දෙවැනි නිදහස් අරගලය (V) අල්ලස හා දූෂණයේ මූල

වික්ටර් අයිවන්

මා මෙම ලිපියෙන් සාකච්ඡාවට ලක් කරන්නේ ලංකාවේ රාජ්‍යය වෙලාගෙන තිබෙන අල්ලස හා දූෂණයේ මූල ගැනය. මහජනයා ක්‍රියාකාරී ලෙස සම්බන්ධ කර නොගන්නා පාලක පක්ෂයට හෝ විධායකයට සීමා කළ ව්‍යවස්ථා සම්පාදනයකින් දූෂණය තුරන් කළ නොහැකිය යන්න මගේ නිගමනය වන අතර මහජනයාට බර තබා සකස් කෙරෙන ව්‍යවස්ථා සම්පාදනයකදී දූෂණය තුරන් කිරීම සඳහා යොදාගත හැකි විධිවිධාන හා ක්‍රමවේද ගැන ඊළඟ ලිපියෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමි.

නැපෝලියන් හා ලංකාවේ වස්තු කොල්ලය

අල්ලස හා දූෂණය ලංකාවේ රාජ්‍යයේ හා එහි ආයතන ක්‍රමයේ ශරීරය පුරා ඔඩුදුවා ගොස් තිබෙන රටේ සාරය උරාබොමින් රට හපයක් බවට පත්කිරීමට හේතුවී තිබෙන බිහිසුණු පිළිකාවක් ලෙස සැලකිය හැකිය. ලංකාවේ අල්ලස හා දූෂණයේ ඇතිවී තිබෙන අතිවිශාල වර්ධනය ස්වාභාවිකව ඇතිවී තිබෙන දෙයකට වඩා 1977 සිට වර්තමානය දක්වා රාජ්‍ය පාලකයන් විසින් වගා කොට පෝෂණය කිරීම නිසා ඇතිවී තිබෙන අවලස්සන හා විනාශකාරී වසන්ගත තත්ත්වයක් ලෙස සැලකිය හැකිය.

2015 ජනාධිපතිවරණයේදී වැඩියෙන්ම කතාබහට ලක්වූ මාතෘකාව ලෙස සැලකිය හැක්කේ අල්ලස හා දූෂණයයි. මතධාරී තලයේදී මහින්ද විරෝධී න්‍යායවාදීන් කරන ලද විග්‍රහයන් තුළ මහින්ද රාජපක්ෂ පෙන්නුම් කෙරුණේ මහා පරිමාණයේ දූෂණය රටට හඳුන්වා දුන් පළමු රාජ්‍ය නායකයා ලෙසය. ඒ නිසා ඔහුගේ පූර්වගාමී රාජ්‍ය නායකයන් මහජනයාට පෙනුණේ ඉතාමත් පිරිසිදු හොඳ නායකයන් ලෙසය. ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලන කාලය අල්ලස හා දූෂණය උපරිම මට්ටමකට වර්ධනය වූ කාලයක් ලෙස සැලකය හැකි වුවත්, රාජ්‍ය මට්ටමෙන් සිදුවන මහා පරිමාණයේ දූෂණය රටට හඳුන්වා දුන් පාලකයා ලෙස සැලකිය හැක්කේ ජනාධිපති ජයවර්ධනය. රටේ සියලු නායකයන් අතුරින් අවංක අභිලාෂයක් තිබුණේ වී නම් ලංකාව හරි මාවතට ගනිමින් අතිවිශාල දියුණුවක් ඇති කිරීමට පුළුවන්කම තිබුණු ඒ සඳහා අවශ්‍ය දැනුම, කුසලතාව, උගත්කම, පැසුණු බව හා ධෛර්යය තිබුණු නායකයා ලෙස සැලකිය හැක්කේද ජනාධිපති ජයවර්ධනය. එහෙත් ඔහු රටට වඩා තමාට වැඩි වැදගත්කමක් ලබාදීම නිසා රටේ ගැලවුම්කාරයා වීමේ හැකියාව ඔහු අහිමි කරගත්තේය.

