ලස්සන වචන සහ කැත කතා

ටිරන් කුමාර බංගගමආරච්චි

ජනපති සිරිසේනගේ වලිගයට සිය උපදේශකයන් ගිනි තැබීමත් සමග ඔහු රටම අවුලවමින් නැටූ වන්නම තාවකාලිකව අහවරය. එහෙත් අවසානය මෙය විය නොහැකිය. යහපාලන රනිල්වාදී විද්වතුන් කියන ආකාරයට ප්‍රජාතන්ත්‍රවාදය ජයග්‍රහණය කොට ජනපති සිරිසේනගේ ඒකාධිපතිවාදය පරාජය විය. දැන් නැවතත් යහපාලනය ජයගෙන ඇත. රට නැවත යන්නේ හොඳ පැත්තටය. මේ බොහෝ අය උග්‍ර රනිල්වාදීහු වුවද ඒ බව එළිපිට නොකියති. ඊට විවිධ සළු පොරවාගෙන විවිධ නාමකරණ ඉදිරිපත් කරති. මෙහිදී දෙයක් කිව යුතුය. එනම් මේ අය එජාපවාදීන්ට වඩා රනිල්වාදීන්ය. ඔවුහු රනිල් කෙරෙහි අමුතු පන්නයේ ෆැන්ටසියක ගිලෙති. නොදැනීම නොව දැන දැනම රනිල් වන්දනා මාන කරති. සාපේක්ෂව සියලු නායකයන්ට වඩා රනිල් හොඳ බව කල්පනා කරති. මේ අය හෙට එජාපයේ නායකයා ලෙස කෙනකු තෝරන්නේ නම් ඒ නියතවම සජිත් නොවනු ඇත. සජිත් යනු එජාප පාක්ෂිකයන්ගේ නායකයාය. රනිල් නිසා එජාපය තේරාගෙන සිටින අය හෙට රනිල්ගේ තැනට චම්පික හෝ රාජිත ආදේශ කරනු ඇත. ඒ සඳහා වඩා ඉදිරියට ගෙන ඇත්තේ චම්පික රණවකය. ඒ වෙනුවෙන් කසකාරයෝ දැනටමත් වැඩ පටන් ගෙන ඇත. මේ රනිල්වාදීන්ගේම ඉදිරි පියවරකි. දැනුවත් වැඩකි. එහෙත් රනිල් ඒ තරම් පහසුවට දේවල් අත්හරිනු ඇත්ද? කෙසේ වෙතත් රනිල්ගේ වලිගයේ එල්ලී දිව්‍ය ලෝකයට යා හැකි බව විශ්වාස කරන බොහෝ අය රනිල්ට වචනයක් ලියූ විට පරළ වෙති. ඒ ආලය සහ මහින්දවාදීන්ගේ මහින්ද ආලය යන දෙකම එකය. පන්තිය පමණක් ටිකක් වෙනස්ය.

ගින්න අඩුවූ පසු

රනිල්ට අගමැතිකම නොදෙනවාමයි කැට තැබූ ජනපති සිරිසේන අවසානයේ රනිල්වම තෝරා ගත්තේ වෙන විකල්පයක් නොවුණු නිසාමය. ඒ අනුව ඔහු පරාජය වුවද පරාජය භාර නොගන්නා බව ඉන්පසු වැඩවලින්ද පැහැදිලිය. රනිල්ට අගමැතිකම නොදෙනවා යැයි කී ජනපති සිරිසේන ඉන්පසු ඒ පළිය ගන්නට තෝරා ගත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එජාපයට ගිය අයගෙනි. මහින්ද සමග ආණ්ඩුවක් පිහිටුවන්නට එජාපයෙන් එන ඕනෑම අයකු වැලඳ ගත් ජනපති සිරිසේන, අද තමා අතහැර එජාපයට ගිය අයට ඇමතිකම් දීම ප්‍රතික්ෂේප කරයි. ජනපති සිරිසේන සැමවිටම පෙන්වනුයේ තමා දේශපාලනයේ නියැලි දීර්ඝ ඉතිහාසයක් තිබුණා වුවද භාවිතාවේදී මාස ගණනක ළදරුවකු බවය. ජනාධිපති වුවත් ක්‍රියා කරනුයේ ග්‍රාමසේවක කෙනකු ගාණට බවය. සරත් ෆොන්සේකාට ඇමතිකමක් නොදෙන්නේ තමාට එල්ල කළ චෝදනා නිසා බව එළිපිට කියන තැනට පත්වී ඇත. මේ නම් සැබැවින්ම ග්‍රාමසේවක පන්නයේම වැඩය.

