ශ්‍රී ලංකා පොලිසියට බිලිවන යාපනයේ තාරුණ්‍යය

රසික ගුණවර්ධන

යුද්ධයෙන් දැවී ගිය යාපනය බිම්පෙතේ තවම තැනින් තැන අළු යට දැල්වෙන ගිනි පුලිඟු ඇත. ඒ පුලිඟු නම් දකුණේ රාජ්‍යය විසින් උතුරට අලුතින් හඳුන්වාදෙනු ලැබූ විසමාචාරයන්ය. ඒ විසමාචාරී ගිනි පුලිඟු වලින් දැවී යන්නේ යාපනයේ තාරුණ්‍යයයි.

ආවා නමින් කල්ලියක් උතුරින් මතුවිය. එය ත්‍රස්තවාදී කල්ලියක් බවට අර්ථගන්වා ඒ හරහා දකුණේ බලයේ සිටින රජයට දේශපාලන වාසි ලැබෙන ලෙස එය නැවත නැවත උලුප්පා දැක්වෙමින් තිබේ. දකුණ හා දකුණේ මාධ්‍ය සේම, උතුර හා උතුරේ පටු දේශපාලනික උවමනාවන් වෙනුවෙන් කටයුතු කරන මාධ්‍ය, පොලීසිය හා අනෙකුත් ආරක්ෂක අංශ එය පවත්වාගෙන යන්නේ යාපනයේ හෙටක් සොයන තාරුණ්‍යය ඊට බිලි දෙමිනි.

මාධ්‍යය

මීට ආසන්නතම සිද්ධිය වාර්තාවන්නේ පසුගිය දෙසැම්බර් මස 17 වැනිදාය. ඒ යාපනයේ දී තරුණයන් එකොළොස් දෙනකු මර්දනාමඩමංඩියේ දී චුන්නාගම් පොලිස් අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය හරහාය. එය සෑම මාධ්‍යයකම පාහේ පළවූයේ ආයුධ සහිතව තරුණයන් පිරිසක් ඩොල්පින් වෑන් රථයකින් ගමන් කරමින් සිටියදී පොලිස් අත්අඩංගුවට පත් වූ බවයි. අත්අඩංගුවට ගත් එම තරුණයන් එකොළොස් දෙනා ආවා කල්ලියට සම්බන්ධ බවට මුලින්ම ප්‍රවෘත්තියක් පළකරන්නේ දෙමළ භාෂාවෙන් පළවන පුවත්පතක් වන උදයන් පුවත්පතේය. එසේම උතුරේ ආවා නමින් කල්ලියක් සිටින බවට වන මුල්ම ප්‍රවෘත්තිය පළකරන්නේ ද 2014 ජනවාරි මස අට වැනිදා පළ කළ උදයන් පුවත්පතෙහිය. ඉන්පසු එකී තරුණයන් එකොළොස්දෙනා පොලිස් අත්අඩංගුවට ගැනීමේ සිදුවීම අළලා බොහෝ මාධ්‍ය වාර්තා පළකරන්නේ ඔවුන් ආවා නමින් වන කල්ලියකට සම්බන්ධ වන බව කියමිනි. මෙකී සිදුවීමට අදාළව පළකරන ප්‍රවෘත්ති සමග පළ කළ ඡායාරූපයක් වූ අතර එහි දැක්වුණේ පොලීසිය විසින් එම තරුණයන් එකොළොස්දෙනා සමග අත්අඩංගුවට ගත්තා යැයි සඳහන් කළ කඩු කිහිපයක්, NP – BD  – 5557 දරන ඩොල්පින් වර්ගයේ වෑන් රථයක් සහ යතුරු පැදි දෙකකි. ඒ සමගම එකී මෙහෙයුමට සම්බන්ධ වූවා යැයි සඳහන් කළ පොලිස් නිලධාරීහු පිරිසක්ද වූහ.

