හැටදෙකේ කුමන්ත්‍රණය සැමරීම

ටිරන් කුමාර බංගගමආරච්චි

ජනපති සිරිසේන සිව් වසරක අභිමානය තනිව සමරමින් සිටී. 2015 ජනවාරි 08 වැනිදා රටේ ජනතාව තමාව ජනපති කළ මහිමයට තමා පොළොන්නරුව සහ ඒ අවට ගොඩ දැමූ බව ඔහු මේ සිව් වසරක කාලය තුළ රටට මොනවට කියා පා ඇත. ප්‍රදේශයක් දියුණු කරන්නට නායකයන් පත් කරන ජනතාවක් වෙසෙන රටක් බවට මෙය පත්වී ඇත. මහින්ද රාජපක්ෂ හම්බන්තොට සංවර්ධනය කළේය. මෛත්‍රීපාල සිරිසේන පොළොන්නරුවට බර තැබුවේය. අවසානයේ ජනේලයේ බැරි වුවහොත් වහලය මත හෝ නැග සිටිය හැක්කේ තමන්ගේ පැත්තේම බව මොවුහු කල්පනා කරනවා විය හැකිය. ඒ තනි කල්පනාවට මුල්තැනදී මොවුහු ක්‍රියාකරනවා යැයි සිතනු මනාය.

ගෙවුණු ඔක්තෝබර් 26 වැනිදා ජාතික මට්ටමේ පිස්සුවක් නැටුවේ මේ ජනපතිද, එසේ නැතහොත් වෙන අයෙක්ද යන්න කල්පනා කිරීමත් කල්පනා කරන අයව පිස්සු වට්ටන පිස්සුවක් වී ඇත. ජනපති සිරිසේනගේ වැරදි හදාගෙන දෙවැනි වරටත් කෙටි කලක් දීග කන්නට සිතූ එජාපයේ වැඩි බරක් ජනපති සිව් වසරට නැත. එජාප තනි නොතනියට ඇත්තේ සජිත් ප්‍රේමදාසය. ඔහු ඒ භූමිකාව ඕනෑවටත් වඩා හොඳට ඉටු කරනු පෙනුණි. එජාප අඩුව එයින්ම මැකුණි. ජනපති සිව් වසරක අභිමානය රටට කීවේ ලග්ගල හරිත නගරය ජනතාවට තිළිණ කරමිනි. එහිදී ඔහුගේ සුපුරුදු කතාව නැවත දමලා ගැසුවේ එජාපයටමය. එනම් මේ සිව් වසර තුළ තමාට ජයගත හැකි දේ වගේම පරාජය වූ දේ ඇති බවත් පරාජය වූයේ දූෂණය, හොරකම, වංචාව බවත් මේ ඉදිරි කාලය තුළ ඒ සියල්ල නතර කරන බවත් එයට සැම සහාය වුවමනා බවත් කියා පෑවේය. බෙදුම් රේඛාව ඉතාම පැහැදිලිය.

එනම් 2015 ජනවාරි 08 වැනිදා සිට මේ දක්වා සිව් වසරක කාලය තුළ රටට යහපතක්, හොඳක් කර ඇත්නම් ඒ ජනපති සිරිසේනය. දූෂණය, වංචාව, නාස්තිය සිදුකරමින් රට කාබාසිනියා කළේ රනිල් ප්‍රමුඛ එජාපයය. උත්තරය ඉතා පැහැදිලිව ජනපති සිරිසේන රටට ජනතාවට භාරදී ඇත. එසේ නම් ඉදිරියේදී මේ සුපිරිසිදු සිරිසේන සහ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවක් තෝරාගෙන රට ගොඩ දාගන්නවාද නැද්ද යන්න රටේ ජනතාවගේ අත ඇති දෑකි. මන්ද මේ ජනවාරිය සිරිසේනගේ අවසාන සැමරුමය. අප දැන් ලග්ගලින් ලොප් විය යුතුය.