ඒ කෙසේ වුවත් නැවතත් රනිල් අගමැති වී සුපුරුදු සෙල්ලම පටන් ගත්තේය. මුලදී ඔහුගේ දැනුවත්කම නිසාදෝ මලික් සමරවික්‍රම අමුතු රංගනයක් ඉදිරිපත් කළේය. ඒ ඇමතිකම් භාර නොගන්නා බව ප්‍රසිද්ධ කරමිනි. රනිල් කල්ලියේ ප්‍රධානතම විනාශකාරයකු වන්නේ මලික්ය. එහෙව් කලෙක මලික් මෙවර ඇමතිකම් නොගන්නවා යැයි ඔහුම කීවද එය සමාජයට සුබදායක විය. එහෙත් අවසානයේ එය රංගනයක් බවත්, එජාපයේ සුපුරුදු ඇන්දිල්ලක් බවත් පැහැදිලි විය. මලික් පමණක් නොව තිලක් මාරපනද නොගන්නවා යැයි කී ඇමතිකම් භාර ගත්තේය. පසුගිය කාලයේ දූෂිත චරිතයක් වූ රවි කරුණානායකටත් මේ අවස්ථාවේ නැවත ඇමතිකමකට එන්නට පොට පෑදුණි. ඒ අනුව පැහැදිලිවන්නේ හැම සටනක්ම උන්ගේ සටන් සහ උන්ගේ යහපත සහ පැවැත්මට වන දෑ බවය. ඒවා වෙනුවෙන් දිවි පුදන්නෝ අමනයෝය. රනිල්ට අවැසි දෑ කරන්නට පැරණි එජාප අයද තබා ගත යුතුව ඇත. ජෝන්, ගාමිණී ජයවික්‍රමලාට ඇමතිකම් ලැබෙන්නේ ඒ නිසාය. රනිල්ගේ කිට්ටු කල්ලියේ නම් කිසිවකු ඈතට නොයන්නේය. දරදිය ඇදි අජිත් පිී. පෙරේරා, හර්ෂලාට ඉතිරි දුකමය.

රංගේ

රංගේ බණ්ඩාර නැවතත් බැණ වදිනුයේ තමන් ඇමති ලිස්ට් එකේ නැති නිසාය. පසුගියදා බෙහෙවින් ජනප්‍රිය වූ රංගේ මිලදී ගැනීමේ වීඩියෝව මෛත්‍රී-මහින්ද කල්ලිය අනාථ කළා සැබැවිය. එහෙත් එයින් රංගේද අනාථ වූවා සහතිකය. රංගේ සමග යන ගනුදෙනුව ඊට පෙර උච්ච තැනකට ගොස් කොයියම් තැනක හෝ හිරවූ නිසා එය එළියට ආ බව නොරහසකි. ඇතැම්විට කෝටි පනහකට අමතරව ලොකු ඇමතිකමක් රංගේ බලාපොරොත්තු වූවා විය හැකිය. දෙකම නොමැතිව සෑහීමකට පත්වන්නට බැරි වූ තැන රංගේ සියල්ල වැමෑරුවා විය හැකිය. රංගේලා පමණක් නොව රවීලාත් එකම ගහේ බඩුය.

සහන

දැන් එජාපය උත්සාහ කරනුයේ කෙසේ හෝ ජනතාවට සහන මලු දී මේ වසර තුළ ලකුණු දාගන්නටය. කොටින්ම අන්දවන්නටය. ඒ හරහා ඉදිරියට සකසා ගන්නටය. මහින්ද හොර අගමැති වී උත්සාහ කළේද එයමය. එය ඊට වඩා හොඳට කරන්නට දැන් එජාපය සූදානම්ය. ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිවරයා දැන් සිටම ඒ ගැන පුරසාරම් ඇද බායි. ඔවුහු ජනතාවට හිතාගන්න බැරි සහන ලබාදෙන බවට කයිවාරු ගසති. මුලදී කළ යුතු දෑ දැන් කරන විට දැනෙනුයේ අපුලකි. එසේ නම් මේ බොරුව වැඩ කරනු ඇත්ද? එහෙත් කියන තරමට කළ හැකිද?

