ආහාර ඇති ප්‍රජාතන්ත්‍රවාදය නැති වැල්වැටිතුරෙයි

රසික ගුණවර්ධන

වැල්වැටිතුරෙයි දැන් යුද්ධයේ අළු ගසා දමා අහවරය. එහි බොහෝ දෙනා සිය ජීවිකාව බවට පත්කරගෙන ඇත්තේ ධීවර කර්මාන්තයයි. ඒ බව කියන්නේ වෙරළේ එක පෙළට නවතා ඇති බෝට්ටුය. වෙරළට මායිම්ව සාදා ඇත්තේ ගල් ඇල්ලු මංතීරුවකි. හවසට එහි එකා දෙන්නා පැමිණේ. වෙරළේ තැනක බෝට්ටුවකට වී කිහිපදෙනකු බරසාර සකච්ඡාවකි. ඒ වෙරළේ එක් කොනක ඉදිකළ විශාල කෝවිලකි. ඒ කෝවිල් භූමිය අවසන් වන්නේ මුහුදෙනි!.

තැනින් තැන ගැවසෙන තරුණයෝ මෙහි නොවෙති. සවස්වරුවේ ඇතැම් දෙනෙක් මුහුදු රස්සාවට යාමට සූදානම් වෙති. ඇතැම්හු නගරයේ ව්‍යාපාරවල නියැලෙති. වැල්වැටිතුරෙයි නගරය කුඩා වුවද සිවිල් ජන ජීවිතයට අවශ්‍ය සියලු රාජ්‍ය ආයතන, මූල්‍ය ආයතන ඇතුලු අනෙකුත් සෑම ආයතනයක්ම මෙහි පිහිටා ඇත. ගොඩනැගිලි දෙකක් ඇති බස් නැවතුමේ බස් රථයක් හෝ දෙකක් වරදින්නේම නැත. ඒ අසලම කුලී ත්‍රිරෝද රථ කිහිපයකි. නගරයට පැමිණෙන පටු මාර්ගයට ආසන්න වන්නටම ඉදිකළ දෙමහල් පැරණි වෙළෙඳ සැල් මාර්ගයේ දෙපසින්ම ඇත. මේවා කෙසේ තිබුණද සඳහන් කළ යුතුම කාරණාව නම් වැල්වැටිතුරෙයි කිසියම් පාළු ස්වභාවයක් විසින් ගිලගෙන තිබූ බවයි.

නගරයේ මිනිසුන් කිහිපදෙනකු එහා මෙහා ගියද, වෙළෙඳ සැල් විවෘතකර තිබුණද එහි කිසියම් ගුප්ත බවක් සැඟවී ඇත. අපට හැඟුනේ ඒ ගුප්ත බවට හේතුව නම් අනවශ්‍ය පරිදි ජන ජීවිතයට සීමා පැනවෙන ලෙස වෙන ආරක්ෂක අංශ බවයි. වැල්වැටිතුරෙයිට පිවිසෙන තැනම ඉදි කළ යුධ හමුදා කඳවුරකි, ඊට අමතරව නගර මධ්‍යයේ පොලිස්ථානයකි. එක් කුඩා නගරයකට පොලිස් ස්ථානයක් හා සන්නද්ධ හමුදා කඳවුරක් යන ආරක්ෂක ආයතන දෙකක් පිහිටුවා ඇත්තේ කුමන හේතුවක් සඳහාද? ඕනෑම නගරයක සිවිල් ජනතාවගේ ආරක්ෂාව සහ නීතිය හා සාමය ආරක්ෂා කිරීම පිණිස පොලීසියක් පිහිටුවීමේ ගැටලුවක් නැත. එහෙත් හමුදා කඳවුරක් නගරය තුළ පිහිටුවා ඇත්තේ කුමක් සඳහාද? එසේ ආරක්ෂාව සඳහා හෝ කිසියම් සාධාරණ කටයුත්තක් සඳහා හමුදා කඳවුරක් අවශ්‍ය නම් සිදු කළ යුත්තේ නගරයට පිටතින්, සිවිල් ජන ජීවිතයට බාධා නොවන ලෙස, සිවිල් ක්‍රියාකාරකම් සිදු නොවන ප්‍රදේශයක කඳවුර පිහිටුවීමයි.

