දස වසරකට පෙර උදුරා දැමුණු නිදි නැති ඇස ලසන්ත

විමලනාත් වීරරත්න

2009 ජනවාරි 08 වැනිදා අමතක නොවන බ්‍රහස්පතින්දාවකි. ‘සන්ඬේ ලීඩර්’ පුවත්පතේ කර්තෘ ලසන්ත වික්‍රමතුංග අත්තිඩියේදී වෙඩි තබා ඝාතනය කැරුණේ එම උදෑසනය. ආරංචිය එනවිට අප සිටියේ පොල්හේන්ගොඩ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙහි ශ්‍රවණාගාරයෙහිය. ඒ එදින උදෑසන 10.30ට පැවැත්වීමට නියමිත කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව ආවරණය කිරීමට සූදානම්වෙමිනි. ඒ වනවිට කැබිනට් ප්‍රකාශක ඇමති අනුර යාපා එම දෙපාර්තමේන්තුවේම බිම් මහලෙහි ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා සමග සාකච්ඡාවක නිරතව සිටියේය. දහයයි තිහට ශ්‍රවණාගාරයට එන ඇමතිවරයා එදා කැබිනට් ප්‍රවෘත්ති සාකච්ඡාවට එක මහලක් උඩට නැගීමට පැය 1 1/2කට වඩා වැඩි කාලයක් ගත කළේය. ඔහු පැමිණි ගමන් කිසිවෙක් කිසිවක් විමසන්නටත් පෙර කීවේ කිසිම දෙයක් සිතාගත නොහැකි බවය. ලසන්ත ඝාතනය ආණ්ඩුවට මුහුණදීමට අපහසු ඒ සා බරපතළ සිද්ධියක් විය. සියල්ලෝ සසල වී සිටියහ. කාගේත් මුහුණුවල අතිමහත් කනගාටුවක් මෙන්ම කෝපයක් දිස්විය. රාජපක්ෂ රජය කිසිවකුටවත් සිතාගත නොහැකි අඳුරු අගාධයකට රට තල්ලු කරන බව ඒ මුහුණු මුවින් නොබිණූ කතාව වූයේය. ප්‍රශ්නය වන්නේ ලසන්ත මියගොස් වසර දහයක කාලයක් ගතව තිබියදීත් ඒ අගාධ රූපයේ අඳුරු සෙවණැල්ල තවදුරටත් සමාජය වෙලාගෙන තිබීමය. ඒ කාලකණ්ණිසහගත නිද්‍රාවෙහිම සමාජය ගැලී සිටීමය. අප කෙතරම්ම දුර්වලයන්ද, දුෂ්ටයන්ද, පිලිස්තීනුවන්ද කියනවා නම් එළැඹෙන ජනවාරි 08 වැනිදාත් අප සිටින්නේ ලසන්ත මරා දමා මොහොතකට පසු සිටිය තැනමය. එනම් වසර 10ක් ගතවීත් ඒ තිරස්චීන ඝාතනය හෙළිදරව් කරගත නොහැකිවූ තැනකය. නිසැකවම මේ දුෂ්ට ව්‍රතයට අප එකිනෙකාගේ හෘදය සාක්ෂියෙන් නම් සමාවක් නොලැබෙනු ඇත.

2009 ජනවාරි 08 උදෑසන ලසන්ත සමග සබඳතා පැවැත්වූ දුරකතන අංක පහක් හඳුනා ගැනීමට ත්‍රස්ත විමර්ශන ඒකකය පරීක්ෂණ කළ අතර ජේසුදාසන් නමැත්තකුගේ හැඳුනුම්පත් අංකයට ලබා ගත් ජංගම දුරකතන අංකයක් ගැන විස්තරයක් දැනගැනීමට ඔවුන්ට හැකිවිය. ඒ ජේසුදාසන්ගෙන් ප්‍රශ්න කිරීමේදීය. ජේසුදාසන් එහිදී කියා තිබුණේ යුද හමුදා බුද්ධි අංශයේ සේවය කරන පියවංශ නමැත්තා තමාගේ හැඳුනුම්පත් අංකය වෙනුවෙන් දුරකතනයක් මිලදී ගෙන තිබෙන බවය. පියවංශ ගැන සොයාගෙන යෑමේදී මරදානේ ඒ වනවිට පවත්වාගෙන ගිය ටි්‍රපොලිමාකට්හි විශේෂ බුද්ධි මෙහෙයුම් ඒකකයක් ගැන දැනගැනීමට ලැබී ඇත. පියවංශ නමැත්තා එම ස්ථානයේ සේවය කරමින් සිට ඇත.

