වීරයා දුෂ්ටයා හා පිනෝකියෝ…..

ශාන්ති දිසානායක

එකිනෙකාගේ ගමනාන්තයන් පිළිබඳව මෙලෝ හසරක් නොදැන, ඒ ගැන වගක් විත්තියක් නොවිමසා එකිනෙකා සමීපයෙහි හිඳගෙන හා හිටගෙන ඉන්නා මගී ජනතාව අතරින් වැඩිදෙනා නිහඬය. බුම්මාගත් මුහුණද බරව ගිය හදවත්ද ජීවන සංග්‍රාමයක බිහිසුණු බවට නිහඬව සාක්ෂි නොදරන්නේද? ඉදිරි අසුනේ කාන්තාවන් දෙදෙනා දෙජාතියකට අයත් බවද නිහඬව කියාපාන්නේ එකියක හිස වසාගත් රෙදිකඩයි. නොවැසුණු හිස් ඒ වැසුණු හිස් පිළිබඳව කරදරවීමෙන් වැළකී ඒ විවිධත්වය විඳින්නට උත්සුක නොවීම නම් මහා අබග්ගයකි.

බෙදා වෙන්කිරීමේ පාපයට උරදෙන්නට හා විඳවන්නට නියමිත කුඩා දුර්වල මිනිස් ප්‍රාණියකු උණුසුම ඉවසිය නුහුණුව හඬා වැටුණේය. ඔහු අස්වසාලන්නට වෑයම් කළ ඔහුගේම මවද ඇතැම්විට අසල්වැසියකු විය හැක. දමිළ කාන්තාවද සිංහල හා දෙමළ භාෂාවන් උපයෝගී කරගත් කල සියුම් සොම්නසක් මහද වෙලා ගත්තේය. ඒ දෙබසින්ම ඔවුන් එක්වන්ව ඉල්ලා සිටියේ නාඩා සැනසෙන්නයි කියා නොවේද…. ජාතිය හෝ භාෂාව අරබයා මිනිසා එකිනෙකාට එරෙහිව සටන් වැදිය යුතුදැයි සෝපහාසයෙන් සිතන්නට තුඩුදෙන යමක් ඒ කුඩා සරල සිදුවීම තුළ ගැබ් නොවීද….

නියඟලා මලක් සේ ම රුවින් දිලෙමින් හා නියඟලා අලයක් සේ ම මාරාන්තික විෂෙන් පිරීයමින්, බාඳුරා මලක් කෘමි සතුන් ඩැහැගන්නා ආකාරයෙන් සිව්දෙසින් ගලා එන ජනී ජනයා උරා බොන්නට සැදී පැහැදී සිටින නගරයේ මඳකට ඉසිඹුලන බසයට වියෝ දුකක වගක් නැත්තේය. පැරණි මගීන් බැස යන අතරේ අලුත් මගීන් ඊට ගොඩවන බැවිනි. ලතවන්නට කාලයක්ද නොලැබේ. නැවත ගමන් ඇරඹිය යුතුය.
පෙරදා වට වැස්සක තරම තිරම කියාපාමින් පාර අද්දර කුඩා දිය වළක් නිර්මාණය වී තිබිණ. රියසක තෙමී යන කල පැන නැගී හදිසි හා කෙටි මඩ වැස්සෙන් මඳකට තෙමී ගිය සිංහල ගැහැනියට උපකාර කරන මුස්ලිම් ගැහැනිය මගේ කඩිසරකම සොරා ගත්තාය. ඔවුන් හැඳි වර්ණවත් සාරි මඩ දියෙන් යම් තරමකට අපවිත්‍රව ගියද ඒ දර්ශනයෙහි සුන්දරත්වයෙන් මම වසඟ වීමි. සැඩ හිරු අකාරුණික වූ බව කියාපාමින් දුර්වර්ණ වී සිටියද ලොව ලස්සනම ලලනාවන් ඔවුන් බවට සැකයක් නැත්තේය. වැඩි වේලාවක් මිඩංගු නොකළ ළඳුන් තම තමන්ගේ බසින් බැන වැදුණේ මඩ කඩිත්තකදී පවා වේගය බාල නොකළ ඒ සුඛෝපභෝගී වාහනයේ රියැදුරුටය. ඉක්බිති ඔවුන් හැකිතාක් වේගයෙන් ඇවිද ගියේ පොළ වෙතටය. හැකිතාක් අඩු හා දැරිය හැකි මිලකට තවත් සුමානයක් හමාරක් බඩ කට රවටා ගන්නට දරන ප්‍රයත්නයේදී පොළ ජාති, ආගම් හා කුලභේද නොතකයි. යහමින් බඩකට පුරවා ගන්නා දේශපාලනඥයන් මෙපරිද්දෙන් බඩකට රවටන පුරවැසියා පාලනයේදී ජාති, කුල, ආගම් භේද උලුප්පාලන ආකාරය සැබැවින්ම ජුගුප්සාජනකය. නින්දාසහගතය.