යුද්ධයක දී එහි නිවැරදිකරුවෝ සෙවිය නොහැකිය. එහි සියල්ලෝම හිංසනයට දායක වන නිසා වැරදිකරුවෝ වෙති. එහෙත් උතුරට තමන්ගේ පාර්ශ්වය නිවැරදිකරුවන්ය. අනෙක් පාර්ශ්වය වැරදිකරුවන්ය. තිස් වසරක යුද්ධයෙන් පසු අප සියලු දෙනාම මේ ගෙවා දමමින් සිටින්නේ එසේ නිවැරදිකරුවන් සහ වැරදි කරුවන් ලෙස හඳුන්වා දෙන මොහොතකය. දකුණට ඩෙන්සිල් කොබ්බෑකඩුව, සරත් ෆොන්සේකා සහ මහින්ද රාජපක්ෂ වැදගත් වනවා සේම උතුරට ප්‍රභාකරන්, තමිල්සෙල්වම්, තිලීපන් වැන්නවුන් වැදගත් වේ.

දකුණ කියන්නේ තමන්ගේ වීරයන් රට බේරාගත් බවයි. උතුර කියන්නේ තමන්ගේ වීරයන් තමන්ගේ නිදහස වෙනුවෙන් ජීවිත පූජාකළ බවයි. මේවා මතුපිටින් බලන කල වැරදි යැයි කිව නොහැක. එහෙත් හාස්‍යජනක අභ්‍යන්තරයක් මේවාගේ සැඟව පවතී. දකුණේ ඩෙන්සිල් කොබ්බෑකඩුවගේ පිළිරූ ඇත. ඔහුට ගෞරව දක්වමින් කතාබහ කිරීමට ඉඩ ඇත. දකුණේ අනෙක් වීරයන්ගේ තත්ත්වයද එසේමය. ඔවුන්ට සැමරීමට අවස්ථාව දී ඇත. මහින්ද රාජපක්ෂ බැලීමට මැදමුලනට යා හැකිය. එසේ නොමැතිනම් මහින්දගේ ඡායාරූපයක් තුරුලුකරගෙන නිදා ගැනීමට පවා නිදහසක් දකුණට ඇත. එහෙත් උතුරට තමන්ගේ වීරයන් සැමරීමට හෝ සිහි කිරීමට අවස්ථාවක් ඇත්තේ නැත.

යාපනයේ වැල්වැටිතුරෙයි ප්‍රභාකරන් බොහෝ කලකට පෙර විසූ නිවසේ දැනට ඉතිරිව ඇත්තේ එක් බිත්තියක් පමණි. එය කඩා දමා ඇත්තේ යුද්ධය අවසන් වූවා යැයි කියන දෙදහස් නවයෙන් පසුය. එසේ කඩා දමා ඇත්තේද යුධ හමුදාව විසිනි. එහෙත් එහි තවමත් දමිළ භාෂාවෙන් සටහන් කළ ”ප්‍රභාකරන්ගේ නිවස” යන්න තිබෙනු දැකගත හැකිය. එහෙත් ඊට උඩින් කළු තෙල් හෝ කුමක් හෝ තීන්ත වර්ගයක් ආලේප කර ඇත. ප්‍රභාකරන්ගේ නිවස කඩා දැමුවේ ඇයි? පැනය එයයි. මෙම නිවස ප්‍රභාකරන් යුධ සමයේ ජීවත් වූ නිවස නොවේ. එය ප්‍රභාකරන් කුඩා කාලයේ ජීවත් වූ නිවසයි. එය කඩා දැමීමේ කුමණ හෝ අවශ්‍යතාවක් ඇතැයි අප දකින්නේ නැත. දකුණේ ඇතැමුන්ට මහින්ද රාජපක්ෂ වීරයකු වනවා සේම උතුරේ ඇතැමුන්ටද ප්‍රභාකරන් වීරයෙකි. දකුණට මහින්ද රාජපක්ෂව සැමරීමට අයිතියක් ඇත්තා සේම උතුරට ප්‍රභාකරන්ගේ සැමරීමට අයිතිය ලැබිය යුතුය. ඉතිහාසය කියන්නේ එළාර පරාජය කළ දුටු ගැමුණු එළාරට ගෞරවය දැක් වූ බවයි. එහෙත් වර්තමානය උතුරේ සටන්කරුවාගේ සිහිවටන පවා විනාශ කර දමා ඇත. උතුරට ප්‍රභාකරන් පිළිබඳව ප්‍රබල විවේචන පැවතිය හැකිය. මහින්ද රාජපක්ෂ පිළිබඳවද තත්ත්වය එසේමය. එහෙමයි කියා මහින්ද රාජපක්ෂ මියගිය දාක ඔහුගේ සිහිවටන කඩා දැමිය යුතු නොවේ. ප්‍රභාකරන්ගේ ගැටලුව ඇත්තේ ක්‍රියාත්මක වීමේදීය. එහෙත් ඔහුගේ අරමුණ වූ දෙමළ මිනිසුන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීමට බොහෝ දෙමළ ප්‍රජාව එකඟය.