මීට පෙර රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී කීවේ කුමක්ද? 2017 වසරේ මැදදී ඔහු කීවේ මේ රටේ ජනගහනයෙන් සියයට හතළිස් තුනක් දිනකට ඩොලර් දෙකකට අඩුවෙන් ආදායම් උපයා ගන්නා අන්ත දුප්පතුන් බවය. ඒ අය ඇති හැකි අය කිරීම තමන්ගේ අරමුණ බවද ඔහු එදා කීවේය. එහෙත් සිදුවූයේ කුමක්ද?

එපමණක් නොව, පොහොසතුන්ගෙන් අය කරන බදු ප්‍රමාණය රජයේ මුළු බදු ආදායමෙන් සියයට විස්සක් බවත්, දුප්පත් ජනතාවගේ කෑම බීම, අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා ඇතුළු අනෙකුත් දේවලින් අය කරන වක්‍ර බදු ප්‍රමාණය මුළු ආදායමෙන් සියයට 80%ක් බව හෙළි කළේ එය සියයට හැටක් දක්වා අඩු කරන බව කියමිනි. එහෙත් සිදු කළේ කුමක්ද? මුළු බදු ආදායමෙන් වක්‍ර බදු ප්‍රමාණය සියයට අසූහතක් පමණ දක්වා ඉහළ දමන විට පොහොසතුන්ගෙන් අය කරන ඍජු බදු ප්‍රමාණය මුළු බදු ආදායමෙන් සියයට 13ක් පමණ දක්වා පහත දැම්මේය. සරදියෙල් ආර්ථිකයක් ගෙන එනවා යැයි කී රනිල්ගේ සරදියල් තියරිය එසේ විය.

රාජපක්ෂ ආණ්ඩුව කළේ ජනතාවට සංඛ්‍යා ලේඛන විජ්ජාවක් කිරීමය. එදා රාජපක්ෂලා කළේ උද්ධමනය ඉතා අඩු අගයක පවතින බව පෙන්වීමට කුමන්ත්‍රණ කිරීමය. බඩු මිල ඉහළ යෑම පිළිබඳ මනින කොළඹ පාරිභෝගිකයන්ගේ මිල දර්ශකය නම් ඒකකයේ භාණ්ඩ ගණනාවක් ඉවත් කිරීමය. හාල්, පොල්, නැවුම් එළවළු, කිරි නිෂ්පාදන, ප්‍රවාහන ගාස්තු යන විසඳුම් ඉවත් කිරීමය. එදිනෙදා අත්‍යවශ්‍ය වන භාණ්ඩ මත පොදු පහසුකම් වියදම් ඉවත් කළ විට පාරිභෝගිකයන්ගේ මිල දර්ශකය ඉහළ යෑමක් සිදු නොවේ. ඒ අනුව ඔවුන් නිතර කීවේ ඒ තුළින් උද්ධමනය ඉතාම පහළ මට්ටමකට ගෙනවිත් තිබූ බවය. මෙවැනි කතා බන්දුල ගුණවර්ධන වැනි කයිවාරු කාරයන්ට තලු මැරිය හැකි කතාය. අද ඔහු මේ ආණ්ඩුවේ ආර්ථිකය ගැන කතා කරනුයේ එදා එවැනි ගැලවිජ්ජා කිරීමෙනි. එදා හංගපු ඒ විජ්ජාව නිසා රට ණය වූ බව කියමින් රනිල් කළේ ණය කන්ද පෙන්න පෙන්නා ජනතාවගේ බඩට ගැසීමය. මේ දෙකම එකම පන්නයේ ගේම්ය.