රටක් අන්දමන්ද කරමින් අගමැති පදවියට පත් හිටපු ජනාධිපතිවරයා නැවත මන්ත්‍රී ධුරයෙන් ඉහළට ඔසවා තබමින් ලද විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් යම් ගැටලු පැන නැගී ඇතත්, අගමැති පදවියෙන් සමුගන්නා අවස්ථාවේ (ඒ සඳහා පැවති උත්සවය මුළුමනින්ම විකාරසහගතබව වෙසෙසින් කැපී නොපෙනෙන්නට ඇත්තේ පසුගිය කාලය මුළුල්ලෙහි ඕනෑවටත් වඩා විකාරයන් මොහොතින් මොහොත අත්දුටු බැවින් විය හැක.) පවත්වන ලද සමුගැනීමේ කතාව තුළ ගැබ්වූ ගිනි පුපුරු ඉඟි කරන්නේ නුදුරේම මහා ගිනි මැලයක් ඇවිළෙන වග නොවේද?

දීර්ඝ කාලයක් දේශපාලනයෙහි නිරත පරිණත දේශපාලනඥයකු හා රටට ආදරය කරන බව මන්තරයක් මතුරන්නාක් මෙන් කියාපාන දේශප්‍රේමියකු ලෙස මහින්ද රාජපක්ෂ ඒ සමුගැනීමේ කතාව මගින් පසක් කරන්නේ අන් කිසිවක් නොව ජාතිවාදයෙන් තොර පැවැත්මක් තමාට නොමැති වගය. පුරවැසියා පිළිකුලින් හෙළා දැකිය යුතු තරමට ඔහු ජාතිවාදය නම් නරා වළට පනින්නට පසුනොබායි. කවුරුත් කවර නිරයක නිරා දුක් වින්දද කම් නැත. එහෙත් රටක් ජනතාවක් නිරය කරා තල්ලු කර දමන්නට කිසිවකුටත් ඉඩදිය යුතු නැත. ජාතිභේදය අවුස්සන්නා නිරතුරුවම නිරුපද්‍රිතය. අග්නි ජාලාවක දැවෙන්නේ සාමාන්‍ය මිනිසාය. වෙර වීරියෙන් හරි හම්බ කරගත් දේය. එපමණක් නොව ඒ ගිනිදැල් මධ්‍යයේ මනුෂ්‍ය බයද අළු වී යයි. ඉනික්බිති දයාව, කරුණාව හා සහජීවනය අතුරුදන් වන බව අමුතුවෙන් කිවයුතු නැත.
බලයට කෑදරවූවන් මේ විනාශකාරී ජාතිවාදයේම එල්ලී හිඳින්නේද එය පෝෂණය කරන්නේද ඊනියා දේශප්‍රේමයක් පිළිබඳව නන් දොඩවන්නේද ඇතැම් භික්ෂූන්ගේද ආශිර්වාදයෙන් වීම මහා ඛේදවාචකයකි. අගනා දර්ශනයක් වෛශ්‍යා වෘත්තියේ යොදවන ආකාරය සැබැවින්ම සැබෑ බෞද්ධයා රිදවයි. පාරයි. මිනිසුන් බෙදා වෙන් කිරීමට එරෙහිව අරගල කරමින් මාලිගා ත්‍රිත්වයක්ද අනාගත රජ කිරුළද පා දූවිල්ලක් ලෙසින් අත්හළ සැබෑ මිනිසා සොයා යනවා හා අවබෝධ කරගන්නවා වෙනුවට නිර්වාණයද දිව්‍ය සම්පත්තීන් හා අපා දුක්ද කරුමයද උසුලාගෙන බුද්ධ පුත්‍රයන් ජරා ජීර්ණ හා දූෂිත දේශපාලනඥයන්ට සුරත්, පිරිත් නූල් ගැට ගැසීම උත්ප්‍රාසජනකය. එමෙන්ම ඛේදජනකය.

