කවුරුත් කිව්වේ ඕවා මෙහේ කරන්න බෑ කියලයි හිටපු රාජ්‍ය පරිපාලන ලේකම් ජිනසිරි දඩල්ලගේ

නිමල් අබේසිංහ

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයකු වන ජිනසිරි දඩල්ලගේ විසින් රචිත ‘එව්වා මෙහේ බෑ මචං’ කෘතියේ දෙවන සංස්කරණය එළිදැක්වීම 2019.01.17 බ්‍රහස්පතින්දා ප.ව. 3.00ට කොළඹ පදනම් ආයතනයේදී සිදුවෙයි. ‘එව්වා මෙහේ බෑ මචං’ කෘතිය දෙවන වරට සංස්කරණය වනුයේ එයට තව පරිච්ඡේද කිපයක්ද එකතු කරමිනි. ඒ සම්බන්ධයෙන් ජිනසිරි දඩල්ලගේ සමඟ කළ සාකච්චාවක් මෙහි පළවේ.

‘එව්වා මෙහේ බෑ මචං’ කෘතියේ දෙවන සංස්කරණයේදී ඔබ ඇතුළත් කළ එක් පරිච්ඡේදයක් බලසවි සහ සවිබල යන්නයි. එයින් විග්‍රහ කරන්නේ කුමන පැතිකඩක්ද?

මේ රටේ දිළිඳු සංවර්ධන වැඩසටහන්, ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් කොහොමද සකස් වෙන්නේ කියන එක ගැන අත්දැකීම් හැකියාව සහ දැනුම මට තිබුණා. එතකොට මම කැමති වුණා ආණ්ඩුවේ සමාජ සවිබලගැන්වීමේ වැඩසටහනේ (සමෘද්ධියෙ) වැඩ කරන්න.

අපේ රටේ පසුගිය කාලය තුළ අමාත්‍යංශයක් හැදෙනවා සමාජ සවිබලගැන්වීම් අමත්‍යාංශය කියලා. සමාජ, ආර්ථික, නෛතික වශයෙන් මේ තුළ යම් සමාජ සවිබල ගැන්වීම් වැඩඩටහන් කෙරුණට පූර්ණ වශයෙන් සවිබලගැන්වීම් කරන්න දෙන්නේ නැහැ. එතකොට ඔය සමෘද්ධි වැඩසටහනත් දේශපාලනඥයින් ගණන් අරගෙන් ඉන්නේ මේක මේ ඡන්දේ දිනීම සඳහා තිබෙන ව්‍යාපාරයක් කියලයි. එතකොට මේක සවිබල ගැන්වීමට නොවෙයි බලසවි ගැන්වීමට ක්‍රියාත්මක වන්නක්.

ඒ කියන්නේ ලක්ෂ 15ක් පමණ සමෘද්ධිලාභි පවුල් දේශපාලනයට කොටුකරගෙන ඉන්නේ. ඒ සමෘද්ධි නිලධාරීන් හරහායි. මේකෙන් වෙන්නේ සමෘද්ධිලාභියා තමන්ගේ ග්‍රහණයේ තබාගෙන දේශපාලනයට යොදා ගැනීමයි. ඒක තමයි බල සවිය සඳහා යොදා ගැනීම. සාමාන්‍යයෙන් සමෘද්ධි වැඩසටහනට මිලියන 60,000ක් විතර අවුරුද්දකට වැය කරනවා. සේවකයෝ 27000 ක් විතර ඉන්නවා. අවුරුදු 25කට ආසන්න කාලයක් මේක අරගෙන යනවා. එතකොට මෙතනදී විශේෂයෙන්ම දේශපාලනඥයන් බලන්නේ බල සවිය ඇති කරගන්න. ඒ කියන්නේ දේශපාලන බලය වැඩිකර ගැනීම. ඉතිං මේක සැබවින්ම සමාජ සවිබල කරලා සමාජය වෙනස් කරන ව්‍යාපාරයක් බවට පත්කරනවා නම් එහෙම කරලා ඒක වඩාහොඳ දේශපාලන ව්‍යාපාරයක් බවට පත් කරන්න පුළුවන්. එතනදි දිළිඳු ජනයා ක්‍රියාශීලි ප්‍රජාවක් බවට පත් කිරීමේ ක්‍රමවේද පාවිච්චි කරන්න ඕනේ.

