ප්‍රශස්ත තේමාවක් අයාලේ යැවීම ප්‍රභාකරන් ඉන්නවා

ජස්ටින් පියරත්න

දශක තුනකටත් වැඩි කාලයක් තිස්සේ අඛණ්ඩ ව විවිධ සාහිත්‍ය-කලා නිර්මාණයන්හි යෙදෙමින් සිටින ආරියරත්න විතාන අවිගත් සමයක කෙටිකතා සංග්‍රහය ලිවීමෙන් වසර 31කට පසු කෙටිකතා හයකින් යුතු සිය නවතම කෙටිකතා සංග්‍රහය පළ කොට තිබේ. එය ප්‍රභාකරන් ඉන්නවා නමි. කතුවරයා මේ කතා බොහොමයකට මෑතකාලීන සමාජ අර්බුදයත් විවිධාකාරයෙන් එම අර්බුදයෙහි ගොදුරු බවට පත්වන්නන්ගේ ඉරණමත් විෂය කර ගනී. ඔහුගේ ප්‍රයත්නයේ සාධනීයත්වයක් පැවතුණ ද එම කෘතිය විචාරක අවධානයෙන් ගිලිහුණු බව පෙනේ.

මෙහි එන සඳුන් සුවඳ කෙටිකතාවේ දී රටේ ජනාධිපතිවරයා කලාකරුවකු ලෙස සමාජය හමුවේ බෞතීස්ම කරනු පිණිස සිය කලා කුසලතාව ගණිකා වෘත්තියේ යොදවන සඳුන් අල්විස් නම් ප්‍රසිද්ධ ගීත රචකයෙකු අපට හමු වේ. ව්‍යාජ ලෙස ජනපතිගේ කර්තෘත්වයෙන් පළ වූ නරපති දුටුගැමුණු නවකතාව ලියා දීමෙන් උපයා ගන්නා මුදලින් සඳුන් ඉටු කර ගැනීමට අපේක්ෂිත සියලු ප්‍රාර්ථනා ඉතා සියුම් ලෙස ආරියරත්න විතාන අප වෙත ගෙන එන්නේ ඔහු දකින සිහින වැලක ආධාරයෙනි. එදින රාත්‍රියේ ඔහු දුටුවේ අමුතු ම සිහින වැලකි. තාත්තේ කියමින් දරුවන් තුන්දෙනා තම දෑතේ එල්ලී සිනාසෙති. බිරිය තම නළල මතට හාද්දක් දෙයි. ජයේ, මැණිකේ සහ අරුණ සාලයේ කවදාවත් නුදුටු නවීන අසුන් කට්ටලයේ වාඩිවී කොක් හඬලති. රංදෝලියේ මෙය සඳුන් නිතර යන ආපන ශාලාවකි. ඇත්තන්ට ඇත්තේ ද සිනාබර මුහුණු ය. පාරේ යන විට කඬේ මුදලාලි උස් හඬින් සඳුන් මහත්තයා කියමින් සිනාසෙයි. ගෙවල් හිමියා මිස්ට අල්විස් කියමින් සඳුන් බදා ගනියි. කවදාවත් නැතිව පාසල් වෑන් රියක් දොරකඩ නවතා හෝන් ගසයි. මෙම පරිකල්පන රූප හරහා සඳුන්ගේ මුළු මහත් ජීවන පැවැත්මේ ඛේදය පාඨකයාට දැනෙයි. මේ සියල්ල වර්තමානයේ ඔහුට අහිමි ව ඇති දේ නො වේ ද? දරුවන් හෝ බිරියගේ සෙනෙහස, යහළුයෙහෙළියන්ගේ ඇඟෑලුම්කම, කඬේ මුදලාලිගේ හා ගෙවල් හිමියාගේ පවා සමාජ පිළිගැනීම යන සකලවිධ සමාජ සම්බන්ධතා ආර්ථිකය නමැති කේන්ද්‍රය වටා භ්‍රමණය වන සැටි පාඨකයා හඟී. ධනේශ්වර සමාජ සම්බන්ධතාවල කුණු වූ ස්වභාවය හඟින පාඨකයා ඔහු පත් ව ඇති තත්වය ගැන සානුකම්පික වෙයි. එහෙත් ඒ සානුකම්පාව සඳුන් මේ සමාජ ඛේදයෙහි ගොදුරක් බවට දැනුවත් ව පත් වීම හේතුවෙන් සිඳී බිඳී යයි. තමා යෙදී ගෙන ඉන්නා පාදඩ කාර්යය පිළිබඳ ස්වයං විවේචනයක්, දෙගිඩියාවක්, බලගතු කලකිරීමක් පවා සඳුන්ට නැත. ඔහුගේ මිතුරු කලාකරුවන් තුළ පවා ඔහුගේ පාදඩ චර්යාවට එරෙහි ව කට අරින්නකු නොමැත. කිසිදු ප්‍රතිවිරෝධය පාන්නකු නොමැති ය. එවැනි ගැටුමක් නොමැති නිසා කතුවරයාට තමා පොර බදන වස්තු විෂය ගැඹුරු කිරීමට තිබූ අවස්ථාව මඟ හැරී ගොස් තිබේ. එහි ප්‍රතිඵලයක් වශයෙන් අවසානයේ කතාව අයාලේ යයි. නරපති ගැමුණු නවකතාවට රාජ්‍ය සම්මානය ලැබී එය ජනපතිට පිරිනැමීම සඳුන්ට ම පැවරීම අභව්‍ය ය. එම මොහොතේ සභාව පාෂාණිභුත වීම ප්‍රහේළිකාවකි. එය සඳුන්ගේ මනෝගතියේ ප්‍රකාශනයක් හැටියට වුව ඒත්තු නොයන්නේ මේ ව්‍යාපෘතිය ගැන ඊට පෙර හෝ පසු හෝ ඔහුගේ බරපතළ චිත්ත ව්‍යාකුලත්වයක් දක්නට නොලැබෙන බැවිනි. අවසානයේ සඳුන්ට ස්ථාන මාරුවක් ලබා දීම කතාවට සුලබ අවසානයක් ගෙන දීමක් වෙයි.