විවිධ ජාතීන් වෙසෙන රටක සහජීවනය උදෙසා බෞද්ධ භික්ෂුවට කළහැකි කාර්යභාරය අතිවිශාලය. එහෙත් ඒ වෙනුවට සිංහල බෞද්ධයාට පමණක් මෛත්‍රී කරමින් බුද්ධ දර්ශනය මුළුමනින්ම විකෘති කරමින් බලලෝභී දේශපාලනඥයන් වෙනුවෙන් නිර්ලජ්ජිතව පෙනී සිටින බෞද්ධ භික්ෂුව මේ අවමන් කරන්නේ ලෝකයේ බිහිවූ විශිෂ්ට දාර්ශනිකයකුටය. අනගි දර්ශනයකටය. කනගාටු විය යුත්තේ ඒ පිළිබඳවය. එය වූකලී ආනන්තරීය පාපකර්මයක් විනා අනෙකක් නොවේ.

කොහොඹ ගසට කරවිල වැල ගියාක් මෙන් හිටපු ජනාධිපතිවරයාද බුද්ධ දර්ශනය සහමුලින්ම අමතක කර දමන ලද භික්ෂුවද එකට එකතු වී මේ මනරම් දිවයින ගිනිලන්නට කැසකවන හැටි බල බලා තවදුරටත් නිහඬව සිටිය යුතුද?

මහින්ද රාජපක්ෂ හිටපු අගමැති සමුගැනීමේ කතාවෙන් සාමාන්‍ය පුරවැසියා භීතියට පත්කරවන්නට හා සැකයෙන් වෙලා දමන්නට දරන ලද ප්‍රයත්නය සහමුලින්ම පරාජයට පත් කළ යුතුය. ඔහුගේ නොනිවෙන බල වියරුවට සහායවන්නේ නම් දෙමළ ජාතික සන්ධානය බළල් පැටවකු තරමට සුරතල්ය. එහෙත් ඔහු ප්‍රමුඛ හොර නඩයට සහාය නොදක්වන්නේ නම් ක්‍රෑර කොටියෙකි. රට දෙකඩ කරන්නට හැකි හැමදෙයම කරන්නෙකි. මේ වංචා සහගත හා නින්දිත හැසිරීමේ නිරුවත ඒ ජාතිමාමක දේශමාමක සළුපිළි උනා දකින්නට අපි සමත් විය යුත්තෙමු. ජාතිවාදයෙන්ද, බලලෝභයෙන්ද උතුරායමින් දුර්ගන්ධය විහිදුවන පිරිස නිරතුරුව දමිළ හෝ මුස්ලිම් සතුරකු පිළිබඳව නන් දොඩවති. බාහිර කුමන්ත්‍රණ පිළිබඳව අල්ලේ පැලවෙන බොරු ගොතා කියති. ජාතිවාදයේ පිහිටෙන් බලය ඩැහැ ගන්නට මාන බලන දේශපාලනඥයන් දේශපාලන භූමියෙන් අතුගා දමන්නට අපේ ඡන්දදායකයා සබුද්ධිකවන්නේ නම් රටට අනාගතයක් තිබේ. නොඑසේ නම් පිදුරු ගොඩක් මතට පතිත වන ගිනි අඟුරු බඳු ඒ ජාතිවාදී ප්‍රකාශයන් රට ගිනි තබන දිනය වැඩි ඈතක නොවේ. නොබෝදා සිදුවූ බුද්ධ ප්‍රතිමාවන්ට හානි කිරීමේ ක්‍රියාදාමයද හුදෙක් ජාතිවාදී ගැටුම් නිර්මාණය කිරීම සඳහා දරන ලද ප්‍රයත්නයක් විනා අන් කිසිවක් විය නොහැක.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමග සෙල්ලම් කිරීමෙන් පස්ස බිම ඇනුණු ඒ අශුද්ධ සන්ධානය දැන් එල්ලෙන්නේ ජාතිවාදය නම් මරු වැලේ බව සිහිබුද්ධිය ඇති ඕනෑම කෙනකුට පෙනී නොයන්නේද? හැමදාමත් මී වදයක් තරමට ඉමිහිරි වූ ජාතිවාදය එවන් නරුමයන් අතළොස්සකට හැරුණු කොට මුළු මහත් රටකට නම් ව්‍යාධියකි. උවදුරකි. විපතකි. මහා අග්නි ජාලාවකි. ඒ ගින්නේ දැවෙන්නේද සාමාන්‍ය මිනිසා විනා ගින්න ඇවිලවූ ලොකු ලොක්කන් නොවේ.

