දූෂණයක් නැත්නම් රට දියුණු කළ හැකියි දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්

(සංවාදය : ලෝරන්ස් ෆර්ඩිනැන්ඩු)

උතුරු පළාතේ ජනතාව මුහුණ දෙන ප්‍රධාන ගැටලු මොනවාද? ඒවා විසඳීමට රජය ගෙන තිබෙන පියවර ප්‍රමාණවත්ද?

උතුරු – නැගෙනහිර දෙමළ ජනතාව අපේ රටින් පිටත් වෙලා වෙන රටවල්වලට ගියා. ඒ නිසා ඒගොල්ලන්ගේ පවුල් දෙකට – තුනට කැඩුණා. හුඟාක් දෙනෙක් මැරුණා, තුවාල වුණා, අතුරුදන් වුණා. බොහෝ දෙනකුගේ දේපළ විනාශ වුණා. කිසිම රක්ෂාවක් කරන්න බැරිවුණා. ඉඩම් හා නිවාස නැතිවුණා. ඒ වගේම ළමයින්ගේ අධ්‍යාපනය නැතිවුණා. මේ විදියට උතුරු – නැගෙනහිර ජනතාවට විශේෂයෙන්ම දෙමළ ජනතාවට හුඟාක් දේවල් සම්බන්ධයෙන් ප්‍රශ්න කීපයක් තවමත් තියෙනවා.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ලෙස සිටි කාලයේදී මේ ගැන කිසිම දෙයක් කළේ නැහැ. කරන්න කැමැත්තක්ද ඔවුන්ට තිබුණේ නැහැ. ඒගොල්ලෝ ඇවිල්ලා යන්න පාරවල් විතරක් හැදුවා. යුද්ධය ඉවර වුණාට පසුව අපේ මන්ත්‍රීවරු රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් ගෙවල් සාදා දෙන්න කියලා ඉල්ලා සිටියාට සල්ලි නැහැ කියා කීවා. ඉන්පස්සේ අපේ ඉල්ලීම මත ඉන්දියාව ගෙවල් 50,000ක් හදලා දුන්නා. මේ කරුණු නිසා අපේ ජනතාව 2015 ඡන්දෙදි රාජපක්ෂට විරුද්ධව ඡන්දය පාවිච්චි කළා.

ආණ්ඩුව මාරු වුණාට පසුව ජනතාවට ආර්ථික ප්‍රශ්න තිබුණත්, මිනිස්සු දිගටම අතුරුදන්වීම සහ බයෙන් ජීවත් වන තත්ත්වය අඩුවුණා. හැබැයි කරන්න තිබුණු දේවල් බොහොමයක් ප්‍රමාද වෙලා සම්පූර්ණ කරන්නේ නැතුව වෙනත් දේවල් කරලා තිබෙනවා. අතුරුදන්වූ අයගේ සිරගෙවල්වල ඉන්න අයගේ, ඉඩම්වල තවත් අය පදිංචි වෙලා ඉන්නවා. ඒවා විසඳිය යුතුයි. විශේෂයෙන් ජනයාගේ ජීවනෝපාය පිළිසකර කිරීම අද වැදගත් කාරණයක් බවට පත්වී තිබෙනවා.

උතුරු පළාත් සභාවේ හිටපු මහ ඇමති විග්නේෂ්වරන් විසින් නව දේශපාලන පක්ෂයක් පිහිටුවීමත් සමගම උතුරේ දෙමළ ජාතික සන්ධානයට අභියෝගයක් එල්ල වූ බවට පෙනෙනවා. එමෙන්ම දෙමළ ජාතික සන්ධානය කෙරෙහි උතුරේ දෙමළ ජනතාවගේ විශ්වාසය බිඳ වැටී ඇති බවටද චෝදනා එල්ල වෙනවා. එහි සත්‍ය-අසත්‍යතාව කුමක්ද?