ජේ.ආර්. ජයවර්ධන චරිතය කෙරෙහි වැඩියෙන්ම බලපෑ චරිතය වූයේද ඔහුගේ පරමාදර්ශීය වීරයා වූයේද නැපෝලියන්ය. එහෙත් රටේ අවාසනාවට ඔහු නැපෝලියන් චරිතයෙන් ඉගෙන ගෙන තිබෙන්නේ හොඳම දේවල් නොව නරකම දේවල්ය. නැපෝලියන් සැලකිය හැක්කේ කුලී හමුදාවක් යොදා ගනිමින් රටවල් අල්ලා ගනිමින් මහා අධිරාජ්‍යයක් ගොඩනගා ගැනීමට උත්සාහ කළ කිසියම් විශාල ප්‍රමාණයකට එම අභිලාෂය සපුරා ගත් රණකාමී නායකයකු ලෙසය. එහිදී නැපෝලියන් තමන්ගේ කුලී සෙබළුන්ට අල්ලා ගන්නා රටවල වස්තුව කොල්ල කන්නට ඉඩ දුන්නේය. එය නැපෝලියන් සිය හමුදා භටයන්ගේ ආක්‍රමණකාරී හා රණකාමී ජීව ශක්තිය පවත්වාගෙන යෑම සඳහා යොදා ගත් විශේෂ ක්‍රමයක් විය.

ජේ.ආර්. ජයවර්ධන ජනාධිපති ක්‍රමයක් ඇති කොට ඒ දක්වා පාර්ලිමේන්තුව භුක්ති විඳි උත්තරීතර තත්ත්වය නැති කොට රාජ්‍යයේ සකලවිධ බලය සමග උත්තරීතරභාවයද තමන් වෙත හිමිකර ගනිමින් පාර්ලිමේන්තුව ජනාධිපතිවරයාගේ රබර් මුද්‍රාවක් බවට පත් කළේය. පාර්ලිමේන්තුව හා එහි මන්ත්‍රීවරුන්ට තිබුණු බලය හා පිළිගැනීමට අහිමි කිරීමට හේතුවන ලෙස ඇති කරන ලද එම වෙනස මන්ත්‍රීවරුන්ගේ විරෝධයට හේතුවී කැරැල්ලක් ඇතිවීම වළකා ගැනීම සඳහා නැපෝලියන් කුලී හමුදාවකට ලබාදී තිබුණු වරය හෙවත් වස්තුව කොල්ලකෑමේ අයිතිය ජනාධිපති ජයවර්ධන විසින් පොදුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද ලබාදෙන ලදි.

වාන් දොරටු ඇරීම

මන්ත්‍රීවරුන්ට රජය සමග ව්‍යාපාර කිරීම සපුරා තහනම් දෙයක් ලෙස සැලකීම එතෙක් ලංකාවේ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ ක්‍රමය විය. හොර රහසේ රජය සමග ව්‍යාපාර කරන මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රීකම් අහිමි කරන ක්‍රමයක්ද ක්‍රියාත්මක විය. එය ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමයක් ක්‍රියාත්මක වන හැම රටකම පාහේ ක්‍රියාත්මක වන ක්‍රමයක් ලෙසද සැලකිය හැකිය. ඒ අනුව මන්ත්‍රීවරුන්ට රජයේ කොන්ත්‍රාත්කරුවන් ලෙස ක්‍රියා කිරීම, සැපයුම්කරුවන් ලෙස ක්‍රියා කිරීම, ව්‍යාපාරික මට්ටමෙන් රජයේ බලපත්‍රකරුවන් ලෙස ක්‍රියා කිරීම, රජයේ දේපළ මිලදී ගන්නන් ලෙස ක්‍රියා කිරීම හෝ රජයට දේපළ විකුණන්නන් ලෙස ක්‍රියාකිරීම තහනම් විය. 1977 පාර්ලිමේන්තු මැතිවරණයෙන් ගාල්ල ආසනයට එජාපයෙන් තේරී පත්වූ ඇල්බට් සිල්වාගේ මන්ත්‍රී ධුරය අධිකරණය විසින් අහිමි කරන ලද්දේ ඔහුගේ නමට නිකුත් කළ භූමිතෙල් බලපත්‍රයක් තිබීම නිසාය.

