ජනපතිවරණයක් ආවොත් පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා කේ. ඩී. ලාල්කාන්ත ජනතා විමුක්ති පෙරමුණ

සාකච්ඡා කළේ- ශ්‍රීලාල් සෙනෙවිරත්න

“ඔක්තෝබර් 26 කුමන්ත්‍රණය” පරාජය කරන්නට පෙරමුණ ගත් ජනතා විමුක්ති පෙරමුණ, ආණ්ඩුවේ ඉදිරි ගමනට බාධා වන ආකාරයෙන් ජනාධිපතිවරයා තවදුරටත් කරන කටයුතු සම්බන්ධයෙන් නිහඬ පිළිවෙතක් අනුගමනය කරන්නේ ඇයි?

අපි ඔක්තෝබර් 26 කුමන්ත්‍රණය පරාජය කිරීමට මැදිහත් වෙන්නේ මේ කාරණය ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රශ්නයක් විදිහට අරගෙන මිස රනිල් වික්‍රමසිංහගේ අගමැතිකම නැතිවීමට හෝ ඒ ආණ්ඩුව ඉදිරියට ගෙනයාමට අදාළ වන පැත්තකින් බලලා නොවෙයි. කුමන්ත්‍රණය පරාජය කර තිබුණත් ජනාධිපතිවරයා මේ වන විටත් ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් තමයි තවදුරටත් කටයුතු කරමින් සිටින්නේ. ඔහුට 19 වැනි සංශෝධනය මගින් නිශ්චිත කරලා තියෙන විෂයන්ට අමතර විෂයන් ඔහුගේ අතේ තියාගෙන සිටිනවා. ඒ වගේම ජනාධිපතිවරයා ව්‍යවස්ථාව උල්ලංඝනය කළාය කියන එක අධිකරණයේදී ඔප්පු වෙලාත් තියනවා. එලෙස ව්‍යවස්ථාව උල්ලංඝනය කළ, සහ තවදුරටත් එලෙස කරමින් සිටින ජනාධිපතිවරයෙක් සම්බන්ධයෙන් රටේ පාර්ලිමේන්තුව පක්ෂ භේද නොසළකා ගත යුතු පියවරක් තියනවා. ඒ තමයි ඔහු ජනාධිපති ධුරයෙන් ඉවත් කොට දැමීම. ඒත් පාර්ලිමේන්තුව ඒ වගකීම ඉෂ්ට කරන්නෙත් නෑ. ඒ කියන්නේ ජනාධිපතිවරයා මෙන්ම පාර්ලිමේන්තුවත් තමන්ගේ වගකීම ඉෂ්ට නොකරන රටක් බවට මේ රට පත්වෙලා තියනවා. ඇත්තටම ගත්තොත් දැන් රටේ පවතින්නේ රනිල්-මෛත්‍රී-මහින්ද තුන්හවුල් පාලනයක්. මේ අය එකිනෙකා බල අරගලයක ඉන්න අතරම, එකිනෙකාව ආරක්ෂා කරගනිමින් කටයුතු කරන තත්ත්වයකුත් තියනවා. අපිට වගකීම තියෙන්නේ මේ ආණ්ඩුවේ පාලනය ඉදිරියට ගෙනියන්න තියන බාධා ඉවත් කරලා දෙන එක නෙවෙයි. ව්‍යවස්ථාවෙන් ආරක්ෂා වෙලා තියන යම් ප්‍රජාතන්ත්‍රවාදී ඉඩකඩක් වේද, ඒක ආරක්ෂා කරගැනීමට කටයුතු කරන එකත්, කුමන්ත්‍රණයට සම්බන්ධ අයට දඬුවම් කිරීම සඳහා පාර්ලිමේන්තු පනතක් හරහා කොමිසමක් ස්ථාපිත කරලා, ඒ කොමිසම මගින් දෙන නිර්දේශ අනුව ක්‍රියාත්මක කරන වැඩ පිළිවෙළක් සාර්ථක කරගැනීමත්, විධායක ජනාධිපති ක්‍රමය වෙනුවට පාර්ලිමේන්තු පාලන ක්‍රමයක් ස්ථාපිත කරගැනීමට මැදිහත් වෙන එකත්. ඒක තමයි දැන් අපේ න්‍යාය පත්‍රයේ තියෙන්නේ.

ව්‍යවස්ථාව උල්ලංඝනය කළ ජනාධිපතිවරයාට විරුද්ධව පාර්ලිමේන්තුව තුළ ගත හැකි ක්‍රියාමාර්ග ගැනීමට අනෙක් පක්ෂ වගේම ජනතා විමුක්ති පෙරමුණත් ඉදිරිපත් නොවෙන්නේ ඇයි?

