විදුලි සෝපාන වලට ප්‍රමිතිය එපාද?

නිමල් අබේසිංහ

මෙයින් දින කීපයකට ඉහතදී කොළඹ නවම් මාවතේ විශාල මහල් ගොඩනැගිල්ලක විදුලි සෝපානයක් කඩාවැටී 24 වියැති යෞවනයකු අකල්හි මිය ගියේය. මෙරටේ අති විශාල දැවැන්ත මහල් ගොඩනැගිලි ඉදි කරන සමයක එවන් ගොඩනැගිලිවල විදුලි සෝපානයන්හි ඇති ආරක්ෂාව පිළිබඳ ඒවා පරිහරණය කරන්නන් මෙන්ම මුළු මහත් සමාජයේම අවධානය මේ කෙරෙහි යොමු වී තිබේ. හේතුව වන්නේ විශේෂයෙන් මෙවැනි ගොඩනැගිලිවල භාවිත කෙරෙන විදුලි සෝපාන වල ප්‍රමිතිය සේම තත්ත්ව පාලනයට ලක්වන්නේද? එසේ නොවේ නම් එවැන්නක් සඳහා කිසියම් ක්‍රියාමාර්ග තිබේද යන ගැටලුව නිරන්තරයෙන් පැවතීමය. අනෙක් අතට මෙය අහඹු සිද්ධියක් ලෙස සැලකිය හැකි නොවන්නේ දිනෙන් දින විශේෂයෙන් කොළඹ නගරය කේන්ද්‍ර කරගෙන විදුලි සෝපාන භාවිත කෙරෙන දැවැන්ත මහල් ගොඩනැගිලි ඉදිකිරීමත් රජයේ මහ නගර සංකල්පය යටතේ එවන් මහල් ගොඩනැගිලි ඉදිවීම රට තුළ තව තවත් ව්‍යාප්ත වීමත් නිසාය. ශ්‍රී ලංකාවේ සිරිත් පරිදි තවත් සතියකින් දෙකකින් මේ සිදුවීම ජනතාවගේ හා වගකිවයුත්තන්ගේ සිත් සතන්වලින් වියකී යා හැකි නමුදු මෙය ලඝු කොට සැලකිය හැක්කක් නොවන්නේය.

ජාත්‍යන්තර තත්ත්වය නම් මෙවැනි ඉදිකිරීම් මෙන්ම ඒවා අභ්‍යන්තරයේ පාවිච්චි කෙරෙන විදුලි සෝපාන වැනි යන්ත්‍ර සූත්‍ර කාලානුරූපව තත්ත්ව කළමනාකරණයකට ලක් කිරීමය. තත්ත්ව පාලන සංකල්පය සලකද්දී බොහෝ විට අපගේ නෙත සිත යොමු වන්නේ ඇඟලුම් ක්ෂේත්‍රය, ආහාර නිශ්පාදන ක්ෂේත්‍රය හා තවත් ක්ෂේත්‍ර කිහිපයක් ඇසුරේ පමණි.

