පාසල් සිසුවියකගේ තෙවෙනි ඇස නිසල්යා 18

චමින්ද වෑවලගේ

වතුකරයේ ලෙච්චමීලාද තේ බොති. එහෙත් ඒ ඔවුන් නෙළු තේමද? යන්න ගැටලුවකි. මන්දයත් ඔවුන්ගේ දෑතින් නෙලන ලද ඉස්තරම් තේ අයිති වනුයේ පිටරැටියන්ටය. ලෙච්චමීලාට හිමි වන්නේ රොඩු බොඩුය. ඒවාද ඔවුන් මිලදී ගත යුතුය. රටට ලැබෙන විදේශ විනිමයෙන් සැලකිය යුතු ප්‍රතිශතයකට දායකත්වය සපයනු ලබන ලෙච්චමීලාට හිමිවන්නේ සොච්චම් වැටුපකි. ආහාර, නිවාස, අධ්‍යාපනය, හා සෞඛ්‍යමය ගැටලු වලින් අසීමිතව බැට කනු ලබනුයේද ඔවුන්ය. මෙරට ඇතැමෙකුගේ වැසිකිලි කැසිකිලි රූපවාහිනිය නැරඹීමේ පහසුකම්වලින්ද සමන්විතව ඇති පසුබිමක, හදිසි අවස්ථාවකදී පවා පෝලිමේ සිටීමට ලෙච්චමීලාට සිදුවෙයි.

කාල් මාක්ස් කියූ පරිදි ‘දුප්පතාට සහනය ඇත්තේ නින්දේදී සහ තැබැරූමේදී පමණි.’ වුවත් අවම තරමින් ඔවුන්ට සුවපහසු නින්දක්ද නැත. ඔවුන්ගේ පීඩාව සමනය කරගනුවස් ඇති එකම මාර්ගය කෘතිම රා හෝ කසිප්පු පමණි. දයා රෝහන අතුකෝරල වැනි ධනාත්මක චින්තකයින් පවසන ආකාරයට ඔවුන් දුප්පත් වී ඇත්තේ මත්පැන් පානය කිරීමෙන් හෝ කිසිවක් නොකර කම්මැලිකමට නිදාගෙන සිටීමෙන් නොවේ. ඔවුන්ට එවන් ජීවිතයක් හිමිව ඇත්තේ අසීමිත ශ්‍රමයක් වගුරන පසුබිමකය. ධනවාදයට සේවය කරනු ලබන ඊනියා ධනාත්මක චින්තකයින්ට අවශ්‍ය ලෙච්චමීලාව තවදුරටත් එම තත්ත්වයේම තබා ගැනීම මිස එය වෙනස් කිරීම නොවේ. ලෙච්චමීලාට හිමි ශ්‍රමයට සරිලන වැටුපක් පිළිබඳව හෝ අනෙකුත් පහසුකම් පිළිබඳව මෙන්ම ඔවුන්ගේ ශ්‍රමය සූරාකන්නන් විස්කි පානය කිරීම සම්බන්ධයෙන්ද ධනාත්මක චින්තකයින් මුනිවත රකිනු ලබන්නේ එබැවිනි.

ඒ නිසා අපට ගැටලුව ඇත්තේ උතුරේ දමිළ ජනයා කැරලි ගැසුවේ ඇයිද? යන්න තුළ නොව, වතුකරයේ ලෙච්චමීලා කැරලි ගසනු නොලබන්නේ ඇයිද? යන්න තුළය.
ඉහත සඳහන් කෙටි සටහනට පදනම සකසනු ලැබුයේ, කිරිබත්ගොඩ විහාරමහාදේවි විiාලයේ ඉගෙනුම ලබන අනුදි නිසල්යා වීරසිංහගේ ‘නිසල්යා 18’ නමැති ඡායාරූප ප්‍රදර්ශනයෙහි එන ‘ලෙච්චමී’ නමැති නිර්මාණයයි.

තාක්ෂණය හා ශිල්ප හරඹ පසුපස හඹා යනවා වෙනුවට ජීවිතය හා සමාජ ආර්ථික දේශපාලනික තත්ත්වයන් ඉව කිරීමට ඇය තුළ වන්නා වූ ඕනෑකම මෙවන් ඡායාරූප තුළින් ප්‍රකට වෙයි. එම නිසාම නිසල්යාගේ කැමරාව තවදුරටත් නාභිගත විය යුත්තේ මෙවන් මිනිසුන් හා ගැහැනුන් මානනය කර ගනිමිනි.
ධීවරයකු මුහුද මැද ගෙවන ජීවිතය තුළ ඇති බියකරු හා හුදකලා බව මනාව කැටි කරගත් ඡායාරූපයක් වශයෙන් ‘නිම් වළලු සොයා’ හඳුනාගත හැකිය. මෙහිදී භාවිත කර ඇති තාක්ෂණික හා ශිල්පීය ලක්ෂණයන්ද තවදුරටත් සේයාරුවෙහි අන්තර්ගතය පෝෂණය කරවාලනු වස් ඉවහල් වනවා මිස සය කිසිසේත්ම හරඹ පෑමක් බවට පත්ව නොමැත. මෙය ජීවිතය පිළිබඳ දාර්ශනික සංකල්ප ජනනය කරනු ලබන නිර්මාණයක් වශයෙන්ද වෙසෙස් වෙයි.