මේ සිදුවීම ඒ ආකාරයෙන්ම ඩෑන් ටීවී නාලිකාවද විකාශය කරන අතර ඔවුන් එම සිදුවීම ඊට පසු දින එනම් 18 වැනිදා ද වාර්තා කරයි. එහිදී ඔවුන් සඳහන් කරන්නේ උතුරේ මෑතකාලීනව සිදුවූ පෙට්‍රල් බෝම්බ ගැසීම්, පහරදීම්, කැපීම් කෙටීම් ඇතුළු සියලු මැර ක්‍රියාවන්ට මෙම පිරිස සම්බන්ධ බවට පොලීසිය සඳහන් කරන බවයි. එසේම ඇන්ටන් බාලසිංහම් සමග කටයුතු කළ විද්‍යාදරන් කර්තෘත්වය දරන කාලෙක්කදිර් නම් පුවත්පත වාර්තා කරන්නේ ඉහත ඩෑන් ටීවී ප්‍රවෘත්තියේ ස්වරූපයටම වන නමුදු මොවුන් කිසිදු ස්ථානයක පොලීසිය විසින් සඳහන් කළ බවක් සටහන් කරන්නේ නැත. ඒ අනුව එම වාර්තාව ඔවුන් ගවේෂණය කර සොයාගත් තොරතුරු වැනිය. එසේම වාලම්පුරි පුවත්පතේ එම සිදුවීම වාර්තා කරන්නේ ආවා කල්ලියේ සාමාජිකයන් එකොළොස් දෙනකු කඩු හයක් සමග වෑන් රථයකින් ගමන් කරමින් සිටියදී පොලීසියට හසුවූ බවයි. මෙහි කර්තෘත්වය දරන්නේ විජයරත්නම් නම් අයෙක් වන අතර ඔහු විග්නේෂ්වරම් සමග සමීපව කටයුතු කළ පුද්ගලයෙකි. විග්නේෂ්වරම් සිය පක්ෂය පිහිටුවීමට පෙර ‘ටැමිල් මක්කෙල් පෝරවම්’ (දෙමළ ජනතා සංසදය) නමින් සංවිධානයක් පවත්වාගෙන ගිය අතර එහි ප්‍රධානියා ලෙස කටයුතු කරන ලද්දේ මෙම විජයරත්නම් නම් පුද්ගලයාය.

ඒ අනුව මාධ්‍ය සහ පොලීසියේ ප්‍රකාශ හරහා එළියට පැමිණි කතාව නම් තරුණයන් එකොළොස් දෙනකු ආයුධ සන්නද්ධව ඩොල්පින් වෑන් රථයකින් ගමන් කරමින් සිටියදී පොලීසියේ අත්අඩංගුවට පත් වූ බවයි. එසේම ඔවුන් මීට පෙර යාපනය ප්‍රදේශයේ සිදු වූ විවිධ හිංසන ක්‍රියාවන්ට ද සම්බන්ධ පුද්ගලයන් වන බවයි.

මෙසේ විවිධ දේශපාලන වුවමනා වෙනුවෙන් උතුරේ පළවන දෙමළ පුවත්පත් මෙම තරුණයන් සම්බන්ධයෙන් සන්නද්ධ කල්ලියක මුහුණුවරක් ලබාදීමට උත්සාහ කර ඇත. එසේම ඒ හරහා සිදුවන්නේ ජනතාව තුළ ආවා නමින් කල්ලියක් සිටින බවටත්, ඔවුන් විවිධ ආකාරයේ හිංසනයන් සහ අපරාධවලට සම්බන්ධ බවටත් අනියත බියක් ඉපදීමය.