එජාපයේ ආර්ථික කළමනාකරණ කමිටුව යනු රනිල්, මලික්, රවි සහ පාස්කරලිංගම්ය. ඒ අයගේ ආර්ථික සැලසුම් ඒ කාලේ රටේ ජනතාව මනාව භුක්ති වින්දේය. මෛත්‍රී පිලද මෙයින් හෙම්බත් වූ නිසා රනිල්ගේ ආර්ථික කළමනාකරණ කමිටුවට ඉහළින් ‘ජාතික ආර්ථික සභාව’ නමින් අලුත් ඒකකයක් පිහිටුවීය. රනිල්ගේ කමිටුවෙන්වත් මෛත්‍රීගේ සභාවෙන්වත් ජනතාවට වූ සෙතක් නැත. ඒ නිසාම රනිල් – සිරිසේන ආණ්ඩුවට හෙණ ගහන විටත් ජනතාවට එය වගේ වගක් නොවුණේ මේ ඇන්දිලි නිසාය. බඩු මිල නොදැනෙන එක්තරා පන්තියකට රනිල්ගේ මේ වැඩ හොඳ වුවද අතිබහුතරයක් ජනතාව මේ තත්ත්වයට මුහුණදීම අපහසු විය. ඒ නිසාම සිරිසේන – රනිල් අහක් කොට මහින්ද තෝරා ගත්තද ජනතාව නොතිගැස්සුණේය. එයට හේතුව ප්‍රජාතන්ත්‍රවාදය ගැන නොදන්නා නිසා නොව රනිල්ලාගේ ප්‍රජාතන්ත්‍රවාදයෙන් ජනතාවට සෙතක් නොවන බව දන්නා නිසාය. රනිල්ගේ රස්සාව රැකදීමෙන් තම බඩවියත නොරැකෙන බව ජනතාවට වැටහුණු නිසාය. එවන් අතීත පාඩම් නිසා දැන් කිරිඇල්ල දැනෙන සහන දෙන්නට කයිවාරු ගසමින් සිටී. මේ කෙටි කාලය කුමක් කළද ඒ ඡන්ද ගුණ්ඩුම මිස අවංක පෙනී සිටීම් නොවන බව පැහැදිලිය.

ලස්සන කතා

ආර්ථිකය සම්බන්ධයෙන් මේ මවන කතා සුරංගනා කතාය. නැවත මුදල් ඇමති වූයේ මංගල සමරවීරමය. ඔහු ඊට පෙර මුදල් ඇමති ලෙස කීවේ රස කතාය. ‘රන් අස්වැන්න’, ‘ගොවි නවෝදය’, ‘රිය ශක්ති’, ‘රිවි බල සවිය’, ‘ජය ඉසුර’, ‘මාධ්‍ය අරුණ’ සහ ‘සොඳුරු පියස’ ද ඒ අතර විය. මේ සියල්ල ණය ව්‍යාපෘතිය. එහෙත් මේ කිසිවක් සිදු නොවූ නිකම්ම නිකම් කතාය. රනිල්ලා කුමක් කළද සාපේක්ෂව රනිල් හොඳයි කියන රනිල්වාදීන්ට මේවා කිසිවක් නොපෙනුණි. ජනපති සිරිසේනගේ මහින්ද තෝරා ගැනීම එක්තරා සුළු පිරිසකට බෝම්බයක් වෙද්දී බහුතරයකට එය රතිඤ්ඤා කරලක් බවට පත්වූයේ එජාපයේ සුරංගනා කතාවලින් බඩ නොපිරෙන නිසාය. එදා මහින්ද රට ගැන කියද්දී එජාපය කීවේ බඩ ගැනය. ඒ නිසා දැන් බඩ අමතක කොට රට මතක් කරදීමෙන් පළක් නැත. රට අයිති මහින්දටය. එහි උරුමකරුවා ඔහුය.
මහින්දගේ පවුල් පාලනය රට සූරාකමින් උපරිම සැප විඳිද්දී එයට එරෙහිව ජනතාව යහපාලනය විශ්වාසය කළේ මෙලෙස ඇන්දෙන්නට නොවේ. එදා එලෙස ඡන්ද දුන් ලක්ෂ 62ක් අද නැත. එදා ලක්ෂ හැට දෙක අදත් මැතිරීම විකාරයකි. අද ඇත්ත ගාන බලන්නට නැවත ඡන්දයකට යා යුතුය. එයට එජාපය බයය. ඇත්ත එයය. එහෙම කියා ජනතාව මේ දෙකම අතහැර විකල්පයකට යන්නේ නැත. එයට අවැසි විකල්පයක් තවම නැත. ඒ නිසා නැවත රනිල්ලා ප්‍රතික්ෂේප කොට ජනතාව තෝරනුයේ මහින්දලාමය.