සිද්ධියට සැකපිට බන්ධනාගාරගතව සිටි ජේසුදාසන් 2012දී මියයයි. ඒ වනතුරුම පියවංශගෙන් කටඋත්තරයක් ගැනීමට ලසන්ත ඝාතනය පිළිබඳව පරීක්ෂණ කළ කණ්ඩායම පියවර ගෙන නොතිබුණි. උසාවිය මෙම පරීක්ෂණ ක්‍රියාවලිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) භාරදෙන ලෙස ත්‍රස්ත විමර්ශන ඒකකයට නියෝග කරන්නේ මේ තත්ත්වය තුළය. එය ඉටුවන්නේ 2016 අගෝස්තුවේදීය. පියවංශගෙන් මේ පිළිබඳව ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වුවමනා බව කී නමුත් යුද හමුදාව ඊට අනුකූලතාව නොදැක්වූයේය. අධිකරණය නැවත නැවතත් කළ නියෝග හමුවේ එකම එක අවස්ථාවකදී පමණක් යුද හමුදාව විසින් පියවංශ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කැරිණි. එහෙත් ඒ තනිවම නොව උසස් නිලධාරීන් දෙදෙනකුද සමගය.

ලසන්ත ඝාතනයට පැයකට පමණ පෙර ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානයට බස්නාහිර පළාත භාරව සිටි යුද හමුදා ප්‍රධානියකු විසින් ඒ පිළිබඳව තොරතුරක් ලබා දුන් බව එකල ප්‍රචලිත විය. යුද හමුදාවේ ඉහළ නිලධාරියා විසින් විමසා ඇතැයි කියන්නේ ලසන්ත වික්‍රමතුංග උල් ආයුධයකින් ඇන මරා දැමීම සම්බන්ධයෙන් තමාට තොරතුරක් ලැබී ඇතැයි යන්නය. ඒ ගැන සොයා බැලීමක් කරන ලෙසද හෙතෙම ඉල්ලීමක් කර ඇතැයි ප්‍රසිද්ධ විය. යුද හමුදා නිලධාරියා මේ තොරතුර ලබාදී ඇත්තේ එදින උදෑසන 9.00ට පමණ බවද කියැවිණි. ලසන්ත මරා දැමුණේ එදින උදෑසන 10.30ට පමණය. ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානයේ මෙම තොරතුර ලබාගත් නිලධාරියා ලසන්ත ඝාතන පරීක්ෂණ සිදුවෙද්දී එම තොරතුර ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද දැනුවත් කර ඇතැයි දැනගන්නට තිබේ. එහෙත් මේ කිසිම දෙයක් පසුපස නොගිය හෝ සිදුවීම් හා සාක්ෂ්‍යය මගහැර ගිය පරීක්ෂණයක් බවට ලසන්ත ඝාතන පරීක්ෂණය අද වනවිට පත්ව තිබේ.

2016 සැප්. 27 වැනිදා ලසන්තගේ දේහය යළි ගොඩ ගැනුණි. ඒ විධිමත් අධිකරණ කටයුත්තක් වෙනුවෙනි. ලසන්ත ශල්‍යකර්මයට භාජනය කරනු ලැබූ වෛද්‍ය මොහාන් සිල්වාගේ වාර්තාවත්, වික්‍රමතුංගගේ පශ්චාත් මරණ පරීක්ෂණයට අදාළ වාර්තාවත්, රජයේ රස පරීක්ෂක වාර්තාවත් එකිනෙකට පරස්පරතා දැක්වූයේය. දේහය ගොඩගත්තේ විමර්ශනවලට අදාළව අනාවරණය වූ මෙම පරස්පරතාව හේතුවෙනි. දේහය යළි ගොඩගෙන පශ්චාත් මරණ පරීක්ෂණයක් කළ යුතු බව පරීක්ෂණ නිලධාරීන් අධිකරණය ඉදිරියේ කරුණු දක්වා තිබුණි. ලසන්ත ඝාතනයට යොදා ගත් අවිය විදෙස් රටවල ඌරන් හා බැටලුවන්ගේ ඝාතකාගාරවල එම සතුන් ඝාතනය සඳහා යොදා ගන්නා අවියක් බවට නිරීක්ෂණය කැරිණි. ලසන්තගේ ගෙල ප්‍රදේශයේ දරුණු කැපුම් තුවාලයක් දක්නට ලැබී ඇත්තේ එම සුවිශේෂී අවියෙන් එල්ල කැරුණු ප්‍රහාරය හේතුවෙනි.