ජනාධිපති ජයවර්ධන ඊට අදාළ නීතිය අහෝසි කළේ නැතත් සම්ප්‍රදායේ පැවැත්ම අහෝසි කොට නීතියද ක්‍රියාත්මක නොවන තත්ත්වයකට පත් කළේය. ඒ මගින් ජනාධිපතිවරයා විශේෂ වශයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ආණ්ඩුව සමග ව්‍යාපාර කිරීමේ නිදහස හා අයිතිය ලබාදෙන ලදි. ඒ නිසා මන්ත්‍රීවරුන්ට ආණ්ඩුවේ කොන්ත්‍රාත්කරුවන් ලෙස ක්‍රියා කිරීමේ, සැපයුම්කරුවන් ලෙස ක්‍රියාකිරීමේ, බලපත්‍රලාභීන් ලෙස ක්‍රියා කිරීමේ, රජයේ දේපළ මිලදී ගන්නන් හා රජයට දේපළ විකුණන්නන් ලෙස ක්‍රියාකිරීමේ හැකියාව ලැබුණි.

ආරම්භක අවස්ථාවේදී එම ක්‍රියාවලියට එකතුවීමට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට විලිබියක් තිබුණේ නම් එය නැති කිරීම සඳහා ඊට ගැළපෙන පූර්ව ආදර්ශයක් ලබාදීමටද ජනාධිපතිවරයා මැලි නොවීය. ඔහු තමන්ට හිමිව තිබූ නිසරු පොල් වත්තක් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට දී එම කොමිසම සතුව තිබූ හොඳම පොල් වත්තක් තමන් වෙත හිමිකර ගත්තේය. ජනාධිපති ජයවර්ධන වස්තුව කෙරෙහි ලොකු කෑදරකමක් තිබූ කෙනකු ලෙස සැලකිය නොහැකිය. ඔහු කෑදර වූයේ බලයට මිස වස්තුවට නොවේ. ඒ නිසා ඔහු ඒ වරද කරන්නට ඇත්තේ එතෙක් බරපතළ වරදක් ලෙස සලකන ලද එම ක්‍රියාවට එකතුවීමට චකිතයක් තිබුණු අය වී නම් ඔවුන්ගේ බය නැති කොට ඔවුන් ඊට පොළඹවාලීම සඳහා විය යුතුය.

ජනාධිපතිවරයා සිය දේශපාලන සහචරයන්ට දෙන ලද ආදර්ශයත් සමග කොල්ලකෑමේ පෙරහැර ආරම්භ වී එය මහා පරිමාණයෙන් සිදුවන දෙයක් බවට පත්විය. ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් හා මන්ත්‍රීවරුන් පමණක් නොව, එම පක්ෂයට සම්බන්ධ රාජ්‍ය නිලධාරීන්ද ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම සතුව තිබුණු ඉතා අගනා ඉඩම් ඒවාහි තිබුණු වතු, බංගලා වැනි අගනා ගොඩනැගිලි සමග නාමමාත්‍රික මිලකට මිලදී ගනිමින් වතු වැවිලිකරුවන් බවට පත්විය. සටකපට දැනුමක් නැති අය අක්කර 50 සීමාවට යටත්වද, සටකපට අය හදිසියේ හදාගත් සමාගම් නමට ඉඩම් අක්කර දහස් ගණනින්ද, දීර්ඝකාලීන බදු පදනමක් මත ඉඩම් ලබා ගත්හ. ඒ සමග තවත් සමහරෙක් ආණ්ඩුවේ ලොකු කොන්ත්‍රාත්කරුවන් ලෙසද, බලපත්‍රලාභී ගල් වැලි ජාවාරම්කරුවන් ලෙසද, රජයේ ආයතනවලට භාණ්ඩ සපයන ලොකු සැපයුම්කරුවන් ලෙසද ක්‍රියාකරන්නට වූහ.