මෙවන් පසුබිමක් තුළ දැවැන්ත ගොඩනැගිලිවල පවතින විදුලි සෝපාන වැනි දෑ තත්ත්ව පාලන කළමනාකරණයට බඳුන්වේද යන ප්‍රශ්නය පැන නගී.
මේ යන්ත්‍ර සූත්‍ර පමණක් නොව වාහන, ගුවන්යානා. නවුකා වැනි දේවල් පිළිබඳවත් තත්ත්ව පාලන කළමනාකරණයක් මෙරටේ සිදුකරගත හැකි ආයතන හා විශේෂඥයින් සිටිනුයේ අතිශය ස්වල්පවය.
ආර් ඒ ශාන්තිලාල් යනු තත්ත්ව පාලන කළමනාකරණයේ මෙරට සිටින ප්‍රමුඛතමයකු වේ. ඔහු දේශීය හා විදේශීයව තත් විෂය සම්බන්ධයෙන් වෘත්තීයමය විශේෂඥතාවෙන් යුත් ප්‍රාමාණිකයකුද වෙයි. කැලණිය විශ්වවිiාලයේ විiාවේදී විශේෂ උපාධිධරයකු ද වන හේ ජාතික ඉංජිනේරු විiා ඩිප්ලෝමාධාරියකු, ඇමරිකානු නිර්විනාශක වෘත්තිකයින්ගේ සංගමයේ (ASNT) සාමාජිකයකුද වෙයි. එයට අමතරව ඕස්ටේ්‍රලියාවේ Business Systems Ceritification අයතනයෙන්  ISO 9001,  ISO 14000,  ISO 1800  යන පිළිවෙලින් තත්ත්ව පාලනය, පරිසර තත්ත්ව පාලනය හා ආරක්ෂාව පිළිබඳ තත්ත්ව පාලන යන වෘත්තිය සුදුසුකම් අත්කරගත් (Lead Oditor) ප්‍රමුඛ තත්ත්ව පාලන විගණකයකු ද වෙයි. ඔහු අවසන් වරට සේවය කර ඇත්තේ ප්‍රංශයේ ජාත්‍යන්තර තත්ත්ව විගණන ආයතනයක් වන (Duro Veritas) ඩියුරෝ වෙරිටාස් ආයනයේ තත්ත්ව පාලන විගණකයකු ලෙසටය.
විදුලි සෝපාන යන්ත්‍ර තත්ත්ව පාලනය හා විගණනය සිදු කරන්නේ කෙසේද? එසේ සිදු විය යුත්තේ කෙසේද යන ප්‍රශ්න සම්බන්ධයෙන් ඔහු සමඟ සාකච්ඡා කර සැකසු ලිපියකි මේ.
විදුලි සෝපානයක් වැනි යන්ත්‍රයක් භාවිත කරද්දී එය නිසි ක්‍රමවේදයට අනුව කලින් කලට තත්ත්ව පරීක්ෂණයක් සිදු කරවා ගත යුතුය. සාමාන්‍යයෙන් ලංකාවේ එවැනි දේවල් සිදු නොවේය යන ගැටලුවක් පැවතියත් තත්ත්ව කළමනාකරණය යනු නූතන ලොවේ දැඩි ලෙස ක්‍රියාවට නංවන ක්‍රමවේදයකි. නවම් මාවතේ ගොඩනැගිල්ලේ තිබූ විදුලි සෝපානය කඩා වැටුණේ ඇයිද යන්න නිසි පරීක්ෂාවක් නොකර තීන්දුවක් දිය නොහේ.

ලෝඞ් ටෙස්ට්

එය පසෙක තබා මෙවැනි යන්ත්‍රයක් තත්ත්ව කළමනාකරණයට බඳුන් වන ආකාරය කෙසේද යන්න පැහැදිලි කළ යුතුය. යන්ත්‍රය සවි කළ පසුව ප්‍රධාන වශයෙන්ම කළ යුත්තේ මෙයට අදාළ බර ඉහළ පහළ ගෙන යාමේ හැකියාව ඇත්තේද යන පරීක්ෂාව කිරීමය. මෙවැනි සෝපානයක ගමන් කළ හැකි, රැගෙන ගිය හැකි ධාරිතාව මිනිසුන් පස්දෙනකු යැයි උපකල්පනය කළහොත් එහිදී මිනිසකුගේ බර කිලෝ ග්‍රෑම් 80ක් ලෙස සළකා යන්ත්‍රයට අවම වශයෙන් යෙදිය යුතු බර කිලෝ ග්‍රෑම් 400කි. එහෙත් පරීක්ෂාවේදී යොදාගත යුතු අවම බර කිලෝග්‍රෑම් හයසීයක්වත් විය යුතුය. එම බර සෝපානය ගමන් කරන මුළු දුරම ඉහළ පහළ රැගෙන යා යුතුවා සේම මහලෙන් මහළ නවත්වා බලා නියමිත ස්ථානවලදී තිරිංග ක්‍රියාත්මක වේද? නොඑසේනම් වෙනසක් පවතීද? යන්න පරීක්ෂා කර බැලිය යුතු වේ. නිෂ්පාදකයා විසින් මෙම යන්ත්‍රය සම්බන්ධයෙන් ලබා දී ඇති තත්ත්ව සහතිකය අනුව එය නිසි පරිදි ක්‍රියාකරන්නේද යන මූලික පරික්ෂාව මෙමගින් සිදුවනු ඇත.