විග්නේෂ්වරන් මහ ඇමති ධුරයට පත් කළේ දෙමළ ජාතික සන්ධානයයි. අපේ සන්ධානයෙන් ඡන්දය ඉල්ලලා තමයි ඔහු දිනුවේ. ඔහු දිනුවට පසුව වෙන විදියකට සිතන්න පටන් ගත්තා. අපේ කැමැත්ත රටට සාමය ගෙනෙන්න ඕනේ. රටේ ජීවත් වන සිංහල, දෙමළ, මුස්ලිම් කියන ජනතාව ඔක්කොම එකතුවෙලා එකමුතුවෙන් ජීවත් වෙන්න ඕනේ. ඒ විදියට ජීවත්වීමට පුළුවන් වෙන්න රටට අලුත් ව්‍යවස්ථාවක් ඕනේ. ඒ ව්‍යවස්ථාව හදන්න 2015ට පසුව ආණ්ඩුව කටයුතු පටන් ගත්තා. ඊට දෙමළ ජාතික සන්ධානය උදව් කළා. විග්නේෂ්වරන් අන්තවාදීව කටයුතු කරන්න පටන් ගත්තා. ඒ අදහසත් එක්ක අපිට එකතු වෙන්න බැරිවුණා. ඒ කාරණාවේදී තමයි ඔහු වෙන විදියකට කල්පනා කරන්න පටන් ගත්තේ. ඔහු අලුත් පක්ෂයක් හදන්න බලාපොරොත්තු වන බව අපිට ආරංචියි. ඒ සඳහා ඔහුට ප්‍රජාතන්ත්‍රීය අයිතිය තියෙනවා. හැබැයි හුඟාක් දුක් විඳින ජනතාව කල්පනා කරලා තීරණයක් ගනියි කියා අපි විශ්වාස කරනවා. අපේ ජනතාවට සමාන පුරවැසි අයිතිවාසිකම් ඇතිව ජීවත්වීමට අවශ්‍යයි. රට බෙදන්නේ නැතිව, රටට කිසිම හානියක් නැතුව, සියලුදෙනා එකතුවෙලා සමාන අයිතීන් භුක්ති විඳිමින් ජීවත්වීමටයි අපේ ජනතාවගේ කැමැත්ත. ඒ අය ඉල්ලා සිටින්නේ බලය බෙදන්න කියන එකයි. එවැනි තීන්දුවක් ආවොත් නම් ඒක සම්පූර්ණයෙන් දෙමළ ජනතාව භාර ගනියි කියා අපි හිතනවා.

දෙමළ ජාතික සන්ධානය දේශපාලන විසඳුම් ඉල්ලා සිටිමින් නැවතත් රට බෙදීමට උත්සාහ කරන බවට චෝදනා නැගෙනවා. ෆෙඩරල් තත්ත්වයක් ඉල්ලා සිටීමත් රට බෙදීමට ගන්නා උත්සාහයක් ලෙසද සැලකෙනවා. මෙම චෝදනා ගැන ඔබ සන්ධානයේ අදහස කුමක්ද?

රට බෙදන්න අපි කටයුතු කරනවා කියන ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍යයක්. සම්පූර්ණයෙන්ම වැරදියි. මැතිවරණය පවත්වන වේලාවේදී අපේ ජනතාව කියා සිටියේ එක කතාවයි. ඒ තමයි, නොබෙදුණු රටක් ඇතුලේ බලය බෙදලා ඒගොල්ලන්ගේ පළාත්වල ජීවත් වන මිනිස්සුන්ට බලය පාවිච්චි කරන්න ඕනේ කියලා. එහෙම විසඳුමක් ගෙනෙන්න තමයි අපේ ජනතාව ඒ අයගේ ඡන්දය පාවිච්චි කරලා තිබෙන්නේ. අන්තවාදී කණ්ඩායම් අපේ ජනතාව ප්‍රතික්ෂේප කරලයි තියෙන්නේ.

