ජාත්‍යන්තර පාසල් ළමයින්ගේ ලකුණු ලැයිස්තුවෙන් ඉවත් කිරීම අධ්‍යාපන අර්බුදයට විසඳුමක් නොවේ.

මහින්ද හත්තක

අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් පවත්වන ජනප්‍රිය පාසල්වලට ඇතුළත් කර ගැනීමේ විභාගය, අධ්‍යාපන පොදු සහතික සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කිරීම මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය ජාලයන්ට තම ශ්‍රේණිගත කිරීම් නංවාලීම සඳහා තියුණු තරගයක් කරගත හැකි අවස්ථාවන් ය. ප්‍රතිඵල නිකුත් කිරීමත් සමග එක් එක් විෂය ධාරාවේ උසස් තැන් ලබා ගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ ඔවුන්ගේ පාසල් හඹායෑම සුලබ සිද්ධියකි. එම තත්ත්වයට අමතරව මෙවර උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීම වඩාත් ආන්දෝලනයට ලක්වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වීමට පෙර මහත් ලාභ උපයන ටියුෂන් පංති පැවැත්වීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය සහ පසුව අධ්‍යාපන ඇමතිවරයකු වූ බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා කලා විෂය ධාරාවේ පළමු ස්ථානය ජාත්‍යන්තර පාසලක අධ්‍යාපනය ලබන ශිෂ්‍යාවක් හිමිකර ගැනීම ගැන කළ ප්‍රකාශනයෙනි.

බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රකාශය ගැන විභාග කොමසාරිස්වරයා කළ පැහැදිලි කිරීම් ප්‍රතික්ෂේප කළ ඔහු නැවත වරක් තමාගේ ස්ථාවරය සනාථ කිරීමට ප්‍රවෘත්ති සාකච්ඡාවක් ද පැවැත්වූයේය. එම නිසා හිටපු අධ්‍යාපන ඇමතිවරයකු කරන මෙම ප්‍රකාශය අධ්‍යාපනය ගැන උනන්දුවක් දක්වන කාගේත් විමසිල්ලට භාජනය විය යුතුය. ඒ ඔහු සමහරවිට අනාගත රජයක අධ්‍යාපන ඇමතිවරයකුවීමට බෙහෙවින් ඉඩකඩ තිබෙන නිසාය. (තමා කිසිදිනක නැවතත් අධ්‍යාපන ඇමති තනතුර භාරගන්නේ නැතැයි ඔහු ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පවසා ඇතත් දේශපාලකයන් කියන දේ නිතර වෙනස් වන නිසා ඒ ගැන බියක් ඇති කර ගත යුතු නොවේ.)

හිටපු අධ්‍යාපන ඇමතිවරයා පවසන ආකාරයට කලා විෂය ධාරාවෙන් (මෙය අනෙක් විෂය ධාරාවන්ට ද අදාළ ය.) ඉහළම ලකුණු ලබා ගත් ශිෂ්‍යයා හෝ ශිෂ්‍යාව තේරීමේදී ජාත්‍යන්තර පාසල්වල අධ්‍යාපනය ලබා ප්‍රසිද්ධ විභාගවලට පෙනී සිටි ශිෂ්‍යයන් සහ ශිෂ්‍යාවන් ඇතුළත් කරගැනීම නීති විරෝධි වන්නේ රජයේ පාසල් මහජන මුදලින් නඩත්තු වන අතර ජාත්‍යන්තර පාසල් ධනපති මාපියන්ගෙන් මුදල් අයකර ගන්නා පාසල්වීම නිසාය. ඉන් ගම්‍යවන අදහස රජයේ පාසල්වල පහසුකම් අඩුවීම සහ ජාත්‍යන්තර පාසල්වල පහසුකම් වැඩිවීම නිසා අධ්‍යාපනයේ මට්ටම් දෙකක් පවතින්නේය යන්නයි. ජාත්‍යන්තර පාසල්වල සම්පත් වැඩි නිසා ඒවායේ අධ්‍යාපනය ලබන ළමයින්ගේ බුද්ධි මට්ටම ද උසස් ය. රජයේ පාසල්වල අධ්‍යාපනය ලබන ළමයින්ට ලැබෙන සම්පත් අඩු නිසා ඔවුන්ගේ අධ්‍යාපන මට්ටම පහත් ය. ඒ දෙක එකට සැසඳීමෙන් රජයේ පාසල්වල ළමයින්ට සිදුවන්නේ අසාධාරණයකි. එය ඔහු පවසන ආකාරයට ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියට ද පටහැනි ය.