විෂුවල් ටෙස්ට්

විෂුවල් ටෙස්ට් යනු ඇසින් බලා සිදුකරන පරීක්ෂාවය. ඉන් යන්ත්‍රයේ සමස්ථ පද්ධතිය පුරාම මැනවින් පරීක්ෂා කිරීම සිදු වේ. විදුලි සෝපානයක් ගතහොත් කැබින් එක එහි පතුළ ඒවායේ මවුන්ට්ස් ඉහළින් තිබෙන වානේ කොකු, වින්ච්යක් ඇත්නම් එය වින්ච්යේ විල් බෙයාරින් වළලු ඒවා ගෙවී ඇතිද, ඒවාට යොදන යකඩ බෝල කැඩී ඇතිද, මේවායින් අසාමාන්‍ය ශබ්ද මතුවේද බර පටවා ක්‍රියාත්මක කිරීමේදී ආකෘතියේ සෙලවීමක් තිබුණේද? එලයින්මන්ට් නිසිලෙස තිබුණේද? හදිසි කඩාවැටීමකදී (Fallen arrester) නවතා ගැනිමේ ක්‍රමවේදයක් තිබුනේද?යන ප්‍රශ්න වලට පරීක්ෂකයා විසින් පිළිතුරු සොයා ගැනීම කරයි.

එලෙසම අලුත් වැඩියාවන්හිදි මාරු කළ යන්ත්‍ර කොටසක් හෝ ඊළඟට මාරු කිරීමට තිබෙන උපකරණයක් තිබේද? එවැන්නක් රැගෙන විත් තවමත් ගබඩාවේ තිබේද? යන්න මෙයට අදාළ ප්‍රශ්නය.
ලිපිගොනු පවත්වාගෙන යාම

මෙවන් යන්ත්‍රවල ආරක්ෂාව පරීක්ෂා කිරීමේ ලේඛනයක් පවත්වාගෙන යාමද අත්‍යවශ්‍ය කරුණකි. එම ලේඛනයට අනුව පරීක්ෂාවන් කිරීම ග්‍රීස් තෙල් ආදිය නිසි ලෙස නිසි අවස්ථාවලදී යොදා තිබීමද අවශ්‍යය. එමෙන්ම යන්ත්‍රයකට අදාළ ලියවිලි ආරක්ෂා කර තැබීමත් ඒවා මැනවින් පවත්වාගෙන යෑමත් අනිවාර්යය. මේ ලියවිලිවල යන්ත්‍රය සම්බන්ධයෙන් නිෂ්පාදිතයා ලෙස ලබා දෙන උපදෙස් අන්තර්ගත ලියවිලිද තිබේ. ඒ උපදෙස් ක්‍රියාවට නංවා තිබේද යන්නත් තත්ත්ව පරීක්ෂකයකු විසින් කරනු ලබයි. එලෙසම මෙම පරීක්ෂාව සිදු කරන ඉංජිනේරුවරයා විසින් තම අත්දැකීම් ඇසුරින් යම් යම් දුර්වලතා හඳුනා ගැනීමටද පුළුවන.

නිර්විනාශක පරීක්ෂාව

සාමාන්‍යයෙන් පෙරදී නම් යන්ත්‍ර ගලවා බලා ඒවායේ දුර්වලතා හඳුනා ගැනීම සිදු කළද මේ වන විට එවැනි දේ සිදු නොකර පරීක්ෂණ සිදු කළ හැකිය. එම ක්‍රමවේදය හඳුන්වනුයේ නිර්විනාශක පරීක්ෂණය නමිනි. එහිදී මෙම පරීක්ෂාවන් සිදු කළ යුත්තේ කිනම් යන්ත්‍ර කොටස්ද කිනම් ස්ථානද යන්න තීන්දු කරනුයේ තත්ත්ව පරීක්ෂකයාය. සුදුසුකම්ලාභී තත්ත්ව පරීක්ෂකයා මේහා සබැඳුණු ISO සහතිකලාභියෙකි. ඔහු එකී පරීක්ෂාව තමන් ළත් එකී දැනුම අනුව සිදු කරයි.
සෝපාන යන්ත්‍රයක කේබලය නිර්විනාශක පරීක්ෂාවක් කරන්නේ නම් ඒ සඳහා නියමිත පරීක්ෂාවට (එඩි කරන්ට්) සුලි ධාරා පරීක්ෂණය යැයි කියනු ලැබේ.