සැබෑව

පොලීසිය සහ මාධ්‍ය විසින් පැතිරවූ කතාව කතාව එසේ වුවද සැබෑවටම එම තරුණයන් අත්අඩංගුවට ගැනීමේ සිදුවීම සිදුවී ඇත්තේ වෙනත් ආකාරයකටය. එනම් එම තරුණයන් එකොළොස් දෙනා අතුරින් මුලින්ම අත්අඩංගුවට ගන්නේ තරුණයන් හයදෙනකුය. ඒ අංක 50, ඉලන්දකුලම් මාවත, කොළොම්බුතුරෙයි, මාම්බලම් හන්දිය, අරියාල නම් ලිපිනයේ ඇති නිවසේදීය. එම නිවස පිහිටා ඇත්තේ යාපනය පොලීසියේ සිට කිලෝමීටර දෙකක් හෝ තුනක දුරිනි. එම නිවස අයත්ව ඇත්තේ ප්‍රැන්සි සේවියර් මැක්මිලන් නම් අවුරුදු තිස් හතක් වියැති අයෙකුටය. එම නිවසට සිවිල් ඇඳුමින් පොලීසිය පැමිණ ඇත්තේ 17 වැනිදා දහවල් එකට පමණය. ඒ අවස්ථාවේදී එහි නිවසේ හිමිකරු සමග තවත් තරුණයන් පස් දෙනකු රැඳී සිට ඇත. ඔවුන් නමින් සිව සුබ්‍රමනියම් පෝල් වෙනිස්ටර් (වයස අවුරුදු 20), චන්ද්‍රකුමාර් අජින් (වයස අවුරුදු 20), ගනේශලිංගම් රේනුසන් (වයස අවුරුදු 21), සිවගනේශන් උවින්දන් (වයස අවුරුදු 21), කනකරත්නම් සූර්යයා (වයස අවුරුදු 20) යන අයවලුන්ය.
සිවිල් ඇඳුමින් සැරසුණු එම පොලීසිය යැයි කියාගත් පිරිස නිවස තුළ සිටි එම තරුණයන් හයදෙනාට නිවස තුළම මාංචු දමා, ඇස් බැඳ, පෙට්‍රල් වත්කර, නිරුවත් කර පහර දී ඇත. එම අවස්ථාවේ නිවසේ හිමිකරු වන ප්‍රැන්සි සේවියර් මැක්මිලන්ගේ බිරිඳ වන මැක්මිලන් අජන්තා මුණ ගැසීමට එම නිවසට රම්‍යයා අභිනයා (වයස අවුරුදු 20) නම් තරුණියක පැමිණ ඇති අතර, පොලීසිය විසින් එම තරුණියද නිවස තුළ රඳවා ගනිමින් ඇයටද පහර දී ඇත.

කෙසේ වෙතත් මැක්මිලන් අජන්තා සිය ස්වාමියාට කිහිපවරක් දුරකථන ඇමතුම් ලබා දුන්නද ඔහුව සම්බන්ධ කර ගැනීමට නොහැකි වීම නිසා ඇය සවස පහයි තිහට පමණ නිවසට පැමිණ ඇත. එසේ පැමිණි ඇය දැක ඇත්තේ තමන්ගේ ස්වාමියා ඇතුළු තරුණයන් පිරිසකට පොලීසිය විසින් පහර දෙන අයුරුයි. එවිට ඇය කෑ ගසා ඇති අතර එම අවස්ථාවේ වටපිටාවේ සිටි පිරිස් එහි පැමිණ ඇත. එවිට පහර දුන් පිරිස් විසින් ප්‍රකාශ කර ඇත්තේ තමන් යාපනය පොලීසියෙන් බවත් ඇයවද (මැක්මිලන් අජන්තා) එහි සිටින තරුණියද පොලීසියට ගෙනයා හැකි බවත් එහෙත් ‘පව් කියා’ නොගෙනියන බවත්ය. එසේම එම අවස්ථාවේ එනම් පස්වරු පහයි තිහට පමණ ඔවුන් දුරකථන ඇමතුමක් ලබාදී සුදු පැහැති පොලිස් යැයි සඳහන් කළ එහෙත් පොලිස් ස්ථානය සඳහන් නොකළ ජීප් රථයකින් ඔවුන් රැගෙන ගොස් ඇත. එසේ රැගෙන යන අතර තුරදී මැක්මිලන් අජන්තාට සඳහන් කර ඇත්තේ සවස හයට පමණ පොලීසියට පැමිණෙන ලෙසයි.