රට හප කිරීම

ආර්ථිකයේ මේ අංශවල දේශපාලන බලයක් හා දේශපාලන අනුග්‍රහයක් ඇති අය අතගසන්නට වීම නිසා ඒ අංශවල නීතිය ක්‍රියාත්මකවීම බිඳ වැටී එම ව්‍යාපාරවලින් ඔවුන්ට අයුතු ලාභ ලැබීමට තිබෙන හැකියාව වර්ධනය වී රජයට පාඩු සිදුවීමද වර්ධනය කළේය. ජේ.ආර්. ජයවර්ධනගෙන් පසු බලයට පත්වන සියලු ජනාධිපතිවරුන්ද, ජයවර්ධන ජනාධිපතිවරයා හඳුන්වා දෙන ලද දූෂිත ක්‍රමයට තව තව අලුත් අංගද එකතු කරමින් ඉදිරියට ගෙන ගියේය. ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග කාලයේදී මත්පැන් බලපත්‍ර ලබාදෙන ලද්දේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් හරහාය. නිකුත් කරන ලද බලපත්‍ර සංඛ්‍යාව 1200කට වැඩි විය. ඒ ක්‍රමය නිසා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් අන් ව්‍යාපාර මාර්ගවලට අතිරේකව ඍජු ලෙස හෝ අනියම් ලෙස තැබෑරුම් පවත්වාගෙන යන තැබෑරුම්කරුවන් බවට පත්විය. මෙම දුෂ්ට හා දූෂිත ක්‍රමය හඳුන්වා දුන් ජයවර්ධන ජනාධිපතිවරයා එම ක්‍රමය දේශපාලන සහචරයන් සතුටු කිරීම සඳහා පවත්වාගෙන ගිය ක්‍රමයක් වුවද ඒ ක්‍රමය පුද්ගලිකව තමන් සඳහා ධනය උපයන මාර්ගයක් බවට පත්කර ගත්තේ නැත. එහෙත් අනුප්‍රාප්තික ජනාධිපතිවරු ඊට වෙනස් ලෙස එම ක්‍රමය පුද්ගලිකව තමන් සඳහාද මහා පරිමාණයෙන් ධනය උපයා ගන්නා වැදගත් මාර්ගයක් බවට පත්කර ගත්හ. සිරිතක් වශයෙන් ලංකාවේ රාජ්‍ය නායකයන්ට ඔවුන් වෙනුවෙන් බරපැන ඉසුලූ ව්‍යාපාරිකයෝ සිටියහ. දේශපාලන නායකයා රාජ්‍ය නායකයා බවට පත්වූ විට සිරිතක් වශයෙන් එම ව්‍යාපාරිකයන්ට ණය ගෙවන ලද්දේ රාජ්‍ය නායකයා භාරයේ තිබෙන පොදු දේපළවලිනි. එම ස්වර්ණමය අවස්ථාව හිමිකර ගන්නා අයගේ සංඛ්‍යාව විශාල නැතත්, ඒ මගින් ඔවුන් උපයා ගන්නා ලද ප්‍රතිලාභවල පරිමාව ඉතා විශාලය. සමහරවිට වියදම් කළ හැම රුපියල් මිලියනයක් සඳහා ලැබෙන්නට ඇති ප්‍රතිලාභය රුපියල් මිලියන 100ක් හෝ ඊටත් වැඩිවිය හැකිය.

ක්‍රම ක්‍රමයෙන් මෙම කොල්ලකාරී ක්‍රමයේ පරාසය පුළුල් වී රජයේ සියලුම ආයතන හා රජය සමග ව්‍යාපාරික ගනුදෙනුවල යෙදෙන පුද්ගලික ආයතනද වෙලාගත් විනාශකාරී ක්‍රමයක් දක්වා වර්ධනය වූවේ යැයි කිව හැකිය. එය සමස්ත ආයතන ක්‍රමය දූෂ්‍ය කොට රජයට ලැබෙන ආදායම් හීන කොට රටේ ණයගැතිභාවය වර්ධනය කොට රාජ්‍යයේ අසමත්භාවයද වර්ධනය කොට රට හපයක් බවට පත්කිරීමට හේතුවී තිබෙන්නේ යැයි කිව හැකිය. රජයට සම්බන්ධව සිදුවන හැම වැදගත් ගනුදෙනුවකම නියම මිල හා ගෙවන මිල අතර ලොකු පරතරයක් තිබෙන්නේ යැයි කිව හැකිය. එය දූෂණයේ පංගුව ලෙස සැලකිය හැකි අතර එම පංගුවෙන් වැදගත් කොටසක් දේශපාලකයන්ගේ සාක්කුවලට යනවිට ඉතිරි කොටස රාජ්‍ය නිලධාරීන්ගේද තැරැව්කරුවන්ගේද සාක්කුවලට යති.

