කමල් – සුලෝචනා මනෝ – කායික අරගලය

විමලනාත් වීරරත්න

වර්තමාන නළුවා ද්‍රව්‍යවාදී සංකල්පවල බලපෑමෙන් මිදීමට හැකි තරම් ක්‍රියාකරන ආකාරයක් පෙනී යයි. එහි වාසිය වන්නේ චරිතයක් පිළිබඳ මානසික මූලධර්ම ඔහු වැඩිපුර ස්පර්ශ කරනු දක්නා ලැබීමයි. විශේෂයෙන්ම රංගනය යනු මනෝ-කායික ප්‍රවේශයක් ලෙස ස්ටැනිස්ලවුස්කි විසින් සිය සුසාධික රංග අධ්‍යයන හා අභ්‍යාසයක් තුළ වර නැගීමත් සමග රංගන ශිල්පීන්ගේ අවධානය එම තිර අදහස කෙරෙහි කෙමෙන් යොමුවීම රංග කලාවේ අභිවෘද්ධියට හේතුවිය.

මිනිසා ජීවත්වන්නේ ද්‍රව්‍යවාදී ලෝකයක වුවත් රංගනය තුළ ද්‍රව්‍යයය යන්න පාරභෞතිකයක් විය යුතුය. නැතහොත් රංගනයේ අභ්‍යන්තර සුසමාදර්ශයන් ඉස්මතු නොවේ. උසස් රංගනයක් ලෙස ස්ථාපිත වනුයේ එය මතුපිටවාදී ප්‍රතිනිර්මාණයකට ලක් කරනවාට වඩා චරිතයක මනෝභවික ඉරියව් (Psychological Gestures) ඉස්මතු කරගැනීම ඔස්සේය. ජීවිතයේ බාහිර ලකුණු අනුකරණය කිරීමෙන්, තොරව ජීවිතයේ ගැඹුර හා ඉන් ඔබ්බෙහි වූ විෂය ප්‍රදේශයන් ස්පර්ශ කළ හැක්කේ රංගන ශිල්පියා ද්‍රව්‍යය හා භෞතිකවාදී ලෝකයෙන් පලා ගොස් මානසික ලෝකයක කරන දෘෂ්ටිවාදී අරගලයකින් පමණි. තර්ක ඥානයේ අවිධිවීම මේ සෑම විටකම පසුබිමෙහි තබා ගැනීම රංගය විස්තෘත තත්ත්වයට පත්කිරීමට හේතුවෙයි. එහි වැදගත්කම වන්නේ තමා තුළ සිටින පුද්ගලයාගෙන් තමා තුළ නොසිටින අනෙකා විච්ඡේදනය කර බලා අනෙකාගේ කැඩපතින්ම යළි තමා දෙස බැලීමටද හැකිවීමය. යළි තමා දෙන බැලීමට හැකිවීම නමැති කාරණය මෙහිදී ඉතා වැදගත්වෙයි. මන්ද නිරූපණයේ කේන්ද්‍රය තමාය. එවිට රංගය යනු කේන්ද්‍රඅපසාරී ආලෝක කදම්භයක් පරිධිය දෙසට විහිදුවා කරන අතිවිශාල නිරීක්ෂණයකි. එය අන්වීක්ෂ නිරීක්ෂණයක් වන්නේ ද්‍රව්‍යවාදී ආස්ථානය ඉක්මවා ගිය සියයට සියයකින් පරිපූර්ණ මනෝ කායික ක්‍රියාවලියක් බවට පත්වීමේදීය.