ඉන්පසු ඇයද අනෙක් තරුණයන් පස්දෙනාගේ පවුලේ සාමාජිකයන්ද පස්වරු හය වන විට යාපනය පොලීසිය වෙත ගොස් ඇත. එහෙත් එහිදී පොලීසිය අත්අඩංගුවට ගත් පිරිස පිළිබඳව කිසිදු සඳහනක් සිදුකර නොමැති අතර පොලීසිය සිදු කර ඇත්තේ ඔවුන්ට අසැබි වචනයෙන් බැණ වැදීමයි. එසේම යාපනය පොලීසිය විසින් සඳහන් කර ඇත්තේ තමන් විසින් කිසිවකු හෝ අත්අඩංගුවට නොගත් බවයි.
ඉන් පසු මේ පිළිබඳව ඒ අවස්ථාවේදීම මානව හිමිකම් කොමිසමේ සහ පොලිස් කොමිසමේ පැය විසි හතර පුරා ක්‍රියාත්මක දුරකථන අංකයට දැනුම් දී ඇති අතර එම ආයතන විසින් යාපනය පොලීසියෙන් විමසීමේදී ඔවුන් සඳහන් කර ඇත්තේ තමන් කිසිවකු අත්අඩංගුවට ගෙන නොමැති බවයි. ඥාතීන් විසින් එම ආයතනවලට කියා ඇත්තේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන නොමැතිනම් මෙය පැහැර ගැනීමක් වන බැවින් ඒ සම්බන්ධයෙන් වන පැමිණිල්ලක් භාර ගන්නා ලෙස පොලීසියට දැනුම් දෙන ලෙසයි. ඉන්පසු එම ආයතන විසින් ඔවුන්ට දැනුම් දී ඇත්තේ තමන් පැමිණිල්ලක් භාරගන්නා ලෙස දැනුම් දී ඇති බැවින් ඔවුන්ට පැමිණිල්ල සිදු කරන ලෙසයි. එහෙත් එම පැහැරගත් තරුණයන් හයදෙනාගේ පවුල්වල පිරිස් පැමිණිල්ල දැමීමට පොලීසිය තුළට ගියද පොලීසිය විසින් එම පැමිණිල්ල භාරගෙන නැත.
ඉන්පසු රාත්‍රී දොළහ හමාර වන විට තරුණයන් පැහැර ගෙන ගිය ජීප් රථය පොලීසිය අසලට පැමිණ ඇත. ඒ වන විටද එම පවුල්වල සාමාජිකයන් පොලීසිය අසල රැඳී සිට ඇත. එවිට ඔවුන් කෑ ගසාගෙන ඒ දෙසට දිවගොස් ඇති අතර එම අවස්ථාවේදී පොලීසිය වෙත නොපැමිණ එම ජීප් රථය නැවත පිටව ගොස් ඇත. ඉන්පසු යාපනය පොලීසිය විසින් එම පවුල්වල ඥාතීන්ට දැනුම් දී ඇත්තේ පසුවදා එනම් දහඅට වැනිදා උදෑසන චුන්නාගම් පොලීසිය වෙතට යන ලෙසයි. ඒ අනුව ඔවුන් දහඅට වැනිදා උදෑසන චුන්නාගම් පොලීසිය වෙත ගොස් ඇත. එහිදී ඥාතීන් දැක ඇත්තේ තරුණයන් චුන්නාගම් පොලීසියේ සිර මැදිරිය තුළ සිටින අයුරුයි. එහිදී ඔවුන්ට ඒ වෙත ළඟා වීමට හෝ අවස්ථාව ලබාදී නොමැති අතර ඥාතීන්ට පවසා ඇත්තේ තරුණයන් පොලීසිය විසින් අධිකරණයට ඉදිරිපත් කරන බැවින් අධිකරණයට පැමිණෙන ලෙසයි. ඒ අනුව ඥාතීන් උදෑසන දහයේ සිට අධිකරණයේ සිටියද එම තරුණයන් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලබන්නේ සවස පහට පමණය.

මෙසේ තරුණයන් හයදෙනකු අත්අඩංගුවට ගන්නා අතරවාරයේ තවත් තරුණයන් තිදෙනකු සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නේ මානප්පායි හිදීය. ඒ දාහත්වැනිදා රාත්‍රියේය. එහිදී අත්අඩංගුවට ගන්නේ කන්දයියා කබාස්කර් (වයස අවුරුදු 27), සෙල්වනායගම් සුගුණරාජ් (වයස අවුරුදු 35), තවරාජා තේරුපන් (වයස අවුරුදු 19) යන තිදෙනාය.

