ත්‍රිපිටකය ජාතික උරුමයක් කිරීම: විකෘති කරන්නට ප්‍රකෘතියක් තිබේද? -ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි

ශ්‍රීලාල් සෙනෙවිරත්න

මහාචාර්ය ජයදේව උයන්ගොඩ පසුගිය වසරක පමණ කාලයක් ඉන්දියාවේ දිල්ලිවල විශ්වවිද්‍යාලයක සේවය කර තිබිණ. පසුගියදා මා හමුවූ අවස්ථාවේ ඔහු එහිදී මුහුණ දුන් අත්දැකීමක් මා හා පැවසීය. ඔහු සිටියා යැයි කීවේ ගයාවේය. එනම් සිද්ධාර්ථ තාපසයාණෝ බුද්ධත්වය ලැබූ ප්‍රදේශයේ ය. දිනක් දුරකථනයෙන් ඔහු ඇමැතූ මිතුරෙක් වාරණාසීවලට පැමිණෙන්නැයි ඔහුගෙන් ඉල්ලා තිබිණ. වාරණාසි යනු බුදුන්වහන්සේ ප්‍රථම ධර්ම දේශනාව පවත්වන ලද බවට සැලකෙන බරණැස් නුවරය. මහාචාර්ය උයන්ගොඩ සිය මිතුරාගෙන් විමසා ඇත්තේ තමන් සිටින ගයාවේ සිට වාරණාසිවලට කොපමණ දුරක් වේද යන්නයි. හැතැප්ම හාරසීයක් පමණ තිබෙන බව මිතුරා පවසා ඇත. එකිණෙහිම වාගේ තමන්ට මතක් වූයේ බුද්ධත්වයෙන් පසු සත් සතිය ආදිය ගත කොට අවසානයේ බුදුහාමුදුරුවෝ පස්වග මහණුන් හමුවීමට මේ සා විශාල දුර කතරක් ගෙවා ගමන් කොට ඇත්තේ කෙසේද යන්නය. වර්තමානයේ හැතැප්ම හාර සීයක දුරක් පහසුවෙන් ගමන් කිරීම සඳහා වන නූතන තාක්ෂණික ප්‍රවාහන පහසුකම් දියුණු රටවල තිබුණද මීට වසර දෙදහස් පන්සීයකට ඉහත ඉන්දියාවේ පැවැති තත්ත්වය හාත්පසින්ම වෙනස්ය. බෞද්ධ සාහිත්‍යයේම දැක්වෙන ආකාරයට එවක කාර්යක්ෂම ගොඩබිම් ප්‍රවාහන මාධ්‍ය අශ්ව කරත්තය ලෙස සැලකිය හැකිය. අශ්ව කරත්ත තිබී ඇත්තේ ද රජවරුන් සිටුවරුන් ආදී සීමිත ප්‍රභුවරුන් සතුව පමණි.

බුද්ධත්වයෙන් පසු බුදුහාමුදුරුවෝ පස්වග තවුසන් සොයා ගිය බව කීම පහසුය. එසේ කියන විට කිසිදු විමසීමකින් තොරව සාදු කියා පිළිගැනීමද පහසුය. එහෙත් මේ සා දුරක් බුදුහාමුදුරුවෝ ගමන් කළේ කෙසේද යන්න සැබැවින්ම ගැටලුවකි. අඩුම වශයෙන් වසර පහකට පමණ පෙර වෙන් වූ පස්වග තවුසන් මේ අවස්ථාව වන විටත් පෙර සිටි ස්ථානයේම ඒ ආකාරයෙන්ම සිටින්නේය යන්න බුදුහාමුදුරුවෝ දැනගත්තේ කෙසේද යන්නද එවැනිම ගැටලුවකි. මේ ගැටලු විසඳා ගැනීමට අපට ඇති එකම සහනය වන්නේ බුදුහාමුදුරුවන්ට ඕනෑ අවස්ථාවක ඕනෑ එකක් බලන්නට තිබුණේ යැයි කියන ඍද්ධිමය හැකියාව පිළිබඳ විශ්වාසය තැබීමය. ඍද්ධි යනු අපිට සිතා ගැනීමට බැරි දේ සිතා ගැනීමට පුළුවන් දෙයක් බවට පත් කිරීමට අපි ඊට යොදා ඇති කෙටි අතුරු මාර්ගයකි. අපට සැනසීමට ඇති එකම මාර්ගය වන්නේ බුදුහාමුදුරුවන්ට ලෝකය දකින්නට හැකි සර්වඥතා ඥානයක් තිබුණු බවට වන පිළිගැනීමය. එසේ නොවන්නට අපිට මේ ප්‍රශ්නය විසඳා ගැනීමට නොහැකිය. මේ ආකාරයෙන්ම විසඳා ගැනීමට නොහැකි තවත් ගැටලු රාශියක් ත්‍රිපිටකය සම්බන්ධයෙන් පවතී. ඒවා පිළිබඳ විවෘතව සාකච්ඡා කිරීමටත්, නිදහස්ව සිතීමටත්, තවදුරටත් විමසා බැලීමටත් අවස්ථාව තිබීම ඉතිහාස සංසිද්ධීන් පිළිබඳ වඩාත් නිවැරදි නිගමනයන් කරා එළැඹීමේදී අතිශය වැදගත්ය.

