හොඳට නරකට දෙකට කටමය

ටිරන් කුමාර බංගගමආරච්චි

මහා උගතකු ලෙස දේශපාලනයට පිවිසි ජී.එල්. පීරිස් මහතා අද පොහොට්ටු පක්ෂයක් අටවාගෙන රාජපක්ෂවරුන්ට සෙවණ සදද්දී ඔහුගෙන් දේශපාලනය උගත් ගෝලයා වූ දයාසිරි ජයසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මහ ලේකම් බවට පත්ව ඇත.

නීතිඥයකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර දක්ෂ දේශපාලන බල්ටිකාරයෙකි. 1991දී පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවට තරග කොට වැඩිම මනාප ප්‍රමාණයක් වන 6089ක් ලබාගැනීමට සමත් වූවෙකි. 1998 වසරේ ශ්‍රී ලංකා තරුණ සම්මේලනයේ සභාපති තනතුරට චන්දිම වීරක්කොඩි සමග තරග කොට ඡන්ද 95ක් ලබා ගනිමන් තේරී පත්විය. ඉන්පසු පාර්ලිමේන්තුවට තේරී පත්වූ ඔහු එක්සත් ජාතික පක්ෂය සමග එක්ව දීර්ඝ කාලයක් දේශපාලනයේ නියැලුණි. 2013 පැවති පළාත් සභා මැතිවරණයට ඉදිරිපත්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එකතුවී වැඩිම මනාප ලබාගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වයඹ පළාත ජයග්‍රහණය කරන්නටද සමත් විය. අනතුරුව 2015 පැවති මහ මැතිවරණයට නැවත වරක් ඉදිරිපත් වූ දයාසිරි ජයසේකර ඉන් ජයග්‍රහණය කර මහින්ද පැත්තට ආයුබෝවන් කියා සිරිසේන පිල තෝරාගෙන යහපාලන ආණ්ඩුවේ ක්‍රීඩා අමාත්‍ය ධුරයද දැරීය. දැන් ඔහු නියම ශ්‍රී ලංකාකාරයෙක් වී ඇත. බණ්ඩාරනායක මහතාගේ පක්ෂයේ කිට්ටු විය නොහැකි පුටුවකට ඉතා ඉක්මනට කිට්ටු වන්නට දයාසිරිට හැකිවී ඇත.

එජාපයෙන් උපරිම දේශපාලන පන්නරය ලද දයාසිරි දේශපාලන චරිතයක් බවට පත්වන්නේ එජාපය නිසාමය. ලාංකේය දේශපාලනයට උචිත මුඛරිකම මනාව දයාසිරි සතුවත් ඇති නිසා එදා එජාපයේ සුප්‍රසිද්ධ වාචාලයකු බවට පත්වන්නට ඔහුට හැකිවිය. කතාකාරයන් හිඟ එජාපයේ දයාසිරි ඉහළටම ආවේය. ඒ නිසාම එජාපය තුළ ඔහු කැපී පෙනෙනම චරිතයක් විය. මෙහිදී කිවයුත්ත නම් ඔහු එජාපයේදී කළ කතා බොහොමයක් ඉතා හරවත් බවය. විධිමත් බවය. රනිල් නායකත්වයෙන් ඉවත් කරන සටනට සජිත්ට එළිපිට සහය වූ දයාසිරි පව්කාරයා වී ගල් පාරවල් කන තැනට එනවිට ඔහු කළේ එජාපය අතහැර මහින්ද සරණ යෑමය. එතැන් සිට ඔහු අංක එකේ බොරුකාරයෙක් බවට පත්විය. වරායේ ගලක් ඇතැයි කී දයාසිරි මහින්ද ළඟට ගොස් ගලක් නැතැයි කීවේ දේශපාලන මාරුවීමේදී ඇති ගල් නැති කළ හැකි බව සපථ කරමිනි.