තර්මල් ඉමර්ජින් කැමරා

ලංකාව තුළ එවැනි කේබල් භාවිත කරනුයේ වරායේ ක්‍රේන් වැනි උපකරණ වලය. සාමාන්‍යයෙන් සිදු වන ක්‍රමය නම් මේවා වසරකට හෝ දෙවසරකට වරක් භාවිතයෙන් ඉවත් කර අලුත් කේබල් යෙදීමය. බෝගල පතල වැනි ආයතනද අනුගමනය කරනුයේ මේ ක්‍රමවේදයමය. සාමාන්‍යයෙන් බෝගල පතල වැනි ආයතන වල භාවිත කරන කේබල් නිරන්තරයෙන්ම භාවිත වේ. එහෙත් ඔවුන් කේබල් එඩිකරන්ට් පරීක්ෂාවට ලක් නොකරයි. එයට හේතුව එම පරීක්ෂාවට යොදා ගන්නා උපකරණ වල මිල අධික වීමය. මේවා පරීක්ෂා කරන අනිවාර්්‍ය නීති රීති නැති බැවින් එවැන්නකට ආයතන හිමියෝ යොමු නොවෙති.
කැරකවෙන යන්ත්‍ර කොටස් හෝ යන්ත්‍ර පරීක්ෂාවට වයිබ්‍රේෂණ් එනලයිස් හෙවත් දෙදරිම් පරීක්ෂාව ලෙස සරලව හැඳින්වය හැකිය. ඒ අනුව ඒවායේ කම්පනයේ ස්වාභාවය හා ප්‍රමාණය අනුව පරීක්ෂා කෙරෙන යන්ත්‍රවල දුර්වලතා මෙන්ම අඩුපාඩුද හඳුනාගත හැකිවේ. විදුලිය සම්බන්ධ පරීක්ෂාව හඳුන්වන්නේ තර්මල් ඉමේජින් නමිනි. මේ පරීක්ෂණයෙන් විදුලිය සම්බන්ධ ගැටලු පරීක්ෂාවය. එනම් රත්වීම්, ගිනි ගැනීම්, ආදියයි. මෙය සිදු කරනුයේ තර්මල් ඉමේජින් කැමරාව භාවිතයෙනි.

රසායන හා මැග්නටික් පරීක්ෂා

කේබල් රඳවන කොකු, වානේ වළලු ආදියෙහි පිපිරීම් ආදිය පරීක්ෂා කිරීම සඳහා ඒවායේ පෘෂ්ඨයේ රසායනික ද්‍රව්‍යයක් ඇතුරු විට ඒවා පිපිරුම් තුළට කාවදී. ඉක්බිතිව පෘෂ්ඨය මතුපිට පිරිසිදු කර තවත් රසායනික ද්‍රව්‍යයක් ගැල්වූ විට කලින් ගැල්වූ රසායනිකය උඩට මතුවේ. කලින් ගැල්වූ රසායනිකය රතු වර්ණයෙන්ද දෙවනුව ගැල්වූ රසායනිකය සුදු වර්ණයෙන්ද යුතු බැවින් මෙය හොඳින් හඳුනාගත හැකිය.
පෘෂ්ඨය මතුපිට නොවී අභ්‍යන්තරයේ පිපුරුමක් කැඩීමක් තිබේනම් එය හඳුනාගැනීමටද ක්‍රියාදාමයක් තිබේ. ඒ මැග්නටික් නැත්නම් කාන්දම් පරීක්ෂාවය. එම පරික්ෂණයේදී යොදා ගන්නා කාන්දම් කුඩු පරීක්ෂා කරන යන්ත්‍ර කොටස් අභ්‍යන්තර පිපිරීම් තුළ එකතු වේ. ඒ වූ විට එහි පිපිරීම පරීක්ෂකයාට ලෙහෙසියෙන්ම හඳුනාගත හැකිය.

එක්ස්රේ හා අල්ට්‍රාසවුන්ඞ්

පරික්ෂාවන් ඉන් නතර නොවී ඉදිරියට කරගෙන යන්නේ නම් එක්ස්රේ හෝ අල්ට්‍රාසවුන්ඞ් පරීක්ෂාවන්ද කළ හැකිය. සමාන්‍යයෙන් මෙවැනි පරීක්ෂාවන් සිදු කරනුයේ යන්ත්‍ර හෝ යන්ත්‍ර කොටස්වල ගැඹුරු අභ්‍යන්තරයේ පවතින කැඩීම් ඉරිතැලීම් පිපිරීම් සොයා ගැනීම වෙනුවෙන්ය.

