ව්‍යවස්ථා අර්බුදයේ දේශපාලනය

ටෙරන්ස් පුරසිංහ

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්බුදය සහ දේශපාලන අර්බුදය අතර පවතින ඍජු සම්බන්ධය පසුගිය ඔක්තෝබර් 26 වැනි දින සිට ගත වූ දින 52ක කාලයක් තුළ රටේ දේශපාලන රඟ මඬලෙහි දක්නට ලැබුණු අතර මේ වන විට ව්‍යවස්ථා අර්බුදය විසඳී තිබුණද දේශපාලන අර්බුදය තවමත් විසඳී නොමැති බව පෙනේ. මෙම අර්බුදය හදිසියේ උද්ගත වුවක් නොවන අතර දිගු කාලීනව වර්ධනය වූ සමාජ දේශපාලන හේතු සාධක ඒ සම්බන්ධයෙන් බලපෑවේය.

කෘතහස්ථ දේශපාලනඥයකු වූ ජේ. ආර්. ජයවර්ධනගේ මගපෙන්වීම යටතේ සම්පාදනය වූ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ වන විට දැවැන්ත අර්බුදයකට පත් වී හමාරය. ජේ. ආර්. ජයවර්ධන විසින් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කරනු ලැබුවේ මූලික වශයෙන් 1958 දි ක්‍රියාත්මක වූ ප්‍රංශයේ පස්වැනි සමූහාණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආදර්ශයට ගැනීම මගිනි. ප්‍රංශ ආණ්ඩුක්‍රමය පූර්ණ ජනාධිපති ක්‍රමයක් නොව අර්ධ ජනාධිපති ක්‍රමයකි. එනම් අර්ධ ජනාධිපති, අර්ධ කැබිනට් ක්‍රමයකි. මේ අනුව විධායක බලය ජනාධිපති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයක් වෙත පැවරීම හේතුකොට ගෙන ද්විත්ව විධායකයක් හෙවත් මිශ්‍ර විධායකයක් නිර්මාණය විය. මෙහිදී කැපී පෙනෙන ලක්ෂණයක් වූයේ විධායකයේ නායකයා වන ජනාධිපතිවරයා ව්‍යවස්ථාධායකය තුළින් තෝරාපත්කර නොගෙන වෙනම ඡන්දයකින් තෝරාපත්කර ගැනීමයි. එහෙයින් ජනාධිපති ව්‍යවස්ථාදායකයේ සාමාජිකයකු නොවන අතර ජනාධිපතිවරයා ව්‍යවස්ථාදායකයට හෙවත් පාර්ලිමේන්තුවට වගකීමට බැඳී නොසිටියි. මින් අදහස් කරන්නේ දේශපාලන හේතුමත විධායකය (ජනාධිපති) ඉවත් කිරීමේ බලය ව්‍යවස්ථාදායකයට (පාර්ලිමේන්තුව) හිමි නොවීමය. එමගින් ජනාධිපති ධුරය වටා විධායක බලතල සංකේන්ද්‍රණය කිරීම සිදු කෙරුණි.

ප්‍රංශ ආණ්ඩුක්‍රමයේ ක්‍රියාකාරීත්වය ඇසුරින් හඳුනා ගැනීමට ලැබෙන අපූර්ව අත්දැකීමක් වන්නේ ‘සහවාස ආණ්ඩු’ ක්‍රියාකාරීත්වයයි. සහවාස ආණ්ඩුවක් යනු ජනාධිපතිවරයා නායකත්වය දරන දේශපාලන පක්ෂයට විරුද්ධ පක්ෂයක් හෝ සන්ධානයක් පාර්ලිමේන්තුවේ බහුතරය හිමිකරගත් විට එම බහුතරයේ නායකයා වෙත අගමැති ධුරය පිරිනැමීම සහ පාර්ලිමේන්තු බහුතරය තුළින් තෝරන ඇමැතිවරුද සහිතව ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් කැබිනට් මණ්ඩලය පිහිටුවීමයි. මෙහිදී ජනාධිපතිවරයාගේ දේශපාලන පක්ෂයට විරුද්ධ පක්ෂයකින් අගමැති සහ ඇමතිවරුන් පත් වුවද ප්‍රංශයේ දියුණු දේශපාලන සංස්කෘතියක් පැවතීම හේතුකොටගෙන මෙන්ම දේශපාලන පක්ෂවල දක්නට ලැබෙන ප්‍රතිපත්තිමය පරස්පරයෙන් අවම මට්ටමක පැවතීම හෙවත් මූලික කරුණු අනික් දේශපාලන පක්ෂ අතර (ප්‍රධාන පක්ෂ) වෙනස්කම් නොපැවතීමත් හේතුකොටගෙන කිසිදු ගැටුමකින් තොරව ආණ්ඩු පාලනය ක්‍රියාත්මක වීම ප්‍රංශ දේශපාලන ක්‍රමයෙහි හඳුනා ගැනීමට ලැබෙන අපූර්වතම දේශපාලන අත්දැකීමකි.