මොවුන් අතරින් කන්දයියා කබාස්කර් නමැත්තාට මානප්පායි හි උඩුවිල් පාර, මානප්පායි යන ලිපිනයේ කවුදන් ප්‍රින්සස් හවුස් නමැති ලොජ් එකක් ඇත. තවරාජා තෙරුපන් යන ඔවුන්ගේ ඥාති තරුණයා සේවය කරන්නේ එහිය. කන්දයියා කබාස්කර් සහ සෙල්වනායගම් සුගුණරාජ් යන අයවලුන් දෙදෙනා කන්දයියා කබාස්කර් විවාහ වීමට නියමිතව සිටින සිප්කන්දාසා සුජීතා නමැත්තියගේ නමට ලියාපදිංචි කර ඇති අංක NP – BD  – 5557  දරන ඩෝල්පින් වර්ගයේ වෑන් රථයේ නැගී කවුදන් ප්‍රින්සස් හවුස් නමැති ලොජ් එකට යෑමට නිවසින් පිටවන්නේ රාත්‍රී හතයි තිහට පමණය. ඔවුන් දෙදෙනාගෙන් සෙල්වනායගම් සුගුණරාජ් නමැත්තා ඔවුන්ගේ රියදුරු වන අතර වෑන් රථය පදවා ඇත්තේ ඔහුය. කෙසේ වෙතත් රාත්‍රී නවය හමාර පමණ වන තෙක් මොවුන්ගෙන් කිසිදු තොරතුරක් ලැබී නොමැති අතර රාත්‍රී නවය හමාරට පමණ ඔවුන්ගේ හෝටලයේ වැඩ කරන එක්තරා තරුණයකු නිවසට දුරකථන ඇමතුමක් ලබාදී පවසන්නේ පොලීසියෙන් පැමිණ කන්දයියා කබාස්කර්, සෙල්වනාගම් සුගුණරාජ් සහ තවරාජා තේරුජන් යන අය අත්අඩංගුවට ගත් බවයි.

ඒ දැනුම් දීම අනුව ඔවුන්ගේ ඥාතීන් එම හෝටලය වෙත පැමිණ ඇති අතර එහිදී ඔවුන්ට දැනගන්නට ලැබුණු තොරතුරු මෙසේය. අත්අඩංගුවට ගත් කන්දයියා කබාස්කර් සහ සෙල්වරත්නම් සුගුණරාජ් යන දෙදෙනා ඔවුන්ගේ වෑන් රථවලින් සිවිල් ඇඳුමින් සැරසුණු පොලීසිය සමග පැමිණ ඇති අතර ඊට අමතරව පොලිස් නිල ඇඳුම ඇඟලාගත් පුද්ගලයකු ධාවනය කළ සුදු පැහැති වෑන් රථයක්ද පැමිණ ඇත. එසේ පැමිණි එම පිරිස අත්අඩංගුවට ගත් දෙදෙනාට සහ තවරාජා තේරුපන්ට පහර දී ඔවුන් පොලිස් ඇඳුම ඇඟලාගෙන පැමිණි පුද්ගලයා ධාවනය කළ සුදු පැහැ වෑන් රථයට ගොඩ කර ඔවුන් රැගෙන ගොස් ඇත.
එහෙත් ඥාතීන් පසුව දැනගෙන ඇති පරිදි සිද්ධිය සිදුවී ඇත්තේ මෙසේය. කන්දයියා කබාස්කර් සහ සෙල්වනාගම් සුගුණරාජ් යන දෙදෙනා මානිප්පායි හි සංචාරක නවාතැනට යෑම සඳහා පිටත්ව ගොස් ඇත. ඒ අතරමගදී කන්දයියා කබාස්කර්ගේ දුරකථනයට දුරකථන පණිවිඩයක් ලැබෙන්නේ කොළඹට හයර් එකක් යාමට අවශ්‍ය බවත් ඒ සඳහා නල්ලූර්, කයිලාස පුල්ලයාර් කෝවිල අසලට පැමිණෙන ලෙසත්ය. ඒ අනුව ඔවුන් එහි ගිය පසු පොලීසිය ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇත.