ලංකාව වැනි පසුගාමී ධනේශ්වර රටවල බොහොමයක් දූවා දරුවන්ට සිදු වනුයේ, සිය මව්පියන් නිරත වෘත්තියම තම ජීවිකාව බවට පත්කර ගැනීම මිස ඉන් ඔබ්බට යාම නොවේ. ‘ඉරණම’ නමැති සේයාරුවෙන් කියවෙන්නේ එම ඛේදවාචකයයි. නිර්මාණයට දී ඇති මාතෘකාව එය අන්තර්ගතය තවදුරටත් පෝෂණය කරවාලනු වස් ඉවහල් වන බවද මෙහිලා සඳහන් කළ යුතු වෙයි.
ධනේශ්වර ලෝකය තුළ නව යොවුන් තරුණියකගේ අනාගතය අඳුරුය. බියකරුය. නමුත් ඒ පිළිබඳව ඇයට වගේ වගක් නැත. ඒ ඇය තවමත් දේශපාලනිකව නොමේරූ තැනැත්තියක වන බැවිනි. එම නිසාම ඇය, ඇයටම වෙන් වූ පටු ලෝකයක නිදහසේ, සැහල්ලුවෙන් සැර සරිමින් සිටින බව, ‘ඉරා අඳුරු පට’ තුළින් කියවෙයි.

White House නමැති ඡයාරූපය තුළ අන්තර්ගත මන්දාලෝකය හා නිල් පැහැති වර්ණය, රසික මනස නිවා පහන් කරනු ලබනවා පමණක් නොව, ඔහු හා ඇයගේ පරිකල්පනය පුබුදුවාලීමටද සමත් වෙයි. ප්‍රේක්ෂකයා භාවනායෝගී ධ්‍යානගත වින්දනයකට කැඳවාගෙන යාමට මෙම සේයාරුව සමත් වෙයි.

ස්වභාවික ආලෝක තත්ත්වයන් පිළිබඳව සැලකිලිමත්ව ඒ සම්බන්ධයෙන් මහා අවබෝධයකින් යුතුව ගන්නා ලද සෞන්දර්යාත්මක ගුණයෙන් අනූන ඡායාරූපයක් වශයෙන් ‘මහල්ලා සහ මුහුද’ මෙන්ම ‘හුදකලාව’ හඳුනාගත හැකිය. ඡායාරූපයට දී ඇති මාතෘකාව අමතක කර නිර්මාණය පමණක් ඒකළ වශයෙන් ගත් කළ ඒ තුළ සෞන්දර්යාත්මක බව හැරුණු විට ප්‍රබල ප්‍රකාශනයක් අන්තර්ගත නොවන බවද සඳහන් කළ යුතු වෙයි.

‘ෆාතිමා’ නමැති නිර්මාණයෙන් පිළිඹිබු වන්නේ මුස්ලිම් ජාතික හා ආගමික කාන්තාවන් වී උත්පත්තිය ලැබීමයි. ඔවුන්ගේ නිදහසට වැටකඩොලු බැඳ, තමා තුළම ඔවුන් සිරගත කොට ඇති ආකාරය මෙයින් නිරූපිතය. ඇගේ විවරව ඇති එකම ශරීරාවයවය වන දෙනෙතට බොහෝ දේ ප්‍රකාශ කිරීමේ හැකියාව තිබුණා වුවද එයින් ඵල නෙලා ගැනීමට ඡායාරූප ශිල්පිනිය අසමත් වී තිබේ.
‘මං මුලා වී’ නමැති ඡායාරූපය තුළ වන කාන්තාව මං මුලා වී ඇත්තේ භෞතික ලෝකය තුළ පමණක් නොවන බව හැඟවීමට එහි පසුබිම ඉවහල් වෙයි. එම පසුබිම විසින් සංඥා කර සිටිනු ලබනුයේ ඇය මං මුලා වී ඇත්තේ මුළුමහත් සංසාර චාරිකාව තුළ බවය.

‘වියපත් දෑස්’ තුළ හමු වන දසුන, බොහෝමයක් ඡායාරූප ශිල්පි, ශිල්පිනියන්ගේ කැමරා කාචයට හසුවන ආකාරයේ සුලභ ලක්ෂණ සහිත දසුනක් මිස ඒ තුළ අපූර්ව ලක්ෂණ හඳුනාගත නොහැකි වෙයි.
නිර්මාණ සඳහා මාතෘකා යෙදීමේදී ඇය වඩාත් සුපරික්ෂාකාරී වී ඇති බව ‘ඉරණම’, ‘නිර්ධනයනි එක්වව්’, ‘නිම් වළලු සොයා’, ‘මං මුලා වී’, ‘ඉරා අඳුරු පට’ වැනි නිර්මාණ සහ එම නිර්මාණ නම් කර ඇති ආකාරයෙන් පෙනී යයි. ඒ හරහා කෘතියෙහි අන්තර්ගතය වඩාත් තීවුර වී තිබේ.

කලාකරුවකු නිවැරදි දේශපාලනික දෘෂ්ටියකින් සන්නද්ධ නොවන්නේ නම් ඔහුට හෝ ඇයට මානව දයාවෙන් සපිරි ජනතාවාදී සාර්ථක කලාකරුවකු බවට පත්විය නොහේ. නිසල්යාගේ දේශපාලනික සවිඤ්ඥානිකත්වය කවරාකාරද යන්න වටහා ගැනීම සඳහා ‘නිර්ධනයනි එක්වව්’, ‘ඉරණම’, ‘ලෙච්චමි’ වැනි නිර්මාණ විසින් අපට බලකර සිටී.