උක්ත පූර්විකාව අවශ්‍ය යැයි හැඟුණේ ගින්නෙන් උපන් සීතල චිත්‍රපටයේ රෝහණ විජේවීරගේ සහ චිත්‍රාංගනී විජේවීරගේ භූමිකා නිරූපණය කළ ශිල්පීන් දෙදෙනා කෙතෙක් දුරට එම චරිත තර්කානුකූල පදනමක පිහිටුවා තිබුණිද යන්න විමසා බැලීමටය. ප්‍රබන්ධ නොවන චරිත නිරූපණය කිරීම ප්‍රබන්ධගත චරිත නිරූපණය කිරීමට වඩා ශිල්පියකුට අපහසු විය හැකිය. ඒ සත්‍ය චරිත සමාජය බහුවිධ කෝණවලින් දැක ඇති නිසා සහ ඔවුන් පිළිබඳව පෙර කියවා ඇති නිසාය. සත්‍ය චරිත නිරූපණයේදී ශිල්පියාට සිදුවන්නේ එක්තරා අනුකරණයක්ද සමග චරිත නිරූපණය කිරීමටය. එහිදී චරිතයක ක්‍රියාකාරීත්වය තිර පිටපතක් තුළ ලිවීම ඔස්සේ ඊට ප්‍රබන්ධගත මුහුණුවරක් එක්වෙයි. මෙම ප්‍රබන්ධගත මුසුව ශිල්පියාට සුසාධිත රංගයට ලැබෙන එක්තරා පිටිවහලක් වෙයි. ප්‍රබන්ධය ඔස්සේ ශිල්පියාගේ හෝ ශිල්පිනියගේ සිතුවිල්ල දිවෙන විට සත්‍ය චරිතයක් නිරූපණය කිරීම පිළිබඳව ඇතිවිය හැකි මානසික කාන්සා සහිත  (Nostalgic) තත්ත්වය යම් පමණකට සමනය වෙයි.

‘ගින්නෙන් උපන් සීතල’ චිත්‍රපටයේ රෝහණ විජේවීරගේ චරිතය නිරූපණය කළේ කමල් අද්දරආරච්චිය. චිත්‍රාංගනීගේ චරිතය සුලෝචනා වීරසිංහ නිරූපණය කළාය. මේ දෙදෙනාටම තිබුණු අභියෝගය එම චරිත දෙකම සමාජය දැන හඳුනාගෙන සිටි සත්‍ය චරිතවීමය. මෙම අසීරුව ලුහුකර ගැනීමට රෝහණ විජේවීරත්, චිත්‍රාංගනීත් යළි ප්‍රබන්ධයක් තුළින් කමල් හා සුලෝචනා වෙත පැමිණීම උපකාරී විය.
යම් පුද්ගල චර්යාවක් දුටු මනතින් අනුකරණය කිරීමට ඕනෑම කෙනකුට හැකියාවක් ඇතත්, එම පුද්ගල චරිත අභ්‍යන්තරය අන්තර්ඥානයෙන් විනිවිද යම් ශික්ෂණවේදයක් තුළ පරාරෝපණය කර මතු කිරීම විද්‍යාත්මක කෘත්‍යයකි. විජේවීරගේ හා චිත්‍රාංගනීගේ චරිත කමල් සහ සුලෝචනා තමාගෙන් ඉවතට පරාරෝපණය කර ශික්ෂණ ශාස්ත්‍රයකට යටත් කොට පරිමාණික වශයෙන් පර්යාවලෝකනය කර ඇති බව කිව හැකිය.

ආචාර්ය සෞම්‍ය ලියනගේ විසින් රංගවේදය පිළිබඳව රචිත Meditations on Acting  කෘතියෙහි එන  Becoming Thespians : An ontology of actor training  යන ලිපියෙහි එක් තැනක මෙසේ සඳහන් වෙයි.  In general pedagogical ways of actor training and learning process asume that the body is an object which can be disciplined and moulded into many forms and practices despite the consideration of the learner’s perspectives and her/his valuble insights and experiences in the learning process. එනම් පොදුවේ චරිත නිරූපණ ශිල්පීය පුහුණුව හා ඉගෙනුම් ක්‍රියාවලියේ අධ්‍යයන විද්‍යාත්මක ක්‍රම මගින් උපකල්පනය කරනු ලබන්නේ ශරීරය යනු අධ්‍යයන ක්‍රියාවලියක් තුළ පර්යාලෝකය සහ ඇගේ/ඔහුගේ අනගි ප්‍රතිවේදයන් හා අත්දැකීම් සැලකිල්ලට නොගෙන ආකෘති හා වෘත්තීය නියැලුම්වලට හික්මවීමක් හා හැඩගැස්වීමක් ලබාදිය හැකි වස්තුවක් බවය.