දැන් තිබෙන ක්‍රමයේදී නිලධාරීන් සහ දේශපාලනඥයින් තමයි ක්‍රියාකාරීන්. එතකොට අපි ණය දෙන්නෝ නොවී ජනතාව ණය ලබාගන්නෝ බවට පත්විය යුතුයි. ඉතිං මෙන්න මෙවැනි අරගලයක් තමයි මම කළේ. ඒ අරගලය කරන්න අර දේශපාලනයේ බලසවි ක්‍රියාදාමය මට බාධාවක් වුණා. මම හදනවා සවිබලගන්වා දේශපාලනය කරන්න. ඒ අය කියනවා නෑ මේක මේ විදියටම තියාගන්න ඕනේ කියන මතයෙම හිටියා.

ඔබ කොහොම කීවත් රටේ දිළිඳු සංවර්ධන වැඩසටහන් ගොඩනැගෙන්නෙම දේශපාලන ව්‍යාපෘති විදියටනේ.

සවිබල ගැන්වීමේ ව්‍යාපෘති දේශපාලනයත් එක්ක කරන්න අමාරුයි. යම් පුහුණු වැඩසටහන් කරන්න පුළුවන්. එහෙත් ජනතාව ක්‍රියාකාරී කරලා මේවා ජනතාවගේ ව්‍යාපෘති බවට පත්කරන්න දේශපාලනඥයින්ට සැබෑ උවමනාවක් නෑ. ඔවුන්ට ඕන කරලා තිබෙන්නේ මේ ලක්ෂ පහළොවේ ජනතාව හොඳ ඡන්ද මැසිමක්, ඡන්ද පොදියක් කරගන්නයි. වහලුන් වශයෙන් තබාගෙන දේශපාලනය කරනවාට වඩා ඔවුන් සැබවින්ම ශක්තිමත් කරලා දේශපාලනය කිරීම හොඳයි කියන දේ තමයි මම යෝජනා කළේ.

මෙතනදි මම යෝජනා කළේ මේ සහනාධාරලාභී පවුල් තුළ දියුණුවීමේ හැකියාව ඇති අය ව්‍යාපාරයෙන් මුදාහැරලා ඔවුන්ට ලක්ෂ 25ක ණය දෙමු කියලයි. මොකද මේ අවුරුදු 25ටම දීලා තිබුණු උපරිම ණය ප්‍රමාණය ලක්ෂ 5යි. පළමු අදියරේ පවුල් ලක්ෂ 3ක් ඉවත් කරලා මේ වැඬේ කරන්න හැදුවා. ඒත් ඒක වුණේ නැහැ. සාමාන්‍යයෙන් මම අදහස් කරන විදියට ලංකාවේ සහනාධාර බොහෝ දුරට දේශපාලන අල්ලස්. ලෝක තත්ත්වය ගත්තොත් මීට වෙනස්. එහිදී ඒ අය කරන්නේ සංවර්ධනය කිරීමට අවශ්‍ය තැනැත්තා කර්තෘ බවට පත් කිරීමයි.

ඔබේ කෘතියේ ‘පුහුණුව’ යනුවෙන් පරිඡේදයක් තිබෙනවා. විවිධාකාර පුහුණු සැලසුම් තිබෙන අපේ රටට තවත් පුහුණු කිරීම් අවශ්‍යද?