ප්‍රභාකරන් ඉන්නවා කෙටිකතාව නන්දිකඩාල් කලපු ප්‍රදේශයේ දී රජයේ හමුදා විසින් ප්‍රභාකරන් ඝාතනය කිරීමෙන් පසු දකුණේ ජයපැන් බීමේ අවස්ථාව චිත්‍රණය කරයි. ඔවුන් මේ අවස්ථාව සැමරූ අයුරු කතුවරයා අතිශය උත්ප්‍රාසාත්මක ආකාරයෙන් සිතුවම් කරන අපූරුව බලන්න. මග්ගොන හන්දියේ එකම ප්‍රීති සාදයකි. කොල්ලෝ කුරුට්ටෝ බීර බෝතල් කටේ ඔබාගෙන බී අතින් අත යවති. සමහරු සිංහ කොඩි වනති. සිංදු කියති. අත්පුඩි ගසති. නටති. උක්කුංජි සහ එfඬ්රගොඬේ සුද්දී බොන අයට කිරිබත් ද කරෝල පිඟන් ද අල්ලති. මාගල්කන්දේ කළු අක්කා පදමට රත් වී නටයි. තැනින් තැන සිංහ කොඩි බිම දමා ඇත. සමහරු යටි කයට ඇඳ සිටින්නේ සිංහ කොඩි ය. රථවාහන පොලිසියේ හතර දෙනෙක් ජමීල්ගේ යකඩ කඩය ඉදිරිපිට සයිකල් නවතා කිරිබත් කති. වාහන හැසිරවීම මංජු හා කමල් භාරගෙන ඇත. සිංහ කොඩි වනමින් වාහන නැවැත්වීමට කෙරෙන විධාන ද ගමන් කිරීමට කෙරෙන විධාන ද යාන්ත්‍රිකව සිදු වේ. පොතුවිල ප්‍රියන්ත ඉදිරියට නෙරූ අඩු ඇන්දේ දත්දෙක තවත් එළියට ප්‍රදර්ශනය කරමින් හෙළ ජාතික අභිමානේ ගීය ගයයි. ඒ අසල නටන සොත්ති සිරා ගයන්නේ පිබිදෙව් පිබිදෙව් පමණ ය.