පළමුවෙන්ම මා අධ්‍යාපන විශාරදයකු නොවන නිසා ඒ පිළිබඳ මනා දැනුමක් සහ පරිචයක් ඇති අධ්‍යාපන වෘත්තිකයන් කීපදෙනකුගෙන්ම ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ඇත්දැයි විමසුවෙමි. ඔවුන්ගේ පිළිතුර වූයේ අධ්‍යාපන ඇමති තනතුරට පත්වන එක් එක් අය හඳුන්වා දෙන වෙනස්කම් හැර තමන් දැනුවත්ව නම් එවැනි ප්‍රතිපත්තියක් නැත යන්නයි. ඔවුන්ගේ නොදැනුවත්භාවය ගැන අනුකම්පාවෙන් මා ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය ගැන සඳහනක් නොකරමි. එහෙත් ආණ්ඩුවෙන් පවත්වන ප්‍රසිද්ධ විභාගවලට ඉදිරිපත් වන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ලකුණු මට්ටම් එකට සැසැඳීම නීති විරෝධී ක්‍රියාවක් ද යන්න විමසා බැලිය යුතුය.

ප්‍රසිද්ධ විභාගයක් සඳහා කුමන හෝ විෂය ධාරාවක ප්‍රශ්න පත්‍ර සකස් කිරීමේදී එම විෂයට අදාළ විෂය නිර්දේශය සහ එහි සාමාර්ථයක් ලබා ගැනීම සඳහා අත් කරගත යුතු දැනුම් මට්ටම සැලකිල්ලට ගනු ඇත. එහිදී එක් එක් ළමයාගේ හෝ ඔහු අධ්‍යාපනය ලබන පාසලේ සම්පත් ගැන අවධානය යොමු කිරීම නිර්ණායකයක් වන්නේ නැත. පාසලේ සම්පත් ප්‍රමාණය නිර්ණායකයක් කරගන්නේ නම් ජාත්‍යන්තර පාසල් අතර මෙන්ම රජයේ පාසල් අතර විශාල පරතරයක් පවතින බව හිටපු අධ්‍යාපන ඇමතිවරයකු වූ බන්දුල ගුණවර්ධන මහතා නොදන්නේයැයි කිව නොහැකිය. පාසල්වල පවතින සම්පත් අසමානතාව නිසාම ජනප්‍රිය පාසල් සහ එසේ නොවන පාසල් යනුවෙන් රජයේ පාසල් අනියම් ආකාරයෙන් වර්ග ඇත. පස්වැනි ශ්‍රේණියේ ළමයින් ජනප්‍රිය පාසල්වලට ඇතුළත් කර ගැනීම යනුවෙන් විභාගයක් පවත්වන්නේ මෙම වෙනස නිසාය. මෙම විභාගයේදී ජනප්‍රිය පාසලකට ළමයින් ඇතුළත් කර ගැනීමේ ලකුණු මට්ටම තම ළමයාට ද අත්කරදීමට මාපියන් නොගන්නා උත්සාහයක් නැත. එය කෙතරම් උත්සන්නව ඇත්තේදයත් ළමයින් වධ හිංසාවට පත් කිරීමක් ලෙස හැඳින්විය හැකි මට්ටමට ළඟාවී ඇත. මින් පැහැදිලි වන ආකාරයට රජයේ පාසල් අතර පවා සම්පත් අතින් විශාල වෙනස්කම් පවතින නිසා රජයේ පාසල්වල ශිෂ්‍ය ශිෂ්‍යාවන් හෝ එකම ලකුණු ලැයිස්තුවකට ඇතුළත් කිරීම කිසිම ආකාරයකින් සාධාරණ නොවේ. එවැනි තත්ත්වයක් යටතේ ජාත්‍යන්තර පාසල් පමණක් වෙන් කර ගෙන දොස් දැක්වීම සැබෑ ප්‍රශ්නය මග හැර යෑමට ගන්නා උත්සාහයකි.