ව්‍යවස්ථාව සහ විධායක බලය

පසුගිය සියලු යටගියාවන් යට ගස්සමින්, සුමන්දිරන් අලුත් කතාවක් කරළියට ගෙනාවේය. ඒ ලබන අප්‍රේල්වලට කලියෙන් අලුත් ව්‍යවස්ථාවක් සම්මත කරගන්නා බව ප්‍රසිද්ධියේ කීවේය. සුමන්දිරන් දුටුවනම දෙමළ සන්ධාන නායකයෙක් වුවද පංචස්කන්ධයම එජාපගත කර ඇත්තෙකි. පැහැදිලිවම සුමන්දිරන් යනු එජාප ලකුණකි. 19 වන ව්‍යවස්ථා සංශෝධනයේදීද සුමන්දිරන් සාධකය ඉහළින්ම පෙනුණි. ඒ නිසා සුමන්දිරන් කියන කතාව උතුරට ඡන්ද ගුණ්ඩුවක් විය හැකිවුවද, එය දකුණේ ජාතිවාදී දේශපාලන නඩයටත් අපූරු ඡන්ද ගුණ්ඩුවක් බව ඔහු වටහා ගන්නට ටිකක් පමා වූවා වැනිය. දැන් නව ව්‍යවස්ථාවේ වාසිය ලබනුයේ සුමන්දිරන්ට වඩා මහින්ද පාර්ශ්වයය. එජාපය ඉන් අනාථම විය. එජාපය උපන් රට බෙදන්නෝ යන අදහස නැවත ජනතාව අතරට කාන්දුවෙමින් පවතී.

නීතිඥයකු වන සුමන්දිරන් නව ව්‍යවස්ථාවක් අප්‍රේල් අවසානයට පෙර ගෙන එන බව කී කල එජාපයේ නීතිඥයකු වන අජිත් පී. පෙරේරා කීවේ වෙනම කතාවකි. එනම් ව්‍යවස්ථාවක් තබා කෙටුම්පතක්වත් සෑදී නැත යන්නය. එහෙත් විරුද්ධ පාක්ෂිකයෝ අජිත්ව විශ්වාස නොකරති.
රටේ ජනතාවට කප්පරක් ප්‍රශ්න තිබියදී එජාපයට ඕනෑ නව ව්‍යවස්ථාවක්, විධායක ජනපති අහෝසි කිරීම වැනි කරුණු ජයගන්නටය. ඒ නම් ජනතා සුබ සිද්ධියට වඩා ඒ අයගේ දේශපාලන වුවමනාකම් ඉටුකර ගන්නට බව පැහැදිලිය. එයට කදිම නිදසුන 19 වැනි සංශෝධනයය.

2015 ජනාධිපතිවරණයට පෙර තිබුණු ලොකුම කතාබහ වූයේ සමස්ත විධායක බලය එක් පුද්ගලයකු අත ගොනුවීමේ ප්‍රශ්නය පිළිබඳවය. ඒ නිසාම එකල විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳ ප්‍රබල සංවාදයක් ඇතිවිය. ඒ සඳහා විවිධාකාර මත කරළියට ආහ. මාදුළුවාවේ සෝභිත හිමි ප්‍රමුඛ සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය කීවේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර ඒ බලය පාර්ලිමේන්තුවට පවරන ලෙසය. ජාතික හෙළ උරුමය කීවේ විධායක ජනාධිපතිවරයා සතු බලතලවලින් කොටසක් ඉවත් කොට එය අගමැතිවරයාට සහ පාර්ලිමේන්තුවට පැවරිය යුතු බවය. එක්සත් ජාතික පක්ෂ යෝජනාව වූයේ විධායක බලය අගමැතිවරයාට පවරා විධායක ජනපති ක්‍රමය වෙනුවට විධායක අගමැති ක්‍රමයක් ස්ථාපිත කිරීමය. මෙහිදී ඉතා පැහැදිලිවම කිවයුත්තේ ඒ මොහොතේ පොදු අපේක්ෂකයා වූ ජනපති සිරිසේන ඔහුගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මේ කිසිවක් පිළිබඳ නිශ්චිතව යමක් නොකී බවය. ඒ වෙනුවට ඔහු කීවේ මේ යෝජනා තුනේම තිබෙන දේවල් එකට එකතු කොට ව්‍යවස්ථාවක් හදන බවය. මේ එකිනෙකට පරස්පර යෝජනා එකට එකකු කරන්නේ කොහොමද කියලා එදා කාට හෝ හැඟීමක් තිබුණේ නැහැ. ඒ වෙනුවට හැමගේ එකම බලාපොරොත්තුව වූයේ මහින්ද එලවන්න ඕනෑ යැයි කියන එක පමණය.