විදුලි සෝපානයක් කඩාවැටී අකාලයේ තරුණ ජීවිතයක් අහිමි වූ සිද්ධියට අදාළ විදුලි සෝපානය ගතහොත් මෙය නිරන්තරයෙන්ම පරීක්ෂාවට ලක් කළ යුතුව පවතින්නක් බව සැලකිය යුතුය. එයට හේතුව වන්නේ මෙහි පවතින්නේ සමාජ ශාලාවක් බැවින් විශාල ලෙස විදුලි සෝපානය භාවිත වීමේ ඉඩකඩ වැඩිවීමය. එවන් විටකදී සිදුවිය යුත්තේ තමන් විසින්ම සකසාගත් නිර්ණායකයක් අනුව එනම් සතියකට දෙකකට මසකට හය මසකට වරක් මේවා පරීක්ෂාවට ලක් කළ යුතු අතර ඒ අතරතුර සුදුසුකම් ලක් තත්ත්ව පරීක්ෂකයකු හෝ පරීක්ෂණ ආයතනයක් ලවා පරීක්ෂා කරගෙන තත්ත්ව සහතිකයක් ලබා ගැනීමය. මේවායේදී සාමාන්‍යයෙන් සිදුවන්නේ වසරකට වරක් තත්ත්ව සහතිකයක් ලබා ගැනීමය.

විදුලි සෝපාන සම්බන්ධ ලංකාවේ තත්ත්ව නීති

විදුලි සෝපානයක් හදිසියේ අනතුරකට ලක් වුවහොත් එහි ගමන් කරන්නන් පිළිපැදිය යුතු උපදෙස් මාලාවක් ලංකාවේ භාවිත කෙරෙන කිසිදු විදුලි සෝපානයක ප්‍රදර්ශනය කර නැති බව ප්‍රථමයෙන් කිව යුතුය.
කම්කරු දෙපාර්තමේන්තුවේ නීති අනුව වසරක් පාසා දෙපාර්තමේන්තුව විසින් නිර්දේශිත ඉංජිනේරුවකු ලවා බර ඔසවන යන්ත්‍ර පරීක්ෂා කර ගත යුතු බවට නීතියක් පවතී. විදුලි සෝපානයද ගැනෙන්නේ බර ඔසවන යන්ත්‍ර ගණයටමය.

තෘතීයක අධ්‍යාපන කොමිසම වැනි ආයතන සිය ආයතනය යටතේ පාලනය වන ආයතන තත්ත්ව පාලන ක්‍රමවේදයක් පවත්වාගෙන යන්නේද යන්න සොයා බලයි. ඉදිකිරීම් ක්ෂේත්‍රයට අදාළව ඉක්ටා ආයතනය යම් යම් ආයතන ශ්‍රේණිගත කිරීමේදීත් එම ආයතන තත්ත්ව පාලන ක්‍රමවේදයක් අනුගමනය කරනවාද යන්න සොයා බැලේ.

මෙයට අමතරව ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යංශය (SLSI) තත්ත්ව පාලනය සම්බන්ධයෙන් උන්දුවක් දක්වයි. ආරක්ෂාව වැනි කාරණාවලදී තවමත් අපේ රටේ තත්ත්ව සහතික කරනු ලබන්නේ ISO 9000

වැනි ජාත්‍යන්තර සහතික ලාභි විදේශ ආයතනයන්ය.

තත්ත්ව පාලන කළමනාකරණයට අදාළව ලංකාවේ කම්කරු දෙපාර්තමේන්තුවෙන් පනවා ඇති නීති රීති ප්‍රමාණවත් නොවේ නම් ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් නිකුත් කර ඇති නිර්දේශ සහ අවශ්‍යතාවන් අනුව ක්‍රියා කරන්නේ නම් මෙම අනතුරු වලක්වා ගැනීමට හැකියාවක් තිබේ. එවිට නියමිත ප්‍රමිතීන් පිළිපදිමින් තත්ත්ව පාලන කළමනාකරණයක් කරගෙන යෑමට විදුලි සෝපාන වැනි යන්ත්‍ර භාවිත කරන ආයතන වලට සිදුවේ. එසේ කිරීම අත්‍යවශ්‍ය වන්නේ යන්ත්‍ර සූත්‍ර විදුලි සෝපාන වැනි දෑ නිතරම භාවිත වනුයේ මිනිසුන් ඇසුරින් බැවිනි.