සිංහල පැත්තෙනුත් අන්තවාදීන් ඉන්නවා. ඒගොල්ලෝ හිතනවා බලය ලබාගන්න බොහොම ලෙහෙසි මාර්ගය අන්තවාදය කියලා. සිංහල – දෙමළ ජනතාව එකතුවීමට ඉඩ නොදී ජනතාව බෙදලා, ඒ අයගේ දේශපාලනය ගෙනයෑමට ඒ අය බලාපොරොත්තු වෙනවා. ඒත් එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන අපේ රටේ තියෙන ලොකුම දේශපාලන පක්ෂ දෙකම එහෙම හිතනවා කියලා අපි හිතන්නේ නැහැ. මේ පක්ෂ දෙකම වෙන රටවල් වගේ එනම් සිංගප්පූරුව, මැලේසියාව සහ කාම්බෝජය වගේ දියුණු කිරීමට නම් මේ රටේ ජනතාව එකට එකතු වෙන්න ඕනේ කියලා ඒගොල්ලන්ට තේරෙනවා. සිංහල ජනතාව හොඳට කල්පනා කරලා අන්තවාදී කණ්ඩායම් ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කළ යුතුයි. අන්තවාදී අය අන්තවාදී ප්‍රතිපත්ති ගෙනියන්නේ සිංහල ජනතාව වෙනුවෙන් නොවේ. ඒ අයට එහෙම කරන්නේ ඒගොල්ලන්ට බලයට ඒමටයි. ඒ වගේම මේ රටේ තියෙන දූෂණය නැති කරන්න ඕනේ. දූෂණය ඉවර කරන්නේ නැතුව මේ රට දියුණු කරන්න බැහැ. මේ ගැන සිංහල ජනතාව තේරුම් ගත යුතුයි.

අවි ආයුධ අතට ගත් සාමාන්‍ය ජන ජීවිතයට බාධා කරනු ලබන කල්ලි කිහිපයක් උතුරු පළාත තුළ ගොඩ නැගී තිබෙනවා. ආවා කල්ලිය ඒ අතර ප්‍රමුඛස්ථානයක් ගැනෙනවා. මෙම කල්ලි මෙහෙයවන්නේ කවුරුන්ද? මෙවැනි කල්ලි නවත්වා ගැනීම සඳහා දෙමළ ඩයස්පෝරාවේ සහාය ලැබෙන බවටත් චෝදනා නැගෙනවා. මෙලෙස කුඩාවට ගොඩ නැගෙන මැර කල්ලි නැවතත් රට බෙදීම සඳහා වන අවි ගත් යුද්ධයකට පෙළ ගැසෙන බවට දකුණේ සමාජය තුළ සැකයක් පවතිනවා. මේ පිළිබඳ ඔබට පැවසිය හැක්කේ කුමක්ද?

අපේ ජනතාව රට බෙදන්න ඕනේ කියලා ඉල්ලන්නේ නැහැ. ළඟදි තිබුණු මැතිවරණයේදී අපේ ජනතාව අපේ පක්ෂය තෝරා ගත්තා. අපි ඉල්ලන්නේ එක රටක් ඇතුළේ රට බෙදන්නේ නැතුව රටට කිසිම හානියක් නැතුව බලය බෙදලා වෙන වෙන පළාත්වල ජීවත් වන ජනතාවට ඒ බලය පාවිච්චි කරන්න තියෙන අයිතිය අපිටත් දෙන්න කියලා. මේ ගැන අපේ ජනතාව බොහොම උනන්දුවෙන් සිටිනවා. මෙවැනි විසඳුමක් රටේ ඇතිවුණා නම් ඩයස්පෝරාව දෙමළ ජනතාව ඒක භාරගන්න ලෑස්තියි. හැබැයි වෙන විදියට හිතන පොඩි පොඩි කණ්ඩායම් ඉන්නවා. අපි බලාපොරොත්තු වන තීන්දුවක් ගෙන ආවාම එම කණ්ඩායම් නැති වෙනවා.

ආවා කල්ලිය ගැන වැඩිය දෙයක් කියන්න මම දන්නේ නැහැ. දැන් යාපනයේ පෙළක් අය නීතියට පිටින් කටයුතු කරන්න බලනවා. නීතිය පාවිච්චි කර ඔවුන්ට නීත්‍යනුකූලව දඬුවම් දෙන්න ඕනේ. එහෙම කළාම ඔවුන් නැති වෙනවා.