කිසියම් වස්තු විෂයයක් ශික්ෂිත රංග ශරීරයක් මත කරන ආරෝපණය පරිසමාප්ත වූ විනය අභිප්‍රේත අච්චුවක් වෙයි. එමෙන්ම එය හැඩ රේඛා මවන අභ්‍යාසයකි. මෙම පුහුණුව හා අධ්‍යයනය අනවරත එකක් වන්නේ නම් රංගයේ මනෝ කායික මෝදුවීම එහි ප්‍රතීයමාන කැරෙයි.

“මම කොහොමද විජේවීර වෙන්නෙ? මට එකපාරටම විශ්වාස නැති වුණා. ඒ නිසා මම දර්ශන තලයට අවතීර්ණ වුණේ සෙමින්.” කමල් අද්දරආරච්චි උක්ත නිරූපණයේ අසීරුතාව ගැන එවැනි අදහසක් චිත්‍රපට මාධ්‍ය දර්ශනයෙන් අනතුරුව පළ කළේය. විජේවීරගේ චරිතය ගතහොත් කමල්ගේ රැවුල හා දිගු කෙස් වැටිය සහිත වේෂ නිරූපණය තුළ ජීවත්වන්නේ විජේවීරද යන ප්‍රශ්නය නැගෙයි. එහෙත් රැවුල සහ කොණ්ඩය මුඩු කරන ලද අවස්ථාවේ සිට කමල් එම සැලෙන ප්‍රේක්ෂක සිත ජයගන්නා අයුරු පෙනේ. ජීවිත අවදානම සමග සැඟවී සිටින මිනිසකුගේ ගැඹුරු කල්පනාකාරී බව සාපේක්ෂ තැති ගැන්ම මෙන්ම සංකීර්ණ දේශපාලන ක්‍රියාවලියක් වෙනුවෙන් මුළු හදින් කැපවූ මිනිසකුගේ උපේක්ෂාව කමල් නොඅඩුව මතුකරගෙන තිබේ. “ප්‍රේක්ෂක චිත්තාවේග අවධි කරවීමට නම් රංගන ශිල්පියාගේ මනෝභාවික ඉරියව් නිරූපණය ප්‍රබල විය යුතුය. එහෙත් මේ සඳහා අනවශ්‍ය ලෙස මාංශ පේශීන් ආතතීය ස්වභාවයට පත් නොකළ යුතුය… එහි කාර්යභාරය වන්නේ චරිතාංගයෙහි අඩංගු ඉතා සියුම් මනෝභවික ආරෝපණයෙන් සාත්වික හා ආංගික අභිනය තුළ තෘප්ත වන්නට හැරීමය.”  (To The Actor-Michael Chekhov – සිංහල පරිවර්තනය සෝමපාල මල්ලවආරච්චි)
කමල් විජේවීර රංගය තුළ එම අදහස නොපිරිහෙළයි. රංගයෙහි උප පඨිතය ඔහු සිය අභ්‍යන්තරය තුළින් මතු කොට දක්වයි. සැලසුම් වැරදීම මෙන්ම පාලනය තමා වෙතින් ගිලිහීම පිළිබඳ පරිකල්පනය කමල් සිය රංගයේ උප පඨිතයට අන්තර්ග්‍රහණය කරගනී.