සංවර්ධන ව්‍යාපාර

1977න් පසුව වර්තමානය දක්වා සිදුකර තිබෙන සංවර්ධන ව්‍යාපාරවලින් වැඩි හරියක් රටේ ප්‍රමුඛ අවශ්‍යතා හොඳින් සැලකිල්ලට ගෙන කරන ලද ඒවා ලෙස සැලකිය නොහැකිය. එසේම ඒවා පරිසරය, ජන ජීවිතය හා රටේ අනාගතය ගැන හොඳින් කරුණු සලකා බැලීමකින් පසු ක්‍රියාවට නගන ලද ව්‍යාපාර ලෙසද සැලකිය නොහැකිය. එහිදී වැදගත් කොට සලකා ඇත්තේ අයථා ලෙස උපයාගත හැකි ධනයේ ප්‍රමාණය, එයින් රාජ්‍ය නායකයාට ලබාගත හැකි මහේශාක්‍යභාවයේ තරම, රාජ්‍ය නායකයාගේ ගම් ප්‍රදේශයට හෙවත් ඡන්ද බල ප්‍රදේශයට ලැබෙන ප්‍රතිලාභ වැනි කාරණාය. බොහෝ සංවර්ධන ව්‍යාපාරවලින් අපේක්ෂා කළ ප්‍රතිලාභ ලැබී නැති අතර ඒවායින් ලැබෙන ආදායම්වලින් ලබා ගත් විදේශ ණය පියවීමටද හැකිවී නැත.

ලංකාවේ සංවර්ධන ව්‍යාපාරවල ඇති දර්ශනයේ දුගීභාවය, උමා ඔය, කොළඹ වරාය සංවර්ධන ව්‍යාපෘති, හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපොළ, වෙනත් වාරිමාර්ග ව්‍යාපෘති හා ලංකාවේ අධිවේග මාර්ග ව්‍යාපෘති ආශ්‍රයෙන් පැහැදිලි කළ හැකිය. මෙහි සලකා බලන්නේ අධිවේග මාර්ග ගැන පමණය. අධිවේග මාර්ග වියදම් පිළිබඳව මෙහි දක්වා ඇත්තේ මහාචාර්ය අමල් කුමාරගේ හා ප්‍රසන්න කුරේ විසින් ප්‍රකාශ කර ඇති දත්තයන්ය.

කොට්ටාවේ සිට ගොඩගම දක්වා වන පළමු අධිවේග මාර්ගය සඳහා කිලෝමීටරයක් සඳහා වියදම ඩොලර් මිලියන 07කි. ගොඩගම සිට බෙලිඅත්ත දක්වා කිලෝමීටරයකට වියදම ඩොලර් මිලියන 26කි. කොළඹ -කටුනායක අධිවේග මාර්ගය සඳහාද කිලෝමීටරයක් සඳහා ඩොලර් මිලියන 26කි. මධ්‍යම අධිවේග මාර්ගය සඳහා ඩොලර් මිලියන 27කි.

ලෝක බැංකුව ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාලය සමග ලෝකයේ අධිවේග මාර්ග හදා තිබෙන රටවල් ආශ්‍රයෙන් ඒ සඳහා ගිය වියදම පිළිබඳව කර තිබෙන අධ්‍යයනයකට අනුව අධිවේග මාර්ග කිලෝමීටරයක් සඳහා වැයකර තිබෙන සාමාන්‍ය මිල ඩොලර් මිලියන 7.9කි. ලංකාව මෙතෙක් හදා තිබෙන සියලු අධිවේග මාර්ග එකට ගත්විට කිලෝමීටරයක් සඳහා වැය කර තිබෙන සාමාන්‍ය මිල ඉහත මිල ගණන්වලට වඩා තුන් ගුණයකට ආසන්නය. අධිවේග මාර්ග විෂයෙහි ලංකාවේ ක්‍රියාත්මක වන දූෂණයේ තරම ගැන ඉන් අදහසක් ඇති කරගත හැකිය.