ජනාධිපතිතුමාගේ සහ මහානායක හිමිවරුන්ගේ සහභාගිත්වයෙන් පසුගියදා ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත් කිරීම සිදු කෙරෙන්නේ එසේ තිබියදීය. අසන්නට ලැබෙන ආකාරයට ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත් කොට ඇති බැවින් දැන් මට මේ අදහස් දැක්වීම කරන්නට හැකියාවක් නැත. ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත් කළ පසු ඒ පිළිබඳ විග්‍රහ, විවේචන ඉදිරිපත් කිරීමට නොහැකි වන්නේ යැයි කියන බැවිනි. ත්‍රිපිටකය විකෘති කිරීමට නොහැකි යැයි කියන බැවිනි.ඒ ගැන ජනාධිපතිතුමාද, මහා නායක ස්වාමින්වහන්සේලාද කළ ප්‍රකාශ මට අසන්නට ලැබුණි. මින් පසු ත්‍රිපිටකය ගැන විවිධ අදහස් ප්‍රකාශ කළ නොහැකි බව එහිදී අවධාරණය කෙරිණ. විවිධ අදහස් ඉදිරිපත් කළ නොහැකි යැයි කීමෙන් අදහස් වන්නේ ත්‍රිපිටකය පිළිබඳ දැක්විය යුතු යම් නිශ්චිත අදහසක් ඇති බවය. එය කවරක්ද? ඒ පිළිබඳ දැනීමක් ඇත්තේ ද නැත.

මගේ මේ අදහස් දැක්වීම මත ත්‍රිපිටකය විකෘති කළේ යැයි මා පොලිසියට ගෙනගොස් ප්‍රශ්න කළහොත් මට පොලිසියෙන් පෙරළා ප්‍රශ්න කරන්නට වෙන්නේ ප්‍රකෘතිය කුමක්ද කියාය. විකෘති කිරීමට නම් ප්‍රකෘතියක් තිබිය යුතුය. එවැන්නක් ඇත්තේ නැත. එබැවින් මගේ විශ්වාසය වන්නේ ත්‍රිපිටකය ජාතික උරුමයක් කිරීමෙන් අපේක්ෂිත ප්‍රතිඵල නොලැබෙනු ඇති බවය. එහෙත් යමකුට ලෙඩක් ඇදීමට අවශ්‍ය වූ විට මෙය ඒ සඳහා යොදාගත හැකිවනු ඇත. උදාහරණයක් ලෙස විශ්වවිද්‍යාලයට මට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වන්නට අවශ්‍ය නම් මම ත්‍රිපිටකය විකෘති කළ බවට චෝදනාවක් එල්ල කළ හැකිය. එවැනි කටයුතු සඳහා මිස වෙනත් ඵලදායී කටයුත්තක් සඳහා මෙය යොදාගත හැකිවේයැයි සිතිය නොහැකිය.

ත්‍රිපිටකයේ තිබෙන්නේ කුමක්ද? “ඒවං මේ සුතං… මා විසින් මෙසේ අසන ලදි” යනුවෙනි. එනම් බුදුහාමුදුරුවෝ කළ දේශනා සම්බන්ධයෙන් අවුරුදු හතළිස් පහකට පසුව කවුරුන් හෝ විසින් කරනු ලබන ප්‍රකාශයකි. සිදුහත් තවුසාණෝ බුද්ධත්වය ලබන්නේ වයස අවුරුදු තිස්පහේදීය. ප්‍රථම ධර්ම සංගායනාව පවත්වන්නේ ඉන් අවුරුදු හතළිස් පහකට පසුවය. බුදුහාමුදුරුවෝ ප්‍රථම ධර්ම දේශනාව වූ ධම්මචක්කපවත්තන සූත්‍රය දේශනා කරන අවස්ථාවේ බුදුහාමුදුරුවන් සමග හෝ පස්වග තවුසන් සමග හෝ එහි සිටි කිසිවෙකුත් ප්‍රථම ධර්ම සංගායනාව සිදුවන අවස්ථාවේ ඊට සහභාගි වී නොසිටි බව ඉතාම පැහැදිලිය. එසේ නම් එම සූත්‍රය ධර්ම සංගායනාවට ඇතුළත් වන්නේ පසු අවස්ථාවක කාගෙන් හෝ ඇසූ කවුරුන් හෝ විසින් ඉදිරිපත් කිරීම නිසාය. ඉතිහාස සංසිද්ධීන් අධ්‍යනයේදී මෙවැනි සාධක සැලකෙන්නේ ද්වීතියික සාක්ෂි වශයෙනි. එනම් සංසිද්ධිය හා ඍජු සම්බන්ධයක් නොමැති සාක්ෂි වශයෙනි.

