. මේ ව්‍යවස්ථාවේ තියන දුර්වලකම තමයි අග්‍රාමාත්‍යවරයා ඇමැති මණ්ඩලය යෝජනා කළත් අමාත්‍යාංශවලට විෂය බෙදීම තියෙන්නේ ජනාධිපතිවරයා අතේ. ජනාධිපතිවරයාටත් අදහසක් තිබිය යුතුව තිබුණා නම් එය තියෙන්නට තිබුණේ දෙදෙනාගේ එකඟතාවෙන් එන කරුණක් හැටියට. මේ කරුණ නිසාම නැවතත් රට අර්බුදයකට යමින් සිටිනවා. සැඟවුණු න්‍යාය පත්‍රයන් එළියට දාගෙන ඔහු දැන් අනතුරේ වැටිලා අවසන්. අමුතු ඝාතන කුමන්ත්‍රණ නැතුවට ඔහු විසින්ම ඔක්තෝබර් 26 වෙනිදා දේශපාලනමය වශයෙන් සිය දිවි නසා ගත්තා. දැන් තියන පසුබිම තුළ මේ විදිහට කඩාබිඳ දැමීම් කිරීමේ අයිතියක් කිසිසේත්ම ජනාධිපතිවරයාට නැහැ. ඔහුට දැන් වෙනත් කාරණා ගැන කියන්නටත් බැහැ. ‘ජනවාරි 8’ වෙනසේදී පොරොන්දු වූ කාරණා ගණනාවක් තියනවා. නැවත ඒ වෙත යා යුතුයි. යහපාලනය සඳහා දෙවෙනි වරටත් පත්ව තිබෙන මේ පෙරමුණු රජයට ඉදිරියට යාමේ අවස්ථාව අනිවාර්යෙන් ඔහු දිය යුතුයි. අනිත් එක ඔහු දැන් ගෙදර යා යුතුමයි. එක්කෝ ඔහු ඉල්ලා අස්වී යා යුතුයි. එහෙම නැත්නම් අපි අස්කරවා යැවිය යුතුයි. ඔහුගේ ඉතිහාසගත කරුණු අනුව ඔහු ගෙදර යවනවාද හිරගෙදර යවනවාද කියන එක අනාගතයේ තීරණය වෙයි.

ඔබ කියන ආකාරයෙන් ජනාධිපතිවරයා ඉවත්වීමක හෝ අගමැතිවරයා නිවැරදි වීමක හෝ සේයාවක්වත් අපිට නම් පෙනෙන්නට නැහැ. ඔවුන් මේ ධුරවලට පත් කළ සිවිල් සමාජ බලවේගයට හෝ ඔවුන් නිවැරදි කිරීමේ බලයක් මේ වන විට ඇති බවක් පෙනෙන්නෙත් නැහැ. විසිරී ගිය සිවිල් සමාජය යළි ශක්තිමත් කඳවුරකට ගොණු කරගන්නේ කෙසේද?

සිවිල් සංවිධාන එකතුවේ බලය මේ වන විට දුර්වල වෙලා කියන එකට මම සම්පූර්ණයෙන්ම එකඟ නෑ. එදා අපිට ප්‍රබල චරිතයක් තිබුණා නායකත්වයක් සඳහා. මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ බෞද්ධ භික්ෂුවක්වීම තමයි එයට ප්‍රධාන වශයෙන්ම බලපෑවේ. ඒ පැත්තෙන් තමයි යම් බිඳ වැටීමක් තියෙන්නේ. අදටත් එවැනි ප්‍රබල චරිතයක් අපිට හමුවී නෑ. නමුත් අද වෙන කොට සිවිල් සංවිධාන ඊට වඩා ගොණුවෙමින් ඉන්නවා. සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති සාමුහිකය එක්වෙලා කළ සත්‍යග්‍රහය සහ ඒ වටා එක්වුණු ජනතාව බලපුවාමත් ඒක පේනවා. පහුගිය කාලේ යම් යම් අයගේ ඉවත්වීමක් තිබුණත් ඔක්තෝබර් 26ට පස්සේ ඒ අය නැවත තම තමන්ගේ ජාතික වගකීම තේරුම් අරගෙන එකට ගොණුවෙමින් ඉන්නවා. එය අපි තව ශක්තිමත් කරගත යුතුයි. සිවිල් සංවිධාන ප්‍රාදේශීය වශයෙන් ගොඩනැඟීමේ අවශ්‍යතාව තිබෙනවා. එහෙම නැතිව අපේ පනිවිඩය රට පුරා ගෙනියන්න විදිහක් නැති නිසා. තනි පුද්ගල නායකත්වයකට වඩා සාමූහික නායකත්වයක් යටතේ ගොණුවීම තමයි මම දකින්නේ වඩාත් සුදුසු. ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයක් නිසා එය දුෂ්කරයි තමයි. නමුත් මගේ විශ්වාසය තියෙන්නේ සිවිල් සංවිධාන සඳහා සාමුහික නායකත්වයක් පිළිබඳවයි. ඒ සාමූහික නායකත්වය ගන්නේ කවුද කියන එක පුද්ගල ක්‍රියාකාරිත්වයන් මත තීරණය වේවි. ඒ අතර බලපෑම් කණ්ඩායමක් වශයෙන් රජයේ ක්‍රියාකාරිත්වයන් ගැන පසුවිපරම් කරන්නට අපි වගකීමෙන් බැඳී සිටිනවා. එය මඟහරින්නට බෑ. 2015 සිවිල් සංවිධානවලින් සභාවක් පිහිටුවන්න හැදුවත් එය ගිළිහී ගියා. අන්තිමේ සෝභිත හාමුදුරුවන්ටවත් එයට කතා කළෙත් නෑ.