ප්‍රංශයේ පස්වැනි සමූහාණ්ඩු ක්‍රමය ආදර්ශයට ගනිමින් ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේදී සිදු වූ මූලික දේශපාලන අත්වැරැද්ද වූයේ ප්‍රංශ ආණ්ඩුක්‍රමයේ ආකෘතිය සැලකිල්ලට ගත් නමුත් ප්‍රංශයේ දේශපාලන සංස්කෘතිය හා පක්ෂ ක්‍රමයේ ස්වභාවය සැලකිල්ලට නොගැනීමයි. එනම් ප්‍රංශයේ මෙන් ලංකාවේ දියුණු දේශපාලන සංස්කෘතියක් නොපැවතීමත්, ප්‍රංශයේ මෙන් අවම ප්‍රතිවිරෝධතා සහිත පක්ෂ ක්‍රමයක් ලංකාවේ නොපැවතීමත් පිළිබඳ කරුණු සැලකිල්ලට නොගැනීමය. විශේෂයෙන්ම ලංකාවේ දේශපාලන පක්ෂවල ප්‍රතිපත්තිමය වෙනස්කම් කෙසේ වුවද ප්‍රධාන පක්ෂ දෙකේ සමාජ පදනම් අතර පවතින පරස්පරතාව අතිශයින් තීරණාත්මකය. නිදසුන් වශයෙන් දැක්වුවහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජ පදනම සිංහල බෞද්ධ ග්‍රාමීය පදනම වේ. එහෙත් එක්සත් ජාතික පක්ෂයේ සමාජ පදනම නාගරික මධ්‍යම පාන්තික හා ග්‍රාමීය ප්‍රභූ පන්තියයි. එහෙයින් ප්‍රධාන පක්ෂ දෙකේ ක්‍රියාකාරීත්වය එකිනෙකට ප්‍රතිවිරුද්ධ වේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජ පදනම වන සිංහල- බෞද්ධ ගැමි සමාජ බලවේගය මූලික වශයෙන් සිංහල ජාතිවාදී නැඹුරුවකින් යුක්ත වේ. එහෙයින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මතවාදය ජාතිකවාදී මතවාදයකි. එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර මූලික පරස්පරය මෙය වන බැවින් දෙපාර්ශ්වය සන්ධානගතවීම බරපතළ ගැටලුවකි.

ප්‍රංශ ආණ්ඩුක්‍රමයේ ආකෘතිය උපයෝගී කරගෙන 1978 ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේදී දේශපාලන ක්‍රියාදාමය පිළිබඳ දිගුකාලීන දැක්මක් තිබුණේ නැත. එහෙයින් ව්‍යවස්ථාව සම්පාදනය කළේ විධායකයේ සහ ව්‍යවස්ථාධායකයේ බලය එක් දේශපාලන පක්ෂයකට හිමිවේය යන උපකල්පනය යටතේය. 1977 මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තුවේ 5/6 බහුතරයක් හිමි වී තිබීම හේතුකොටගෙන ජේ. ආර්. ජයවර්ධන ප්‍රමුඛ එක්සත් ජාතික පාක්ෂිකයින් තුළ නිර්මාණය වී තිබූ ජයග්‍රාහී මානසිකත්වය සහ අනුපාතික නියෝජන ක්‍රමය යොදා ගැනීමෙන් පාර්ලිමේන්තුවේ බහුතරය අඛණ්ඩව එක්සත් ජාතික පක්ෂයට හිමි කරගත හැකිවේය යන තක්සේරුව හේතුකොටගෙන ලංකාවේ අර්ධ ජනාධිපති ආණ්ඩුක්‍රමය ක්‍රියාත්මක කිරීමට ජේ.ආර්. ජයවර්ධන ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ රජය පිරවර ගත්තේය.