ඉදිරියේදී පැවැත්වෙන පළාත් සභා මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය ස්වාධීනව තරග කරනවාද? එසේ නොමැති නම් එක්සත් ජාතික පෙරමුණ, පොදු ජන පෙරමුණ හෝ එක්සත් ජනතා නිදහස් සංවිධානය යනාදී සන්ධාන සමග එකතු වී තරග කරනවාද? එසේත් නොමැති නම් උතුරේ තිබෙන අනෙකුත් දේශපාලන පක්ෂ සමග සන්ධානගතවී ඡන්දය ඉල්ලීමට අපේක්ෂා කරනවාද?
මේ සම්බන්ධව අපි තවම තීරණයක් ගෙන නැහැ. පළාත් සභා ඡන්දය ඉක්මනින් තියන්න ඕනේ කියලා අපි ඉල්ලා සිටිනවා මේ අවුරුද්ද තුළ පුළුවන් තරම් වේලාසනින් කියන්න ඕනේ කියලා අපි ඉල්ලනවා. දැන් තියෙන තත්ත්වය හැටියට දෙමළ ජාතික සන්ධානයට තනිවම ඉල්ලන්න පුළුවන්කමක් තිබෙන බවයි මට පෙනෙන්නේ.වෙන ඕනෑම පක්ෂයක් අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්. කවුරුහරි පක්ෂයක් එහෙම ඉල්ලා සිටියහොත් අපි ඒ සම්බන්ධව කල්පනා කරලා තීන්දුවක් ගන්නවා.

යම් හෙයකින් ඉදිරි පළාත් සභා මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය ස්වාධීනව තරග කළහොත් ඔබ සන්ධානයේ මහ ඇමති අපේක්ෂකවරයා ලෙස ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන පුද්ගලයා කවුරුන්ද?

ඒ සම්බන්ධයෙන් අපි තවම තීරණයක් ගෙන නැහැ. හැබැයි, ජනතාව සමග එකතු වී වැඩ කරන්න පුළුවන් හොඳ කෙනෙක්, පක්ෂයට විශ්වාසයක් තබන්න පුළුවන් කෙනෙක්, අන්තවාදී නොවන සමාජශීලීව කටයුතු කරන කෙනෙක් අපි තෝරා ගන්නවා.

පසුගියදා රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමේදී දෙමළ ජාතික සන්ධානය කොන්දේසි ඉදිරිපත් කළ බව මාවෙයි සේනාධිරාජා පවසා තිබෙනවා. එම කොන්දේසි ලිඛිතව ඉදිරිපත් කිරීමක් සිදුවුණාද? ඒ සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය සහ රනිල් වික්‍රමසිංහ අතර ගිවිසුමක් අත්සන් කළාද? යම් හෙයකින් ලිඛිතව හෝ වාචිකව ඔබ සන්ධානය කොන්දේසි ඉදිරිපත් කළා නම් ඒ මොනවාද?

රනිල් වික්‍රමසිංහ 2015 සිට අගමැතිවරයා ලෙස කටයුතු කරනවා. ජනාධිපති සිරිසේනත්, 2015 සිට එම ධුරය දරනවා. ඔවුන් දෙදෙනා සමගම අපි කතාබහ කර තිබෙනවා. ඒ වගේම විවිධ ගැටලු ගැනද සාකච්ඡා කර තිබෙනවා. පසුගිය අවුරුද්දේ ඔක්තෝබර් 26 වැනිදා රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත් කළා. අලුත් කෙනෙක් අගමැති ධුරයට පත් කළා. ඒත් ඔහුට පාර්ලිමේන්තුව තුළ බහුතරයක් තිබෙන බවට ඔප්පු කළේ නැහැ. ඉන්පසුව රටට අගමැතිවරයකු අමාත්‍ය මණ්ඩලයක් හෝ රජයක් තිබුණේ නැහැ. ඒක රටට අහිතකර ලෙස බලපානවා. රටට ආණ්ඩුවක් අවශ්‍යයි. යළි ආණ්ඩුවක් පිහිටුවීමට අපි උදව් කළා. ඔක්තෝබර් 26න් පසුව අපගේ සාකච්ඡාවක් තිබුණත් දේශපාලන පක්ෂ නායකයන්, විවිධ දේශපාලන පක්ෂ සමග එය අපි දිගටම පවත්වාගෙන යන ක්‍රියාවලියක්. අපේ තීරණ ගනු ලබන්නේ ප්‍රතිපත්ති මතයි. අපි ඥානවන්ත තීරණ ගත්තාම එය ඉතා හොඳයි. අපි රනිල් වික්‍රමසිංහ සමග කිසිම ගිවිසුමක් අත්සන් කළේ නැහැ.