දයාසිරිගේ දේශපාලන නැග්මේ බැස්ම එයය. මනාපවලින් ඔහු මතු වුවද දේශපාලන චරිතයක් ලෙස ඔහු ඇද වැටුණා යන්න හැඟීමය. රනිල් සමග සෙල්ලම් කරන්නට ඔහු එකල ළාමක වැඩිය. සජිත් අදටත් නොකරන දේ එදා ළාමක දයාසිරි කිරීම වීරකමකි. ඒ නිසාම අද ඔහුට ශ්‍රී ලංකා එකේ ලේකම් දක්වා එන්නට හැකිවී ඇත. විමල් වීරවංශ යනු කතාකාරයෙකි. ඔහුගේ කතාව නොවන්නට ඔහු දේශපාලන අනාථයෙකි. ජවිපෙන් කැඩී ගිය අනෙක අය නොපවතින්නත් වීරවංශ පවතින්නත් හේතුව කතාවය. මුඛරිකමය. වාචාලකමය.

ලංකාවේ දේශපාලනයේ මඩ ගැසීම කළ හැකි උපරිමට ඔහු ජනතාව අතර නෙළුමක් වන්නේය. ඡන්ද ලබන්නේය. වීරවංශට මෙන්ම දයාසිරිට පිහිට වූයේත් කටමය. දයාසිරිගේ නීතිඥකම හෝ වෙන කිසිවක් නොව ඔහුව රැක්කේ ඔහුගේ කටය. ඔහු කිසිදු හිරිකිතයකින් තොරව වචන භාවිත කිරීමේ රුසියෙකි. එහි තර්කානුකූලභාවයක් වෙනුවට ඇත්තේ සමච්චලයකි. අද ජනපති සිරිසේන නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උඩම ඇති දයාසිරි 2015 ඡන්දයේදී සිරිසේනට අපහාස කළ අය අතරින් දෙවැනි වූයේ වීරවංශට පමණි. අද වීරවංශත් ජනපති සිරිසේන අගයනුයේ එදා මුඛයෙන්මය. මේවා ඇත්තටම පුදුම විය යුතු කරුණු නොවේ. එහෙත් මතකයේ තබාගත යුතු කරුණුය. සිරිසේනට දයාසිරි වැලඳ ගත හැකිනම්, වීරවංශ වැලඳ ගතහැකි නම් මහින්ද රාජපක්ෂ වැලඳ ගත හැකිනම් ඒ අයටත් එය හැකිනම් ඒ අය පෙර කළ කී කතා අදාළවන්නේ කුමකටද? හිටං කියමින් දයාසිරි බැන්නේ සිරිසේනට නම් අද දයාසිරි හිටං ඉන්නේ ඒ සිරිසේන ඉදිරියේම නම් අනෙක් හුටංලාට ඇති වැඬේ කුමක්ද? ඒ නිසා ඒවා නිකං පාළු යන්නට මතක් කරන ඒවා බව කිව යුතුය.

අප කතා කළයුත්තේ දයාසිරි ජයසේකරගේ තනතුර ගැනය. තනතුර ලත්විටම ඔහු මහින්ද රාජපක්ෂට ටොක්කක් ඇන්නේය. එනම් ශ්‍රී ලංකා නම් ශ්‍රී ලංකා, පොහොට්ටු නම් පොහොට්ටු කියාය. එහෙත් පහුවදාම දයාසිරි ඒ කළ මෝඩ කතාවට මහින්ද ළඟ සමාව ගත් බව ඩිලාන් පෙරේරා මාධ්‍යයට හෙළි කළේය. චණ්ඩිකම් එලෙසම පවත්වාගෙන යා නොහැකි නම් චණ්ඩිකම් නොකර සිටීම මැනවිය. මහින්දගෙන් සමාව ගත් විට මහින්ද දුන් පිළිතුර වී තිබුණේ ලොකු තනතුරක හිඳ ගත්තහම කියන කරන දේවල් ගැනත් සැලකිලිමත් වෙන්න ඕනෑය පන්නයේ පිළිතුරකි. එහි යටි අරමුණ කටුස්සගේ කරේ රත්තරන් බැන්දා වගේ වෙන්න එපාය යන්නය.