කතුවරයා කතාවෙන් විශාල ඉඩක් වියදම් කර ඇත්තේ මෙම අවස්ථාවේ රස්තියාදුකරුවන්, සමාජ පාදඩයින් ප්‍රදේශයේ කඩවලින් හා බාර්වලින් මුදලාලිලා බියපත් කරමින් ජාතික කොඩි, හාල්, පොල්, පරිප්පු, සීනි ආදිය මංකොල්ල කෑ අයුරු නිරූපිත කිරීමට ය. ඔවුහු කොල්ල කා ගත් ජාතික කොඩි විකුණා ගන්නා අතර ආහාර ද්‍රව්‍ය හා මත්පැන්වලින් වැඩි හරියක් සිය ගෙවල්වල ගබඩා කර ගනිති. පාදඩ ස්ථරය හා මුදලාලිලා යන දෙගොල්ලන්ගේ ම අනුග්‍රහය ලබන දේශපාලකයකුගේ චරිතය ද මෙහි දී අපට මුණ ගැසෙයි. මෙම ජයපානෝත්සව සංවිධානයේ දී විශාල කාර්යභාරයක් උර දැරුවේ උද්දාමිත සිංහල බෞද්ධ සුළු ධනේශ්වරය යි. එයට අර මුදලාලිලා ද අයත් ය. මෙම ජය පැන් බීම හුදෙක් පාදඩයින් කඩසාප්පු කොල්ලකෑමේ අරමුණින් මෙහෙයවී ගෙන කළ වැඩක් නො වේ. එයට යටින් පවතින ව්‍යසනකාරී වාර්ගික දෘෂ්ටිවාදය කතුවර අවධානයෙන් සපුරා ගිලිහී ගොස් ඇත. එපමණක් නො වේ. කතුවරයා සමන්ගේ චරිතය හරහා කතාවට දෙන දේශපාලනික පැහැය සදොස් ය. සමන් ප්‍රභාකරන් ඉන්නවා යනුවෙන් කියන්නේ සොත්ති සිරා දෙස බලමිනි. සොත්ති සිරා තනියම පන්සල් වත්තේ කඩුල්ලෙන් පැන ගෙන එයි. ඔහුට ආරූඪ වී ඇති නරුම වේසය නම් කෙනෙකුගේ සිත සසල කරන්නකි. බියපත් කරන්නකි….සොත්ති සිරාගේ නවතම විලාසය ලලිතාට පෙන්වීමේ සිතක් සමන්ට පහළ වෙයි. ඒයි ප්‍රභාකරන් ඉන්නවා. ඌ මැරිලා නෑ.

සොත්ති සිරා වැනි පාදඩ, මංකොල්ලකරුවකුට ප්‍රභාකරන් සමාන කිරීම අතිශයින් සදොස් ය. එය ප්‍රභාකරන්ගේ බෙදුම්වාදී සුළු ධනේශ්වර දේශපාලනය ප්‍රශ්න කිරීම වෙනුවට සිංහල ජාතිවාදීන්ගේ සරල විඥානයට ම යටත් වීමකි. කතාව ආරම්භයේ දී සොත්ති සිරා තමන්ට අයිති නැති සමන්ගේ ඉඩමට අනවසරයෙන් ප්‍රවේශ වන්නෙකියි ද අල්ලපු ජයසිංහ වත්තෙන් හා පන්සල් වත්තෙන් එයට කිසිදු විරෝධයක් නැතැයි ද කීම පසුව සොත්ති සිරා ප්‍රභාකරන්ට සමාන කිරීම සමඟ එකට ගත් කල ඇඳෙන දේශපාලනික චිත්‍රය මෙම යටත් වීමේ ම ප්‍රකාශනයකි.