2015 ජනවාරි 08ට පෙර කතාබහ කුමක් වුවත් අවසානයේ කරළියට ආවේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතය. ජනපති සිරිසේන සෝභිත හිමිගේ වුවමනාව ප්‍රතික්ෂේප කළා යැයි කී සරත් විජේසූරිය කිසිදිනක 19 ඇතුළෙත් සෝභිත හිමිගේ යෝජනා ඇතුළත් නොවූ බව කටක් නොඇරියේය. එළියට කුමක් කීවද පෙන්නුවද විජේසූරියලාද එජාප ශරීරමය. අනෙක් අතට එය හෙළ උරුම යෝජනාවට ළඟින් ගියද එහි තිබුණේ ඔවුන් කී දේද නොවේ. අනාගත එජාප නායකයා වන්නට සිහින දකින චම්පික රණවකට අද හෙළ උරුම ජන්මයක් තිබුණාද කියා හෝ මතකයක් නැත. ඔහු අද එජාපයේ පැරන්නෝට වඩා එජාපයේ සාමාජිකයකු වී ඇත. උරුමක්කාරයකු වී ඇත. රනිල්වාදියකු වී ඇත.

ඇත්තටම 19 වැනි සංශෝධනය හරහා කළේ කුමක්ද? විධායක ජනපති සතු බලයෙන් අතිවිශාල කොටසක් ජනාධිපතිවරයා අතේම තබා ගන්න එක. එයින් කුඩා කොටස් ඉවත් කර සමහර කොටස්වල බලය අගමැතිට පැවරීමයි. අවසානයේ සිදුව ඇත්තේ ජනපති සහ අගමැති අතර යම් විදිහක බලය බෙදාගැනීමක් සිදුකර ගැනීමයි. එයින් පාර්ලිමේන්තුව ශක්තිමත් වනවා යැයි කීවද එයින් කර ඇත්තේ පාර්ලිමේන්තුව විසුරුවා බලය ජනපතිගේ අතට ලැබෙන එක සීමාකර පත්වී වසර හතරහමාරක් යනතුරු විසුරුවන්න බැරි තත්ත්වයක් නිර්මාණය කිරීම පමණය. 1978දී මේ ව්‍යවස්ථාව ක්‍රියාත්මක වූ දිනයේ සිට ඉතා කෙටි කාල ප්‍රාන්තර හැරුණාම අනෙක් හැමදාම ජනපති සහ අගමැති පත්වූයේ එකම පක්ෂයෙනි. අගමැති පත්කිරීමේ බලය ජනාධිපති සතුවූ නිසා ඕනෑම රූකඩයක් අගමැති කිරීමේ බලය ඔහුට තිබුණි. එහෙත් 19 ගෙන ඒමත් සමග තත්ත්වය වෙනස් වූ බව පැහැදිලිය. එහෙත් එයට යා හැකි දුරක් නැති බව සිව් වසර අවසන ඉතාම පැහැදිලිය. ජනාධිපතියි, අගමැතියි බලය බෙදාගත් කල ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත වේ යැයි සිතීම මුලාවකි. එවැනි ගැටුමකදී ජනපති පරදා ප්‍රජාතන්ත්‍රවාදී රනිල් පිල දින්නා කියා රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත වේ යැයි සිතීම ඊටත් වඩා මෝඩකමකි. ඇත්ත නම් 18 පන්නයේම 19ත් තව එක සංශෝධනයක් බවය. මේ දෙකම ඉවත් කිරීම සිදුකළ යුත්තක්මය. ජනපති, අගමැති බලය බෙදා ගත්තා කියා ප්‍රශ්න විසඳෙන්නේ නැත. රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කළ හැකි එකම ක්‍රමය ජනතාව විසින් රාජ්‍ය බලය මෙහෙයවන තත්ත්වයක් නිර්මාණය කිරීමය.