සාමාන්‍යයෙන් අධිවේග මාර්ග ඉදිකරන්නේ උස් කුලුනු මත වුවත් ලංකාවේ අධිවේග මාර්ග ඉදිකරන්නේ පස් දමා සකස් කළ කෘත්‍රිම කඳු මතය. ඒ සඳහා අවශ්‍ය පස් ලබාගන්නේ කඳු කපා ඒවා බිමට සමතලා කිරීමෙනි. කෘත්‍රිම පස් කඳු මත අධිවේග මාර්ග තැනීමෙන් භූමියට හා පරිසර පද්ධතියට සිදුවන හානිය සුළුපටු නැත. අධිවේග මාර්ග දුම්රිය මාර්ගය උඩින් යන ලෙස යැවිය යුතුය යන අදහස ප්‍රකාශ කළේ සුරේන් වික්‍රමසිංහය. දුම්රිය මාර්ගවලට වෙන්කර තිබෙන ඉඩම්වල පළල අඩි 68ක් හෝ ඊට වැඩි නිසා ඉඩම් අත්පත් කරගැනීම සඳහා වන වන්දි ගෙවීමක් නැතිව ඒ අනුව අධිවේග මාර්ග ඉදිකළ හැකි බව ඔහුගේ මතය විය. ඒ ආශ්‍රයෙන් මා පළ කරන ලද අදහසක් වූයේ අධිවේග මාර්ග දුම්රිය මාර්ග ආශ්‍රයෙන් උඩින් යන ව්‍යාපෘතියක් බවට පත් කොට දුම්රිය මාර්ග සංවර්ධනයද අධිවේග මාර්ග ව්‍යාපෘතියේම කොටසක් බවට පත් කළ යුතු බවය. දුම්රිය මාර්ගවල දිග කිලෝමීටර් 1000ක් වන විට දුම්රිය මාර්ග හරහා යන අතුරු මාර්ග සංඛ්‍යාවද 1000කට ආසන්නය. මෙම අතුරු මාර්ග යටින් හෝ උඩින් දුවන අතුරු මාර්ග බවට පත් කොට සමස්ත දුම්රිය මාර්ග පද්ධතියම ද්විත්ව මාර්ග පද්ධතියක් බවට පත් කළ හැකි නම් ඉන් මහජනයාට සිදුවන සේවය අතිවිශාලය. හොඳ වේගයකින්ද යුතු කාර්යක්ෂම දුම්රිය සේවයක් මගින් මහා මාර්ගවල තිබෙන වාහන තදබදය තුනී කළ හැකි අතර කන්ටේනර් ප්‍රවාහනයද විශාල ප්‍රමාණයකට දුම්රියෙන් කරන දෙයක් බවට පත් කළ හැකිය. එවිට පුද්ගලික වාහනවලින් ගමන් කරන්නන්ට වේගයෙන් ගමන් බිමන් යන්න අධිවේග මාර්ග පද්ධතියක් ලැබෙන විට සාමාන්‍ය ජනයාටද වේගයෙන් හා සුව පහසුව ගමන් කරන්නට හොඳ දුම්රිය සේවයක් ලැබෙන්නේය. අධිවේග මාර්ග තැනීම හා දුම්රිය මාර්ග සංවර්ධනය එකට සිදුකරන වැඩසටහනක් බවට පත් කළේ නම් ඉඩම් අත්පත් කරගැනීම සඳහා දරන වියදමකින් තොරව ගමනාගමන විෂයෙහි ලොකු පෙරළියක් ඇති කරන්නට පුළුවන් වන්නට ඉඩ තිබුණි.