ඇතිවී තිබෙන තත්ත්වය අනුව මේ පාර්ලිමේන්තුව මගින් දෝෂාභියෝගයක් ඉදිරිපත් කර එය ජයග්‍රහණය කිරීම හරහා පමණයි ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත් කළ හැකිව තියෙන්නේ. දෝෂාභියෝගයක් ගෙන ආ යුතුයි කියන මතය අපි දැරුවා වුවත් දැන් තියන තත්ත්වය අනුව එය සාර්ථක කරගැනීමට තිබෙන ඉඩකඩ ඉතාම අඩුයි. මොකද එක්සත් ජාතික පක්ෂය මේ වැඬේට කරගහන්නෙත් නෑ. ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීධුර හයකින් මේක කරන්නත් බෑ. අපිට දැනට පුළුවන්කම තියෙන්නේ සමාජයේ අවබෝධය හදන්නයි. පාර්ලිමේන්තුවෙන් මෙවැනි වැඩක් කළ යුතුව තියනවා, ඒත් කිසිවෙක් ඒ වගකීම ඉෂ්ට නොකරන බව සමාජයට ඒත්තු ගන්නලා මොවුන් වගකිව යුතු පාලකයෝ නොවන බව තහවුරු කරන්නයි.

එක්සත් ජාතික පක්ෂය කරනකම් බලාගෙන නොඉඳ ජනතා විමුක්ති පෙරමුණට පුළුවන්නේ දෝෂාභියෝගයක් සකස් කරලා අස්සන් එකතු කරන්න පටන් ගන්න. ඇයි ඉතිං එහෙම නොකරන්නේ?

එහෙම දාන්න පුළුවන්. ඒත් දේශපාලනයේ යථාර්ථයක් ගැඹුරක් ගැන අපිට අවබෝධයක් තියනවා. එතකොට අපි නිශ්ඵල උත්සාහයක් අරගෙන වැඩක් නෑ. ඔබ කියනවා වගේ ඕනේ නම් අපිට පුළුවන් එහෙම එකක් මගිනුත් අපි කියන පනිවිඩය සමාජයට දෙන්න. ඒත් එක්සත් ජාතික පක්ෂය මේකට නිල වශයෙන් තීරණයක් ගන්නේ නැතිව, ඒ පක්ෂයේ කවුරුත් මේකට සම්බන්ධ වෙන්නේ නෑනේ. එක්සත් ජනතා නිදහස් සන්ධානේ මන්ත්‍රීවරු මේකට සම්බන්ධ වෙන්නෙත් නෑ. එතකොට අපිට නිකන් තර්කයක් විතරයි තියෙන්නේ. යථාර්ථයක් වෙන්නේ නෑ කියන ගැන අපිට විශ්වාසයක් තියනවා.
ප්‍රධාන පක්ෂ දෙක වගේම ඉදිරි මැතිවරණවලට මුහුණ දීමට ජනතා විමුක්ති පෙරමුණත් යම් සන්ධානයක් වශයෙන් ගොණුවීමේ උත්සාහයක සිටින බව කියැවෙනවා. එහි අරමුණු සහ ප්‍රගතිය මොනවගේද?
මේ තියන දේශපාලන පක්ෂත්, ඒවායේ යාන්ත්‍රණත්, ආයතන පද්ධතිත් විනාශ වෙලා තියන බව මුළු සමාජයම දැන නොගත්තත් ඒ ගැන දැනුම්වත් කණ්ඩායම්, සංවිධාන, පුද්ගලයන් යම් ප්‍රමාණයක් සිටිනවා. දැන් ඕනේ කරලා තියෙන්නේ යූඑන්පී, ශ්‍රී ලංකා, රාජපක්ෂ තුන්හවුල පරාජය කරන්නට හැකියැයි ජනතාවට හැඟෙන සන්ධානයක අවශ්‍යතාවක්. ඒ අවශ්‍යතාව සම්පූර්ණ කිරීම ඉලක්ක කරගත් වුවමනාවකින් අපි වැඩකරගෙන යනවා. අපි පැහැදිලිවම තේරුම් අරගෙන තියනවා ජනතා විමුක්ති පෙරමුණ තනිවම ඉදිරිපත් වන ක්‍රියාවලියකින් අර බලවේග පරාජය කරලා සමාජ ජයග්‍රහණ ලබාගන්න පුළුවන් වේයැයි කියන හැඟීමක් දක්වා සමාජය මේ මොහොතේ ඇවිල්ලා නෑ. ඒත් සමාජය කුණුවෙලා තියෙන්නේ. ඒ නිසා රනිල් මෛත්‍රී මහින්ද කියන ත්‍රිත්වයට පරිභාහිරව සමාජය තුළ වෙනසක් ඉල්ලන විවිධ වූ ආයතනික ස්වරූපයේ වේවා, තනි තනි පුද්ගලයන්, උගත් බුද්ධිමත් අය වේවා එක් කළ වැඩසටහනක් හැර මේකට වෙන උත්තරයක් මේ වෙලාවේ අපට පේන්නේ නෑ. වමේ එකතුවක් කිසිසේත්ම මේකට ප්‍රමාණවත් නෑ. ජේවීපී එකට තනිවම මේක කරන්නත් බෑ. අපි කරමින් ඉන්නේ ඔන්න ඔය පදනමින් ඒ විශ්වාසය ගොඩනඟමින් “අපේ කාර්යභාරය අපි කරන්නම්. ඒ වුවමනාව තියන අනෙක් අයත් තම තමන්ගේ කාර්ය කරමින් මේ කියන සන්ධානය ගොඩනඟන්නට මැදිහත් වෙමු” කියන යෝජනාව ඉදිරිපත් කිරීමයි. ‘මු’ යන්න පාවිච්චි කරලයි අපි කතා කරන්නේ.