එහෙත් අනාගතයේ යම් අවස්ථාවකදී විධායකය හා ව්‍යවස්ථාධායකය අතර ඇතිවිය හැකි ගැටුම පිළිබඳව ව්‍යවස්ථා සම්පාදකයෝ කල්පනා නොකළහ. 1978 දී සම්පාදනය කොට ක්‍රියාත්මක කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ විවේචනාත්මක අර්ථකථනයක් සිදුකළ හිටපු වමාංශික නායකයකු වූ ආචාර්ය එන්.එම්.පෙරේරා විසින් ඉතා පැහැදිලි වශයෙන් පෙන්වා දුන්නේ ජනාධිපතිධුරය එක් දේශපාලන පක්ෂයකටත් පාර්ලිමේන්තුවේ බහුතරය විරුද්ධ දේශපාලන පක්ෂයකටත් හිමි වූ අවස්ථාවකදී වත්මන් ආණ්ඩුක්‍රමය අර්බුදය කරා ගමන්කරන බවයි. එනම් ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තුව අතර ගැටුම් උද්ගත වන බවයි. එබඳු ගැටුමක් දුරදිග යාමෙන් රටේ දේශපාලන අස්ථාවරභාවයක් හටගැනීම ස්වභාවික තත්ත්වයක් වේ. 1978 මුල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පාර්ලිමේන්තුව ප්‍රථමයෙන් රැස් වී වසරක් ගතවීමෙන් පසු එය විසුරුවාහැරීමට ජනාධිපතිවරයාට බලය පවරා තිබුණේ මෙබඳු අර්බුදයකින් ගොඩ ඒම සඳහාය. මුල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි ප්‍රමුඛ උත්සාහයක් වූයේ ජනාධිපති ධුරයේ පැවැත්ම සහ ආරක්ෂාවය.
වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වූ කාල පරිඡේදය තුළ ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවේ බහුතරය අහිමි වූ අවස්ථාවන් තුනක් තිබේ. එයින් ප්‍රථම අවස්ථාව 1994 පාර්ලිමේන්තු මැතිවරණයෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ නායකත්වයෙන් වූ පොදුජන එක්සත් පෙරමුණ පාර්ලිමේන්තුවේ බහුතරය හිමිකර ගැනීමය. ඒ වන විට ජනාධිපතිධුරය හෙබවුයේ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ඩී. බී. විජේතුංග මහතාය. ඒවන විට ජනාධිපතිවරයාගේ ධුර කාලය අවසන් වෙමින් පැවති හෙයින් ඩී. බී. විජේතුංග භාවිත කළ නාමික විධායක තත්ත්වයකට පත් වී කටයුතු කළ හෙයින් ජනාධිපති සහ පාර්ලිමේන්තුව අතර ගැටුමක් ඇති වූයේ නැත.

වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ විධායකය සහ ව්‍යවස්ථාදායකය අතර ගැටුම් ප්‍රබල ආකාරයෙන් කරලියට පැමිණියේ 2001-2004 කාල පරිඡේදයේදීය. එනම් ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ දෙවැනි ධුර කාලයේදීය. 2001 මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුවේ බහුතරය හිමිකරගත් අතර අගමැති ධුරය රනිල් වික්‍රමසිංහ වෙත හිමි විය. ලංකාවේ ‘සහවාස ආණ්ඩු’ පිළිබඳ ප්‍රථම අත්දැකීම මෙය විය. කෙටි කාලයක් තුළ ක්‍රියාත්මක වූ මෙම සහවාස ආණ්ඩුව අතිශයන්ම අර්බුදකාරී ආණ්ඩුවක් විය. එයට හේතුව ජනාධිපති සහ අගමැති ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය අතර ඇති වූ නිම නොවන ගැටුම් වේ. ඒ වන විට චන්ද්‍රිකාගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වූ පොදු ජන එක්සත් පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය අතර ප්‍රතිපත්තිමය පරස්පරයක් නොතිබුණද මෙරටෙහි දේශපාලන සංස්කෘතියෙහි ප්‍රධාන පක්ෂ දෙක අතර පැවති විරුද්ධවාදී දේශපාලන සම්ප්‍රදාය හේතුකොටගෙන විධායකය හා ව්‍යවස්ථාධායකය අතර ගැටුම් උද්ගත වූ බව පෙනේ. එම ගැටුමෙන් අවසානයේදී විධායකය ජයග්‍රහණය කළේය. එනම් ජනාධිපතිවරිය විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම මගින් එම ගැටුම් අවසන් විය. ජනාධිපති ඒකාධිපතීත්වය මැනවින් විද්‍යාමාන වූ සුවිශේෂී අවස්ථාවක් වශයෙන් මෙය හදුනාගත හැකිය.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා වෙත පැවති බලය (සීමාවන්ට යටත්ව වුවද) දැඩි ලෙස විවේචනය වූයේ 2004 අත්දැකීමත් සමගය. මෙයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය මගින් අපේක්ෂා කළේ එම අර්බුදය විසඳීමට.