සිය සංචාරක නවාතැනට ගියායින් පසු පොලීසිය විසින් සිය දරුවන් අත්අඩංගුවට ගන්නා ලද බව දැන ගන්නා ඥාතීන් මුලින්ම යන්නේ ඔවුන්ට ළඟම මානිප්පායි පොලීසියටයි. එහෙත් එහිදී පොලීසිය විසින් දැනුම් දෙන්නේ ඔවුන් විසින් එවැනි අත්අඩංගුවට ගැනීමක් සිදු නොකළ බවයි. ඒ හේතුවෙන් ඔවුන් 119 හදිසි ඇමතුම් අංකයට මේ පිළිබඳව සිදු කළ දැනුම් දීමකින් පසු එතෙක් වේලා ක්‍රියාත්මකව නොතිබූ කන්දයියා කබාස්කර්ගේ දුරකතනයෙන් ඔහුගේ වැඩිමහල් සොහොයුරා වන කන්දයියා ප්‍රේමදයන්ට දුරකතන ඇමතුමක් ලැබෙන්නේ ඔවුන් නිවසේ සිටින බැවින් නිවසට පැමිණෙන ලෙසයි. ඒ අනුව ඔවුන් නිවසට ගොස් ඇති අතර එවිට ඔවුන් දැක ඇත්තේ මුහුණ ඉදිමී පහර කා සිටි කන්දයියා, සෙල්වනාගම් සහ තවරාජාය. නිවසේ තිබූ පල්සර් වර්ගයේ යතුරු පැදියේ යතුර පොලීසිය විසින් ලබාගෙන ඇති අතර එහි හිමිකරු වූයේ අත්අඩංගුවට ගත් පුද්ගලයා නොව ඔහුගේ වැඩිමහල් සහෝදරයා වන කන්දයියා ප්‍රේමදයන්ය. එම යතුරු පැදියේ ලියාපදිංචි අංකය වන්නේ NP-BEW -3920 යි. ඒ අනුව පොලීසිය විසින් තරුණයන් ගමන් කරමින් සිටියදී අල්ලා ගත්තා යැයි පැවසූ වෑන් රථය සහ එක් යතුරු පැදියක් සැබෑවටම ඔවුන් පැහැර ගන්නේ එසේය.

ඒ වන විට ඔවුන්ගේ නිවසේ මිදුලේ පොලිස් නිලධාරීන් යැයි හඳුන්වා දුන් සිවිල් ඇඳුමෙන් සැරසුණු පුද්ගලයන් හත් අට දෙනකු සිට ඇති අතර ඔවුන් අත පිස්තෝල මෙන්ම වැඩි දෙනෙකු අතේ එස්ලෝන් බට තිබී ඇත. පොලීසිය එසේ තබා ගන්නා එස්ලෝන් බටවල ඇතුළතට පුරවා ඇත්තේ සිමෙන්තිය. එසේ සිමෙන්ති පිරවූ එස්ලෝන් බට වලින් පහර දුන් විට එක එල්ලේම පහර දී ඇති බව සෙවිය නොහැකි අතර සමට ඇතුළතින් තැල්ම ඇතිවේ. එවැනි තැලීම් දීර්ඝ කාලයක් ගියපසු පිළිකා තත්ත්වයන් දක්වා වර්ධනය විය හැකිය. ශ්‍රී ලංකා පොලීසියේ අමානුෂික බව උතුර දකුණ කියා වෙනසක් නැත. ඔවුන්ට සැකකරුවන් හෝ වැරදිකරුවන් යනු සෙල්ලම් භාණ්ඩය. නීතිය ක්‍රියාත්මක කිරීමේ පරම බලය ඔවුන්ට පවරාගෙන ඇත. කොටින්ම ඔවුන්ව ප්‍රශ්න කරන්නට ගියහොත් අම්බානකට කන්ඩ වෙන සංස්කෘතිය උතුර දකුණ කියා වෙනසක් නැත.

මීට අමතරව තවත් තරුණයන් දෙදෙනකු පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා අතර එයින් එක් අයකු අත්අඩංගුවට ගන්නේ නිවසක සිටියදීය. අනෙකා ගන්නේ අත්අඩංගුවට ගත් තරුණයන් හයදෙනා අතුරින් අයකු වූ පෝල් වෙනිස්ටර්ගේ යතුරු පැදියේ නැගී නගරයට ගමන් කරමින් සිටියදීය.