අනිත් අතට මහජන මුදල්වලින් නඩත්තු වන පාසල් හා ජාත්‍යන්තර පාසල් අතර වෙනසක් දැක්වීම අධ්‍යාපන ප්‍රතිපත්තිවලට කිසිසේත් ගැළපෙන්නේ නැත. ජාත්‍යන්තර පාසල්වලින් සහ අනෙකුත් පාසල්වලින් තැනෙන්නේ අනාගත පුරවැසියන් නිසා ඔවුන්ට නිසි ශාස්ත්‍රීය සහ ශිල්පීය දැනුමක් ලබාදීම පවතින රජයේ යුතුකමකි. ඒ ගැන විමසිලිමත්ව නිසි ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ගැනීම රජයක වගකීමකි. අධ්‍යාපනය ලාභ උපදවන ව්‍යාපාරයක් නොවිය යුත්තේ එම නිසාය. එය ආයෝජනයක් වන නමුත් එහි ප්‍රතිලාභය වන්නේ ආයෝජකයාගේ සාක්කුවට එක්වන රුපියල් ශත නොවේ. රටේ ආර්ථික සුභ සිද්ධිය මෙන්ම සමාජ චර්යාවන්, එනම් භේදයකින් තොරව සමාජයේ සියලු දෙනාටම සාධාරණ අවස්ථා සැලසීම තීරණය වන්නේ එසේ බිහිවන පුරවැසියන් මතය. ප්‍රශස්ත අධ්‍යාපනයකින් එවැනි සමාජයක් බිහිවන්නේ නම් රටේ දේශපාලකයන් වන්නේ ද ප්‍රශස්ත ගති පැවතුම් ඇති අයයි. මහජන සම්පත් කොල්ලකෑම විනෝදාංශයක් කර ගත් කපටි දේශපාලකයන්ට එවැනි සමාජයක අවකාශයක් ලැබෙන්නේ නැත.

අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අධීක්ෂණයක් හෝ නියාමනයක් නැතිව පාසල් පද්ධතියක් පවත්වාගෙන යෑම ද නිදහස් අධ්‍යාපනයට මෙන්ම අධ්‍යාපනයේ මූලධර්මවලට පවා පටහැනිය. ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වන ජාත්‍යන්තර පාසල් නෛතික අනන්‍යතාව ලබාගන්නේ සමාගම් ලෙස ලියාපදිංචිවීමෙනි. නව ලිබරල් ආර්ථිකය සමග ව්‍යවහාරයට පැමිණි ජාත්‍යන්තර පාසල් පරිපාලනය උනන්දු වන්නේ තම ලාභය උපරිම කරගැනීම විනා ළමයකු වගකීමෙන් යුත් පුරවැසියකු බවට පත්වීමට අවශ්‍ය ශාස්ත්‍රීය සහ ශිල්පීය දැනුම ලබාදීම නොවේ. ශාස්ත්‍රීය සහ ශිල්පීය දැනුම ලබා දෙන්නේ තවත් වෙළෙඳ භාණ්ඩයක් ලෙසින් පමණි. මේ තත්ත්වය නිවැරදි කිරීමට බන්දුල ගුණවර්ධන මහතා අධ්‍යාපන ඇමති වශයෙන් ගත් ක්‍රියාමාර්ග පැහැදිලි කරන්නේ නම් එය ශිෂ්‍යාවකගේ කාර්ය සාධනය ගැන කෙරෙන විවේචනයකට සීමා විය යුතු නැත.

ක්‍රියාකාරී දේශපාලනයට පිවිසීමට පෙර බන්දුල ගුණවර්ධන මහතාගේ වෘත්තිය වූයේ දැනුම විකිණීම ය. එම කාර්යෙහි ඉතාමත් දක්ෂයකු වූ ඔහුට ටියුෂන් පංතිවලට වලට අමතරව පාසල් පද්ධතියක් ආරම්භ කිරීමට ද ආර්ථික ශක්තියත් පරිපාලනමය හැකියාවත් තිබිණ. ඇත්තෙන්ම ඔහුට අධ්‍යාපන ඇමතිකමක් ලැබීමට ද එම අත්දැකීම් ඉවහල් වන්නට ඇත. එවැනි පසුබිමක් තුළ ඔහු ශිෂ්‍යයන්ගේ කාර්ය සාධනය ඇගයීමේදී ජාත්‍යන්තර පාසල් ඊට ඇතුළත් කර ගැනීම නිදහස් අධ්‍යාපනය කප්පාදු කරන බරපතළ වරදක් සේ දකින්නේ අතීතය සම්පූර්ණයෙන්ම අමතක කර දමා ය. ඔහුගේ ටියුෂන් පන්තියකට ගිය මහජන මුදලින් නඩත්තු වන රජයේ පාසලකින් උසස් පෙළ විභාගයට පෙනී සිටි ශිෂ්‍යාවක් මෙම කාර්ය සාධනය අත්කර ගත්තේ නම් බන්දුල ගුණවර්ධන මහතා ඊට විරුද්ධ වන්නේද?