බොහෝ විට අපේ ස්වාභාවයක් වන්නේ අපි නොදන්නා දේ නොදන්නවා යැයි පිළිගැනීමට ඇති අකමැත්තය. එබැවින් නොදන්නා දේ ගැනත් දන්නා සේ ක්‍රියා කරන්නෙමු. එහෙත් සත්‍ය අනාවරණය කරගැනීමට අවශ්‍ය නම් කළ යුතුව ඇත්තේ ඉතිහාස සංසිද්ධීන් පිළිගත හැකි ක්‍රමවේදයක් තුළින් අධ්‍යයනය කිරීමය. ඒ මූලාශ්‍ර අවශ්‍යය ය. මූලාශ්‍ර යනු පැවැත්ම අහෝසි වූ සංසිද්ධියකට අදාළ ශේෂයන්ය. සංසිද්ධිය සමකාලීනව නොමැති වුවද සංසිද්ධිය පිළිබඳ ශේෂ ඉතිරි වී තිබිය හැකිය. ත්‍රිපිටකය සම්බන්ධයෙන් සත්‍ය ගවේෂණයේදී අප මුහුණ දෙන ගැටලුව වන්නේ සංසිද්ධිය පමණක් නොව ඊට අදාළ ප්‍රාථමික මූලාශ්‍ර ද නොමැති වීමය.

ත්‍රිපිටකය යනු කුමක්ද? එය බිහිවූයේ යැයි කියන්නේ කෙසේද? ඊට මුල්වන “සුභද්‍රගේ අභද්‍ර වචනය” පිළිබඳ කතාව බෞද්ධ සාහිත්‍යය තුළ ප්‍රකටය. බුදුහාමුදුරුවෝ පිරිනිවන් පෑ අවස්ථාවේ සුභද්‍ර නමැති භික්ෂුව සෙසු භික්ෂූන් අමතා කළ ප්‍රකාශයක් ගැන ඉන් කියැවේ. “ඒ මහා ශ්‍රමණයාගෙන් අපි මිදුණෙමු. දැන් අපට නීති පනවන්නට කෙනෙක් නැත.” ආදී වශයෙන් එහි දැක්වේ.

ප්‍රථම ධර්ම සංගායනාව කරන්නට යන අවස්ථාවේ විවිධ ප්‍රශ්න මතුවේ. එහිදී භික්ෂු පිරිසකගේ මතය වී ඇත්තේ බුදුහාමුදුරුවෝ සිටින විට තිබුණු රෙෆරන්ස් තවදුරටත් නොමැති තත්ත්වයක් යටතේ ඉදිරියට අපි අනුගමනය කළ යුත්තේ කෙසේද යන්න සම්බන්ධයෙන් එකඟතාවක් ඇති කරගත යුතු බවය.ඒ අනුව ඉදිරියට කටයුතු කළ යුතු බවය. එහෙත් බොහෝ භික්ෂූහු ඊට එකඟ නොවූහ. අපේ ගුරුතුමා අපිට කී දේවල් අපි දන්නා නිසා අපිට ඒවා අනුව ජීවත් විය හැකි බව පවසා ඔවුන් සංඝායනාව ප්‍රතික්ෂේප කොට ඇත. එසේ කළ බහුතර භික්ෂු පිරිසක් උතුරට ගිය බව සම්ප්‍රදායේ කියැවේ. උතුරු බුද්ධාගම යනුවෙන් චීනය ආදී ප්‍රදේශවලින් හමුවන්නේ එසේ ගිය පිරිස බුදු දහම ඉදිරියට ගෙන ගිය ආකාරයය. එසේ ගිය පිරිස විශාල ප්‍රමාණයක් වශයෙන් හැඳින්වුවද ඒවාද පසුව හැදුණු කතා මිස මූලාශ්‍ර මගින් තහවුරු කරන ලද සංසිද්ධීන් නොවේ. ඇත්ත වශයෙන්ම මේ දේවල් සිදුවූයේ කෙසේද යන්න අපි කිසිවකුත් නොදනී. ඒ පිළිබඳ යම් අවබෝධයක් ලබාගැනීමට අපට සිතා බලන්නට සිදුවන්නේ අද මෙවැනි දෙයක් සිදුවුවහොත් එය කෙසේ සිදුවනු ඇත්ද යන්න විමසා බැලීමය.