දූෂිත හා ප්‍රජාතන්ත්‍ර විරෝධී පක්ෂ ක්‍රමය

ලංකාවේ කළු සල්ලිවලින් යැපෙන දූෂිත හා ප්‍රජාතන්ත්‍ර විරෝධී පක්ෂ ක්‍රමයද රාජ්‍යයේ නූතන හා ප්‍රජාතන්ත්‍ර විරෝධී ස්වභාවය කෙරෙහි බලපා තිබෙන වැදගත් සාධකයක් ලෙස සැලකිය හැකිය. එය ප්‍රමාණවත් තරමින් විචාරයකයන්ගේ අවධානයට යොමුවී නැති ප්‍රශ්නයක් ලෙසද සැලකිය හැකිය. ලංකාවේ කිසිම පක්ෂයක අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක් නොපවතී. හැම පක්ෂයක්ම ක්‍රියාත්මකවන්නේ පක්ෂ නායකයාට අතිවිශාල ඒකාධිපති බලයක් ලබාදෙන ආකාරයටය. පක්ෂ යැපෙන්නේ සාමාජික මුදල්වලින් නොව, කළු සල්ලිවලිනි. සාමාජිකයන්ගෙන් විධිමත් ලෙස සාමාජික මුදල් අයකර ගන්නා ක්‍රමයක් කිසිදු පක්ෂයක ක්‍රියාත්මක නොවේ. පක්ෂවල තීන්දු ගැනීමේ ක්‍රියාවලියට සම්බන්ධවීමේ අයිතියක් පක්ෂ සාමාජිකයන්ට නැත. බොහෝවිට පක්ෂ නඩත්තු කරන්නන් ලෙස ක්‍රියාකරන්නේ කළු සල්ලිකාරයන්ය. මැතිවරණ අරමුදල්වලට මුදල් ගලා එන ප්‍රධාන ප්‍රභවය ලෙස ක්‍රියාකරන්නේද ඔවුන්ය.

1977ට පෙර මැතිවරණවලට තරග කරන අපේක්ෂකයන්ට මැතිවරණයක් සඳහා වැය කළ හැකි වියදම සඳහා නීතියෙන් පනවන ලද සීමා තිබුණි. එසේම මැතිවරණවලට තරග කරන අපේක්ෂකයන් කරන වියදම් ගණනය කරන ක්‍රමයක්ද තිබුණි. නීතියෙන් නියම කළ එම සීමාවන් උල්ලංඝනය කරමින් තේරී පත්වන මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රීකම් අධිකරණය විසින් අහිමි කළ අවස්ථාද තිබුණි. ජනාධිපති ජයවර්ධන පරණ මැතිවරණ ක්‍රමය අහෝසි කොට නව මැතිවරණ ක්‍රමයක් ඇති කළේ මැතිවරණ වියදම් පාලනය හා විගණනය සඳහා විකල්ප ක්‍රමයක් ඇති කිරීමෙන් තොරවය. පසුකලකදී මැතිවරණ කොමිසමක් හදාගත්තද එය හදාගෙන තිබෙන්නේ ඉන්දියානු මැතිවරණ කොමිසමවත් ආදර්ශයට ගෙන නොවේ. ඉන්දියානු මැතිවරණ කොමිසමට පක්ෂවල අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය හා පක්ෂ අරමුදල් ගැන සොයා බැලීමේ අයිතිය තිබෙන අතර එම නීති උල්ලංඝනය කරන පක්ෂ තහනම් කිරීමේ බලයද තිබෙන්නේය. එසේම නිදහස් හා සාධාරණ මැතිවරණ ක්‍රමයක් සහතික කිරීම සඳහා නීති නැතිවිට රීති හදාගෙන ඒවා ක්‍රියාත්මක කිරීමේ බලය ඉන්දියානු මැතිවරණ කොමිසම සතුය.

රාජ්‍යයේ පවත්නා ප්‍රජාතන්ත්‍ර විරෝධී හා දූෂිත ස්වරූපය ලංකාවේ පක්ෂ ක්‍රමයේ පවතින ප්‍රජාතන්ත්‍ර විරෝධී හා දූෂිත ස්වභාවයේ ප්‍රතිබිම්බයක් ලෙස සැලකිය හැකිය. ලංකාවේ පක්ෂ ක්‍රමය ක්‍රියාකරමින් තිබෙන්නේ කුණුවූ තත්ත්වයකට පත්ව තිබෙන රාජ්‍යයට අවශ්‍ය ප්‍රජාතන්ත්‍ර විරෝධී හා දූෂිත නායකයන් පුහුණු කරන ආයතන ක්‍රමයක් වශයෙනි.