දේශපාලන පක්ෂ එකතු වී ගොඩනගනු ලබන සන්ධානයක් තුළ සාමූහික වගකීම ප්‍රධාන තැනක් ගන්නවා. ඒත් දෙමළ ජාතික සන්ධානයේ සාමූහික වගකීම දෙදරුම් කා තිබෙන බවක් දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන පක්ෂ නායකයන්ගේ ප්‍රකාශවලින් පැහැදිලි වෙනවා. මේ වන විට දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු දෙදෙනකු ඉවත් වී තිබෙනවා. ඉදිරියේදී මෙය තව තවත් කැඩී බිඳී යන තත්ත්වයක් උදාවන බවට අනාවැකි පළවෙනවා. මේ පිළිබඳව කිවහැක්කේ කුමක්ද?

යම් තීරණයකට ඒමට අපහසු කාරණාවලදී අප ඒ ගැන වැඩිපුර කතා කරන්න යන්නේ නැහැ. අපේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් නිතරම හමුවී සාකච්ඡා කරනවා. ඒ සැමදෙනා තුළම විවිධ අදහස් තිබෙනවා. එහෙත් සන්ධානයක් වශයෙන් කිසියම් ප්‍රශ්නයකට පිළිතුරක් සෙවීමේදී අපි සාමූහික තීරණයකට එළැඹෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙදෙනෙක් දැන් අපි යටතේ වැඩ කරන්නේ නැහැ. එක් අයකුව පැත්තකින් තියා තිබෙනවා. අලුත් ව්‍යවස්ථාව හදන ක්‍රියාවලියෙන් ඉවත් වෙන්න කියා ඔහු අපගෙන් ඉල්ලා සිටියා. අපි ඔහුගේ අදහසට එකඟ වුණේ නැහැ. ඉන්පසු ඔහු අපගේ රැස්වීම්වලට ආවේ නැහැ. අනෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෑතකදී රාජපක්ෂ කණ්ඩායම විසින් අරගෙන තිබෙනවා. ඔවුන්ගේ ආණ්ඩුවක් හදන්න උත්සාහ කළ අවස්ථාවේදී. ඔහුට විරුද්ධව විනය පරීක්ෂණයක් පවත්වනවා. ඉන්පසු ඔහු අපගේ පක්ෂයෙන් ඉවත් කොට වෙන කෙනකු පත්කර ගන්නවා.

අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කෙටුම්පතක් පෙබරවාරි 4 වැනිදාට පෙර ගෙනෙන බවට දෙමළ ජාතික සන්ධානය පවසා තිබුණා. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ කෙටුම්පත මේ වන විට සකස් කර අවසානද? අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් දෙමළ ජාතික සන්ධානය අපේක්ෂා කරන වරප්‍රසාද මොනවාද?