දයාසිරි ජයසේකර ශ්‍රී ලංකා එකේ මහ ලේකම් වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් නැත්තටම නැතිවී ඇති කාලයකය. එහෙත් ඔහු ඒ තනතුරට පණක් දෙන්නට අර අඳී. ඒ හරහා පක්ෂය ගොඩ ගන්නට උත්සුක වන බව පෙනේ. දුමින්ද දිසානායකද ශ්‍රී ලංකා එකේ මහ ලේකම් විය. එහෙත් ඔහුට නැති මොකක්දෝ වටිනාකමක් දයාසිරි ජයසේකර මේ පුටුවේ හිඳගත් කල දැනේ. එයට හේතුව අඩුපාඩුකම් එමට තිබුණද දයාසිරි ජයසේකර යනු දේශපාලන ගමනක් ඇත්තකු බවය. මහින්දලා සිටියේ නම් අද ශ්‍රී ලංකා එකේ අහලකටවත් එන්නට දයාසිරිට නොහැකි වනු ඇත. එහෙත් ඒ සෝදා පාළුව නිසාම පාළු වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතිරි අය අතර දයාසිරි චරිතයකි. කට නිසා විවිධ වාරවල නාස්ති වුවද, ඔහු රැකුණේද කට නිසාමය. ඒ නිසා ඔහුට පරිස්සමට කතා කරන්නැයි කීමත් විකාරය. කෙසේ වෙතත් ශ්‍රී ලංකා එකේ හයිකාරයන් වූ එස්.බී.ලා අද ලිලිපුට්ටන් වී ඇත්තේ කතාවට සරිලන ක්‍රියාව නැතිවී කතාව වාචාලම වූ නිසා බව දයාසිරිට මතක් කළ යුතුය.

ඔහුට අද ලැබුණේ දුප්පත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයකි. සැබැවින්ම එය අද අනාථ වූ තැනකි. ඒ තුළ තනිව දයාසිරිට මහා කෙළි කළ නොහැකි විය හැක. එහෙත් දිගුකාලීන දැක්මක් සඳහා ඔහුට යමක් කළ නොහැකිද නොවේ. ඔහු දක්ෂයෙකි. ඔහුට ගමනක් යාමට නම් ඔහු දැන් දේශපාලනිකව ගැඹුරක් හදාගත යුත්තේ ඔහු දැන් පක්ෂ මහ ලේකම් කෙනකු වන බැවිනි. මහ ලේකම් ලෙස කතා කිරීමේදී ඔහු පරිස්සම් විය යුත්තේ ඔහු දෙන ලාභ ආතල් හරහා ඔහුගේ පක්ෂ ලේකම්කමද මින්මතු ඉදිරියට එන බැවිනි. රටේ කවදාහෝ නායකයා වන්නට වුව දයාසිරිගේ හිතේ ඇත. එය විය නොහැකි යැයි කියන්නට අපි අනාවැකිකාරයන්ද නොවෙමු. එහෙත් දයාසිරි ගමනක් යන්නේ නම් මේ ගමනේ ඇරඹුමය. පරණ වැරදි හදාගෙන නායකයකු ලෙස ඉදිරියට එන්නට මේ මහ ලේකම්කම මහ ලොකු දෙයකි. ජීඑල් මෙන් පක්ෂයක් අටවාගෙන පිරිසකට සෙවණ හදනවාද? එසේ නැතහොත් පක්ෂයක් ලෙස රටට යමක් කරනවාද යන්න දයාසිරි බරපතළව කල්පනා කළ යුතුය. මේ ඇරඹෙන්නේ අලුත් දේශපාලන ගමනක හෙළි පෙහෙළිවීම්ය. ඒ තුළ දයාසිරි අනාගතයේ දකින්නට හැකිවේ නම් එහි වරදක් නැත. කතාවට නම් දක්ෂ බව දයාසිරි රටටම ඔප්පු කොට හමාරය. දැන් වැඩ කරමු. මෙගාස්ටාර්ස් තරුවක් වූ දයාසිරිට එදත් කී දේ අදත් කියමු. එනම් දේශපාලන තරුවක් නොවී හොඳ දේශපාලකයකු වන්න. බැරි නැත. එහෙත් ලේසිද නැත. ඊට දයාසිරිට රූපාන්තරණය වීමට සිදුවනු ඇත. ඊළඟ මැතිවරණවලදී රනිල්ට මඩ නොගසා වැදගත් දේ කියන්න. මන්ද දයාසිරිගේ දේශපාලන ශරීරය ඇතුළේ වැඩිපුර ඇත්තේ රනිල්ගේ ජාන බැවිනි.