ප්‍රභාකරන්ගේ නිවස කඩා දැමීම ප්‍රභාකරන් භීතිකාව නිසා සිදු කළ දෙයකි. සාධාරණ නොවන ලෙස, උතුරේ දෙමළ ජනතාවගේ ගැටලු නොවිසඳා යුද්ධය අහවර කිරීම නිසා රජය භීතියෙන් සලිතව උතුර තුළ තිබූ දෙමළ අරගලයේ සැමරුම් විනාශ කර දැමීම දෙදහස් නවයෙන් අනතුරුව ආරම්භ කළේය. එහෙත් රජයේ බිය හුඹස් බියකි. කණ අසලින් වෙඩි උණ්ඩ යනවාට තවත් ඔවුන් කැමති නැත. තමන්ගේ භූමිය තමන්ගේ මිනිසුන්ගේ ලෙයින් තෙත්වනවාට ඔවුන් කැමති නැත. ඒ නිසා දැන් උතුරේ මිනිස්සු තමන්ගේ දහඩියෙන් තමන්ගේ බිම තෙමා ජීවත් වීමට වෙර දරති. ඒ අතර තුර රජය විසින් තමන්ගේ කාර්යයභාරය ඉටු කළ යුතුව ඇත. දකුණේ මිනිසුන් තවමත් උතුරේ සොයන්නේ අපේ හමුදාව ගහපු කොටින්ගේ තිප්පලවල් තිබුණු තැන්ය. දකුණේ සිට උතුරට යන පිරිසට එල්ටීටීය පරාජය කළ තැන් ඔවුන්ගේ විනාශ කළ දෑ දකින එක තවදුරටත් ආශ්වාදජනක කාර්යාලයකි. වැල්වැටිතුරෙයි ප්‍රභාකරන්ගේ නිවසේ එක් බිත්තියක් ඉතිරිකර කර ඇත්තේ කඩා දැමූ බව හැඟවීමටය. දකුණෙන් පැමිණෙන වුන්ට සිය හමුදාව පිළිබඳව මහා අභිමානයක් ඉපදවීමටය. ඒ නිවස මුළුමනින්ම කඩා දැමුවා නම් එය එසේ වන්නේ නැත. දකින වාරයක් පාසා උතුරේ දෙමළ මිනිසුන්ගේ සිත් රිදෙන්නේ නැත. උතුර හඬන දෙස බලා දකුණට චූන් වීමට බාගෙට කැඩූ ප්‍රභාකරන්ගේ වැල්වැටිතුරෙයි නිවස සෑහෙයි.

මූලිකවම ඔවුන්ට ලැබිය යුත්තේ නාමික සිවිල් පාලනයක් හෙවත් මිලිටරි පාලනයක් නොව ප්‍රජාතන්ත්‍රවාදී සිවිල් පාලනයකි. ඒ සඳහා මුලින්ම හමුදාව සිවිල් ක්‍රියාකාරකම් ඇති භූමියෙන් ඉවත් විය යුතුව ඇත. වැල්වැටිතුරෙයි මිනිසුන් මාලුවකු දෙන්නකු අල්ලාගෙන හෝ ජීවත් වනු ඇත. ඒ නිසා ඔවුන්ගේ ප්‍රමුඛ උවමනාව කොළඹට සේම වැල්වැටිතුරෙයිටද ප්‍රජාතන්ත්‍රවාදය ලැබීමයි. මුරලිදරන් වරක් කීවේ මිනිසුන්ට අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදය නොව කන්නට බවයි. එහෙත් උතුරේ මිනිසුන්ට කෑමට පෙර අවශ්‍ය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදයයි. සිවිල් පාලනයයි. යුධ සමයේද උතුරට කන්නට තිබුණි. දැනුද තිබේ. ඔවුන්ට දැන් උවමනා නිදහසේ කන්නටය. මුරලිදරන්ට කොළඹ නිදහස ඇති නිසා කෑමේ වුමනාව පමණක් දැනෙනු ඇත. ප්‍රභාකරන් දෙමළ කතා කළා කියා ඔහු උතුරේ දුක් විඳින මිනිසුන්ගෙන් කෙනකු වන්නේද නැත.