අපේ රටේ රාජ්‍ය සේවය ගත්තොත් යම්කිසි තේරීම් විභාගයකින් සමත් වුණාට, උපාධියක් තිබුණට ඔහුට ඒ වැඬේ කරන්න බැහැ. විදේශ රටවල මේ පුහුණුවේ වැඩි වගකීමක් දීලා තිබෙන්නේ ජනතාවට. ඒගොල්ල නුපුහුණු අය අරගෙන පුහුණු කරන්නේ නැහැ. පුහුණු අය තමයි ගන්නේ. එතකොට සමාජය ලර්න් සොසයිටියක් වෙලා තිබෙනවා. අපේ රටේ පරිපාලන සේවය ගත්තත්, රජයේ ලිපිකරු සේවය ගත්තත්, වෙනත් බොහෝ සේවාවන් ගත්තත්, අපි බලන්නේ බඳවාගෙන පුහුණු කරන්නයි. බටහිර තිබෙන්නේ එයාගේ හැකියා කුසලතාවන්. එතකොට හැකියා කුසලතාව තමා බලන්නේ. ඒ අය ස්වයං පුහුණු වෙලා තිබෙනවා තමන්ගේ විෂයට. එතකොට එයා අරගෙන නැවත නැවත රජයේ මුදලින් පුහුණු කිරීම අවශ්‍ය නැහැ. දැන් හිතාගන්න. පරිපාලන සේවයේ නිලධාරීන් ඉන්නවා. අවුරුදු තිහ හතලිහ වැඩ කළත් ඉංග්‍රීසි භාෂාවෙන් වැඩ කරන්න බැහැ. සමහර විට ප්‍රතිපත්ති කාරණා පිළිබඳ කතා කරන්න බැහැ. පරිපාලන සේවයේ එහෙම හැකියාවක් තිබෙන්න ඕනේ. මේවා බොහෝ දියුණු රටවල අරන් පුහුණු කරන්නේ නැහැ. ඒ අය ගත්තා පුහුණු වෙච්ච මිනිස්සු. ඒ ක්‍රමෝපාය නිසා මුළු සමාජයම ඉගෙනගන්න සමාජයක් බවට පත්වෙලා තිබෙනවා. එතකොට රැකියාවක් නැතිව සිටින විට හෝ රැකියාවක් කරද්දී වුවත් තව ඉදිරියට පුහුණු වෙලා එන්න ඕනේ. එතකොට ඔවුන් නොයෙකුත් පුහුණුවීම් කරමින් ඉන්නේ ඒ අරමුණ ඇතිව.

ඒ තරගකාරී ලෝකයේ වඩාහොඳ වියදම් ඵලදායිතාවක් තිබෙනවා. අපි කරන්නේ සේවයට බඳවාගෙන සදාකල්ම පුහුණු කිරීමයි. ඒත් ඉංග්‍රීසි බෑ.. යම් යම් දේවල් බෑ. සමහර කරුණු පිළිබඳ අදහසක් නැහැ. මෙහේ හැම අමාත්‍යාංශයකම පුහුණු බජට් එකක් තිබෙනවා. හැමදාම පුහුණු තමයි. ඒත් ඵලදායි වෙන්නේ නැහැ. අපි හිතමු රජයේ සේවයට අවශ්‍ය මෙන්න මෙවැනි පුහුණුවක් තිබෙන අය කියලා. ඔවුන් සමාජයෙන් ගැනීම රජයට ලාභදායකයි. ඒකේ වැදගත්ම දේ තමයි නිතරම ලර්නින් සොසයිටි එකක් පැවතීම. මේක තමයි මානව සම්පත් කළමනාකරණයට හොඳම ප්‍රවේශය. එහෙම වුණහම හැම කෙනාම යම්කිසි පුහුණුවක් ලබාගැනීමේ අභිලාෂයක නියුතු වෙනවා. හැබැයි පුහුණුව කියන එක මතවාදීව ඔහුගේ අයිතියක් බවට පත්වෙන්න ඕනේ. ඔහු තමයි පෙළබෙන්නේ මට අවශ්‍ය පුහුණුව මම ලබාගන්න ඕනේ කියලා.