19 ඇන ගැනීම

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා සිදුවූයේ රාජ්‍යය තව තවත් ශක්තිමත් කිරීමය. මුලින් කල්පනාව වූයේ රාජ්‍ය බලය එක පුද්ගලයකු අතට කේන්ද්‍ර වූ විට රාජ්‍යය ශක්තිමත් වනවාය යන්නය. එහෙත් සිදුවූයේ තනි පුද්ගලයා නිසා රාජ්‍ය ව්‍යුහයන්, යාන්ත්‍රණයන් ක්‍රමයෙන් අතාර්කිකවීමය. ඒ නිසාම තනි පුද්ගලයකු මෙය හසුරවන විට ඒ ආකෘතිය, ආඥාදායකත්වය ඍජුව හා පැහැදිලිවම පෙනීමයි. එවිට එයට වන ජනතා විරෝධය වැඩිය. එසේ නම් 19 වැනි සංශෝධනය හරහා කල්පනා කොට ඇත්තේ පුද්ගලයෙක් වෙනුවට ක්‍රමයක් යාන්ත්‍රණයක් ශක්තිමත් කරන එකයි. එවිට ඉබේටම පුද්ගලයා ගැන විරෝධය ඇවිළෙද්දී ක්‍රමය ආරක්ෂා කරගත හැකිය. පසුගිය කාලය තුළ එය මනාව ඔප්පු කළේය. ජනපති සිරිසේන ඒකාධිපතියා වී රනිල් ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රතිමූර්තිය වන්නේ එලෙසය. බලය තනි පුද්ගලයකු අත නොව දෙදෙනකු හෝ කිහිපදෙනකු අත පවතින විට ප්‍රතිරෝධය, ඝර්ෂණය තුනීකර ගන්නට පුළුවන් යැයි වූ එජාප කල්පනාවද මේ වන විට පුස්සක් වී හමාරමුත් එයින් තවමත් රනිල් ප්‍රමුඛ එජාපය නොනැසී පවතින බව කිව යුතුය. මෙහිදී සිද්ධ වූයේ සිරිසේනට ගහපු ගැටේ රනිලුත් හිරවීමය. දැන් සිදුව ඇත්තේ ගැටය ලිහිල් කොට දෙදෙනාම හුස්ම ගැනීමය. මේ නිසාම සංශෝධන නිසා දීර්ඝකාලීනව ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට වාසිද-අවාසිද යන ප්‍රශ්නවලට වහ වහා පිළිතුරු සෙවිය යුතුය. එවන් වටපිටාවක සුමන්දිරන්ගේ නව ව්‍යවස්ථා කතාව රැවුල ගිනිගත් මිනිහාගෙන් සුරුට්ටු පත්තු කිරීමක් වැනිය.

දමිළ දේශපාලන කතා

සුමන්දිරන් අලුත් ව්‍යවස්ථාවක් ගෙන එන බව කියන විට විග්නේෂ්වරන් කියනුයේ ගංවතුරින් විපතට පත් කිළිනොච්චියේ ජනතාව බේරාගන්නට හමුදාව මැදිහත් වුණේ යුද අපරාධවලින් බේරෙන්නට බවය. සුමන්දිරන්ගේ අලුත් ව්‍යවස්ථාව සහ විග්නේෂ්වරන්ගේ මේ කතාව හරහා ඔප්පු වන්නේ ඔවුන් දැන් සිටම උතුරේ ඡන්ද දිනා ගැනීමට දතකන බවය. විග්නේෂ්වරන් දෙමළ ජාතික සන්ධානයෙන් මහ ඇමති වූ මුත් අද එයට පයින් ගසා ලොකු ගමනක් ගොස් අවසානය. ඔහු අද කල්පනා කරනුයේ දෙමළ ජාතික සන්ධානය පරාජය කොට තනිව දිනන්නටය. දෙමළ ජාතික සන්ධානය පවා ඔහු අයින් කොට හමාරය. විග්නේෂ්වරන් දැන් වෙනම සන්ධානයකට බැස ඇත. මෙය ටීඑන්ඒ එකට අවුලකි. ඒ නිසාම ඉක්මනින්ම උතුරු පළාත් සභාව පවත්වා ගැනීමේ වුවමනාවක් ඔවුන් අත ඇත. මාවෙයි සේනාධිරාජා එයට එකතුවීමට නියමිතය. ඊපීඩීපී නායක ඩග්ලස් දේවානන්දද මහ ඇමති ලෙස ඉදිරිපත් වන බවක් කියා ඇත. ඒ අතර සේනාධිරාජාට මහ ඇමතිවීමේ වැඩි ඉඩක්ද ඇත. මේ නිසා තවමත් උතුරේ බර ටීඑන්ඒ සතුය. සුමන්දිරන් එජාප ගැත්තකු නිසා ඔහු ක්‍රියා කරනුයේ නව ව්‍යවස්ථාව හරහා උතුරේ ජනතාවට බලය ලබාදෙනවා යන තැන සිටය. විග්නේෂ්වරන් ක්‍රියාකරනුයේ මහින්ද පන්නයේ ජාතිවාදය උතුර තුළ ව්‍යාප්ත කරමිනි. වාමාංශිකයැයි කියා ගත් වාසුට මහින්ද සමග ජාතිවාදය වැපිරිය හැකිනම් වාමාංශික යැයි කියාගන්නා වික්‍රමබාහුට රනිල්වාදී විය හැකි නම් වාසුගේ මස්සිනා වන විග්නේෂ්වරන්ට මහින්දවාදී වීම කජ්ජක්ද?