සංසාරය සේ ම කෙළවරක් නැති නඩුහබවලින් මිදීමේ ඒකායන මාර්ගය සම්මුඛවීමයි උද්දාමයෙන් රහසිගතව භාරගත් අග්‍රාමාත්‍ය ධුරයෙන් ප්‍රසිද්ධියේ සමුගැනීමෙන් සමුගැනීමේ සාදයන්ට අලුත් අරුතක් එක් කළ හිටපු ජනාධිපතිවරයා විරුද්ධ පක්ෂ නායකත්වය උදෙසා අමූලික මුසාවාද තෙපලමින් පිනෝකියෝ කෙනකු වීමට තරම් අඳබාලව හා සටකපටව සිටීම තුළ එක්තරා අන්දමක අසරණකමක් සේ ම බිහිසුණු අන්තරයක්ද සැඟව තිබේ. දේශපාලනඥයකුට ඕනෑම අශූචි වළකට පැනීම ඒ තරම් අපහසු නොවන බව පසක් කරන අතරේම ඕනෑම විටෙක ඕනෑම සත්‍යයක් කණපිටට හරවන්නට පසුබට නොවීමේ තක්කඩිකම ඔහු දේවත්වයෙන් අදහමින් වහලුන් වන්නට පොරකන මහින්දවාදීන්ට ඒත්තු නොයාම අහවල් කරුමයක්දැයි නොසිතෙන්නේද? රට බේරාගත් බව පුන පුනා කියමින් රට වළඳන්නට පසුබට නොවන නායකයකු වටා එක් රොක්වන මේ දූපත දේශපාලනඥයන්ද පොදු ජනතාවද තමන්ගේ වපසරිය කොතෙක් පටුද යන වග හා සැබෑම දූපත්වාසීන් තව මොනවට ඔප්පු කර පෙන්වති. වඩාත් භයංකර එය නොවේ. දැල්වෙන ගිනිමැල බඳු ඔවුන් මේ රට ගිනි තබන්නට කිසිසේත් නොපැකිළව කටයුතු කිරීමයි. එවන් ගින්නකට කළ හැකි විනාශයේ තරම ඔවුහු නොසලකා හරිති.