රජයේ පාසලකින් මූලික අධ්‍යාපනය ලත් බන්දුල ගුණවර්ධන මහතා දිගටම නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කිරීමට කැපවන බව පැවසීම සතුටට කරුණකි. එහෙත් නිදහස් අධ්‍යාපනය රැකගැනීම වේදිකාවේ කරන කතාවකට සීමා විය යුතු නැත. ඒ සඳහා ජාතික ප්‍රතිපත්තියක් සහ වැඩපිළිවෙළක් තිබිය යුතුය. බි්‍රතාන්‍ය පාලකයන්ගෙන් නිදහස ලත් පළමු දශක කීපය තුළ ලංකාවේ පාසල් අධ්‍යාපනය, විශේෂයෙන්ම සාක්ෂරතාව නඟා සිටුවීමට ශක්තිමත් වැඩ පිළිවෙළක් තිබුණ නිසා ආසියාවේ සෙසු රටවල් හා සැසඳීමේදී ශ්‍රී ලංකාව අගය කළ යුතු ජයග්‍රහණයක් අත්කර ගැනීමට සමත් විය. හැටේ දශකයේදී සියලු පාසල් රජයේ පාලනය යටතට ගත්තේ ද අධ්‍යාපනය රජයේ වගකීමක් විය යුතු නිසාය. ඒ අවස්ථාවේදී ආගමික ආයතන මගින් පාලනය වන පාසල් කීපයක් රජයට ලබා නොදී ස්වාධීනව පවත්වා ගැනීමට එම ආයතන තීරණය කළ නමුත් සමස්ත පාසල් පද්ධතියට එහි බලපෑමක් වූයේ නැත. එහෙත් පසුකාලීනව ආණ්ඩුව අධ්‍යාපනය ප්‍රමුඛතාවක් ලෙස දුටුවේ නැත. 2009 දී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2.05ක් අධ්‍යාපනය වෙනුවෙන් වැය කළ ද 2013 දී එය සියයට 1.62 දක්වාද ඉන් පසුව 2014 දී 1.93 දක්වාද පහත වැටුණි. ඒ අධ්‍යාපනය සඳහා දළ ජාතික නිෂ්පාදිතයෙන් අඩුම වශයෙන් සියයට හයක් හෝ වෙන් කළ යුතුයැයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළත් විශාල ජන කොටසක් ප්‍රබල උද්ඝෝෂණයක් පැවැත්වූ තත්ත්වයක් තුළය. කලාපයේ සෙසු රටවල් හා සසඳන විට ද මෙය ඉතාමත් පහත් අනුපාතයකි. රටේ සංවර්ධනය ගැන කතා කළ ද වෙනස්වන ලෝකයට මුහුණදීමට සමත් පරපුරක් බිහිකිරීම දේශපාලකයන්ගේ ප්‍රමුඛතාවක් නොවන නිසා අධ්‍යාපනය ගැන සැලකිලිමත් වූයේ නැත.

අධ්‍යාපනය වෙනුවෙන් ආයෝජනය කිරීම වෙනුවට පාලකයන්ගේ අවධානය යොමුවූයේ රටේ සමස්ත සංවර්ධන ප්‍රතිපත්තියේ අනිටු ඵලයක් වූ අභ්‍යන්තර යුද්ධයට මුහුණ දීම සඳහා ආරක්ෂක අංශ තර කිරීම ය. නිල වශයෙන් 2009 දී ත්‍රස්තවාදය පරාජය කළත් රජය දිගටම යුද සූදානම සඳහා වැඩි වැඩියෙන් වියදම් කෙළේය. 2014 වසරේ දී රජයේ අයවැයෙන් සියයට 19.9ක් වැය කෙළේ ආරක්ෂක කටයුතු සඳහාය. එම අයවැයෙන් අධ්‍යාපනය සඳහා සියයට 2.5ක් හා උසස් අධ්‍යාපනය සඳහා වෙන්කර තිබුණේ සියයට 1.9ක් පමණි. ආණ්ඩුවේ පාසල්වල අධ්‍යාපනයේ ගුණාත්මකභාවය වැඩි කිරීම සඳහා සිදුවූයේ බෝඞ් ලෑලි මාරු කිරීම පමණි. ජාතික සහ ජාතික නොවන වශයෙන් පාසල් වර්ගීකරණයක් සිදුවූයේ ඒ අනුවය.