යහපාලන ආණ්ඩුව 2015 ජනවාරි මස 09 වැනිදා බලයට පත් වීමත් සමඟ දේශපාලන ප්‍රතිසංස්කරණය පිළිබඳ අපේක්ෂාව ජන සමාජය තුළ ඉස්මතු විය. විශේෂයෙන්ම ජනාධිපති ධුරයේ බලතල සීමා කරමින්, පාර්ලිමේන්තුව බලගැන්වීම සඳහා වූ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය මෙසේ ආරම්භ වූ අතර එහි අවසාන ප්‍රතිඵලය වූයේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමය.
ජනාධිපති ධුරය සතු අත්තනෝමතික ස්වභාවයේ බලතල අහෝසි කිරීම 19 වැනි සංශෝධයෙහි ප්‍රධාන අරමුණ විය. මෙහිදී විශේෂයෙන්ම අගමැති ගත් පත් කිරීම සම්බන්ධයෙනුත්, පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙනුත් මුල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අන්තර්ගත විධිවිධාන වලින් ජනාධිපති ඒකාධිපතීත්වය ඉස්මතු වන හෙයින් එම විධිවිධාන සංශෝධනය කිරිමට අභිනව සංශෝධනය මගින් කටයුතු කරන ලදී. මේ අනුව පාර්ලිමේන්තුවේ උපරිම විශ්වාසය හිමිකරගන්නා මන්ත්‍රීවරයා ජනාධිපති විසින් අගමැති ධුරයට පත්කළ යුතු යැයිද, පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත්‍රීවරුන්ද සහිතව 2/3 බහුතර අනුමැතියකින් ඉදිරිපත් කරන යෝජනාවක් මගින් හැර පාර්ලිමේන්තුවේ ප්‍රථම රැස්වීමේ සිට වසර 4 1/2ක් ගත වන තෙක් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිට අහිමි කිරීමේ විධිවිධාන 19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් නීතිගත කෙරුණි. එමගින් පාර්ලිමේන්තුව වඩාත් බල සම්පන්න විය. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ නියමුවා වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනය.
යහපාලන ආණ්ඩුව 2015දි පිහිට වුයේ ජාතික ආණ්ඩුවක් වශයෙනි. එක්සත් ජාතික පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීන් කණ්ඩායමක් (එක්සත් ජනතා නිදහස් සන්ධානයට අයත්) ද ආණ්ඩුවට සම්බන්ධ විය. ලංකාවේ දේශපාලන ඉතිහාසයේ ප්‍රධාන පක්ෂ දෙක අතර සම්මුතිවාදී ආණ්ඩුවක් බිහි වූ ප්‍රථම අවස්ථාව මෙය විය. මෙය පැහැදිලි වශයෙන් ලංකාවේ දේශපාලන සංස්කෘතියෙහි නුහුරු අත්දැකීමක්ද විය. මෙසේ ප්‍රධාන පක්ෂ දෙක එක් වී ආණ්ඩුවක් පිහිටුවද දෙපාර්ශ්වය අතර මතභේද හා ගැටුම් උත්සන්න විය. එහෙයින් ආණ්ඩුවේ කටයුතු මන්දගාමී වීමත්, දුර්වල තත්ත්වයට පත් වීමත් සිදු විය. මූලික වශයෙන් ගත් කල සම්මුතිවාදී ආණ්ඩුවේ සාමූහික වගකීමක් නොවීය. මේ හේතුවෙන් යහපාලන ආණ්ඩුවේ අපේක්ෂිත ප්‍රතිඵල මල්ඵල ගැන්වූණේ නැත. එසේ වුවද ජන සමාජයේ නිදහස හා අයිතිවාසිකම් තහවුරු වීම, අධිකරණයේ ස්වාධීන බව ආරක්ෂා වීම වැනි ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් පසුගිය වසර තුනහමාර තුළ ඉස්මතු වීම සිදු වී තිබේ. කෙසේ වෙතත් පසුගිය ඔක්තෝබර් 26 වැනිදා සම්මුතිවාදී ආණ්ඩුව බිඳ වැටුණි. එනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ශ්වය ආණ්ඩුවෙන් ඉවත් විය. එම අවස්ථාව උදා වූයේ ජනාධිපති සිරිසේනගේ අදෘෂ්‍යමාන මැදිහත්වීම යටතේය. මේ අනුව ජනාධිපති සිරිසේන විසින් අගමැති රනිල් වික්‍රමසිංහ ධුරයෙන් ඉවත් කොට මහින්ද රාජපක්ෂ අගමැති ධුරයට පත් කිරීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්බුදය හා එයට සමගාමීව දේශපාලන අර්බුදය උද්ගත වීය. විශේෂයෙන්ම ජනාධිපති සිරිසේනගේ ක්‍රියා කලාපය ශීලාචාර සමාජයක දේශපාලන නායකත්වයක් විසින් සිදු කරනු නොලබන අවිනීත ක්‍රියා කලාපයක් විය. නිදසුනක් වශයෙන් පාර්ලිමේන්තුවේ බහුතර සහයෝගයක් නොතිබූ ඊනියා අගමැති රාජපක්ෂ වෙත සහයෝගය ලබා ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ට අල්ලස් ලබා දීමට ජනාධිපතිවරයා මැදිහත් වීම අතිශයින් බරපතළ කාරණයකි. එමගින් ජනාධිපති ධුරයේ ගෞරවය සම්පූර්ණයෙන්ම කෙලෙසී ගියේය. එසේ වුවද ඊනියා අගමැති රාජපක්ෂගේ ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතරය හිමිකරගත නොහැකි වීම ජනාධිපති සිරිසේනට ප්‍රබල අභියෝගයක් විය. මෙහි ප්‍රතිඵලය වූයේ ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කරමින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා කටයුතු කිරීමය.

ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථා විරෝධී ක්‍රියාකලාපයට එරෙහිව ඉන්ද්‍රඛීලයක් සේ නැගී සිටීමට පාර්ලිමේන්තුවේ කතානායක කරූ ජයසූරිය කටයුතු කිරීම හේතුකොටගෙන ජනාධිපති සහ පාර්ලිමේන්තු අතර ගැටුම් වඩාත් උත්සන්න විය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අරබුදය තුළින් පැනනැගුණු මෙම දේශපාලන අර්බුදය රටේ සිවිල් යුද්ධයකට මග පාදන භයානක තත්ත්වයක් වීමට ඉඩ තිබුණි. එම වාතාවරණය තුළ පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් රාජපක්ෂවාදී මැරබලය රජ කරන්නට විය. මෙහිදී ව්‍යවස්ථා අර්බුදය විසඳීමේ කර්තව්‍ය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත බාර වූයේ යුක්තිය හා නීතිය පසිඳලීම සඳහාය. 2015 දී ආරම්භ වූ යහපාලනයේ කෙතරම් අඩුපාඩු පැවතියද එහි ප්‍රතිජානාත්මක ප්‍රතිඵලද පැවති බව පෙනී ගියේ අධිකරණයේ ක්‍රියාකලාපය තුළිනි.

පාර්ලිමෙන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා ගත් ක්‍රියාමාර්ගය නීති විරෝධි බව ප්‍රකාශ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද තීන්දුව මගින් ව්‍යවස්ථා අරබුදය විසඳුනේය. එම තීන්දුවෙන් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය වඩාත් තහවුරුවීම සිදු විය. එපමණක් ද නොව එම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් රටේ නීතියේ පාලනය සුරක්ෂිත විය. මේ අනුව නැවතත් පාර්ලිමේන්තුවේ බහුතරය සහිත අගමැතිවරයකු සහ අමාත්‍ය මණ්ඩලයක් ස්ථාපිත වී තිබේ. එහෙත් විධායකයේ ප්‍රධානියාද ආණ්ඩුවේ ප්‍රධානියාද වන ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ද පොදු ජන එක්සත් පෙරමුණේද නායකයාය. අගමැති සහ අමාත්‍ය මණ්ඩලය එක්සත් ජාතික පෙරමුණේය. මින් පෙනී යන්නේ විධායක හෙවත් ආණ්ඩුව නැවත වතාවක් ද්විබල තත්ත්වයකට පත් වී ඇති බවය.