මේ වසර මැතිවරණ වසරක් වෙන බවත් ජනාධිපතිවරණය පවා පැවැත්වීමේ ඉඩක් පවතින බවත් පේනවා. එහෙම නැතත් ලබන වසරේ අනිවාර්යයෙන් ජනාධිපතිවරණය පැවැත් විය යුතු වෙනවා. මේ කෙටි කාලය තුළ ඒ අභියෝගයට මුහුණ දීමට සිවිල් සමාජයේ තෝරාගැනීම් මොනවාද?

එහිදී දේශපාලන පක්ෂ වශයෙන් තීරණ ගැනීම ඒ ඒ පක්ෂවලට අයිති දෙයක්. සිවිල් සංවිධාන වශයෙන් අපිට දේශපාලන පක්ෂවල න්‍යාය පත්‍ර වෙනස් කරන්නත් බැහැ. නමුත් අපි කියන්නේ ඊට වඩා මෙහායින් මේ අභියෝගයට මුහුණ දෙන්න විසිවෙනි ආණ්ඩුකක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගන්න කියලයි. එතකොට ජනාධිපති ධුරය සම්බන්ධයෙන් මේ තියන ගැටලුව නිරාකරණය වෙනවා. ඒක කරගෙන ඉදිරියට යන්න කියන එකයි අපි කියන්නේ. මොකද නැවතත් මහජන ඡන්දයෙන් ජනාධිපතිවරයෙක් පත් කරගැනීම කිසිම විදිහකින් රටේ සුගතියට හේතුවක් වෙන්නේ නෑ.

20 සම්මත කරගැනීම කියන එකේදි පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය ලබාගැනීම කියන ගැටළුවට නැවත මුහුණ දෙන්න වෙනවා. ඒ නිසා ප්‍රායෝගිකව එය ඉටු කරගත හැකිදැයි ප්‍රශ්නයක්. නොහැකි වුණොත් මොකද කරන්නේ? පොදු අපේක්ෂකයෙක් ගේනවාද? එසේ නම් ඒ කවරාකාරයෙන්ද?

මම හිතන්නේ නිර්පාක්ෂික පුද්ගලයන් ගැනීම නම් පහුගිය තෝරාගැනීමෙන්ම අවසන්. කවුරු ආවත් දේශපාලන පක්ෂයකින් විය යුතුයි. එතනදි රනිල්ද, සජිත්ද, කරූද, චම්පිකද කියා පුද්ගලයන් වශයෙන් සැළකීමක් අවශ්‍ය වෙන්නේ නෑ. අපි පුද්ගලයන් වශයෙන් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ගැනීමෙනුත්, ඊට කලින් සරත් ෆොන්සේකා මහත්තයා ගැනීමෙනුත් බැට කාලයි තියෙන්නේ. රටේ දේශපාලන පක්ෂ තියන නිසා අපේක්ෂකයා තේරීමේ අයිතිය දේශපාලන පක්ෂවලටම අපි දිය යුතුයි. දිනිය හැකි පක්ෂයක් තමන්ගේ නමක් ඉදිරිපත් කිරීම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ගැටලුවක් වෙන්න හේතුවක් නෑ. අනෙක ස්වාධීන අපේක්ෂකයන්ටත් ඉදිරිපත් වීමේ හැකියාව තිබෙනවා. එතකොට සිවිල් සමාජය සහාය දෙන පුද්ගලයා තෝරාගැනීම සිදු වෙන්නේ අපේක්ෂකයන්ගේ ඉතිහාසගත භූමිකාව නිරීක්ෂණය කිරීමෙන් සහ ඒ ගැන තක්සේරු කිරීමෙන් පසුවයි. දැනට රටේ ජනාධිපති ධුරයට කිසිසේත් තෝරා නොගත යුතු අය විදිහට දේශපාලන අසාදු ලේඛනයේ සිටින්නේ මෛත්‍රීපාල සිරිසේන සහ මහින්ද රාජපක්ෂ කියන පුද්ගලයන් දෙදෙනා පමණයි. සිවිල් සමාජය කියන්නේ දේශපාලන පක්ෂයක් නොවෙන නිසා අපිට අපේක්ෂකයන් තෝරාගැනීම කළ නොහැකියි. අපි තවදුරටත් පුද්ගල කේන්ද්‍රීයව නොසිතා 20 වෙනි සංශෝධනය හරහා පාර්ලිමේන්තුව ශක්තිමත් කරගෙන ඒ තුළින් ජනාධිපතිවරයෙක් පත් කරගැනීමේ ක්‍රමවේදය වෙනුවෙනුයි සටන් කළ යුත්තේ.