ඡන්ද සමය

මේ එළැඹෙන්නේ ඡන්ද සමයකි. ඒ නිසා බොරුකාරයන්ගේ බොරු රංගන ඕනෑතරම් බලාගත හැකි කාලයකි. ජනතාව ඉහ මුදුනින් පිළිගන්නා කාලයකි. එයට නැවත රැවටෙමුද යන්න තනි තනිව කල්පනා කළ යුතුව ඇත. පුරවැසියන් වෙනුවෙන් අටවා ගන්නා සියල්ල අවසානයේ පරවැසියන් වී ඇත. මහින්ද කාලයේ කට්ටිය මෙන්ම යහපාලන කාලයේ කට්ටියද කරගත්තේ පුරවැසියා වෙනුවෙන් කියමින් තම වැඩ ටික කරගැනීමය. ඉදිරියේදී ඒ සඳහා අලුත් පිරිස්වලට වේදිකාව ඇත. දැනටමත් ඒ සඳහා කල්ලි එමට ඇත. දේශපාලන පක්ෂ තරමටම සිවිල් සංවිධාන පුරවැසි එකමුතු කලා එකමුතු ජරාජීර්ණය. ඔවුන් කළේද නැති බලයක් ආරෝපණය කරගෙන එය ජනතා බලය ලෙස අර්ථ ගන්වාගෙන ගොඩයෑමය. ඉදිරි මැතිවරණවලදී ඒ අයගේ සැබෑ මුහුණු තවත් හෙළිවනු නියතය.
ජනපතිගේ අවසන් සැමරුම මේ ජනවාරි 08 අවසන්ය. 19 වැනි සංශෝධනය අනුව ජනපති ධුර කාලය අවුරුදු පහකි. එය පහද හයද යන්න කල්තබාම ජනපති සිරිසේන අධිකරණයෙන්ම ලිහා ගත්තේය. ඒ අනුව 2020 ජනවාරි 08 වැනිදා වන විට අලුත් ජනපති කෙනකු පත්වීමට නියමිතය. එය එසේ වන්නේ මේ වසරේ නොවැම්බර් 9ත් දෙසැම්බර් 09ත් අතර දිනක ජනාධිපතිවරණයක් පැවැත්වුවහොත්ය. එහෙත් දැන් ඕනෑම දිනක ජනාධිපතිවරණයක් පැවැත්විය හැකිය. එනම් ගෙවුණු 08 වැනිදායින් පසු ඕනෑම අවස්ථාවක ජනපතිට ජනාධිපතිවරණයට දින දිය හැකිය. එහෙත් ජනපති සිරිසේන තව මාස නවයක් දහයක් ඉන්නට ඇති ඉඩ අහිමි කර ගනු ඇත්ද? සාත්තරකාරයන්ගේ කීමට ඇන ගත් මහින්දගේ පාඩම ජනපති සිරිසේන අමතක කරනු ඇත්ද? ඒ නිසා ජනාධිපතිවරණයකට සිරිසේන ඉක්මන් වෙතැයි සිතිය නොහැකිය. ඒ කොහොම වුණත් නොවැම්බර් අග, දෙසැම්බර් මුල නම් ජනාධිපතිවරණයක් පැවැත්විය යුතුමය. ඊට පසුබිම හදා ගැනීමට නැවත ජනපතිවීමට සිරිසේන නොසෑහෙන්න දඟලනු නියතය. පොහොට්ටුවත් ළංකරගෙන නෙළුම වී පිපෙන්නට ඔහු හැකි හැම වෙරම දරනු ඇත. එය ඔහුගේ අයිතියකි. නැවත ලොකුම ගැටුම ඇතිවනුයේ එජාපයේ නායකත්වය සම්බන්ධයෙනි. එය ඉදිරියේදී බරපතළ වනු ඇත. සිරිසේන නැතහොත් ගෝඨාභය විකල්පය විය හැකිමුත් එජාපයට ඇති එකම විසඳුම රනිල්ය. මෙවර රනිල්ට මද්දුම බණ්ඩාරලා විසඳුම නොවනු ඇතිය. ඔහු සජිත් දැම්මද? චම්පිකලා හරහා හිටී. චම්පික සහ රාජිත නායකකමේ සිහින දකිමින් මේ දිනවල නිදති. එජාපයේ වැඩි පිරිසක් නායකකමට හීන දකිති. එයට චම්පික, රාජිත නොව සජිත්, නවීන්, කරු මෙන්ම හරින්ලාද ඇති බව පැහැදිලිය. මේ අනුව ලොකුම උගුලේ වැටෙනුයේ නැවත රනිල්ය. එයට ඇති එකම විසඳුම ඔහුම ඉදිරිපත්වීමය. දිනිය හැකිදැයි උත්සාහ කර බැලීමය. අගමැති ලෙස අකමැත්තෙන් වුව සජිත් තෝරා ගැනීම යහපතකි.