පහරදීම්

උතුරේ සෑම පොලිස් අත්අඩංගුවට ගැනීමක් පිටුපසම පහරදීම් දැකගත හැකිය. පොලීසිය විසින් ඔවුන් අත්අඩංගුවට ගන්නා පුද්ගලයන් වැරදිකරුවන් කොට දඬුවම් කිරීම අලුත් කාරණාවක් නොවුණද යාපනයේ එය නිරන්තරව සිදු වෙමින් පවතිනු දැකගත හැකිය. එය අසාමාන්‍ය කාරණාවකි. එසේම එම සිදුවීම් සෑම එකක්ම පාහේ ලබාදෙනු ලබන චිත්‍රය වඩා යහපත් එකක් නොවේ. එය සමාජීය වශයෙන් විශාල ලෙස හානිකරය. සංහිඳියාව සහ සහෝදරත්වය ගොඩනැගීමට විශාල බාධකයන්ය. පොලීසියේ ක්‍රියාවන්ට එරෙහිව මානව හිමිකම් වැනි ආයතනයකට පැමිණිලි කළහොත් සිදුවන්නේ අත්අඩංගුවේ සිටින්නන්ට වැඩි වැඩියෙන් පහරකෑමට සිදුවීමය. දැනට බන්ධනාගාර ගතව සිටින තරුණයන් එකොළොස් දෙනා ඔවුන් බැලීමට යන පිරිසට නොවඳිනා වැඳුම් වැඳ ඉල්ලන්නේ මානව හිමිකම් කොමිසමට නොයන ලෙසය. මානව හිමිකම් කොමිසමටද මේවාට කරන්නට දෙයක් නැතිනම් ඔවුන්ට දෙයියන්ගේ පිහිටය.

පොලීසිය විසින් අදාළ තරුණයන් සමග අත්අඩංගුවට වෑන් රථය සහ යතුරු පැදි දෙකද මේ වන තෙක් ඔවුන් අධිකරණයට ඉදිරිපත් කර නැත. ඒවා තවම ඇත්තේ චුන්නාගම් පොලිස් භාරයේය. එසේම පහර දුන් තරුණයන්ට කිසිදු වෛද්‍ය ප්‍රතිකාරයක් ලබාදී නොමැති අතර බන්ධනාගාර ගතකර සිටින මේ මොහොතේ පවා ඔවුන්ට නිසි වෛද්‍ය ප්‍රතිකාර නොලැබෙන බව ඔවුන් සිය මාපියන්ට දැනුම් දී තිබුණි.
කෙසේ වෙතත් මේ වන විට මේ සිදුවීම සම්බන්ධව එම තරුණයන්ගේ පවුල්වල ඥාතීන් වන ස්ප්කන්දාසා සුජීදා, කන්දයියා විමලාදවන්, කන්දයියා ප්‍රේමදරන්, සිවසුබ්‍රමනියම් මතානා ඇතුළු පිරිසක් යාපනය මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් සිදු කර ඇත.  අප මේ පිළිබඳව චුන්නාගම් පොලිස් ස්ථානාධිපති එන්. සෙල්වකුමාර්ගෙන් කළ විමසීමකදී ඔහු සියලු චෝදනා ප්‍රතික්ෂේප කළ අතර ඔහු වැඩිදුරටත් පැවසුවේ මෙකී තරුණයන් මීට පෙරද අපරාධවලට සම්බන්ධ අයවලුන් බවයි.

එසේ නම් නීතිය ක්‍රියාත්මක වන්නේ එසේද? මීට පෙර වැරදිවලට සම්බන්ධ වූවා කියා ඔවුන්ට නැවත නිවැරදි විය නොහැකිද? ඔවුන් ජීවිත කාලයටම වැරදිකරුවන්ද? මව්වරුන් විමසන පැනය එයයි. “අපි එල්ටීටීඊ එකෙන් ළමයි පරිස්සන් කරගත්තට දැන් පොලීසිය ඇවිල්ල අපෙන් ළමයි උදුරගෙන ගියා.” අවසානයේ මාපියෝ අපට පැවසූහ. පටු දේශපාලනික අරමුණු උදෙසාද, පොලීසියේ මානසික ආබාධ උදෙසාද යාපනයේ තාරුණ්‍යයට බිලිවන්නට සිදු වීම රටේ ඛේදවාචකයකි.