අධ්‍යාපනයේ පිරිහීම රටේ සෑම අංශයකම දක්නට ලැබෙන ව්‍යාධියකි. මෙම තරගකාරී තත්ත්වය යටතේ ඉතාමත් අපහසුවෙන් විභාග සමත් වුවද ඔවුන්ගෙන් සැලකිය යුතු කොටසක් ජන සමාජයට ප්‍රයෝජනවත් පුරවැසියන් වන්නේ නැත. උසස්ම වෘත්තියක් වන සෞඛ්‍ය ක්ෂේත්‍රයට පවා තෝරා ගැනීමේදී එකම නිර්ණායකය වන්නේ ලකුණු මට්ටමයි. පවතින අධ්‍යාපන ක්‍රමය අනුව ඒ සඳහා වෙනත් නිර්ණායක යොදා ගැනීමේ අවකාශයක් ඇත්තේ ද නැත. මේ නිසා ජනතාවගේ නිරෝගීභාවය සුරැකීම වෙනුවට මුදල් ඉපැයීම එකම අරමුණු කර ගත් පිරිස් ද වෛද්‍ය වෘත්තියට ඇතුළත්ව සිටිති. වාණිජකරණයට ලක්වූ මෙම පිරිස් අද ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය තීරණය කිරීමේ ප්‍රබල සාධකයක් බවට පත්ව ඇත.

එමෙන්ම මෙම අධ්‍යාපන ක්‍රමය තුළින් ආචාර්යවරු මහාචාර්යවරු බිහිවුවද ඔවුන්ගේ දැනුම කෙතෙක් දුරට වැඩදායි ද යන්න ද සැකයකි. නිදසුනක් වශයෙන් පසුගියදා නීතිය පිළිබඳ මහාචාර්යවරු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන කළ විග්‍රහ නීතියක් හෝ රීතියක් නැති වල්පල් බව ඔප්පු විය. ඔවුන්ගේ උපාධි සහ අනෙකුත් සුදුසුකම් තම මුග්ධභාවය වසා ගැනීමේ කඩතුරා බවට පත්ව ඇත. මෙම තත්ත්වයට පවතින අධ්‍යාපන ක්‍රමය පැහැදිලිවම වගකිව යුතුය. සමස්තයක් වශයෙන් ජනතාවට බුද්ධිමත් සහ නිවැරදි තීරණ ගැනීමට අවශ්‍ය දැනුම සහ පරිචය අධ්‍යාපන ක්‍රමයෙන් නොලැබෙන්නේ නම් එය මහත් විනාශයකට පාර කැපීමකි.

එම නිසා ප්‍රසිද්ධ විභාගවලදී ශිෂ්‍යයන්ගේ කාර්ය සාධනය ඇගයීමේදී ජාත්‍යන්තර පාසල්වල අධ්‍යාපනය ලබන ශිෂ්‍යයන් ද ඊට ඇතුළත් කරගැනීම නැවැත්වීමෙන් පමණක් නිදහස් අධ්‍යාපනයේ අරමුණු සහ පරමාර්ථ ඉටුකර ගත නොහැකිය. වර්තමාන ලෝකයට ගැළපෙන නිදහස් නිවහල් පරපුරක් ගොඩ නැගීමට ඉවහල් වන ආකාරයට අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුතුය. සමානත්වය සහ සමාජ සාධාරණත්වය පවතින රටක වැදගත් වන්නේ අධ්‍යාපනය ලැබුවේ රජයේ පාසලකින්ද වෙනත් තැනකින්ද යන්න නොවේ. සමාජයේ සහ ජීවිතයේ අභියෝගවලට මුහුණදීමට හැකි ද යන්නයි. එවැනි අර්ථයකින් නිදහස් අධ්‍යාපනය යන්නෙන් අදහස් වන්නේ නොමිලයේ අධ්‍යාපනය ලබාදීම පමණක් නොවේ. සියලු ආකාරයේ අගතින්ගෙන් මිදුණ ජීවිතයේ අභියෝගවලට නොසැලී මුහුණදීමට හැකි පරපුරක් බිහිකිරීමට ඉවහල් වන අධ්‍යාපනයක් සැබැවින්ම නිදහස් එකකි. එවැනි අධ්‍යාපන ක්‍රමයක් බිහිකිරීම සඳහා බන්දුල ගුණවර්ධන මහතා වැනි දේශපාලකයන් මුල්තැන ගන්නේ නම් ජාත්‍යන්තර, ජාතික වශයෙන් පාසල් වර්ග කිරීමක් අවශ්‍ය නොවනු ඇත.