ඡන්ද අප්පිරියාව

කොහොම වුණත් එජාපය ඡන්දවලට බයය. ව්‍යවස්ථා උගුල් හා සංශෝධන උගුල්වලට දක්ෂ වුවද ඡන්දවලට බයය. දැනටමත් පළාත් සභා හයක නිල කාලය අවසන් වී බොහෝ කල්ය. තවත් ඉතිරිව ඇත්තේ බස්නාහිර, දකුණ සහ ඌව යන ඒවාය. මින් බස්නාහිර, දකුණ කාලය අප්‍රේල්වලින් අවසන්ය. ඌව කාලය සැප්තැම්බර් දක්වා පවතී. ඒ අනුව මේ අවුරුද්දේදීද සියලුම පළාත් සභාවන්හි කාලය අවසන් වේ. ඒ නිසා ඒ මැතිවරණ පැවැත්විය යුතුම වේ. අලුත් ක්‍රමය බැරි නම් පැරණි ක්‍රමයට හෝ ඒවා පැවැත්විය යුතුය.

මහ මැතිවරණයක් පැවැත්වීම ගැන මහා ලොකු කතාබහක් පැවතියද ඊට එජාපය කෙසේවත් මේ මොහොතේ කැමති නොවනු ඇත. එජාපයද සිරිසේන මෙන්ම මේ අටවා ගත් ආණ්ඩුව කෙසේ හෝ තව මාස ගණනාවක්ම ඇද ගන්නවා නියතය. 19න් කෙසේ හෝ රිංගා ඇමතිකම් වැඩිකර ගතහොත් එය මීට වඩා පහසුවන බැවින් ඊට හැකි හැම වෙරක්ම දැන් සිටම යොදනවා නියතය. දැනට අමාරුවෙන් හෝ හුස්ම ගන්නට එජාපයට ආණ්ඩුවක් ඇත. එය ඔක්සිජන් දී හෝ රැක ගැනීම ඔවුන් මේ මොහොතේ කරනවා නියතය.