ඊට සමාන්තරව චිත්‍රාංගනීගේ චරිතයට ප්‍රවිෂ්ට වූ සුලෝචනා චිත්‍රාංගනී මුහුණ දුන් ආසාධිත ගැඹුරු පත්ලේ වේදනාබර දිවි පෙවෙත සූක්ෂ්ම ලෙස නිරූපණය කරනු දැක්ක හැකිය. නළු නිළියෝ කතන්දර කියන්නන් වන බැවින් ඔවුහු අනුවර්තන කාර්යයක නියැලෙතැයි ඇමරිකානු නළු ග්‍රෙගරි පෙක් පවසා තිබේ. සුලෝචනාට සිදුව තිබෙන්නේ එක් අතකින් කතන්දරයක් කියන අනුවර්තිකාවකගේ වෙස් ගැනීමටය. අනෙක් අතින් කුටුම්භයක බර මෙන්ම ඉන් පරිබාහිර නොවන සමාජ, දේශපාලන බරකුත් දරා ගැනීමටය. එවැනි සංකීර්ණත්වයක් පූර්ණ විචක්ෂණභාවයකින් ප්‍රතීයමාන කිරීමට ශිල්පියකුට/ශිල්පිනියකට නොසැලෙන ආත්ම විශ්වාසයක් අවශ්‍ය බව මහා නළු ඇන්තනි ක්වීන් කියයි. උක්ත ක්‍රියා දෙකම එකවර ජයගැනීමට සුලෝචනා වීරසිංහ සැලකිය යුතු වෙහෙසක් දරන්නීය.
විජේවීර චිත්‍රාංගනී විවාහය සිදුවන්නේ මුළුමනින් නොවුණත් කිසියම් වූ වැඩවසම් ස්වරූපයකිනි. විප්ලවවාදී පක්ෂයේ නායකයාට බිරිඳක් සොයාදෙන අරුතින් සෙසු සහෝදරයෝ එම විවාහයේ කටයුතු සිද්ධ කරති. ඔහු මොන විප්ලවවාදී නායකයා වුව තමාට වඩා වයසින් වැඩි පිරිමියකු සමග සරණයෑමට සාමාන්‍යයෙන් ස්ත්‍රීහු අකමැත්තෝය. එක් අතකින් එය ළාබාල ස්ත්‍රිය තුළින් ඉක්මනින් වැඩිහිටි ලක්ෂණ පළවීමටද හේතුවකි. වයසින් මඳක් වැඩි විජේවීර සමග සරණ ගිය චිත්‍රාංගනීටත් එසේ වූවාය. එහෙත් ඔවුන්ගේ ගෘහ අභ්‍යන්තර පුද්ගලික ජීවිතයට මේ කරුණු බලපා නැත. ඔවුන් හැමවිටම තැති ගැන්මෙන් යුතු දිවියක් ගෙවනවා විනා තැති ගැන්ම තුළ ඇති ශාරීරික තෘප්තිය චරිත තුළින් මතුකර නොගනියි. අධ්‍යක්ෂවරයාගේ කලාව විසින් විජේවීරගේත්, චිත්‍රාංගනීගේත් ශාරීරික තෘප්තියේ ප්‍රකාශමානවීම නිර්දය ලෙස මරා දමා තිබේ. එවිට හැමවිටම සුලෝචනාට සිදුව තිබෙන්නේ ගැබ්බරවීමේ අසීරුව නිරූපණය කිරීමට පමණි. විජේවීරට සිදුව තිබෙන්නේ ඒ ගැන තමා වගකිවයුතු නැති ආකාරයට මුනිවත රැකීමටය. මෙම චිත්‍රපටය තුළ විජේවීර මිනිසත්බව (Human being) සපිරි චරිතයක් ලෙස නිරූපණය කරන විට පුද්ගලිකත්වය ඔහුගෙන් ඈත් කළ යුතු නැත.