ජවිපෙත් නොවන, වමෙත් නොවන, කුමන පාර්ශ්වයන්ගේ අභිලාෂයන්ද ඔය සන්ධානය නියෝජනය කරන්නේ?

2015 ජනවාරි 08 වැනිදා සමාජය තුළ ඉතා යහපත් අභිලාෂයන් පොදි බැඳගත්ත ජන බලවේගයන් සහ පුද්ගලයන් තමයි රාජපක්ෂ පාලනය පෙරළා දැමුවේ. මෛත්‍රීයි රනිලුයි දෙන්නා තමයි ඒ බලවේගයට මූලිකව නායකත්වය දුන්නේ. ඔවුන් දෙදෙනාම මීට බොහෝ කාලයකට පෙරම ඔවුන් බලයට පත්කළ ජනතාවගේ අභිලාෂයන්වලට පයින් ගැහුවා. ‘ජනවාරි 8’ ජනතාවගේ දේශපාලන අභිලාෂයත් අපි කරන අරගලය සහ මැදිහත්වීම තුළ අන්තර්ගතව තියනවා. ඒ බලවේගයට අද නායකත්වයක් නෑ. රනිල් එක්කත් ගමනක් නෑ. ඒ නිසා අපිත් ඉන්න, අපිට විතරක්ම සම්පූර්ණ කරන්න බැරි, ඒ නායකත්වය මේ බලවේගයට දේශපාලන වශයෙන් ලබාදීමේ වගකීමක් ජවිපෙට තියනවා. අපි කියන්නේ අපිට තනියම ඒක කරන්න බෑ. තවත් අය සම්බන්ධ වෙලා එය කළ යුතුයි. මුස්ලිම් පක්ෂ, දෙමළ පක්ෂ, විවිධ වර්ණයන්ගෙන් සමන්විත තවත් අයත් ඒකට එකතු කරගත යුතුව තිබෙනවා. එවැනි සන්ධානයක් තමයි මේ රට පරිවර්තනයක් කිරීමට සමත් එකක් බවට පත්වෙන්නේ. අපි මහන්සි වෙන්නේ ඒ වැඬේට. ඒක එක්තරා ආකාරයකට මැතිවරණය ඉලක්ක කරගත්ත සන්ධානයකට වඩා ගැඹුරක් තියන එකක්. මැතිවරණවලටත් මුහුණ දිය යුතුයි. ඒත් මේ ප්‍රශ්න ඉදිරියේ එන මැතිවරණයකින් පමණක් විසඳාගත හැකි ඒවා නොවෙයි. සමාජය ඉතාම බරපතල කඩා වැටීමක තියෙන්නේ. සරළ වෙනස්වීමකින් ඒක වෙනස් කරන්න බෑ.

ප්‍රධාන දේශපාලන කඳවුරු දෙක තුළත් ‘ජනවාරි 8’ ජනතා අභිලාෂයන් වෙනුවෙන් අවංක වුවමනාවක් තියන අය සිටිය හැකියි. එවැනි අයත් මේකට සම්බන්ධ කරගන්නවාද?