මහින්ද උපාය

එජාපය ජනතාවට සහන දී ලබන ඡන්දය සූදානම් වෙද්දී රාජපක්ෂලා උපාය දමනුයේ නැවත ජාතිවාදය කරපින්නා ගන්නටය. ඔවුහු සැමදා ගොඩ ගියේ එයිනි. දකුණේ ඡන්ද උපරිමය ගැනීම තුළ හැර වෙන විකල්පයක් රාජපක්ෂලාට නැති බව පැහැදිලිය. උතුරු-ඡන්ද තවමත් රනිල්ට පක්ෂය. එය ඉදිරියේදී විග්නේෂ්වරන්ලා හරහා වෙනස් විය හැකිය. උතුරේ වුව සාමාන්‍ය ජනතාව දෙමළ නායකයන් කෙරෙහි ප්‍රසාදයක් ඇතැයි නොපෙනේ. එය දකුණේ සාමාන්‍ය ජනතාව මෙන්මය. ජනතාව විදිහට ඒ අයත් බලාපොරොත්තු වූ බොහෝ දෑ කිරීමට මේ රජය අපොහොසත් විය. එය දෙමළ නායකයන් ප්‍රතික්ෂේප වෙන්නට හේතුවක් විය. දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු 16 දැන් 14 දක්වා වී ඇත්තේ ඉන් දෙදෙනකු ටීඑන්ඒ මතයට විරුද්ධ බැවිනි. එක් අයකු කෙළින්ම මහින්දව තෝරාගෙන ඇත. ඒ අනුව ඉදිරි සමස්ත චිත්‍රය වෙනස් වුවද රාජපක්ෂලා දැඩිව විශ්වාස කරනුයේ දකුණය. එයට හොඳම බෙහෙත ජාතිවාදයය. ජාතිවාදය තව දිගු කාලයක් හිරිකිතයකින් තොරව විකිණිය හැකිය. එය දේශපාලනයේ නාමයෙන්ම පවතින්නකි. එය රාජපක්ෂවරු නියමාකාරව නඩත්තු කරති. ඊට විරුද්ධ යැයි පෙන්වන එජාපය කතා මිස ක්‍රියා නැත. බේරුවල – දර්ගා නගරයේ සිද්ධිය නැවත එජාපය යටතේ තෙල්දෙණිය විය හැකි නම් එජාපයේ ජාතිවාදී විරෝධය ව්‍යාජ බව පැහැදිලිය. සැවොම එකම පන්නයේ නරුමයෝය.

මේ ජාතිවාදය, ජාති ආලය ප්‍රතික්ෂේප කරන ඡන්ද පදනමක් ගොඩ නගන්නට නම් එයට අවංකව විරුද්ධ පිරිසක් නිර්මාණය කරගත යුතුය. එය එජාපය තුළින් දැකිය හැකිද? එජාපයේ එවැනි අවංකභාවයක් දැකිය නොහැකිය. එය තෙල්දෙණිය සිද්ධියෙන් ඔප්පු විය. ඒ සියලු කාරණා මත හෝ රාජපක්ෂලාට වඩා එජාපය එතැනදී යහපත්ය. කවර කරුණක් මත හෝ ජාතිවාදය පතුරවන දේශපාලකයන් නොරැකිය යුතුය. මහින්ද නැවතත් ඒ ජාතිවාදී සීමාව අතික්‍රමණය කරමින් සිටී. පසුගිය කාලයේ දෙමළ සන්ධානයේ සහය ලබාගැනීමට උපරිම උත්සාහ කළ රාජපක්ෂ එය අහිමි වූ තැන එජාපය සහ දෙමළ ජාතික සන්ධානය අතර ගිවිසුමක් ඇතැයිද ඒ හරහා රට බෙදන තැනකට යාමට නියමිත බවද මේ මොහොතේ උණුසුමය. මේවා තනිකරම බේගල්ය. දෙමළ ජාතික සන්ධානය එජාපයට නිකම්ම උදව් කරන්නේ නැත. ඒ බවට කිසිදු විවාදයක් නැත. එහෙත් ඒ තුළ මස් රාත්තලම ඉල්ලනවා යැයි සිතිය යුතුද?

කෙසේ වෙතත් ඉදිරියේදී දෙපිළටම රටේ ජනතාව දිනා ගැනීමට අවංකවීමට සිදුවනු ඇත. මන්ද ජනතාව කියන තරම්ම මෝඩ නැති බැවිනි.