උසස් පෙළ මාධ්‍ය හොර පාරෙන් එයි

නිමල් අබේසිංහ

2018 වර්ෂය සඳහා ජාතික අධ්‍යාපන ආයතනය විසින් හඳුන්වා දුන් සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යාපනය උසස් පෙළ විෂය නිර්දේශය ගැටලුසහිත වූවක් බැවින් එය තහනම් කර අලුත් විෂය නිර්දේශයක් සකස් කළ යුතු බවට අධ්‍යාපන අමාත්‍යාංශයෙන්ම නිර්දේශ කර තිබියදී ජාතික අධ්‍යාපන ආයතනය විසින් හොර රහසේ එම විෂය නිර්දේශයම හිටපු අධ්‍යාපන ලේකම්වරයා ලවා ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ලබාගෙන ඇති බව ගුරුවරු කියති.

පුදුමය වන්නේ මෙම අනුමැතිය ලබාදී ඇත්තේ ජනාධිපතිවරයා විසින් ආණ්ඩුව විසුරුවා හල 2018 ඔක්තෝබර් 26 දිනයේදීම වීමය. ඒ වනවිටත් ජාතික අධ්‍යාපන ආයතනය විසින් විෂය නිර්දේශයට අදාළව ගුරු අත්පොත් පවා සකස් කර නොතිබූ බවත් ගුරුවරු තවදුරටත් කියා සිටිති.

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින්ගෙන් මේ ගැන විමසූ විට පැවසුවේ මෙයට විරෝධය පා මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇති බවත්, එයට අමතරව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාද දැනුවත් කර ඇති බවය. සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය උසස් පෙළ විෂය නිර්දේශය අලුත් සැකසීමේදී මෙයට පෙරද අවිධිමත් විෂය නිර්දේශයක් සකසා තිබූ බවත්, විද්වතුන් හා විෂය උගන්වන ගුරුවරුන්ගේ විරෝධය මත එය අකුළා ගත් බවද ලේකම්වරයා පැවසුවේය. දෙවැනි වරද එවැනිම විෂය නිර්දේශයක් සකස් කර තිබුණද එයටද විෂය ප්‍රාමාණික බුද්ධිමතුන් විරෝධය දැක්වූ විට නවතා තබා හොර රහසේම එයට අනුමැතිය ලබාදීම විහිළුවක් බවද ජෝෂප් ස්ටාලින් තවදුරටත් කීවේය. අධ්‍යාපන අමාත්‍යාංශයේ වත්මන් ලේකම් පද්මසිරි ජයමාන්නගෙන් මේ ගැන විමසීමට කළ උත්සාහය අසාර්ථක විය. ■