එවැනි අය ඉන්නවා නම් ඒ අය ගැන පුද්ගලික මට්ටමින් සළකා බලා තීරණ ගන්න පුළුවන්. හැබැයි ඒ තීරණ ගන්න ඕනේ ජේවීපී එක නොවෙයි. මේ සන්ධානයට එකතු වෙන පොදු කණ්ඩායම. අපිත් ඒකේ ඉඳියි. එයින් මම අදහස් කරන්නේ දැනට ඉන්න අයගෙන් ඒ සන්ධානය අරම්භ කරලා, එයින් තීරණ අරගෙන ඉදිරියට යා යුතු බව. ජේවීපී එකෙන් තීරණ ගන්න සන්ධානයක් වුණොත් ඒක සාර්ථක කරගන්න බෑ කියා මම හිතනවා. ජේවීපී එකේ නායකත්වයත් අපි ගොඩනඟන සන්ධානයේ නායකත්වයත් දෙකක්. කටයුතු සිදුවෙන්නෙත් වෙනම.

ප්‍රධාන පක්ෂයක් සමඟ සන්ධානයකට ගිහින් වඩා ඉක්මන් ජයග්‍රහණයන් වෙත යොමුවෙන්න කැමැත්තක් නැත්ද?

කිසිසේත්ම නෑ. එක්සත් ජාතික පක්ෂය සමඟ සම්බන්ධ වෙලා මේ රට වැටිලා තියන වළෙන් ගොඩගන්න පුළුවන් වෙයි කියා අපි සිතන්නේ නෑ. මොකද ඔවුනුත් මේකේ බරපතළ කොටස්කාරයෝ. මේ මොහොතෙත් රටට එරෙහිව සිදුවන නරකේ දැවැන්ත පංගුකාරයෝ. ඒ වගේම මහින්ද රාජපක්ෂ මහත්තයලා සමඟ එකතු වෙලත් ඒක කරන්න පුළුවන් කියා අපි කිසිසේත්ම විශ්වාස කරන්නේ නෑ. මේ දෙගොල්ලම දේශපාලනය කියන වැදගත් වෘත්තිය රටේ සම්පත් ටික කොල්ලකන්න පාවිච්චි කරන දෙයක් බවට පත්කරගෙන තිබෙනවා. ඔවුන් දැන් දේශපාලනයට ඇතුල් වෙන්නේම එම දැක්මත් සහිතව. එවැනි දේශපාලන පක්ෂ එක්ක එකතුවෙලා රටේ දේශපාලන පරිවර්තනයක් සිදුකර ගන්නට හැකිවේය කියා අපි කිසිසේත්ම විශ්වාස කරන්නේ නෑ.

ජනතාව මතවාදීව ජනතා විමුක්ති පෙරමුණ සමඟ සිටින බවක් බොහෝ විට පෙණුනත් ජවිපෙ තනිව තරඟ කරන මැතිවරණවලදී ඡන්ද ලක්ෂ දහයක සීමාව පසුකර යාමට පවා නොහැකිව තිබෙනවා. ඇයි එහෙම වෙන්නේ කියා සොයා බලා තිබෙනවාද?

කාරණා කිහිපයක් තිබෙනවා. පළවැනි කාරණය තමයි තිබෙන කුණු වූ දේශපාලනය පරාජය කිරීමට සමත් කමක් සහිතව ඉදිරියට එන්න පක්ෂයක් විදිහට අපි අසමත් වෙලා තියනවා. ජනතාව අපිට කොච්චර කැමැති වුණත් ඒගොල්ලන්ගේ මනසේ තියනවා අපිට දිනන්න බෑ කියලා. ඊළඟට ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳව තාමත් සමාජය තුළ යම් යම් අපැහැදිලිකම් තියනවා. මේ මෑතකදි රූපවාහිනී සංවාද වැඩසටහනකදි මගෙන් ඇහුවා ජේවීපී එක බලයට ආවොත් ජනතාවගේ ඉඩම් පවර ගන්නවද කියලා. “ලංකාවේ මිනිස්සුන්ගේ ඉඩම් පවර ගන්න දෙයක් නෑ. ඉඩම් තියෙන්නේ මිනිස්සු අතේ. රුසියාවෙ නම් ඉඩම් තිබුණේ මිනිස්සු අතේ නෙවෙයි. ඒ නිසා පවරාගෙන ගොවීන්ට ඉඩම් දුන්නා” කියලා මම කිව්වා. ඔක්තෝබර් 26 අරගලයෙන් පස්සේ සම්බන්ධකම් ඇතිවෙච්ච නීතිඥ මහත්තයෙක් ඊට පහුවදා කතා කරලා මට කියනවා “ආනේ ඔයා ඒක කිව්ව එක හොඳයි. මමත් මෙච්චර කල් හිතාගෙන හිටියේ එහෙමයි කියලා.” ඔන්න ඔය වගේ අපි පිළිබඳ අපැහැදිලිකම් තියනවා. ඊළඟට මේගොල්ල ආවොත් මොනවා කරයිද වගේ සැකයකුත් ජනතාව තුළ තියනවා. මිනිස්සුන්ට ඕනේ කරලා තියෙන්නේ අපේ වචනයෙන් කියන විප්ලවයක් නෙවෙයි. එහෙම කියන කොටත් ඒකට බයයි. හැබැයි අපි වෙනත් පක්ෂ සමඟ සන්ධාන හදලා එනකොට ඒ බය නෑ.