වත්මන් ආණ්ඩුව අලුත් ව්‍යවස්ථාව සම්බන්ධයෙන් 2016 වසරේ සිට වැඩකර තිබෙනවා. ඊට ඉස්සර පැවති ආණ්ඩු මේ සම්බන්ධව දිගටම අවුරුදු 30ක් වැඩ කර තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා පෙබරවාරි 4 වැනි දිනට පෙර ඒ අලුත් ව්‍යවස්ථාව එළිදකියි කියලා. ඒක එළි නොදැක්ක නිසා තමයි හුඟාක් දේවල්, වැරදි දේවල්, බොරු කතා, ජනතාව අතර පැතිර යන්නේ. ජනතාව අතර ගැටුම් ඇති කිරීමට ඇතැම් දෙනා කටයුතු කරනවා. අලුත් ව්‍යවස්ථාව එළිදුටුවාම ඒකේ තියෙන්නේ මොනවාද කියලා අපේ රටේ ජනතාවට දැනගන්නට පුළුවනි. ඒ සම්බන්ධයෙන් මට ඒක විශේෂ කාරණාවක් කියන්න පුළුවන්. ඒ තමයි ඒ ව්‍යවස්ථාවෙන් රට බෙදෙන්නේ නැහැ. රට බෙදන්න කිසිම ඉඩක් තියෙන්නේ නැහැ. හැබැයි බලය බෙදනවා, අපේ රටේ සිංහල, මුස්ලිම් හා දෙමළ ජනතාව සියලුදෙනා එකතුවෙලා ජීවත්වෙන්න පුළුවන් විදියට.

ඔබ තවමත් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය උසුලන බව පවසා තිබුණා. ඒ වගේම රට තුළ විපක්ෂ නායකවරු දෙදෙනකු සිටින බවද පවසා තිබුණා. විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරය කුමක්ද? ඔබට විපක්ෂ නායක ධුරය අහිමි කළහොත් ඒ සම්බන්ධයෙන් අධිකරණයේ පිහිට පැතීමක් සිදුකිරීමට අපේක්ෂා කරනවාද?

සාමාන්‍යයෙන් ආණ්ඩු පක්ෂයට පසුව පාර්ලිමේන්තුව තුළ සිටින වැඩිම පිරිසක් නියෝජනය කරන කණ්ඩායම විරුද්ධ පක්ෂ නායකත්වයට සුදුසුකම් ලබනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානය පාර්ලිමේන්තුව තුළ සිටින දෙවන විශාලතම පක්ෂයයි. ඒ වුණාට එය සන්ධානයක් වශයෙන් හෝ ආණ්ඩුවේ පාර්ශ්වකරුවකු ලෙස කටයුතු කළහොත් ඊළඟට පාර්ලිමේන්තුවේ දෙවන විශාලතම විරුද්ධ පක්ෂයට විරුද්ධ පක්ෂ නායකත්වය ලබාගැනීමට සුදුසුකම් ලබනවා. ඒ අනුව දෙමළ ජාතික සන්ධානය විරුද්ධ පක්ෂ නායකත්වයට සුදුසුකම් ලබනවා. මාව 2015 සැප්තැම්බර් මස කතානායකවරයා විසින් විපක්ෂ නායක ධුරයට පත් කළා. මම එවිට දෙමළ ජාතික සන්ධානයේ නායකයා වගේම පාර්ලිමේන්තුවේ දෙවන විශාලතම විපක්ෂය නියෝජනය කිරිම නිසා එම තනතුර ලැබුණා.

විරුද්ධ පක්ෂ සාමාජිකයන් විසින් සමහරක් ප්‍රශ්න ඉදිරිපත් කළා. කතානායකවරයා නැවතත් මාව පත් කළා විරුද්ධ පක්ෂ නායකත්වයට. ඔහු එවිට අවසාන තීන්දුවක් දේවි කියාද කියා සිටියා. එවැනි පසුබිමක් තුළ එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුවේ පාර්ශ්වකරුවකු වුවද ජනාධිපති සිරිසේන එම සන්ධානයේ නායකයා සහ ශ්‍රීලනිපයේ නායකයා ලෙසද කටයුතු කරනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඔහු කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා. කැබිනට් අමාත්‍යවරයකු ලෙස බොහෝ විෂයන්ද දරනවා. එම කැබිනට්ටුව තුළ ඔහු සාමූහිකව වගකියමින් පාර්ලිමේන්තුවට උත්තරදීමද සිදු කෙරෙනවා.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ටිකට් එකකින් පාර්ලිමේන්තුවට පැමිණි අය, රජයට සම්බන්ධ වුණා. ආණ්ඩුවේ අසුන්වලද හිඳ ගත්තා. එමෙන්ම ආණ්ඩුවට සහයෝගයක් ලබා දුන්නා. ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජිකයන්ට විරුද්ධ පක්ෂ නායකයා ලෙස පත්විය නොහැකියි. ඊට හේතුව එක්සත් ජනතා නිදහස් සන්ධානයත් ආණ්ඩුවේ පාර්ශ්වකරුවෙක්. ඒ නිසා තමයි දෙමළ ජාතික සන්ධානය විරුද්ධ පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් කතානායකවරයා කරන ලද අලුත්ම ප්‍රකාශය ගැන එකඟ නොවන්නේ.

