අගමැතිගේ වත්කම් දෙන්න ජනපති ලේකම් උසාවි යයි

ලෝරන්ස් ෆර්ඩිනැන්ඩු

අගමැතිගේ වත්කම් ප්‍රකාශය ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර් නැෂනල් ශ්‍රී ලංකා ආයතනයට ලබාදෙන ලෙසට තොරතුරු දැනගැනීමේ කොමිසම සභාව විසින් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ලබාදෙන ලද නියෝගය සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ පනතේ ප්‍රකාර අභියාචනාධිකරණයේ අවධානය යොමු කිරීමට තීරණය කර තිබෙන බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ඉරේෂා එන්. වීරසේකර රාවයට පැවසීය.

මේ පිළිබඳව තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් පියතිස්ස රණසිංහගෙන් කරන ලද විමසුමකදී තොරතුරු දැනගැනීමේ පනතේ අංක 33 වගන්තිය අනුව අගතියට පත් පාර්ශ්වයකට එවැනි ඉල්ලීමක් කිරීමේ හැකියාවක් තිබෙන බවත්, ඒ සඳහා අභියාචනාධිකරණය වෙත ඉල්ලීමක් සිදුකළ යුතු බවද කීය.

අදාළ තොරතුරු ලබාදීම හෝ නොදීම සම්බන්ධයෙන් තීරණයක් ගෙන තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට අභියාචනාධිකරණයට හැකියාව තිබෙන බව ඔහු පෙන්වා දුන්නේය.

ජනාධිපති ලේකම් කාර්යාලය තම ආයතනය ඉල්ලා සිටින ලද අගමැතිවරයාගේ වත්කම් ප්‍රකාශනය පිළිබඳ තොරතුරු ලබාදෙන්නේද යන්න තීරණය කිරීම සඳහා අභියාචනාධිකරණය වෙත යොමු කර ඇතැයි ජනපති ලේකම්ගේ අත්සනින් ලිපියක් එවා ඇතැයි ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර් නැෂනල් ආයතනයේ විධායක අධ්‍යක්ෂ අශෝක ඔබේසේකරද කීය.

පොදු අධිකාරියක් සම්බන්ධයෙන් තොරතුරු ලබාදීමට තොරතුරු පනත මගින් විධිවිධාන සලසා තිබෙන හෙයින් ඒ සඳහා අධිකරණයේ පිහිට නොපතා අදාළ තොරතුරු ලබාදීමට උනන්දුවීම අත්‍යවශ්‍ය බවත්, ඒ තුළින් රාජ්‍ය ආයතනවල විනිවිදභාවය පිළිබඳව තොරතුරු ජනතාවට දැනගැනීමට හැකියාව ලැබෙන බවත් ඔහු පෙන්වා දුන්නේය. ■