එහෙත් මේ සියල්ල අවසානයේදී ලසන්ත ඝාතනය පත්වූයේ ඝාතකයෙක් නැති ඝාතනයක් බවටය. ඝාතනය පිළිබඳව අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවාද මුදා හැරිණි. ජනාධිපතිගේ මුග්ධ රණවිරු ආවේශයද ඊට හේතුවිය. දැන් ලසන්ත ඝාතනය පුවත්පත් පිටුවල විතරක් ලියැවෙන, ඉඳහිට දේශපාලනඥයෝ එකකු දෙන්නකු මතුරන දෙවදනක් පමණි. මේ ඝාතනය සිදුවන විට ආරක්ෂක ලේකම්වරයා ගෝඨාභය රාජපක්ෂය. යුද හමුදාපතිවරයා සරත් ෆොන්සේකාය. ඒ දෙදෙනාගෙන් අදවන තුරු ලසන්ත ඝාතනය ගැන ප්‍රශ්න කර නැත. යහපාලනය ආවේ ලසන්තගේ පණසුන් සිරුරටත් වාරුවෙමිනි. ඔවුහු ලසන්තගේ ඇටසැකිල්ල පවා ටික දිනක් යනතුරු දේශපාලන වුවමනාවන්ට විකිණූහ. දැන් මෛත්‍රීපාල සිරිසේනගේ සිට රනිල් වික්‍රමසිංහ දක්වා කිසිවකුටවත් ලසන්ත වික්‍රමතුංග ගැන වගේ වගක් නැත.

ජනවාරි 08 වැනිදා උදෑසන බොරැල්ල කනත්තට ලසන්ත සමරන්නට එන ප්‍රකට කිහිපදෙනෙක් වෙති. රවි කරුණානායක එක් අයෙකි. රවි, ලසන්ත වෙනුවෙන් කළ ඉටිගෙඩියක් නැත. රවි කරුණානායක එක් දෙයක් කළේය. 2015 ජනවාරි 08න් පසු ලසන්ත ප්‍රධානත්වය දැරූ පුවත්පත් දෙක රවි අනියමින් සියතට ගත්තේය. ඔහු පුවත්පත් දෙකේ අනියම් අර්ථපතියා වූයේය. යහපාලන ආණ්ඩුවක් ලසන්ත ඝාතන පරීක්ෂණ ඈලියාවට යවන විට ලසන්ත ගැන ප්‍රවෘත්තියක් පළකිරීමට රවි අයත් කරගෙන සිටි පුවත්පත් දෙකෙහි කළමනාකරුවෝ ඉඩ නොදුන්හ. ඉතා අසීරුවෙන් හෝ එම ප්‍රවෘත්ති පළ කළේ කර්තෘ මණ්ඩලයේ බලවත් වුවමනාව මතය. හැම ජනවාරි 8 වැනිදාකම ලසන්ත සමරන්නට බොරැල්ල කනත්තට යන මිතුරු රවි කරුණානායක ලසන්තට සැලකුවේ එහෙමය.
ලසන්ත ජනමාධ්‍යවේදියකු ලෙස අසීරු අභ්‍යාසයක් කළ පරිසමාප්ත වෘත්තිකයෙකි. ඔහුට ප්‍රවෘත්ති හඹා යෑම සම්බන්ධයෙන් නිදි නැති, වෙහෙස නැති ඇසක් හා කාය ශක්තියක් තිබුණි. ලසන්තට කවර මට්ටමේ අසාධාරණකම් වුවත් ඔහු ජනමාධ්‍ය වෘත්තිය වෙනුවෙනු ලබා දුන් වැඩ කිරීමේ ආදර්ශය අනාගතයේදීත් නොනැසී පවතින්නකි.