සංගායනාව පවත්වන්නේ එසේ නොගොස් නැවතුණු භික්ෂූ කණ්ඩායම විසිනි. එහි ප්‍රධානියා වන්නේ මහා කාශ්‍යප හාමුදුරුවන්ය. ත්‍රිපිටකයට ඇතුළත් වන්නේ එම සංගායනාවේදී බුදුහාමුදුරුවෝ කීවේ කුමක්දැයි මතු කෙරෙන ප්‍රශ්නවලදී භික්ෂූන්වහන්සේලා දෙන පිළිතුරුය. ඒවං මේ සුතං යනුවෙන් මම මෙහෙම ඇහුවා කියා සංගායනාවට සහභාගි වූ භික්ෂූන්වහන්සේලා කළ ප්‍රකාශ ත්‍රිපිටකයේ දැක්වේ. එසේ කී ඇතැම් ඒවා එකී භික්ෂුව විසින්ම ඇසුවා විය හැකිය. එසේ නොවී ඒ භික්ෂුවද තවත් කාගෙන් හෝ අසාගත් ආකාරයද විය හැකිය. විශේෂයෙන්ම බුදුහාමුදුරුවෝ ප්‍රථම ධර්ම දේශනාව වසර හතළිස් පහකට පෙර සිදු කළ අවස්ථාවේ එහි සිටි කිසිවකුත් ප්‍රථම ධර්ම සංගායනාවට සහභාගි වී නැත. එම දේශනාව සංගායනාවට ගෙනාවේ ධර්ම භාණ්ඩාගාරික ආනන්ද හාමුදුරුවෝ යැයි සැලකුවද, උන්වහන්සේද ප්‍රථම ධර්ම දේශනාව සිදුවන අවස්ථාවේ එහි සිටි අයකු නොවේ. අනෙක් කාරණය වන්නේ ඒ වන විට ආනන්ද හාමුදුරුවන්ගේ වයසද අවුරුදු අසූවක්ව තිබීමය. එබැවින් ආනන්ද හාමුදුරුවන්ගේ මතකය පිළිබඳ යම් අපැහැදිලිතා නොතිබියේ යැයි කිව නොහැකිය. එසේ කීමට නම් එතනදිත් අපට යොදා ගන්නට වෙන්නේ විශේෂ ඥානයක් ආනන්ද හාමුදුරුවන්ට තිබුණු බව පිළිගැනීමය. ආනන්ද හාමුදුරුවන්ට ධර්ම භාණ්ඩාගාරික තනතුරක් බුදුහාමුදුරුවෝ ප්‍රදානය කොට තිබුණු බවට කෙරෙන සඳහනද බුදුහාමුදුරුවන්ගේ චරිත ස්වාභාවය විමසන්නකුට විශ්වාස කළ නොහැකිය. මෙවැනි කාරණා සඳහන් වන්නේ අට්ටකතාවලය. අට්ටකතා හදා ඇත්තේම ඔවැනි ගැප් එකක් ආ විට එය පිරවීම සඳහාය. ඕනෑම ආගමික ග්‍රන්ථවල මේ ආකාරයේ අපැහැදිලිතා දැකිය හැකිය. ඒවා සමනය කරන්නට පසුකාලීනව එක්කළ වෙනත් කතාද දැකිය හැකිය.

මෙහිදී මට පෙන්වාදීමට අවශ්‍ය මූලික කරුණ වන්නේ අපි ඵෙතිහාසික දැනුම වශයෙන් සලකන දේ කොතරම් හිඩැස් සහිත දේවල්ද යන්නය. එහෙත් බොහෝ චිත්‍රපටි, ටෙලි නාට්‍ය ආදියේදී ඒවා ඒ ආකාරයෙන්ම දෙබස් විදිහට යොදා ඇති ආකාරයත් දැකිය හැකිය. ඒවා ඒ ආකාරයටම සිදුවෙන්නට ඇති බව මේ නිර්මාණකරුවන් ද සිතන බව ඉන් පැහැදිලි වේ.මහරජ ගැමුණු නමින් නවකතාවක්ද, චිත්‍රපටියක්ද තිබේ. ප්‍රසිද්ධ නමක් ඇති මා දන්නා හඳුනන මිත්‍රයෙක් එක් අවස්ථාවක මා සමග කීවේ දුටුගැමුණු එළාර සිද්ධිය සිදුවන්නට ඇත්තේ ජයන්ත චන්ද්‍රසිරිගේ නවකතාවේ ඇති ආකාරයටම යැයි ඔහු සිතන බවය. අපිට එසේ අපි කැමැති විදිහට සිතිය හැකිය. එහෙත් එය අතීත සංසිද්ධියේ යථා ස්වරූපය සේ සැලකිය නොහැකිය.