නතාව තුළ තියන ඒ අපැහැදිලිතා පැහැදිලි කර දෙන්න ජවිපෙට තවමත් සාර්ථක වැඩ පිළිවෙළක් නැත්ද?

ඒ නිසා තමයි අපි විවිධ සමාජ කණ්ඩායම් එක්ක මුහුවෙමින් වැඩ කිරීමේ වුවමනාවකින් කටයුතු කරන්නේ. අපේ සමාජයේ පාවෙන ඡන්දදායකයෝ කොටස් දෙකක් ඉන්නවා. ඉන් එකක මූලික යටිතල ප්‍රශ්න ටික විසඳිලා. ඒ අයට ඕනේ කරන්නේ නීතියේ පාලනය, අධිකරණයේ ස්වාධීනත්වය, රාජ්‍ය සේවයේ කාර්යක්ෂමභාවය, ඔන්න ඔය වගේ දේවල්. ඒගොල්ලොත් එක්කලා වැඩකරන එක අපිට ලේසියි. අනෙක් පාවෙන කොටස අන්ත දරිද්‍රතාවයේ සිටින්නන්. මූලික යටිතල පහසුකම් ටිකවත් සම්පූර්ණ නොවුණු අය. ඒ අයට වැදගත් නෑ අධිකරණයේ ස්වාධීනත්වය. නීතියේ පාලනය වගේ දේවල්. තෙමෙන වහළට තහඩු ටිකක් දෙන කෙනා තමයි එයාලට දෙයියා. ඒගොල්ල අනුගත වෙන්නේ තමන්ට වාසි දෙන තැනට. අපිට ඒක සම්පූර්ණ කරන්න බෑ. අපිට පුළුවන්කම තියෙන්නේ හිතන මතන, වෙනත් ආකාරයකට කල්පනා කරන සමාජයත් එක්ක වැඩකරමින් අපි ගැන තිබෙන අපැහැදිලිතාවලට පිළිතුරු සපයමින් දිගුකාලීන ගමනකට මූලික පියවර ගන්න යි. නව යුගයකට යන ගමනක් සඳහා පදනමක් හදන්නයි.

ජනතා විමුක්තිත පෙරමුණ ඉදිරිපත් කළ 20 වැනි ව්‍යවසථා සංශෝධනය සම්මත කර ගැනීම පිළිබඳවත් වැඩි විශ්වාසයක් තබන්නට නොහැකි ප්‍රායෝගික තත්ත්වයක් යටතේ ඉදිරි ජනාධිපතිවරණයකදී ජනතා විමුක්ති පෙරමුණ ක්‍රියා කරන්නට බලාපොරොත්තු වෙන්නේ කෙසේද?

20 වැනි සංශෝධනයේ මූලික පදනම ප්‍රජාතන්ත්‍රවාදය පුළුල් කිරීම කියන කාරණයයි. එහිදී ප්‍රමුඛයි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම. අපි ඒ සඳහා අන්තිම මොහොත දක්වාම උපරිම උත්සාහයක් ගන්නවා. නොහැකි වුවහොත් ඉදිරියේ එන ජනාධිපතිවරණයට රනිල්-මෛත්‍රී-මහින්ද විරෝධී අර අපි කලින් සඳහන් කළ බලවේගයේ වුවමනාවන් නියෝජනය කරන අපේක්ෂකයෙක් අපි ඉදිරිපත් කරනවා. ඒක ස්ථිරයි. එයාව පොදු අපේක්ෂකයෙක් කිරීමයි අපේ අභිලාෂය. අපි එහෙම කරන තත්ත්වයක් තුළ වෙන කාටවත් පොදු අපේක්ෂකයෝ නමින් ඉදිරිපත් කිරීමේ වලංගුභාවයක් එන්නෙත් නෑ. ඒ අපේක්ෂකයා දිනනවාද පරදිනවාද යන එක කෙසේ වුවත් ඒ හැර වෙනත් උත්තරයක් අපිට මෙතනදි නෑ. ඒ නිසා අනිවාර්යෙන් අපි ඒක කරනවා.