ශ්‍රී ලංකා දේශපාලනයේ මහජන නියෝජිතයින් සම්බන්ධයෙන් මෙහිදී ඔබට තිබෙන විග්‍රහය මොන වගේ එකක්ද?

මහජන නියෝජිතයින් ඇත්තටම කතා කරන්නේ කතා කළ යුතු දේවල්ද කියන එක ප්‍රශ්නයක්. අපි අධ්‍යාපනය ගනිමුකෝ. සැබවින්ම අධ්‍යාපනයේ තිබෙන ප්‍රශ්න මොනවාද? එය සමස්තයක් විදියට ගත්තොත් විශාල සමාජ ආර්ථික ගැටලුවක්. අධ්‍යාපනයේදී ජනප්‍රිය පාසල්වලට ගැනීමේ තරගයට මව්පියෝ මොනතරම් මහන්සි වෙනවාද? මේ තුළ අල්ලස් හා දූෂණ ක්‍රියාත්මක වෙනවාද? මේ තුළ පාලකයින්, විදුහල්පතිවරුන් කොයිතරම් හම්බ කිරීමේ මාර්ගයක් බවට පත්කරගෙන තිබෙනවාද? එතකොට මේවට නීතිය කියලා එකක් තිබුණට ඒ විධියටම ක්‍රියාත්මක වෙනවද? එතකොට අධ්‍යාපනයේ මේ තත්ත්වය තුළ විශාල සමාජ අර්බුදයක් තියනවනේ. උදාහරණයක් ලෙස ළමයින්ගේ පෝෂණය හා බැඳුණු සමාජ අර්බුදයක් තිබෙනවා. ගමනාගමන විශාල අර්බුදයක්. මව්පියන්ගේ කාලය. එතකොට පුද්ගලික වෑන් රථ සංස්කෘතිය, ළමා ආචාර කතාන්දරය. ඒවා ගොඩකුත් මේ තුළ බැඳී තිබෙනවා. හැබැයි අපේ රටේ මහජන නියෝජිතයෝ මේක ගැඹුරින් විග්‍රහ කරලා මෙතනින් වෙනස් වෙන්න හිතන්නේ නැහැ.
ළමයි ඉන්න මව්පියෝ දේශපාලනඥයෝ ළඟට යනවා. දේශපාලනඥයෝ මේකට ඉතා කැමතියි. මොකද එයාටත් පොඩි ඩිමාන්ඞ් එකක් ඇවිල්ලා තියනවා මෙතන මෙතන. මේක තුළ තිබෙන අර්බුදය ජාතික වශයෙන් දිර්ඝකාලීනව අයහපත් ප්‍රථිඵල ගෙන දෙනවා. මේවා දේශපාලනඥයෝ හිතන්නේ නෑනේ. සමහර අය හිතනවා නොමිලේ දුන්න ඇඳුම් කට්ටලය මේකට වවුචර් දෙනවද සල්ලි දෙනවද කියන එක තමයි මේ ගොල්ලන්ගේ ප්‍රශ්නය. ඇත්තටම ඒවා නෙවෙයි අධ්‍යාපනයේ තිබෙන ප්‍රශ්න. සමහර අය හිතනවා අපි ගිය ආණ්ඩුව කාලේ දුන්න රෙදි කට්ටල දැන් අපි රෙදි කට්ටල් දෙකක් දෙනවා මේ රෙදි කට්ටල් දීම නෙවෙයි අධ්‍යාපනයේ ගැටලුව.

එතකොට මේ අපේ රටේ දේශපාලනඥයෝ මේ ප්‍රශ්න හැබෑවට දකිනවද? මේක දකින්නේ නැතිතාක්කල් මේ අර්බුදයේ සමාජය ගිලිලා ඉන්නවා. එතකොට මහජන නියෝජිතයෝ කතා කරන්නේ අධ්‍යාපන ප්‍රශ්නද? සෞඛ්‍යයේ තිබෙන ප්‍රශ්නද කතා කරන්නේ.