මෙහිදී ආණ්ඩුව පාලනය ක්‍රියාත්මක කරන පාර්ශ්වයන් දෙක අතර ඒකීය අරමුණක් නොමැති අතර දෙපාර්ශ්වය අතර ඇත්තේ සීතල යුද්ධයකි. කැබිනට් මණ්ඩලය හෙවත් අමාත්‍ය මණ්ඩලයේ තීරණ ගැනීමේදී එහි ප්‍රධානියා වශයෙන් ජනාධිපති හා අගමැති අතර එකඟතාවක් ඇති නොවීමෙන් නැවත වතාවක් දේශපාලන අර්බුදය උත්සන්න වීම සිදු වනු ඇත. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසුවද ජනාධිපති සිරිසේන 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය නොතකාහරිමින් වියරු ලෙස ප්‍රකාශ කළේ රනිල් වික්‍රමසිංහ වෙත අගමැති ධුරය පිරිනැමීම සිදු නොකරන බවය. ජනාධිපතිවරයාගේ මෙම උන්මත්තක ක්‍රියාකලාපය හමුවේ පර්ලිමේන්තු බහුතරය නොසැලී ස්ථාවරව කටයුතු කළ බැවින් අවසානයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හමුවේ දණ නැමීමට ජනාධිපතිවරයාට සිදු විය. එසේ වුවද ජනාධිපති සහ අගමැති අතර සීතල යුද්ධය ඉදිරි වසර තුළ දිග හැරෙනු ඇත. ආණ්ඩුවේ ඒ ස්ථාවරභාවයට එම තත්ත්වය හිතකර නොවේ. මුදලට හා තනතුරුවලට පිල් මාරු කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අශුද්ධ සන්ධානයක් මත ආණ්ඩු බලය තීරණය වන තත්ත්වයක් වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් නිර්මාණය වී තිබීම අවාසනාවන්ත තත්ත්වයකි. එමෙන්ම එය ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වී ඇති මරු පහරකි.

වර්තමානයේ ක්‍රියාත්මක වන 1978 ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම අහෝසි කොට විධායකය හා ව්‍යවස්ථාදායකය අතර ගැටුම් හට නොගන්නා ආකාරයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථායක් අලුතින් සම්පාදනය කිරීමේ ජාතික අවශ්‍යතාව පැන නගින්නේ මේ අනුවය. ඒ සඳහා යෝග්‍යතම ආණ්ඩුක්‍රම මාදිලිය වන්නේ වෙස්මිනිස්ටර් ක්‍රමය හෙවත් කැබිනට් ක්‍රමයයි. වෙනත් වචන වලින් කිවහොත් පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයයි.
ඉදිරි මැතිවරණ වලදී මෙරටෙහි ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම සඳහා වූ පුළුල් සන්ධානයක අවශ්‍යතාව මතු වී ඇති අතර එහිදී ප්‍රධානතම සටන් පාඨය විය යුත්තේ වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අහෝසි කොට පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක් නිර්මාණය කිරීමේ නව ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයක් සිදු කිරීම සඳහා වූ සන්ධානයයි. එහිදී නියෝජන ක්‍රමය හෙවත් ඡන්ද ක්‍රමය වෙනස් කිරීම ද අත්‍යවශ්‍ය අංගයකි. ඒ සඳහා ඡන්ද කොට්ඨාස ක්‍රමය හෙවත් සරල බහුතර ක්‍රමය සහ අනුපාත ඡන්ද ක්‍රමය මිශ්‍ර කරන ලද අලුත් මැතිවරණ ක්‍රමයක් උපයෝගී කර ගැනීම සඳහා කටයුතු කළ යුතු වේ. ආණ්ඩුවේ ස්ථාවරභාවය මෙන්ම මහජන මතය විකෘති නොවන අකාරයෙන් එම මැතිවරණ ක්‍රමය සකස් කිරීම අත්‍යවශ්‍ය වේ.

වර්තමානයේදී ක්‍රියාත්මක වන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යල් පැන ගිය ව්‍යවස්ථෘවක් බවට පත්වී තිබේ. එම ව්‍යවස්ථාව තව දුරටත් සංශෝධනය කිරීම නිරර්ථක උත්සාහයක් වේ. එය තවදුරටත් සංශෝධනය කිරීමෙන් සිදු වන්නේ ආණ්ඩුක්‍රමය විකෘති වීම පමණකි. එහෙයින් පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් නිර්මාණය කිරීමේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අනාගතය සඳහා අවශ්‍ය වී තිබේ.