මොරටුව විල්ලෝරවත්තේ කලබලකාරී පරිසරයක සිට චිත්‍රාංගනී ඉදිරියට ගතවන වසර නමයක් ඇතුළත විප්ලව සංයමය මහා ව්‍රතයක් කොට ගත යුතු වූවාය.
“1984 අප්‍රේල් මස 28 වැනි දින දක්වා මාගේ කොණ්ඩය ඉනට පහළ දක්වා දිගට තිබුණි. වල්හපුතැන්න නිවසට 29 වැනිදා ඒමට පෙර බලංගොඩදී නන්ද අක්කා විසින් කොණ්ඩ කොට කර කැපුවා. එසේ කැපුවේ රෝහණගේ උපදෙස් පිට හඳුනාගැනීම වසන් කිරීම සඳහාය. (විජේවීරගේ බිරිඳගේ කට උත්තරය – රාවය ප්‍රකාශනයකි.) කොණ්ඩය කපන අවස්ථාව ඉකුත්වීමක් මෙන්ම උට්ඨානයක් ලෙසද සුලෝචනා නිරූපණය කළාය. තමා විසින් ශරීරය හසුරු වනවාට විකල්පව බාහිර සමාජය තුළ සිදුවන දේවල් විසින් ශරීරය හැසිරවීම යන්නට ඇය මහත් සංයමයෙන් මුහුණ දෙනු දක්නා ලැබේ. ජීවිත රැකගැනීමට තැනින් තැනට පලා යාමත්. අනන්‍ය නැති එහෙත් මගහැර යා නොහැකි දේශපාලන ජීවිතයත්, කුටුම්භ සංරක්ෂණයත් යන සියල්ලෙහි කායික හා මානසික වශයෙන් එක් ගැහැනියක් නිමග්න වන්නේ කෙසේද? ඒ ඒ සංසිද්ධීන්හි බෙදුම් රේඛා වෙනස් අනන්‍යතාවන් සමග නිරූපණය කරන්නේ කෙසේද? මෙම සමස්ත ක්‍රියාවලිය සූක්ෂ්මාත්ම ලකුණක් ලෙස සුලෝචනා වීරසිංහ ගින්නෙන් උපන් සීතල තුළ දරන්නීය.
ඬේවිඞ් මැමට් විසින් රචිත True and False  කෘතිය රංගයේ මිථ්‍යාව සහ චරිතයක් පිළිබඳ ඇත්ත වටපිටාව අධ්‍යයනය කරන්නේ කෙසේද යන්න පහදයි. මැමට් ස්ටැනිස්ලවුස්කිගේ සුසාධිත රංග වේදයට  (Method Acting) කිසියම් ප්‍රතිපක්ෂ මතයක් දරන්නෙකි. එහෙත් ඕනෑම ක්‍රමයක ආකූලීකරණය එකිනෙකට ප්‍රතිපක්ෂ නොවේ නම් ක්‍රමය සලකා බැලීම වැදගත්ය. මැමට් වේදිකා රංගය ගැන ලියන්නේ දිගටම පිටපත කියවමින් සිටින ශිල්පියාට නැගිට රඟදැක්වීම සඳහා අත්‍යවශ්‍ය මොහොතක් එළැඹෙන බවය. “මම කොහොමද විජේවීර වෙන්නෙ” යනුවෙන් දර්ශන තලයට යාමට පෙර කමල් තමාගෙන්ම විමසන ප්‍රශ්නය මැමට්ගේ රංග සිද්ධාන්තයට සමාන්තර බවක් උසුලයි. ශිල්පියා නැගිට රඟදැක්වීම කළයුත්තේ තමා තුළ විශ්වසනීයත්වය ඇතිවුණු මොහොතකදීය.

Concentration cannot be forced. It is a survival mechanism and an adaptive mechanism………….. (David Mamet – True and False)

කමල් හා සුලෝචනා යන දෙදෙනාම විජේවීරගේ හා චිත්‍රාංගනීගේ චරිත අභ්‍යන්තරයට කිඳා බැස එම තත්ත්වය හා ආත්ම කථනය සමතික්‍රමණය කිරීමට දක්වන බුහුටිබව ඔස්සේ සිදු කරන්නේ අත්‍යන්ත මනෝ කායික අරගලයකි. එම චරිත දෙකෙහි සත්‍යය මෙන්ම වෘතාන්ත සිනමාවට අවශ්‍ය ප්‍රබන්ධය ඔවුහු සිය රූපණ කෞශල්‍යයෙන් ඔප දමති.