මහජන නියෝජිතයන්ට කළමනාකාරී ගතිලක්ෂණ නැති වුණහම මතුපිට දේවල් මතම තමයි මේ තීරණ ගන්නේ. ඒක වන්නේ මහජන නියෝජිතයින්ගේ අධ්‍යාපන මට්ටම අනුව. ඔහු කළමනාකරුවෙක් නොවන තාක් දුරට එය සිදු වන්නේ මතුපිට දේවල් මතමයි. ඉතිං ඔවුන්ට මේ පොත කියෙව්වොත් අපි මොනවද කතා කරන්න ඕනේ කියන කාරණාව ගැන අදහසක් එයි.

මේ සියල්ලේ අන්තර්ගතයන් තුළිනුත්, සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කර ඔබ ලැබූ අත්දැකීම් වලිනුත් අවසන් විග්‍රහයේදි කියවැන්නේ ‘ඒවා මෙහේ බෑ මචං’ කියන එකමනේ. ඉතිං ඒ ගැන මොකද කියන්න තියෙන්නේ?

සමාජය දැනුවත් කිරීමේදී නිර්භයව අපි කණ්ඩායමක් හදාගත යුතුයි. ‘ඒවා මෙහේ බෑ මචං’ කියන්නේ විශේෂයෙන් වෘත්තිකයින් තුළ තිබෙන මතයක්. වෘත්තිකයින් තුළ තිබෙන මතය මම දකින්නේ මම උත්සාහ කරපු සමහර දේවල් වලදී. එක උත්සාහයක් තමයි එක්තරා ඇමතිවරයෙක් එක්ක ඔය වගේ දෙයක් ගැන කතාකරන්න ගියහම ඔහු කීවේ මිස්ටර් දඩල්ලගේ ඕවා මෙහේ කරන්න බැහැ. තවත් අවස්ථාවකදී එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ වැඩසටහනක් ප්‍රාදේශීය ප්‍රාදේශීය ලේකම්වරුන්ට හඳුන්වාදෙන්න ගියහම ඒ අයත් කීවේ ඕවා සර් මෙහේ කරන්න බැහැනේ කියලයි. මෙහෙ ඇමතිවරුන්ට ඕනේ වෙන දෙයක්නේ කියලයි. ඒ නිසා තමයි මම කියන්නේ වෘත්තියට වෘත්තිය භාවයට විශේෂඥ දැනුමට එක්තරා විදියක දේශපාලන බලපෑමක් තිබෙනවා කියලා මම කියන්න උත්සාහ කරන්නේ. ඒ දේශපාලන අවශ්‍යතාවයට අපි සමවෙනවයි කියන එක. දැන් සමෘද්ධියෙදී දේශපාලනඥයින් මගේ වැඩසටහන පිළිගත්තේ නැතිවට එතන හිටපු නිලධාරීන් පිළිගත්තා. ඒ සමාජ විඥානය තවදුරටත් ශක්තිමත් කරමින් මේ දේශපාලන විඥානය පරිවර්තනය වේවි. ඒක තමයි සිංගප්පුරු ක්‍රමය. සිංගප්පුරුවේ ඇමති මණ්ඩලය සිටින්නේ විස්සක් විතර. මේ අය සියලු දෙනාම හොඳ කළමනාකරුවෝ. ඒ අය එතනට ගෙනාවේ කවුද? සමාජය. අපේ රටේ සිටින මහජන නියෝජිතයෝ පත් කරලා තියෙන්නේ මහජනතාවනේ. හැබැයි මහජනතාව තව ටිකක් කල්පනා කරනවා නම් මෙය හදාගන්න පුළුවන්.