ලෝකයට නෙත් විවර කරන්නට මැලිවන්නේ නම් අඩුම තරමින් සැබෑ බෞද්ධයන් ලෙස හෝ බුදුහිමියන්ට බුද්ධ දර්ශනයට අවමන් කරමින් ජාතිය, කුලය, ආගම උලුප්පා දමමින් තවකෙකු හිංසාවට පීඩාවට පත් කරන්නට කිසිවකුට අයිතියක් නොමැති වග වටහාගත යුතුය. ඒ වැටහීම අවබෝධය තුළ ජාතිවාදයේ පිළිසරණ පතන දේශපාලනඥයන් අතුගෑවී යනවා නිසැකය. එකල්හී අප අරගල කළයුත්තේ සිංහලේ උදෙසා නොව දුගී දුප්පත්භාවයට, අවිද්‍යාවට, මිථ්‍යාවට හා අයුක්තියට, අසාධාරණයට එරෙහිව බව පසක් වෙනවා ඇති. ලේ විලක පිහිනමින් හෝ මළමිනී මතින් හෝ බලය පිණිස වියරුවෙන් නලියන්නේද නැතහොත් වඩා යහපත් හා දියුණු රටක් ගොඩනගන්නට වෙහෙසෙනවාදැයි තෝරා බේරා ගන්නට තව තවත් කාලය මිඩංගු කළ නොහැක. දැනටමත් කාලය ගෙවී ගොසිනි. ආසියාවේ බොහෝ රටවල් වේගයෙන් ඉදිරියට යන අතරේ අපි ජාතිවාදයේද, ආගම් හා කුලවාදයේද ජඩ දේශපාලනයේද ජාවාරම්කාර ආගමේද විලංගු ලාගෙන එකතැන කැරකෙමු. වඩා නිවැරදිව කියන්නේ නම් ආපස්සට යමු. තරුණ පරපුර මෙරට අතහැර විදෙස් රටකට යාමේ ඒකායන සිහිනය දකින්නේ ඒ නිසා නොවේද? කිසිදු කනගාටුවකින් හෝ අකමැත්තකින් තොරව ඔවුන් මව්බිම හැර යන්නට සූදානම්ව සිටිති. මනුෂ්‍යයකු ලෙස සතුටින් හා සාමයෙන් ජීවත්වීමට ඉඩ නැති රටක් වෙනුවෙන් සුසුමක් හෙළන්නටවත් අපේ තරුණයා තුළ දයාවක් නූපදී. හැත්තෑ වසරක දේශපාලනය ප්‍රමුඛ කරගත් අධ්‍යාපනයද, ආගමද සංස්කෘතියද අන්තිමේදී නිර්මාණය කරන ලද්දේ රට හැරයෑමට ජීවිතය පවා පරදුවට තබන අනාගත පරපුරකි. ඒ ශාපයෙන් ගැලවීමට අප කිසිවකුටත් නුපුළුවන් අතර හිටපු ජනාධිපතිවරයා ඇතුළු හොර නඩය ඒ ශාපයට අත්‍යන්තයෙන්ම සුදුසුය.

කවර ආකාරයේ හෝ හරයක් සැබෑවක් අංශු මාත්‍රයකිනිදු ගැබ් නොවූ රට කැබලි කරන – රට පාවා දෙන හා බුද්ධාගමට වින කරන… සංස්කෘතිය වනසන කයි කතන්දර හුදු මිථ්‍යාවන් ලෙස බැහැර කොට රටත් ජනතාවත් පෙළන සැබෑ ප්‍රශ්න කරළියට ගෙනෙන්නට ඒවා අරබයා කතිකාවතක් මෙන්ම ක්‍රියාදාමයක් අරඹන්නට දේශපාලනඥයාට බල කරන්නට සිදුවී තිබේ. නොපමාව එකී බලපෑම නොකරන්නේ නම් කිසි කලෙකත් මේ දිවයින දියුණු හා මිනිස් වාසයට සරිලන බිමක් නොවෙනවා නිසැකය. සදාකල් කර ගසාගෙන යන පරණ හණමිටිය බිම තබා නූතන හා නවීන ලෝකය දෙස ඇස් ඇර බලා තවදුරටත් ජාතියේ, කුලයේ, ආගමේ සංස්කෘතියේ එල්ලී සිටිනවා වෙනුවට විද්‍යාව හා තාක්ෂණය සමග ඉදිරියට යායුතු බව මේ ඉපැරණි දේශපාලනඥයන් වටහාගතහොත් මැනව. එහෙත් වැඩි වැඩියෙන් බලයද වැඩි වැඩියෙන් ධනයද මිසක අන් කිසිත් වුවමනා නොකරන තක්කඩි සාමාන්‍ය ජනතාවට ජාතිවාදය එන්නත් කරමින් ගින්න හා විනාශයම පතා පෙරුම් පුරති. වමද බෙදී වෙන්වීම හේතු කොටගෙන එය වගකීම්සහගත කාර්යභාරයෙහිලා අසාර්ථක වන කල රටකට කවර පිළිසරණක්ද?