තවත් ප්‍රශ්නයක් තියෙනවා. ඒක චෝදනාවක්ද වෙනවා. මහින්ද රාජපක්ෂ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් අස්වුණා කියනවා. ඔහු පොදු ජන පෙරමුණට ගියා කියනවා. ඔහු පාර්ලිමේන්තුවට ආවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ලබාගත් ටිකට් එකක් මගින්. අපේ ව්‍යවස්ථාවේ හැටියට මන්ත්‍රීවරයකු පාර්ලිමේන්තුවට තේරුණ පක්ෂයක සාමාජිකත්වය නැති වුණොත් ඕනෑම ආකාරයකින් එවිට දවස් 30කට පසුව ඔහුගේ පාර්ලිමේන්තු සාමාජිකත්වය නැති වෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව දින 30කට පසුව පසු එහෙම කෙනෙක් මන්ත්‍රීවරයකු විදියට දිගටම කටයුතු කරන්න බැහැ.

මන්ත්‍රී ධුරයක් නැති කෙනකු විපක්ෂ නායක වෙන්න බැහැ. ඒ නිසා මේ සම්බන්ධව සොයලා – බලලා ඇත්ත දැනගෙන තීරණක් ගන්න ඕනේ.
මම හෝ දෙමළ ජාතික සන්ධානය විපක්ෂ නායක ධුරය කොහොමහරි ගන්න ඕනේ කියලා අපි හිතන්නේ නැහැ. හැබැයි, ඒ ප්‍රතිපත්ති පිළිපදින්න ඕනේ. එහෙම නැතුව කිසිම දෙයක් හරියට කරන්න බැහැ. මේවා පාර්ලිමේන්තුව තුළ හරියට තියෙන්න ඕනේ. එහෙම නොවුණම රටෙත් කිසිම දෙයක් හරියට සිදුවෙන්නේ නැහැ.

දෙමළ ජාතික සන්ධානයෙන් මන්ත්‍රීවරු තිදෙනෙක් ද්විත්ව පුරවැසිකම් ලබන බවත් ඉදිරි මැතිවරණයකට පෙර විදේශීය පුරවැසිභාවය අවලංගු කරගැනීමට කටයුතු කරන බවට මාධ්‍ය වාර්තා පළකර තිබුණා. ප්‍රජාතන්ත්‍රවාදය සහ ව්‍යවස්ථාව පිළිබඳ දැඩි උනන්දුවක් දක්වන දෙමළ ජාතික සන්ධානය තුළ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් ද්විත්ව පුරවැසිකම් ලබන පුද්ගලයන් කවුරුන්ද? ඔවුන්ගේ එම ක්‍රියා කලාපය ඔබ දකින්නේ කෙසේද?

මම දන්න විදියට අපේ කිසිම මන්ත්‍රීවරයකු ද්විත්ව පුරවැසිකම් ලබාගෙන නැහැ. හැබැයි ලබන පාර්ලිමේන්තු ඡන්දය එනවිට මේ සම්බන්ධව අපි මන්ත්‍රීවරුන්ගෙන් අහනවා. එහෙම දෙයක් තිබුණොත් ඒක අපි රටට දැනුම් දෙනවා. නැතිනම් එහෙම දෙයක් නැහැ කියලා කියනවා.