මෙම කතා සංග්‍රහයෙහි එන පිටු 44ක් පුරා දිවෙන දිග ම කතාව අවතාර නම් වෙයි. එය සිංහල-මුස්ලිම් වාර්ගික ගැටුම වස්තු විෂය කර ගත් නිර්මාණයකි. කතාව ආරම්භ වන්නේ අවතාරයක් විසින් හමුදා සෙබළකු ගෙල මිරිකා මරා දැමූ සිද්ධියකිනි. ත්‍රී වීල් රියැදුරකු සාක්ෂි දෙමින් කියන්නේ එම අවතාරයේ මුහුණ සිංහල මුස්ලිම් කෝලාහලය අවස්ථාවේ දී වෙඩි වැදී මියගිය අන්සාර්ගේ බව ය. ඊට පසු අපට වැටහෙන්නේ අන්සාර්ගේ අවතාරය තමා ඝාතනය කිරීමට තුඩු දුන් වර්ගවාදී කෝලාහලය සංවිධානය කළවුන් එකිනෙකා බිලි ගන්නා හැටි ය. එහෙත් ශේක්ස්පියර් මෙන් අවතාරය සිය කතාවේ වර්ධනයට යොදා ගැනීමට කතුවරයා අපොහොසත් වෙයි. ඔහු අවතාරයේ ඝාතන හරහා මෙම ගැටුමට යටින් පැවති සමාජ සංරචකයන් එළිමහනට ගැනීමට ඇති මහඟු අවස්ථාව මඟ හැර ගනී. රාජ්‍ය අනුග්‍රහය- එහි ම කොටසක් ලෙස පොලීසිය අක්‍රිය ව බලා සිටීම සහ බෞද්ධ සංවිධාන සහ ඇතැම් හාමුදුරුවරුන්ගේ ජාතිවාදී ඇවිස්සීම් ද මුස්ලිම් කඩ කොල්ලකෑම් ද එළිමහනට ගැනීමට ආරියරත්න විතාන නිර්භය වීම අගය කළ යුතු ය. එහෙත් ඒවා නිරීක්ෂණ හැටියට දෙබස්වලින් කියවෙන ලෙස නො ව උචිත සංකල්ප රූප (අවතාරය ද මෙයට අයත් ය) වර්ධනයෙන් නිරූපණය කරන්නට කතුවරයා උත්සුක වූයේ නම් එය කතාවට විශාල ආලෝකයක් විය හැකි ව තිබිණ. එහෙත් සිදු ව ඇත්තේ කතුවරයා අදාළ වස්තු විෂයෙන් අපගමනය වෙමින් අවතාර පිළිබඳ විද්‍යාත්මක විග්‍රහයක් කරා යාමත් තේරුමක් නැති අවසානයක් පාඨකයාට විඳින්නට සිදු වීමත් ය.

ඉඩම කෙටිකතාව මුදල් අවශ්‍යතාවෙන් පෙළෙන මධ්‍යම පන්තිකයකු හොර සල්ලි අච්චු ගසන්නකුගේ ගොදුරක් වන අයුරු පෙන්වා දෙයි. එලොවින් මෙලොවට කෙටිකතාව විදේශයක රැකියාවකට ගොස් අතුරුදන් ව සිටින තම දියණිය මෙරටට ගෙන්වා ගැනීමට වෙර දරන මවක් විවිධ මිථ්‍යාවන්ටත් වංචාකාරියන්ටත් ගොදුරු වන සැටි විෂය කර ගනී. මුනිදාස, නූටාන් සහ විල්බට් බාසුන්නැහේ කෙටිකතාව හුදු කතාන්දරයකින් ඔබ්බට වර්ධනය කරන්නට කතුවරයා සමත් නොවුණු බව පෙනේ.

ආරියරත්න විතාන අප අවට ඇති සමාජය දෙස නෙත් හැර බලන ලේඛකයෙකි. අන්තර්ගතය මායිම් නොකර, කතාවේ ව්‍යුහය ගැන පමණක් වෙහෙසෙන කෙටිකතාකරුවන් බහුල සමාජයක මෙවැනි කෙටිකතාකරුවන් වැදගත්ය. ඔහු මනස් පුතුන් ගැන නො ව තමා බලවත් ලෙස කම්පනයට පත් කළ අත්දැකීම් ආශ්‍රය කර ගත් තේමා තෝරා ගනී. ඒ තේමා ඔස්සේ යම් දුරක් යයි. දෘෂ්ටිමය බාධා ඇති බව සැබවි. එහෙත් කතුවරයා සිය තියුණු සංවේදීත්වය ඔස්සේ යථාර්ථය ස්පර්ශ කිරීමට ද සමත් වෙයි. මෙම කෘතිය පාඨක අවධානයට ලක් විය යුතු එහෙයිනි. ගැටලු නැත්තේ නො වේ. තමා පොර බදන තේමා ඔස්සේ සිය ගවේෂණය ගැඹුරු කරනු වෙනුවට ඔහු නිතර ම තේමාවෙන් පිට පනී. අනවශ්‍ය චරිත හා සිදු වීම් ඇතුළු කරයි. තේමාව පරිසමාප්ත ව ග්‍රහණය කර ගැනීමට අපොහොසත් වෙයි. මේවා පොදුවේ අද්‍යතන කෙටිකතාකරුවා මුහුණ දෙන ජය ගැනීමට බෙහෙවින් අසීරු ප්‍රශ්නය. විචාරකයාගේ එක් කාර්යයක් වන්නේ පාඨක රස වින්දනය උදෙසා පමණක් නො ව, කලාකරුවාට මත් තම නිර්මාණයන් පොහොසත් කරගනු පිණිස මේ ගැටලු මුණගැස්වීම යැයි කල්පනා කරමි.