බලයට සැවොම කෑදරය. ඉහළ සිටම පහළටම එය පොදුය. පළාත් සභා හයක කාලය දැන් අවසන්ය. ඉතිරි ඒවාද විසුරුවා හැර අවශ්‍ය නම් සියලු පළාත්හිම ඡන්දය එකම දිනයේ පැවැත්විය හැකිය. එහෙත් බස්නාහිර, දකුණ නියෝජිතයන් අපේ්්‍රල් වන තෙක් ඊට ඉඩ දේ යැයි සිතිය හැකිද? ඌව නියෝජිතයන් සැප්තැම්බර් දක්වා භුක්ති විඳින්නට ඇති දෑ අද හෙට අතහරිනු ඇත්ද? එසේ නම් වාර දෙකකදී ඡන්දය පවත්වා අවසන් කළ හැකිය. ඒ කෙසේ වෙතත් ඒ ඡන්ද සියල්ල මේ වසරේ පවත්වා අවසන් කළ යුතුය. එහෙත් දැන් ඡන්ද පැවැත්වීම මේ යහපාලනය අකමැතිම සෙල්ලම වී ඇත.

පන්සල් යෑම

ඡන්දය නොපවත්වා ඡන්දයට සූදානම්වීම අලුත්ම සෙල්ලම වී ඇත. රනිල් මේ දිනවල තෝරාගෙන ඇත්තේ මහින්ද ක්‍රමයය. එදා මහින්ද පන්සල් ගාණේ යන විට හිනාවූ පුරවැසි බුද්ධිමත්හු අද රනිල් උමතුවෙන් මෙන් පන්සල් යෑම අහක බලාගෙන සිටිති. රනිල් දළදා මාලිගාවට දණ ගසා හිස බිම ඇන වඳින අයුරු දකිනවිට ඇතිවන්නේ අප්පිරියාවකි. ඔහු මහ නායක හිමිවරුද බැහැ දැක්කේය. දැන් දැන් මහින්ද අබිබවා රනිල් පන්සල් ගානේ යති. ඒ එජාපයට අහිමි වූ බෞද්ධකම ලබාගන්නටය. බටහිර ගැතිකම පන්නා දමන්නටය. බලය රැක ගන්නට වුවමනා විදේශීය ප්‍රතිපත්ති වුවත් බලය ලබාගන්නට වුවමනා දේශීය කැමැත්ත බව රනිල් වටහාගෙන ඇත. ඒ සඳහා ඔහුට විකටයාට රඟපාන්නට වී ඇත. මේ දිනවල එය ඔහු අපූරුවට කරමින් සිටී. රනිල් පන්සල් යන නිසා මහින්ද පල්ලි යන්නට පටන් ගෙනය. රනිල් දණ ගහගෙන නොවේ බඩගාගෙන ගියත් පන්සල් මහින්දගේ බව මහින්ද දනිති. මේ අතර සිරිසේන යනුයේ හමුදා කඳවුරුවලටය. සොල්දාදුවන්ගේ දුක සැප බැලීම මේ දිනවල ඔහුගේ එකම සැපවී ඇත. සිරිසේන යන්නේ අමුතු පාරකය. ඔහු රණවිරුවන්ගේ වීරයා වී ඒ පවුල්වල විශාල ඡන්ද ප්‍රමාණය හිඟන්නට වෙර දරනවා විය හැකිය. සැවොම කරනුයේ එකම සෙල්ලමය. ඡන්දය වෙනුවෙන් මේ වසරේ හැමෝම විවිධ රංගන රඟති. ජවිපෙ කරනුයේ ඒ හැමට වඩා වෙනම රංගනයකි. එනම් මේ සැම හොරුය. අපි පමණයි ජනතා නියෝජිතයන් කියන අමුතුම රංගනයය. සැම අතරේ වීරයා වන්නට ගොස් ජවිපෙ අවසානයේ හැම කල්හිම රඟපා ඇත්තේ නළුවාගේ යාළුවාගේ චරිතයය. නළුවට සියලු ජය ලබන්නට උදව් උපකාර කරන උපකාරකයාගේ චරිතයය. හැමදා ප්‍රේක්ෂක ජනතාව මේ රංගන නරඹනවා වෙනුවට චිත්‍රපට බලනවා වෙනුවට කියන්නට පුරුදු විය යුතු කාලය පැමිණ ඇත. එය මේ වසරින්ම ඇරඹිය හැකිය.